විශ්ව විද්‍යාල තුල රුදුරු මර්දන පියවර ක්‍රියාවට නැගෙයි

සකුන ජයවර්ධන විසිනි, 2019 ජූනි 01

අප්‍රේල් මස 21 වනදා එල්ල කල ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පසුව වසා දැමුනු රාජ්‍ය විශ්ව විද්‍යාල මේ වන විට දැඩි “ආරක්ෂක” පියවර යටතේ යලි විවෘත කර ඇත. ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් සිසුන් “ආරක්ෂා” කිරීමේ නාමයෙන් ක්‍රියාවට නංවා ඇති නව කොන්දේසි වල සැබෑ අරමුන වනුයේ අධ්‍යාපන කප්පාදුවට සහ පෞද්ගලීකරනයට එරෙහිව අඛන්ඩව අරගලයට ඇදෙන සිසුන් රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීම බව එම කොන්දේසි විමසීමෙන් සනාථ වෙයි.

යාපනය විශ්ව විද්‍යාලය

මැයි 3 වනදා යාපනය විශ්ව විද්‍යාලයට කඩා වැදුනු ආරක්ෂක හමුදා කරන ලද “සෝදිසි මෙහෙයුfමේදී”, එහි ශිෂ්‍ය සංගම් සභාපති සහ ලේකම්, “එල්ටීටීඊ නායකයාගේ ඡායාරූප සහිත පෝස්ටර් ලඟ තබා ගැනීම” සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුනි. ඒ සමගම විශ්ව විද්‍යාලය වටා දැඩි පොලිස්-මිලිටරි රෑකවල් යොදා ඇති අතර එතැන් සිට සිසුන් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරේ.

පේරාදනිය විශ්ව විද්‍යාලය

පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල කල “සෝදිසි මෙහෙයුම් වලදී” සොයාගත් සිසුන්ගේ කඳු නැගීමේ තාක්ෂනික උපකරන සහ විලාසිතාවක් ලෙස අඳින කැමුෆ්ලාජ් ඇදුම් කට්ටල මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුනේ විශ්වවිද්‍යාල තුල “ත්‍රස්තවාදීන්” සිටින බවට ඇඟවෙන අයුරිනි.

විශ්ව විද්‍යාලයේ උපකුලපති උපුල්. බී. දිසානායක මාධ්‍යයට පවසා තිබුනේ අතිරේක ආරක්ෂක නිලධාරීන් 150 ක් පමන එම සරසවිය තුල යොදවා ඇති බවයි. ශිෂ්‍යාවන් සවස 6.30 වන විට ද ශිෂ්‍යයන් රාත්‍රි 9.00 වන විටද නේවාසිකාගාර කරා පැමිනිය යුතු ය. අනන්‍යතාවය තහවුරු කිරීමකින් තොරව පිටස්තර අයට විශ්ව විද්‍යාල භූමියට ඇතුලුවීම තහනම් කොට ඇත.

මීට අමතරව ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට පහසුවෙන් විශ්ව විද්‍යාල භූමියට ප්‍රවේශ වීමට තිබූ ස්ථාන අහුරා ඇති අතර ඒවා ඇතුලු සමස්ත ප්‍රවේශ ස්ථානයන්හි දැඩි මුරකාවල් යොදා ඇත. ඩ්‍රෝන යානා මගින්විශ්ව විද්‍යාල භූමිය නිරන්තරව පරීක්ෂා කෙරෙන බවද සිසුහු පවසති.

රුහුනු විශ්ව විද්‍යාලය

රුහුනු විශ්වවිශ්ව විද්‍යාලය තුල කෙරුනු සෝදිසි මෙහෙයුම් වලදී බලහත්කාරයෙන් ශිෂ්‍ය සංගම් කාර්යාලයට ඇතුලු වූ ආරක්ෂක හමුදාවන් ශිෂ්‍ය නියෝජිතයින්ගේ තොරතුරු හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) සැසිවාර වාර්තා ඡායාරූප ගත කොට ගෙන ගොස් ඇති බවට වාර්තා විය.

කොලඹ විශ්ව විද්‍යාලය

කොලඹ විශ්ව විද්‍යාලය තුලට ඇතුලු වීමට අවසර ඇත්තේ ප්‍රධාන දොරටුවෙන් පමනි. එමෙන්ම අවසර පත්‍ර රහිත වාහන වලට විශ්ව විද්‍යාල භූමියට ඇතුලුවිය නොහැක. විශ්වවිද්‍යාල තුලට ඇතුලු වීමේදී සිසුන් සහ ආචාර්යවරුන් සිය විශ්ව විද්‍යාල හැඳුනුම්පත් ආරක්ෂක අංශවලට පෙන්විය යුතුය.

සෑම ඇතුල්වීමේ ගේට්ටුවකම සහ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුලත්, නේවසිකාගාර පරිශ්‍රයන්වලත් ආරක්ෂක කැමරා සවිකර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාලය පරීක්ෂා කිරීම භාරව ඉහල පොලිස් නිලධාරියෙකු පත්කර ඇති බවත් ඔහුට ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාලය තුලට පැමින පරික්ෂාවන් කිරීමට බාධා නොකල යුතු බවත් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ශිෂ්‍ය සංගම්වලට දැනුම් දී ඇත. විශ්වවිද්‍යාල භූමිය තුල සිසුන්ට රැඳී සිටීමට අවසර ඇත්තේ සවස 6.30 වන තෙක් පමනි.

“නේවාසිකාගාර තුල සිටින්නන්ගේ තොරතුරු එක් රැස් කරන” බව සහ “අනවශ්‍ය” ලෙස විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල රැඳී සිටීමෙන් වලකින ලෙස සිසුන්ගෙන් ඉල්ලා ඇති බව උපකුලපති දිසානායක සන්ඬේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

මොරටුව විශ්ව විද්‍යාලය

විශ්ව විද්‍යාලය තුලට ඇතුලුවීම සීමා කර ඇත. ආරක්ෂාව සඳහා යැයි පවසමින් ආචාර්යවරුන්ගේ හැඳුනුම්පත් අංක සහ තොරතුරු එකතු කරගෙන ඇති අතර ඒවා ඇතුලුවීමේ දොරටු වෙත ලබා දී ඇත. සරසවි තුලට ඇතුලුවීමේදී විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ විසින් සිසුන්ගේ ගමන් මලු පරීක්ෂාවට භාජනය කෙරෙයි. එමෙන්ම විශ්ව විද්‍යාලය තුලට වාහන ඇතුලු කිරීමට ඉඩ දෙන්නේ පරීක්ෂා කිරීම් වලින් පසුවය. මීට අමතරව විශ්ව විද්‍යාලයෙන් පිටත පොලීසිය සහ මිලිටරිය රඳවා ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කල නිවේදනයකින් විශ්ව විද්‍යාල හා නේවාසිකාගාර තුලට ප්‍රවේශ වීමේදී ශිෂ්‍ය හැඳුනුම්පත පෙන්වන ලෙසද රැගෙන එන ගමන් මලු ආදිය ආරක්ෂක අංශ වල නිරීක්ෂනයට ලක් කරන ලෙසද පවසමින් ආරක්ෂක කොන්දේසි වලට සහයෝගය දෙන ලෙස දැනුම් දී තිබේ.

එම නිවේදනයට අනුව “මුහුනු ආවරනය කරගත් සහ අනන්‍යතාව වසන් වන ආකාරයේ” ඇඳුම් තහනම් කර ඇති අතර නේවාසිකාගාර හෝ විශ්ව විද්‍යාල තුලට සරසවියට සම්බන්ධයක් නොමැති පිටස්තර පුද්ගලයින්ට ඇතුලු විය නොහැකිය.

ආන්ඩුව මෙම පියවරයන් ක්‍රියාවට නංවා ඇත්තේ “ආරක්ෂාව” තහවුරු කිරීමේ නාමයෙනි. මෙම කියාපෑම් ව්‍යාජයක් වන අතර මෙහි සැබෑ එල්ලය ලෙස පවතින්නේ විශ්ව විද්‍යාල තුල මතුවෙමින් පැවතුනු සහ ඉදිරියේදී පැන නැගීමට නියමිත කම්කරුවන්ගේ සහ සිසුන්ගේ අරගල රැල්ල තලා දැමීමට අවශ්‍ය කරන පොලිස් රාජ්‍ය මෙවලම් තර කර ගැනීමයි.

ආන්ඩුවේ කප්පාදු හා පුද්ගලීකරන පිලිවෙත් වලට එරෙහිව පසුගිය කාලය තුල ආචාර්යවරුන්ගේ, සිසුන්ගේ සහ අනධ්‍යන සේවකයන්ගේ අරගල විශ්ව විද්‍යාල අලලාගෙන පැන නැගිනි. වෘත්තිය සමිති වල ද්‍රෝහිත්වය පැවතියදීත් පසුගිය වසරේ වැඩි වැටුප් ඉල්ලා අනධ්‍යන කම්කරුවන් මාසයකට අධික කාලයක් වර්ජනයේ යෙදුනු අතර, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව ද, අධ්‍යාපන සහ සුබ සාධන ගැටලු වලට විසඳුම් ඉල්ලමින් ද ශිෂ්‍යයෝ දිගින් දිගටම අරගල වලට පිලිපන්හ.

විශ්වවිද්‍යාල තුල වැඩකටයුතු මිලිටරියේ සහ අනෙකුත් ආරක්ෂක අංශ වල දැඩි සෝදිසියට යටත් කොට ඇත්තේ වර්ධනය වන මෙම අරගල මුලිනුපුටා දැමීම සඳහාය. මෙය ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින සමස්ත කම්කරු පන්තියට සහ පීඩිත මහජනතාවට එරෙහිව සූදානම් කෙරෙමින් පවතින රුදුරු ප්‍රහාරයේ අත්‍යන්ත කොටසකි.

ධනපති දේශපාලනඥයන්, ධනපති මාධ්‍යයන්, බොද්ධ සහ වෙනත් ආගමික සංස්ථාපිතයන් සහ ව්‍යාජ-වම්මුන් විසින් මිලිටරිය සහ පොලීසිය උත්කර්ෂයට නංවමින් ඒවා මහජන ආරක්ෂාව වෙනුවෙන් කැපවන ආයතන ලෙස කරන වගවර්නනාවන් කම්කරු පන්තිය සහ සිසුන් ඇතුලු අවශේෂ පීඩිතයන් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය ගැන කල්තියා දැනගෙන ලංකාවේ ආරක්ෂක සංස්ථාපිතය එය සිදුවීමට ඉඩ හැරීමෙන් ම එය කටයුතු කරන්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන්ද නැතහොත් ධනපති පන්ති පාලනයේ ආරක්ෂාව වෙනුවෙන්ද යන්න පැහැදිලි වෙයි. ප්‍රහාරය සිදුවීමට ඉඩහල පාලක පන්තියේ සෑම කන්ඩායමක්ම එය ඩැහැගෙන ප්‍රතිගාමී සැලසුම් පෙරට දමමින් සිටිති.

“මහජන ආරක්ෂාවේ” නාමයෙන් කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල රුදුරු ලෙස තලා දැමීමට අවශ්‍ය කරන විසකුරු බලතල හදිසි නීති රෙගුලාසි මගින් පොලීසියට සහ මිලිටරියට මෙන්ම අධිකරනයට පවරා දී ඇත. ඒ යටතේ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමේ බලතල එම ආයතන වලට පවරා ඇති අතර, වැඩ වර්ජන ආදී කාර්මික ක්‍රියාවන්හි නිරත වන කම්කරුවන් සහ උද්ඝෝෂනයන්හි නිරත වන සිසුන් සහ අවශේෂ පීඩිතයන් “ත්‍රස්තවාදීන්” ලෙස නම්කොට දඬු ගැසීමේ නීතිමය ප්‍රතිපාදන ද මෙම බලතල වලට අයත් වෙයි.

ආන්ඩුව විසින් පොලිස් රාජ්‍යයක් සඳහා වන මූලික සැකිල්ල ඉමහත් වේගයෙන් නිර්මානය කරමින් සිටින බව, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු විශ්වවිද්‍යාල තුල “ආරක්ෂාවේ” නාමයෙන් ක්‍රියාවට නංවා ඇති නව පියවරයන් මගින් පැහැදිලිව ප්‍රකාශයට පත්වෙයි.

මෙම රුදුරු මර්දන පියවරයන් පාලනාධිකාරීන්ට ක්‍රියාවට දැමිය හැකිව ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන්ගේ නායකත්වයෙහි සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) දක්වන සහයෝගය යටතේය. පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල මිලිටරිය කල සෝදිසි මෙහෙයුම් වලට අවිශිබම සාමාජිකයෝ කායිකවම සම්බන්ධ වූහ.

එපමනක් නොව, ඉහත සඳහන් කෙරුනු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛයට විරුද්ධවනු වෙනුවට අවිශිබම යටතේ පවත්නා මහා ශිෂ්‍ය සංගම් විසින් ඉන් මතුවන “ගැටලු” සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව උපකුලපතිවරුන්ගෙන් සාකච්ඡාවන් ද ඉල්ලා ඇත.

අවිශිබම නිකුත් කර ඇති “ජනඝාතක ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමු, අන්තවාදය පැරදවීමට එක්ව සටන් වදිමු” පත්‍රිකාවෙහිද මෙම “ආරක්ෂක” කොන්දේසි හෝ හදිසි නීති සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොමැත.

බිඳවැටීමක් තුලින් ගමන් කරන ගෝලීය ධනවාදය මුහුන දී ඇති දැවැන්ත අර්බුදයේ බර ධනපති ආන්ඩු විසින් කම්කරු-පීඩිත මහජනතාව මත පටවනු ලබන්නේ පුද්ගලීකරන සහ කප්පාදු පිලිවෙත් තුලිනි. මේවාට විරුද්ධව අරගලයට පැමිනෙන කම්කරුවන් මෙන්ම සිසුන් ක්ෂනිකවම අභිමුඛ වන්නේ මෙම පොලිස් රාජ්‍ය උපකරනයන්ට සහ විධික්‍රමයන්ටය.

එය පරාජය කල හැක්කේ ධනපති රාජ්‍යය පෙරලා දැමීම අරමුනු කර ගත් දේශපාලන අරගලයකින් පමනි. විරෝධතා දේශපාලනයෙහි ගිලී සිටින අවිශිබම සහ එයට දේශපාලනික නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවන් අරගලයක් සඳහා සතුරුය. සිසුන් එම සංවිධාන වලින් බිඳී විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය දෙසට හැරී සමාජවාදය සඳහා සටන් වැදිය යුතුය.

Share this article: