ආන්ඩුව නීතිය අවභාවිතයට ලක් කිරීම සහ ලේඛක කුසල් පෙරේරා අත්අඩංගුවට ගැනීමේ තර්ජනය

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ජුනි 18

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව දේශපාලන හා බෞද්ධ සංස්තාපිතයේ උවමනාකම් අනුව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පිලිබඳ පනත (අයිසීසිපීආර් පනත) මර්දන නීතියක් බවට පත්කරගෙන ඇත.

එජා ප්‍රඥප්තිය සලකනු ලබන්නේ ජනවාර්ගික හා ආගමික වෛරය පැතිරවීමට එරෙහිව සීමිත නීති ප්‍රතිපදානයක් බවයි. ලංකාවේ එය යොදා ගනිමින් පවතින්නේ, ජනවාර්ගික හා ආගමික වෛරය පතුරුවීම විවේචනයකරනවුන් වෙතොත් ඔවුන් දඬු ගැසීමටයි.

අයිසීසිපීආර් පනත අවභාවිතය පිලිබඳ ආසන්නතම සිද්ධිය වන්නේ පුවත්පත් කලාවේදියෙකු වන කුසල් පෙරේරා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලීසිය උත්සාහ කිරීමයි.

ඬේලි මිරර් පත්‍රයට ඔහු විසින් මැයි17 වෙනි දින ”From Islamic terrorism to marauding Sinhala Buddhist violence" (ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකෑමේ සිංහල බෞද්ධ ප්‍රචන්ඩත්වය) මැයින් ලියන ලද ලිපිය පිලිබඳ පැමිනිල්ල ගැන පරීක්ෂන පැවැත්වීමට හා පෙරේරා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසියේ සංවිධානාත්මක අපරාධ පිලිබඳ අංශය පසුගිය සිකුරාදා කොලඹ මහේස්ත්‍රාත් උසාවියෙන් ඉල්ලා සිටියේ ය.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මුදා හැරුනු මුස්ලිම් ජනයාට එරෙහි වර්ගාවාදී උසිගැන්වීම් සහ ඔවුන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන් වලක්වා ගැනීමට අසමත්වීම ගැන පෙරේරා තම ලිපියෙන් ආන්ඩුව “විවේචනය”‍ කර තිබුනි.

ඔහුගේ ලිපි “ආගමික සතුරුකම අවුලවන” බව පොලීසිය අධිකරනයට ප්‍රකාශ කලේ ය. මාධ්‍ය වාර්තාවලට අනුව පෙරේරාට විරුද්ධව පොලීසියට පැමිනිලි කර ඇත්තේ විශ්‍රාමික ගුවන් හමුදා වයිස් මාෂල් ඒ.බි. සෝසා විසිනි.

තමන් අත්අඩංගුවට ගැනීම වැලක්වීමට සිරිසේන ඍජුව මැදිහත් වූ බව පෙරේරා විසින් පසුව නිකුත් කර ඇති ට්විටර් පනිවුඩයක සඳහන් කර ඇත. එහි මෙසේ සටහන් කර ඇත: “පැයකට පමන පෙර මට කතාකල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවට සහතික වූ අතර නීතිපතිට පැමිනිල්ල ගැන සඳහන් කර ඔහුගෙන් උපදෙස් ගන්නා ලෙස වැඩබලන පොලිස්තිට උපදෙස් දී තිබුනි.”‍

සිරිසේනගේ “සහතිකය”‍ තිබියදීම පෙරේරා අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම සිදු නොවෙතැයි සහතිකයක් නැත. ඔහුට විරුද්ධ පොලිසියේ දඩයක්කාරී උත්සාහය පෙන්නුම් කරන්නේ බොරු නඩු ගොතා විරුද්ධවාදියෙකැයි තීන්දුකරන අයකුට එරෙහිව දඩයම උසිගැන්වීමට ආන්ඩුව හා ආරක්ෂක අංශ සූදානම් බවයි. පෙරේරා අත්අඩංගුවට ගැනීමේ තැත අපි හෙලා දකිමු.

එහෙත්, පෙරේරාගේ දේශපාලනය සමග සමාජවාදී සමානතා පක්ෂයට හෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කිසිදු සම්මුතියක් නැත. දේශපාලන සන්ස්තාපිතයේ සමීපතමයෙක් වන පෙරේරා “‍නිදහස්”‍ මාධ්‍යවේදියෙක් ලෙස පෙනී සිටී. සිරිසේන බලයට ගෙන ඒමට හා ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සලසන්නක් ලෙස හැඳින්වූ එක ලියුම් කරුවෙකි ඔහු. පසුව ඔහු එහි විවේචකයෙක් ලෙස ද පෙනී සිටි.

තම විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට හා එහි කොටසක් ලෙස භාෂනයේ නිදහසට එරෙහිව අයිසීසීපීආර් පනත ධනපති ආන්ඩුව සහ සිංහල බෞද්ධ අන්තවාදී ප්‍රතිගාමී බලවේග විසින් පුලු‍ල්ව යොදාගැනීමට පටන් ගෙන ඇත. ඒ යටතේ අත්අඩංගුවට ගන්නා තැනැත්තෙකුට ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් උසාවියට නැති අතර පනතට අනුව වරද කරුවෙකු වන්නෙකුට බරපතල වැඩ සහිත දස අවුරුදු සිර දඬුවමක් නියම කල හැකිය.

මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර උක්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කිසිදු චෝදනාවක් ගොනු නොකර ය. මෙතක් පොල්ගහවෙල මහේස්ත්‍රාත් පොලීසියේ ඉල්ලීම පිට ඔහු සති දෙකෙන් දෙකට රක්ෂිත බන්ධනාගාර ගතකිරීම සිදුකරයි. නඩුව ඉදිරිපත්වූ අද දින ඔහු තවත් සතියකට බන්ධනාගාර ගත කෙරුනේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙකු සිටි නිසාය.

අප්‍රේල් 1 වෙනිදා සත්කුමාර අත්අඩංගුවට ගත්තේ ඔහු තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නම් කෙටි කථාවක් මගින් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන බවට පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මන්ඩලයේ මාන්කඩවල සුමන නම් භික්ෂුවක් විසින් කරනු ලද අභූත පැමිනිල්ලක් මත ය.

ඊට පෙරාතුව මාලක දේවප්‍රිය නාට්‍ය රචකයාගේ “කනට පාරක් ” නම් ගුවන්විදුලි වැඩසටහනට විරුද්ධව නඩු පවරා ඇත්තේද අඟු‍‍ලු‍‍ගල්ලේ සිරි ජිනානන්ද නම් භික්ෂුවකගේ පැමිනිල්ලක් මතය. ආන්ඩුව සහ පොලීසිය වැඩ කරන්නේ මෙම සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ උවමනාකම් වලට අනුවය.

අයිසීසීපීආර් පනත ආගමික විවේචකයන් සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදා ගැනීම සම්බන්ධයෙන් විවිධ සිවිල් සංවිධාන විසින් විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලං කා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කල ප්‍රකාශයක දී අයිසීසීපීආර් පනත යටතේ නීතිමය පියවර ගැනීමට උත්සාහ කිරීම දැඩි ලෙස හෙලා දැක තිබේ. ”‍අයිසීසීපීආර් පනතේ වගන්ති යටතේ නීතිමය පියවර ගැනීමට උත්සාහ කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිලෙස හෙලා දකින අතර අසාධාරන ලෙස නීතිය යොදා ගැනීමෙන් වල කින ලෙස සියලු‍ම වගකිව යුතු පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටිමු”‍ යි එහි සඳහන් වෙයි. එසේ වුවද, ”‍සියලු‍ම වගකිව යුතු පාර්ශවයන්”‍ එනම් ආන්ඩුව, පොලීසිය, ආරක්ෂක හමුදා සහ සිංහල බෞද්ධ ප්‍රතිගාමී බලවේග ඉන් වලකිනනු ඇතැයි සිතීම හා ඊට ආයාචනය කර විසඳුම් සෙවීම බරපතල මුලාවකි.

ආන්ඩුව ප්‍රතිගාමී බලවේගවල සහයෝගය සහිතව භාෂනයේ නිදහසට එල්ල කරන දුෂ්ට ප්‍රහාරය ජාත්‍යන්තරව ම ධනපති පාලක පන්තීන් විසින් මුදා හැර ඇති ප්‍රහාරයක කොටසකි. විකීලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් සහ චෙල්සි මෑනින් යන මාධ්‍යවේදීන්ට විරුද්ධව ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් විසින් දිගේලි කර ඇති දඩයක්කාරී ව්‍යාපාරය එහි කුලු‍ගැන්වීමකි. ඔවුන් චුදිතයන් බවට පත්ව ඇත්තේ එක්සත් ජනපදයේ රුදුරු යුද අපරාධ එලිදරව් කිරීම නිසාවෙනි.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වලට එරෙහි වාරනය මෙම ප්‍රහාරයේම කොටසකි. විටින්විට සමාජ මාධ්‍ය තහන්චි පැනවූ ලංකාවේ ආන්ඩුව ඊනියා ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශ වැලැක්වීමේ නමින් දන්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා පස් අවුරුදු සිර දඬුවමක් හෝ රුපියල් දශ ලක්ෂයක් දක්වා දඩයක් හෝ ඒ දෙකම පැනවීමට නීති සකසමින් සිටී. ජුනි 4 දා කැබිනට් මන්ඩලය ඒ සඳහා අධිකරන අමාත්‍යංශයට අනුමැතිය දී ඇත. ලංකාවේ පාලක පන්තියේ සෑම කොටසක්ම පොලිස් රාජ්‍යක් වෙතට ගමන් කරමින් සිටී.

Share this article: