රෝහිනී හෙන්ස්මන්ගේ Indefensible: The ISO discovers its muse —the CIA රැකිය නොහැකි අය: අයිඑස්ඕ සංවිධානය සිය උනන්දුව සීඅයිඒ සංවිධානයට බව සොයාගනී -2 කොටස

Rohini Hensman’s Indefensible: The ISO discovers its muse —the CIA—Part 2

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2018 දෙසැම්බර් 15

පහත දැක්වෙන ලිපිය “රැකිය නොහැකි අය: ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිවිප්ලවය සහ අධිරාජ්‍ය විරෝධයේ පුරසාරම්” යන කෘතිය පිලිබඳ කොටස් 4කින් යුතු සමාලෝචනයේ දෙවැනි කොටස ය.

2 කොටස

අධිරාජ්‍ය විරෝධී යුද්ධයට සහාය දක්වන ප්‍රති-ට්‍රොට්ස්කිවාදි තර්ක සමුදායක්

උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධාන (නැටෝ) බලවතුන් අල් ඛයිඩා සමග එක්ව සිරියාවේ පාලන තන්ත්‍රය මාරු කිරීමට කරගෙන යන යුද්ධය පිටුපස ඇත්තේ, දශක තුනක් තිස්සේ නගෙනහිර යුරෝපය, මැද පෙරදිග සහ මධ්‍යම ආසියව හරහා ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන, ඇමරිකාවේ සහ යුරෝපයේ ජනයා ට හොරෙන් කරගෙන යන යුද්ධ මාලාවක ප්‍රතිඵලය යි. එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන් ගේ මෙම අපරාධ, ජීවිත මිලියන ගනනකගේ ජීවිත විනාශ කර මිලියන 60ක් ජනතාව සරනාගතයින් බවට පත්කර තිබෙනවා පමනක් නොවේ. ඒවා විසින්, ලෝක යුද්ධයට ද ඔක්තෝබර් විප්ලවයට ද මග පෑදූ 29වන සියවසේ ධනවාදයෙහි මූලික ප්‍රතිඝතිතාවයන් තවමත් විසඳී නැති බව ද එලිදරව් කර ඇත.

Indefensible(රැකිය නොහැකි අය)

1930ස් ගනන්වල ට පසු ධනවාදයේ ගැඹුරුම අර්බුදය තුල ඩොලර් ට්‍රිලියන ගනනක් කා දමූ මෙම ලේවැකි යුද්ධ කෙරේ මහජනතාව ගේ දරුනු විරෝධය හමුවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ ආන්ඩු ඡන්ද බලය මගින් පරාජය කොට, එම යුද්ධ අවසන් කිරීමට හෝ සීමා කිරීමට දරන ලද සියලු ප්‍රයත්න ම අසාර්ථක වී තිබේ. එයට ප්‍රතිකූලව විවිධ දේශපාලන වර්නවල ආන්ඩු එක පිට එක, එම යුද්ධ තව තවත් උත්සන්න කොට තිබේ. එය මුල්බැසගත් පාලක පන්තියේ අනුගමනය කරන ප්‍රතිපත්තිය බවට ද පත්ව ඇත. උදාහරනයක් හැටියට සිරියානු ආන්ඩුව 2015 තමන්ට විරුද්ධ නැටෝවේ ආධාර ලත් හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට මොස්කව් පාලනයට ආරාධනා කල අවස්ථාවෙහි නැටෝව, න්‍යෂ්ටික බලවතෙකු වූ රුසියාවට එරෙහි මිලිටරි ආක්‍රමනය ප්‍රමුඛ කර ගත්තේ ය. පලමුවන ලෝක යුද්ධයෙන් සහ රුසියානු විප්ලවයෙන් ශත වර්ෂයක් ගිය තැන ධනේශ්වර ක්‍රමය දැන්, න්‍යෂ්ටික යුද්ධයක මුවවිට සැලෙමින් පවතී.

මෙයින් අවධාරනය කරන්නේ, ලෙනින් සමග රුසියානු විප්ලවයේ සමනායකයා වූ ද ස්ටැලින්ගේ ප්‍රතිවාදියා වූ ද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භකයා වූ ද ලියොන් ට්‍රොට්ස්කි විසින් මතු කරන ලද ධනවාදයට සහ ස්ටැලින්වාදයට ප්‍රති විරුද්ධ දේශපාලන විකල්පයේ සථිරසාර අර්ථභාරයයි. අද දින විප්ලවවාදී සමාජවාදී දේශපාලනයේ පදනම ලෙස පවතින්නේ, ස්ටැලින්වාදය විසින් ලෝක සමාජවාදී විප්ලවය ජාතිකවාදීව ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ට්‍රොට්ස්කි කලා වූ විවේචන ද ධනපති පන්තිය සහ එහි මධ්‍යම පන්තික සගයන් ට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම පිනිස ඔහු ගෙනගිය නිර්දය අරගලය ද වේ. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීම ට මග පෑදූ ස්ටැලින්වාදයේ අපරාධයන් ප්‍රතිබිම්බනය කලේ, මාක්ස්වාදය හා බොල්ශෙවික්වාදය නොව ස්ටැලින් විසින් සෝවියට් සංගමය තුල මාක්ස්වාදයේ සංවිධිත බලපෑම වනසා දැමීම බව ට්‍රොට්ස්කි පෙන්වා දුනි. එහෙත් මේ අපරාධ මගින් ඉටු කරගත නොහැකිවු දෙයක් විය. එනම් ලෝක සමාජවාදී විප්ලවයේ සහ 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ආරම්භවූ, කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගෙන සමාජවාදය ගොඩනගාගැනීමේ අරගලය අවසන් කිරිමයි.

මෙයට ප්‍රතිකූලව - අයිඑස්ඕ, ප්‍රන්ස එන්පීඒ සහ ඕස්ට්‍රේලියානු එස්ඒ යනාදී ට්‍රොට්ස්කිවාදයෙන් පලාගිය නා නා, භ්‍රෂ්ටයන් ගෙන් ආභාෂය ලත් හෙන්ස්මන් ද ඇය සමග හවුල් වූ පක්ෂ ද අධිරාජ්‍යවාදය සමග පොදු ඉරනමක් බෙදාගන්නෝ ය.

අයිඑස්ඕ සංවිධානය පැවත එන්නේ, සෝවියට් සංගමය වනාහී “නිලධාරිවාදී සාමූහිකවාදී” රාජ්‍යයක් යයි ප්‍රකාශ කොට 1939-40 ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරයෙන් භේද වූ මැක්ස් ෂැට්මන් ගෙනි. පසු කලෙක, සෝවියට් සංගමය වනාහි “රාජ්‍ය ධනවාදි සමාජයක්” යයි පහර දුන් බ්‍රිතාන්‍යයේ ටෝනි ක්ලිෆ් මෙන් ම, ෂැට්මන් ද තර්ක කලේ ට්‍රොට්ස්කි කී පරිදි සෝවියට් සංගමය පිරිහිනු කම්කරු රාජ්‍යයක් නොව, නව ධනේශ්වර පන්තියක් නිර්මානය කලා වු ඓතිහසික ගබ්සාවක් ය කියා ය. ෂැට්මන් මේ පදනමේ සිටිමින්, එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයට අනුගතවූ වෘත්තිය සමිති වලට යොමු වූ අතර ටෝනි ක්ලිෆ් යොමුවූයේ බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය හා බැඳුනු වෘත්තිය සමිති වලට ය.

සංගමය වනාහි “රාජ්‍ය ධනවාදී ප්‍රාථමික ධන සමුච්චයේ” තන්ත්‍රයක් යයි ක්ලිෆ් ගේ පොත උපුටා දක්වන හෙන්ස්මන්, පැබ්ලෝවාදී අච්චර් සහ කරාඞ්ජිස් හුවා දක්වමින්, ඔවුන්ගෙන් උපුටා දක්වන්නිය. මොවුන්ගේ පක්ෂ වන ප්‍රන්සයේ එන්.පී.ඒ සහ ඕස්ට්‍රේලියාවේ එස්ඒ වනාහි, 1953 දී ස්ටැලින්වාදී පක්ෂ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයන් ලෙස සේවය කරනු අතැයි කියාපාමින් ට්‍රොට්ස්කිවාදයෙන් සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් භේද වූ කොටස් වලින් පැවත එයි. සෝවියට් සංගමය පිලිබඳ මොවුන්ගේ තක්සේරුව කොයිතරම් විවිධාකාර වුව ද ඔවුහු එක් කාරනයකදී ඒකමතික වූහ. එනම් ස්ටැලින්වාදයට එරෙහි අරගලය තුලින් ඔක්තෝබර් විප්ලවයේ අඛන්ඩතාවය රැකීමට ලියොන් ට්‍රොට්ස්කි කලාවු අරගලයට ඔවුන් ගේ පවත්නා සතුරු බවයි.

මෙම අශුභවාදි, ප්‍රති ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදාය මත පදනම් වු හෙන්ස්මන්, තමන්ට පවත්නා එකම විකල්පය ඇමරිකා එක්සත් ජනපදය සහ එරට රුසියාවට එරෙහිව ගෙනයමින් සිටින යුද ව්‍යායාමය ආරක්ෂා කිරීම යයි නිගමනය කරයි. සෝවියට් සංගමය ද 20 වන සියවසේ චීනය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී රාජ්‍ය ද “රාජ්‍ය ධනවාදී යයි” හෙලාදක්නා මැය සමස්ත බොල්ශෙවික් නායකත්වයම “රුසියානු අධිරාජ්‍යවාදීන්” යයි හෙලා දකියි. හෙන්ස්මන් පින්තාරු කරන්නේ, ධනවාදයට දේශපාලන විකල්පයක් ලෝකයට නොමැති බවකි. හෙන්ස්මන් මෙසේ ලියයි:

සකල ක්ෂේත්‍රයකම වෙලඳ පොලේ භුමිකාවට පක්ෂපාති වූ ද, සියලුම දේ සහමුලින් ම පුද්ගලිකරනයට යොමු වූ ද, සමාජ ආරක්ෂනය සහ සුභ සාධනය පිනිස කෙරෙන රාජ්‍ය වියදම් වලට හා වෘත්තිය සමිති වලට එරෙහි වූ ද බටහිර නව ලිබරල් පිලිවෙත් - කම්කරු පන්තියට සතුරු බව සැබෑවකි. කෙසේ වෙතත් ඒ හා සමානව ම සත්‍ය කාරනයක් නම්, රාජ්‍ය ධනවාදී පාලන තන්ත්‍ර වේවා, පෙරකල රාජ්‍ය ධනවාදී පාලන තන්ත්‍ර වේවා, සමාජ රක්ෂනය හා සුභසාධනය සඳහා වන රාජ්‍ය වියදම් දරුනු ලෙස කපා දමන අතර, රාජ්‍යයෙන් ස්වාධීන වීමට තැත් කරන කම්කරු සමිති මෘග ලෙස පාගා දමති. ඒවා කුඩා පොහොසත් සුලුතරයක් සහ විශාල දුප්පත් බහුතරයක් අතර උග්‍රවන අසමානතාවකින් සංලක්ෂිත වෙති.

මේ අනුව තීරනාත්මක වෙනස වන්නේ කම්කරු ජනයාට, තමන් සූරාකන්නා වුද තමන් පීඩාවට ලක්කරන්නා වූ ද බලයන්ට එරෙහිව පෙරලා පහර දීමට ඉඩ දෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ද එවන් අරගලයන් විවිධාකාරයෙන් වලක්වාලන අධිකාරවාදී රාජ්‍යයන් ද අතර ය.. මේ අනුව, සූරාකෑමට ගොදුරු වු පීඩිත ජනයාට පෙරලා පහර දීම සඳහා ඉඩකඩ සකසා දීමට සටන් කරන අය “වාමාංශික” යයි වර්ග කිරීම ද එවන් අරගල කුඩු කොට දමමින් සහ / හෝ සමාජය තුල අධිකාරවාදි දෘෂ්ටිවාද සහ අසමානතාවය යන දෙකෙහි ම හෝ ඉන් එකක නියුතු අය “දක්ෂිනාංශික” යයි ද ගුනාන්ගකරනය කිරීම ද වඩාත් ඵලදායී වෙයි.

හෙන්ස්මන්ගේ ප්‍රතිගාමී විශ්ලේශනයේ ප්‍රතිපලය වටහා ගැනීම අපහසු නැත, කෙනෙකු ඇමරිකාව සහ යුරෝපය වනාහී පවත්නා සමාජ පර්යාය තුල ම කම්කරුවන්ට “පෙරලා පහර දිය හැකි රාජ්‍යයන්” ලෙස ද සිරියාව, ඉරානය, චීනය සහ රුසියාව “එවන් අරගල වලක්වන අධිකාරවාදි රාජ්‍යයන් ලෙස ද සාවද්‍යව සලකතොත්, එවිට තීරනාත්මක කර්තව්‍යය ලෙස ඉස්මතු වන්නේ දෙවනුකී වර්ගයේ රටවල් තුල ද ඇමරිකාව තුල පවත්නා තත්වය හා සමාන තත්වයන් පිහිටුවා ලීම වේ. එවිට හෙන්ස්මන් ට සිරියාවේ ද ඉන් ඔබ්බට ද තන්ත්‍රමාරු යුද්ධ විමුක්තිදායක යුද්ධ ලෙස හුවා දැක්වීම ට ව්‍යාජයක් ලැබේ.

අධිරාජ්‍යවාදය සහ ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී නිලධරය යන දෙකටම එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයක් කල යුතු යයි ට්‍රොට්ස්කි කල අවධාරනය හෙන්ස්මන් ඉවත දමන්නේ එ ගැන සඳහනක් පවා නොකොට ය. අධිරාජ්‍යවාදයට එරෙහිව සෝවියට් සංගමය ආරක්ෂා කිරීම කෙලින්ම ප්‍රතික්ෂේප කරන හෙන්ස්මන් මෙසේ ලියයි, “දක්ෂිනාංශිකවීම” පුද්ගලික ධනවාදයට සහාය දීමක් පෙන්නුම් කරන අතර “වාමාංශිකවීම” රාජ්‍ය ධනවාදයට හෝ රාජ්‍ය ආධාරිත කතිපයාධිපාත්‍යයට සහාය දීමක් පෙන්නුම් කරන්නේය යන්න අතිශයින්ම ම සාවද්‍ය ය.” හෙන්ස්මන් මෙසේද එකතු කරයි. “පෙරලා හැරී බලන කල්හි, පැහැදිලි වන්නේ සීතල යුද්ධය වනාහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ රුසියානු අධිරාජ්‍යවාදය අතර උග්‍ර ප්‍රතිරෝධයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් බවය.”

ධනේශ්වර දේපල ක්‍රමය අහෝසිකර තිබුනු සෝවියට් සංගමය ට එරෙහිව ද අධිරාජ්‍යවාදය විසින් කොල්ල කෑමට භාජනය කලා වූ ද දැනටත් කොල්ලකමින් පවත්නා වූ ද රටවල් වලට එරෙහි අධිරාජ්‍යවාදී තර්ජන වලට හා කුමන්ත්‍රන වලට හෙන්ස්මන් පක්ෂ ය.

මෙය රුසියාව, ඉරානය සහ චීනය වනාහි අධිරාජ්‍යවාදි බලවතුන් යැයි අයිඑස්ඕ සංවිධානයට අයත් සුලු ධනේශ්වර ස්ථරය විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයන් ජාත්‍යන්තර කමිටුව විසින් නිශ්ප්‍රභා කිරීමේ නිවැරදි බව අවධාරනය කරයි.

චීනය සහ රුසියාව “අධිරාජ්‍යවාදීය” යන නිර්වචනය සේවය කරන්නේ කුමකට ද යන්න අවශ්‍යයෙන්ම ඇසිය යුතු වූ දේශපාලන ප්‍රශ්නයකි. ප්‍රායෝගික දේශපාලනයේ දී එය ඉෂ්ට කරන්නේ ඉතා නිශ්චිත කර්තව්‍යයකි. ප්‍රථමයෙන්ම මෙය ඇමරිකානු, යුරෝපීය සහ ජපන් අධිරාජ්‍යවාදයේ මධ්‍ය හා තීරනාත්මක ගෝලීය ප්‍රතිවිප්ලවවාදි භූමිකාව සාපේක්ෂකරනයට භාජනය කරයි. මෙය රුසියාවේ පිටුබලය ලබන සිරියාව වැනි රටවල එක්සත් ජනපද තන්ත්‍ර මාරු ආක්‍රමනයන්හි දී එක්සත් ජනපදයට සහය පිදීමට ව්‍යාජ වමට ඉඩ සලසයි. දෙවනුව, වඩාත් වැදගත් වන්නේ, චීනය සහ රුසියාව අධිරාජ්‍යවාදීය යන නිර්වචනය - එ රටවල් යටත් විජිත හිමි බලවතුන් ලෙස සිටිමින්, ජන වර්ගික, ජාතික භාෂාමය සහ ආගමික සුලුතරයන් මැඩගෙන ඉන්නා බව කියා පාමින් ඒවාට විරුද්ධ අධිරාජ්‍යවාදී සහය ලත් “ජාතික විමුක්ති” හා “වර්න විප්ලව” කැරලි වලට ව්‍යාජ වමේ සහාය ලබාදීමට ඉඩ සලසා දෙයි.

හෙන්ස්මන් ද අයිඑස්ඕ සංවිධානය ද පිලිගැනීමට සූදානම් වුවත් නැතත් ඔවුන් දැඩි සේ දෙපයින්ම හිටගෙන ඉන්නේ අධිරාජ්‍යවාදි හා ධනවාදි ප්‍රතිගාමිත්වයේ කඳවුරේ ය.

හෙන්ස්මන්ගේ පොත මගහරින දේ අතර කැපී පෙනෙන එකක් නම් ඇමරිකා එක්සත් ජනපදය මෙහෙයවන යුද්ධ සහ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සිද්ධ කල අල් ඛයිඩා ත්‍රස්ත ජාලය ද අතර පවත්නා සමීප සම්බන්ධය වේ. පෙන්ටගනයේ 2012 ප්‍රකාශයන් ගෙන් පසු ව, එක්සත් ජනපදය -අල් ඛයිඩා සිරියාවේ පවත්වාගෙන යනු ලබන සන්ධානය ප්‍රසිද්ධ වාර්තාගත කරුනක් බවට පත්ව තිබේ. මෙම සන්ධානය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මානවහිතවාදී රඟපෑම්වල රැවටිලිකාරි ස්වභාවය විශේෂයෙන් ම එලිදරව් කරයි. කෙසේ වෙතත් එය සීතල යුද්ධ අවධිය තෙක් ඇදී තිබේ.

1978 දී සෝවියට් ආධාර ලත් ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය (පීඩීපීඒ) බලය ගත් පසු, පෙන්ටගනය ඉස්ලාමිය විපක්ෂයට අවි සැපැයීම ආරම්භ කලේ ය. වියට්නාමයේ ලත් පරාජයෙන් හෙල්ලුම් කා සිටි එක්සත් ජනපද නිලධාරිහු, “වියට්නාම් වර්ගයේ වගුරක් තුලට අෆ්ඝනිස්ථානයේ දී ‘සෝවියට් පාලනය ඇද දැමීමේ පිලිවෙතක්’ සකස් කර ගත්තෝ ය. මෙය සීඅයිඒ නිලධාරි රොබට් ගේට්ස්, (ෆ්‍රොම්ද ෂැඩෝස්) ‘සෙවනැලි අතරින්’ යන නම දැරූ ඔහුගේ 1996 කෘතියේ ලියා තැබීය. “1979 දෙසැම්බරයේදී ක්‍රෙම්ලිනය, ඇෆ්ඝන් ග්‍රාමිය ප්‍රභුව සමග සම්බන්ධකම් තහවුරු කොට කාබුල් නුවර පීඩීපීඒ පාලනය ස්ථාවර කිරීමේ ප්‍රතිගාමී ප්‍රයත්නය සඳහා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමනය කල අවස්ථාවෙ දී වොෂින්ටනය, සෝවියට් හමුදාවේ ලේ ගලාගිය යුද පිටියක් බවට ඇෆ්ගනිස්ථානය හරවාගත්තේ ය.”

මෙම පිලිවෙත ක්‍රියාත්මක කිරිමේ දී ලෝකය පුරා දහස් ගනන් ඉස්ලාමික සටන් කරුවන් බන්දවා දෙමින්, සීඅයිඒ සංවිධානයේ ප්‍රමුඛ සගයෙක් වූයේ ඔසාමා බින් ලාඩන් නමැති තරුන සෞදි බිලියනපතියා ය. ඔහු අනාගතයේදී අල් කයිඩාවේ නායකයා වීමට නියමිත විය. ඇෆ්ඝනිස්ථනයේ එක්සත් ජනපද පිලිවෙත අනුමත කරන හෙන්ස්මන් අල් කයිඩාව සමග එක්සත් ජනපදය තනාගත් සන්ධානය පිලිබඳව නිශ්ශබ්ද වන අතර, එය සෝවියට් අධිරාජ්‍යවාදයට එරෙහි විමුක්ති අරගලයක කොටසක් යයි කියයි.

හෙන්ස්මන් මෙසේ ලියයි, “රුසියනු හමුදාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමනය කොට අල්ලා ගත් 1978 පටන්, පීඩීපීඒ සංවිධානයේ බල කොල්ලය ට එරෙහිව ගෝත්‍රික කැරලි පැනනැග, 1979 දෙසැම්බර් වන විට මහා පරිමාන නැගිටීමක් දක්වා වර්ධනය විය. ඉක්බිති ආ යුද මෙහෙයුම වියට්නාමයේ සිවිල් වැසියන්ට එක්සත් ජනපද යුද මෙහෙයුමෙන් උදාකල මුර්ගත්වයට සමාන විය. යුද්ධය හිරවී ඇනහිටින තත්වයක් තුල 1980 ගනන් මැද්දෑවේ, ඒවනවිටත් ඉස්ලාමික මුජහිද්දීන් භටයන්ට සහය දෙමින් සිටි රීගන්, ඔවුන්ට ගුවන් යානාහාරක ස්ටින්ගර් මිසයිල ලබා දුන්නේ ය. මෙම අවි රුසියානුන්ට එරෙහිව යුද රැල්ල හරවා යැවීය.”

හෙන්ස්මන් සෝවියට්-ඇෆ්ඝන් යුද්ධයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ භුමිකාව ආරක්ෂා කිරීම ද සීඅයිඒ සහාය ලත් ඉස්ලාමික ත්‍රස්ත ජාල පිලිබඳව මැය දක්වන නිශ්ශබ්දතාවය ද ප්‍රතිගාමී ය. හෙන්ස්මන් 1979-1992 ඇෆ්ඝනිස්ථාන යුද්ධයේදී මෙන්ම දැන් සිරියාවේ දී ද සීඅයිඒ සංවිධානය ඉස්ලාම්වාදින් ලවා කරගෙන යනු ලබන කුලීකාර (ප්‍රොක්සි) යුද්ධ වල ලේවැකි ස්වභාවය වසන් කරයි, හෙන්ස්මන් එය ප්‍රජාතන්ත්‍ර විප්ලවයක් යයි හුවා දක්වයි.

මතු සම්බන්ධයි

Share this article: