ජනාධිපති සමාවෙන් නිදහස ලැබූ ඥානසාර භික්ෂුව ප්‍රකෝපකාරී ක්‍රියාවලට පිටපොට ගසයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 ජූනි 1

ජනාධිපති සමාව යටතේ මැයි 23 වෙනිදා නිදහස ලැබූ අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ (බොබසේ) නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සිය ප්‍රතිගාමී උද්ඝෝෂනය වඩා රුදුරු ලෙස යලි ඉස්මත්තට ගැනීමට සුදානම් වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බොබස නායකයා නිදහස් කරනු ලැබූවේ මුස්ලිම් අන්තවාදී අයිඑස්අයිඑස් හි මෙහෙයවීමෙන් ජාතික තව්හිද් ජමාත් සංවිධානය එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ආන්ඩුව, විපක්ෂය, ධනපති මාධ්‍ය හා සිංහල මැර කල්ලි විසින් මුස්ලිම් ජනයාට එරෙහිව මුදාහැර ඇති ප්‍රචන්ඩ උද්ඝෝෂනය මධ්‍යයේ ය.

ඔහු දැන් කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ හා ගෙනයන බවට තර්ජනය කරන ව්‍යාපාර ගැන ජනාධිපති සිරිසේන දේශපාලනිකව වගකිව යුතු ය. දේශපාලන වසයෙන් අපකීර්තියට පත්ව අර්බුදයක ගිලී සිටින සිරිසේන, ඥානසාර භික්ෂුව නිදහස් කලේ බෞද්ධ සංස්තාපිතයේ අනුකම්පාව ලබා ගැනීමට මෙන්ම භික්ෂූ නඩ හා වර්ගවාදීන් අවුලුවන ප්‍රකෝපකාරී ව්‍යාපාරයකින් දේශපාලන වාසිලබා ගැනීමට ගනන් බලමින් බවට අපි චෝදනා කරමු.

නිදහස් වූ දිනට පසුදා පැයකට වැඩි කාලයක් පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඥානසාර භික්ෂුව ”මුස්ලිම් අන්තවාදයේ” වැඩීම පිලිබඳව පෙර සිටම අනතුරු ඇඟවූ බවත් දේශපාලනඥයින් ඒ පිලිබඳව ගනනකට නොගත් නිසා “දැන් අන්තවාදය පරාජය කිරීමේ වගකීම පැවරෙන්නේ සිංහල බෞද්ධයන්ට” බවත් තමන් ඊට නායකත්වය දෙන බවත් ප්‍රකාශ කලේ ය. භික්ෂූන්ට “ඓතිහාසික දේශපාලන වගකීමක් ඉටුකිරීමට” පැවරී ඇති බව ඔහු එහිදී සඳහන් කලේ ය.

සුලු පිරිසක් මුස්ලිම් අන්තවාදීන් නිසා සාමාන්‍ය මුස්ලිම් ජනයාට හිංසා නොකල යුතු යයි කියමින් බොරු උපාසක කමක් මවාගත් භික්ෂුව ඒ සමගම බුර්කාව සහ නිකාබය තහනම් කිරීම පිලිබඳව මුස්ලිම් සමාජයෙන් ඇසිය යුතු යයි දේශපාලනඥයින් කල ප්‍රකාශයක් හෙලා දකිමින් ස්වෝත්තමවාදී වනචර භාෂාවෙන් තර්ජනය කලේ මෙසේය: “යකෝ මේක අපේ (සිංහල-බෞද්ධයාගේ) රට. බුර්කාව තහනම් එච්චරයි. එතෙන්ට මේ රට ගේන්න ඕනා.”

මාධ්‍ය සාකච්චාව තුලදී ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ වර්නනා කල බෝබසේ නායකයා ශ්‍රී ලංකා හමුදාව “ලොව අසම සම හමුදාවක්” බවත් “බුද්ධි අංශය රටේ හදවත” බවත් පැවසීය. භික්ෂුවගේ වර්නනාව අහම්බයක් නොවේ. ධනපති ආඥාදායක පාලනයකට අත වනන වර්ගවාදී සංවිධාන ද රැඳී සිටින්නේ මිලිටරිය හා පොලිසිය මත ය. බෝබසේ පටන්ගෙන වැඩි කලක් යන්නට මත්තෙන් ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනයාට එරෙහිව විවිධ ප්‍රචන්ඩ ක්‍රියා ගෙන ගියේ පොලිසිය නිදැල්ලේ ක්‍රියා කිරීමට සහයෝගය දුන් නිසා බව වාර්තාගත ය.

තරුනයන්ගේ ඉල්ලීම ඉදිරියේ තමන් අතිශය හැඟීම් බර වූ බවත් එම නිසා “බනක් භාවනාවක් කරගෙන විවේකීව සිටිමට” හිරෙන් නිදහස් වීමේ දී ගත් තීන්දුව වෙනස් කල බවත් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා ඉදිරියට යායුතු බවත් ඥානසාර මැයි 27 වනදා පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී සඳහන් කලේ ය.

“මම මටම කියා ගත්තා විවේක ගන්න කාලයක් නැහැ. ධර්මයෙහි සහ බන භාවනා වල යෙදීමට කාලයක් නැහැ. නිවන් යන්න කල් තියෙනවා. මෙම අනතුර (මුස්ලිම් අන්තවාදය) පහවෙන තුරු කාලයට එරෙහිව ඉදිරියට යායුතු” බව හෙතෙම එහි දී පැවසුවේ ය.

බෝබස නායකයා බදාදා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් “අන්තවාදයට” සම්බන්ධ “බලගතු පුද්ගලයන්” වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් මද්‍රාසා පාසල් ආන්ඩුවේ පාලනයට නතු කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

රුදුරු මුස්ලිම් විරෝධී ව්‍යාපාරයකට බෝබසේ සුදානම වන බව අඟවමින් ඔහු තවදුරටත් සඳහන් කලේ ජුලි 7 වෙනිදා 7000 ක බෞද්ධ භික්ෂූන් ගේ සම්මේලනයක් පවත්වා මද්‍රාසා පාසල් හා සියලු මුස්ලිම් සංවිධාන පිලිබඳව ගත යුතු පියවර සාකාච්චා කර තීන්දු ගන්නා බවයි. එයට දේශපාලන පක්ෂ ඇතුලු සියලු මුස්ලිම් සංවිධාන හා ශාස්ත්‍රාලිකයන් සම්බන්ධ කර ගන්නා බවද සඳහන් කර ඇත. මේ තවත් ලේවැකි ව්‍යාපාරයක් ගැන අනතුරු ඇඟවීමකි.

මේ අතර තවත් සංඝ කල්ලියක් පිරිවරාගෙන අතුරලියේ රතනසාර භික්ෂුව සිකුරාදා “මාරාන්තික උපවාසයක්” අරඹා, ඇමති රිෂාඞ් බද්ද්‍යුදීන්, නැගෙනහිර හා බටහිර පලාත් ආන්ඩුකාරයන් වන ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි තනතුරුවලින් ඉවත් කරන ලෙස ජනාධිපතිට බලකිරීමක් පටන්ගෙන ඇත. ජාතික සංඝ සභාව නම් වූ තවත් ස්වොත්තමවාදී සංවිධානයක් රතනසාර භික්ෂුවගේ ව්‍යාපාරයට සහයෝගය දෙන බව ප්‍රකාශ කර තිබේ.

“මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේ” නමින් භික්ෂු කන්ඩායම් අරඹා ඇති ව්‍යාපාරයන් හදිසියේ කඩාවැටුනු ඒවා නොව දැනුවත්ව මුදාහැර ඇති ප්‍රකෝපකාරී ව්‍යාපාරයන් ය. මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහෝදර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උදව්වෙන් එලිබැස, සිරිසේනගේ හා වික්‍රමසිංහගේ පාලනය යටතේ නිදැල්ලේ ක්‍රියාකල බොදුබල සේනා සංවිධානය පසුගිය සතියේ යලි පෙරට පන්නවා ගත්තේ ජනාධිපති සිරිසේනයි.

මැයි 12-13 ප්‍රදේශ ගනනාවක මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා අවුලුවමින් ක්‍රියාකල සිංහල වර්ගවාදී හැඩි රැල මේවා ඉදිරියෙන් හා පසුපසින් සංවිධානය කර ඇත.

කොලඹ පාලක පන්තියේ ඉතිහාසය පුනරුච්චාරනය වෙමින් පවතින්නේ ජාත්‍යන්තරවම ගැඹුරු ඓතිහාසික අර්බුදයක කාල පරිච්චේදයක අතිශයින් දුෂ්ට ලෙස ය.

1948 එජාප ආන්ඩුව වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසිකරමින් කම්කරු පන්තිය බෙදීමට සිංහල ස්වොත්තමවාදය ඉස්මත්තට ගෙන ඇරඹු ප්‍රහාරය 1953 කම්කරුවන්ගේ නැගිටීමෙන් පසු වෙසෙසින් සංඝයා මුදුන්කොටගෙන සිංහල සුලු ධනපතියන් මෙහෙයවමින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) මගින් ”සිංහල පමනයි” පෙරට ගත්තේය. 1964 දී සමසමාජ පක්ෂය කල පාවාදීම සමග ස්ටැලින්වාදීන් ගේ කොමියුනිස්ට් පක්ෂයද හවුල් කරගත් සභාගයකින් කම්කරුවන්ගේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ඇබ ගසමින් ගෙන ගිය ව්‍යාපාරය මුදුනේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට අමතරව බුද්ධාගමට “ප්‍රමුඛස්ථානය” දී බෞද්ධ සංස්තාපිතයට ඔටුනු පලඳන ලදී.

1977 එජාප ආන්ඩුව ජේ. ආර්. ජයවර්ධන පාලනය යටතේ, කම්කරුවන්ගේ ප්‍රතිරෝධය බිඳීමට දෙමල විරෝධී ප්‍රකෝපකරනයන් අවුස්සා බෙදුම්වාදී එල්ටීටීඊය හමුදා සෙබලුන් කන්ඩායමක් මරා දැමීමත් සමග යුද්ධ ප්‍රකාශ කිරීම සිදු කලේ සිංහල වර්ගවාදී ව්‍යාපාරය සමග සංඝයා වඩම්මා ගනිමිනි. යුද්ධය අවසන් වූයේ බෞද්ධ සන්තාපිතය මුදුන් කරගත් ජාතික හෙල උරුමය හා පසුව බොදු බල සේනා වැනි පාර්ලිමේන්තුවෙන් පිට සංවිධාන මතු කර ගනිමිනි.

ධනපති පන්තියේ මෙම ප්‍රතිගාමී ක්‍රියා සිංහල දෙමල. මුස්ලිම් කම්කරුවන්ට, ගම්බද දුගීන්ට, තරුනයන්ට ලබාදුන්නේ රුදුරුම සමාජ ව්‍යසනයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දඬුගැසීම් ය. ජනතා විමුක්ති පෙරමුන ද මෙම වර්ගෝත්තමවාදී විලෝපනයන්ට ආරම්භයේ සිටම සම්මාදම් විය.

ලෝක ධනපති පද්ධතිය නව බිඳවැටීමක් තුලින් ගමන් කරන තත්වය තුල ජාත්‍යන්තරව ආන්ඩුවල පාලක පන්තීන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ තම අයිතීන් රක ගැනීමේ අරගලවලට නැගීසිටින කම්කරු පන්තිය මැඩීමට ෆැසිස්ට්වාදී, ඒකාධිපති හා මිලිටරි ආඥාදායක පාලනයන් වෙතට වේගයෙන් ගමන් කිරීමයි. ඒ සමගම අධිරාජ්‍යවාදී බලයන්, ඇමරිකාව හා ඒ පසුපසින් අනෙකුත් බලයන් ලෝක අධිපත්‍යය සඳහා යුද්ධ වලට සුදානම් වෙති.

ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය කාශ්මීරයේ පුල්වාමහි එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ඩැහැ ගත්තේ පකිස්තානු හා මුස්ලිම් විරෝධය අවුලුවා “හින්දු සංග් පරිවාර්” ව්‍යාපාරය මුදාහැර මැතිවරනයෙන් වැඩි බලයක් ඇතිව යලි බලයට ඒම සඳහායි. දැන් එය යත්න දරන්නේ අධිපතිවාදී බලය තහවුරු කර ගැනීම සඳහා සිය අයිතීන් රැකගැනීමට අරගලවලට ඇදෙමින් සිටින කම්කරුවන් මැඩලමින් ආයෝජකයන්ගේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග යුද මූලෝපායික සම්බන්ධකම් තර කරගැනීමටයි.

ලංකාවේ ආරක්ෂක සංස්තාපිතය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය ගැන කල්තියා දැනගෙන එය සිදුවීමට ඉඩ හැරීමෙන් පසු පාලක පන්තියේ සෑම කන්ඩායමක්ම එය අල්ලාගෙන ප්‍රතිගාමී සැලසුම් පෙරට දමමින් සිටිති.

ඥානසාර නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිගේ අත්තනෝමතික ක්‍රියාව සම්බන්ධයෙන් “බරපතල ලෙස සැලකිලිමත්” වන බව සඳහන් කර ඇත. “ව්‍යවස්ථාව යටතේ සමාවදීමේ බලය වැදගත් පාර්ශවකරුවන්, නම් වශයෙන් දඬුවම බලාත්මක කරන උසාවිය සහ ගරු නීතිපතිතුමා විමසීමකින් තොරව අත්තනෝමතික සහ හිතුවක්කාර ලෙස ක්‍රියාවේ නොදිය යුතු බව අපගේ අදහස” යයි එහි සඳහන් කර ඇත.

ජාත්‍යන්තරව ද ලංකාව තුලද තවත් සංවිධාන සිරිසේනගේ ක්‍රියාව හෙලාදැක විවේචනයට ලක්කර තිබේ. මෙම ප්‍රකාශ නිකුත්වී ඇත්තේ සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාව කෙරෙහි මහජනයා අතර අප්‍රසාදය වැඩෙන තතු තුල ය.

ඥානසාරට සමාව දී ලිහා හැරීම හා අනෙකුත් ඒ හා සමාන හැඩියන්ගේ සංවිධාන පෙරට දැමීම වනාහි පාලක පන්තියේ සියලු කන්ඩායම්වල ප්‍රතිගාමී සැලසුම්වල ආන්තික ප්‍රකාශනයන් ය. ඔවුන් සූදානම් කරන්නේ පෙරලිකාරිවන කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන්ට එරෙහි ප්‍රතිවිප්ලවවාදී සැලසුම් ය. ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියා මාර්ගය මත පදනම්ව, වාර්ගික භේද කිරීම් කපාගෙන කම්කරුවන් මෙම සැලසුම් පරාජය කිරීමට අරගලයේ යෙදීම ප්‍රධාන කර්තව්‍යයි.

Share this article: