ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2019 ජූනි 24

ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙරෙන ප්‍රහාරය වඩාත් ඉහල මට්ටමකට ඔසවමින් ශ්‍රී ලංකාවේ ආන්ඩුව ප්‍රමුඛ පාලක පන්තිය, කලාවට, කලාකරුවන්ට හා ප්‍රකාශනයේ නිදහසට එරෙහි මර්දනය උත්සන්නියකට නංවා තිබේ.

සම්මානලාභී, තරුන ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නමැති කෙටි කථාවක් හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටීම එම මර්දනයෙහි බලගතු ප්‍රකාශනයකි.

සත්කුමාර ගේ කෙටි කථාවෙන් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි පවසමින් පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මන්ඩලයේ මාංකඩවල සුමන නම් භික්ෂුවක් විසින් කරන ලද ව්‍යාජ පැමිනිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ පොල්ගහවෙල පොලීසියපසුගිය අප්‍රේල් 01 දින සත්කුමාර අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කලේය. එය දුන් නියෝගයක් මත, සත්කුමාර මෙලෙස රඳවා සිටින්නේ ඇප ලබාදීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කරමිනි.

“අර්ධ” කෙටිකතාව තුල තරුන භික්ෂුවක් පන්සලේ නායක භික්ෂුවගේ ලිංගික අඩත්තේට්ටම් වලට ලක්වෙන සිදුවීමක් ගැන ඉඟි කෙරෙන අතර එවැනි සිදුවීම් යථාර්ථයකි. තැනෙක කථාවේ චරිතයක් හරහා බෞද්ධ සාහිත්‍යයේ එන “සිද්ධාර්ථ” ගේ චරිතය පිලිබඳ විකල්ප කියවීමක් ද ඉදිරිපත් කෙරේ.

එවන් පරිකල්පනයන් කෙටිකතාවක් තුල අන්තර්ගතවීම අරභයා කලා කෘතියට අමතරව ලේඛකයාට නීතියෙන් දැඩි දඬුවම් පැමිනවීම සඳහා පියවර ගැනීම භාෂනය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සහ කලාවේ නිදහසට එරෙහි බලගතු ප්‍රහාරයකි.

ආන්ඩුව ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය, පොලීසිය, අධිකරනය සහ බෞද්ධ සංස්ථාපිතය එක්ව, ව්‍යාජ-වමේ සහ ධනපති මාධ්‍යයන්හි පූර්න පිටුබලය සහිතව ගෙනයන මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) එකහෙලා විරුද්ධ වෙයි.

මෙම ප්‍රහාරයට එරෙහිව, රැස්වීම්, උද්ඝෝෂන, පෙලපාලි හා ප්‍රසිද්ධ සමුලු පවත්වමින් සත්කුමාර නිදහස් කර ගැනීමේ අරගලය සඳහා ඉදිරියට පැමිනෙන ලෙස කලාවේ සහ භාෂනයේ නිදහසට කැපවන සියලු කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සසප සහ සසජාතශි ඉල්ලා සිටී.

සත්කුමාර නිදහස්කර ගැනීම සඳහා එවන් සාමූහික සහ මූලධර්මාත්මක මෙන්ම බලගතු අරගලයක් අවශ්‍ය වනුයේ සමස්ත ධනේශ්වර සංස්ථාපිතයම මෙහිදී ඔහුට එරෙහිව පෙලගැසී සිටින බැවිනි.

පොලීසිය ලේඛකයාට එරෙහිව සාවද්‍ය චෝදනා ගොනුකොට ඇත්තේ, ඔහුට ඇප ලබාගැනීම දුෂ්කර වන සේ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (අයිසීසීපීආර්) 3(1) යටතේ එන නීතියක් වන ශ්‍රී ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291(ආ) යටතේ ය.

ඉහත කී නීති යටතේ පියවර ගන්නා ලෙස පොලීසියට “උපදෙස්” දෙනු ලැබුවේ බෞද්ධ අන්තවාදී නඩ විසිනි. “බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ” අඟුලුගල්ලේ සිරි ජිනානන්ද සහ සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන “සිංහලේ” හි මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක යන භික්ෂූහු, පෙබරවාරි 25 දා පොලිස්පති හමුවී සත්කුමාරට එරෙහිව ඉහත කී නීති යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

මෑතකදී කලාකරුවන්ට සහ කලා නිර්මානයන්ට එරෙහිව බෞද්ධ සංස්ථාපිතය මැදිහත් වූ පලමු අවස්ථාව මෙය නොවේ. පසුගිය අගෝස්තුවේදී පොලිස්පති හමුවූ ඉහත සඳහන් සිරි ජිනානන්ද භික්ෂුව, මාලක දේවප්‍රියගේ “කනට පාරක්” නම් ගුවන් විදුලි නාට්‍ය මාලාව මගින් “බුදු දහමට අපහාස වෙතැයි” පැමිනිලි කොට ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

මාර්තු 3 දා, පොල්ගහවෙල ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මන්ඩලය හා “බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුන” යන අන්තවාදී බෞද්ධ නඩ විසින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් වෙත යැවූ මාධ්‍ය නිවේදනයකින්, “බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රනකාරී ලේඛන කලාවක නිරත” වන සත්කුමාර වැනි “විකෘති පුද්ගලයන්ගේ නිර්මාන, විචාර හෝ ලිපි පල කිරීමට ඉදිරියේදී ඔබ මාධ්‍යයෙන් ඉඩක් ලබා නොදෙන ලෙස” ඉල්ලා තිබුනි.

අයිසීසීපීආර්හි 3 වන වගන්තිය යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්විට ඇප නියම කල හැක්කේ ඉහල උසාවිය වන මහ අධිකරනයට පමනක් වන අතර, එය ද සුවිශේෂී තත්ත්වයන් යටතේ හා කාලය කා දමන පටිපාටියක් ඔස්සේය. මෙම නීතිය යටතේ වරදකාරී යයි නිගමනය කලහොත් පුද්ගලයෙකුට වසර දහයකට නො වැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඬුවම් පැමිනවිය හැක.

සත්කුමාරට එරෙහි ව මෙම නීතිය භාවිතා කිරීම මගින් පොලීසිය හා බෞද්ධ අන්තවාදීන් ඔහු ව ආන්තික දඬුවම් කිරීමකට යටත් කිරීමටත් ඒ හරහා සියලු කලා නිර්මාපකයන් හා විකල්ප ලෙස ලියන ලේ0151ඛකයන් බිය වැද්දවීමටත් ක්‍රියා කර ඇත.

සත්කුමාර තම නිර්මානය හරහා කිසිදු නීතියක් උල්ලංඝනය කර නැති බවට ඔහුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද පැහැදිලි නීතිමය සැලකිරීම් කිසිවක් පිලි නොගත් අධිකරනය ඔහු නිදහස් කිරීම හෝ ඔහුට ඇප ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී.

“ඉගිල්ලෙන මාලුවෝ”, “උසාවිය නිහඬයි”, “අක්ෂරය” වැනි සිනමාපට මෙන්ම “මේරි නම් වූ මරියා”, “බුදුන්ගේ රස්තියාදුව” වැනි කෘති ඇතුලු කලා නිර්මාන රැසක් පාලක පන්තියේ දඬු අඬුවට අසුකල මෑත ඉතිහාසය තුල භාෂනයේ නිදහසට එල්ල කෙරෙන මෙම නව ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලාකරුවන්ට එරෙහිව පමනක් නොවේ.

මේ පිලිබඳ ආසන්නතම සිද්ධිය වන්නේ පුවත්පත් කලාවේදියෙකු වන කුසල් පෙරේරා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලීසිය උත්සාහ කිරීමයි.

මැයි 17 වෙනි දින ඬේලි මිරර් පුවත් පතට “From Islamic terrorism to marauding Sinhala Buddhist violence” (ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකෑමේ සිංහල බෞද්ධ ප්‍රචන්ඩත්වය) යන මැයින් පෙරේරා විසින් ලියන ලද ලිපිය පිලිබඳව පරීක්ෂන පැවැත්වීමට හා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසියේ සංවිධානාත්මක අපරාධ පිලිබඳ අංශය පසුගිය සිකුරාදා කොලඹ මහේස්ත්‍රාත් උසාවියෙන් ඉල්ලා සිටියේ ය.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මුදා හැරුනු මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී උසිගැන්වීම් සහ ඔවුන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන් වලක්වා ගැනීමට අසමත්වීම ගැන පෙරේරා තම ලිපියෙන් ආන්ඩුව “විවේචනය” කර තිබුනි.

1948 දී පාලනය භාරගත් දා සිටම කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කල කොලඹ ධනපති පාලක පන්තිය, 1948 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කල අතර, 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කලේය. එයින් නොනැවතුනු ඔවුහු, 1972 පලමු ජනරජ ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කොට බෞද්ධ සංස්ථාපිතයට විශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබා දුන්හ.

දෙමල සුලු ජාතියට එරෙහිව කොලඹ පාලක පන්තිය දියත් කල තිස් අවුරුදු යුද්ධයට සමගාමීව උත්සන්නියට නංවන ලද සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය හේතුවෙන් සමාජයේ සෑම ක්ෂේත්‍රයකම තම අධිකාරිත්වය තහවුරු කර ගැනීමට බෞද්ධ සංස්ථාපිතය ට හැකිවිය.

යුද්ධය හමාරවීමෙන් පසු, විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, රටේ මුස්ලිම් සුලුතර ජන කොටසට එරෙහිව පාලක පන්තිය විසින් මුදාහැර ඇති ප්‍රචන්ඩත්වයේ මුදුනත ලැග සිටින්නේ සහ කලාවේ නිදහසට එරෙහිව අවි අමෝරා සිටින්නේ ධනපති පාලකයන් විසින් හදා වඩා පෙරට ගත් බෞද්ධ අන්තවාදී නඩයන් ය.

කිසිදු චෝදනා ගොනුකිරීමක් තොරව තෙමසකට අධික කාලයක් සත්කුමාර සිරගතකර සිටින අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තමා සතු විධායක බලය ක්‍රියාවට දමමින්, අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ නායකයා වන ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සමාව දී බන්ධනාගාරයෙන් මුදා හලේ අධිකරනයට අපහාස කිරීමේ වරද යටතේ ඔහු විඳිමින් සිටි සය වසරක සිර දඬුවමින් අඩුතරමින් වසරකවත් දඬුවම් කාලයක් ගෙවා නොතිබිය දීය.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව ලංකාව තුල එල්ල කෙරෙමින් පවත්නා මෙම ප්‍රහාරය සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව මෙම කලාපය පුරා සහ ජාත්‍යන්තර පරිමානව එල්ල කෙරෙමින් පවත්නා ප්‍රහාරයක කොටසකි.

උතුරු ඉන්දියාවේ චිත්‍රපටි අධ්‍යක්ෂිකා චේතනා තීර්තහල්ලී, සහ ලේඛකයෙකු වන හූචාංගි ප්‍රසාද්, ලේඛකයෙකු වන කේ. එස්. භගවාන් හින්දු ස්වෝත්තමවාදීන්ගේ පහර කෑමට ලක් වූ අතර කර්නාටක ප්‍රාන්තයේ කන්නඩා විශ්ව විද්‍යාලයේ උපකුලපති වූත් ශාස්ත්‍රීය පොත් සිය ගනනක කතුවරයෙකු වූත් එම්.එම්. කාල්බෝග්, අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) මැරයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ලොවපුරා සිදුකල යුද අපරාධ සහ තන්ත්‍ර මාරු කුමන්ත්‍රන හෙලිදරව් කිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පෝරකයේ එල්ලීමට ඇමරිකානු, බි්‍රතාන්‍ය සහ ඕස්ටේ්‍රලියානු අධිරාජ්‍යවාදීන් දරන රුදුරු ප්‍රයත්නය, භාෂනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන මෙම ජාත්‍යන්තර ප්‍රහාරයේ ඉහලම තුඩයි.

ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ සහ ඔත්තු බැලීම් හෙලි කල එරට මාධ්‍ය ආයතන වලට සහ ප්‍රන්ස අධිරාජ්‍යවාදීන් යේමනය තුල සිදු කල යුද අපරාධ හෙලිකල ප්‍රන්ස මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරෙන පොලිස් කඩාපැනීම් ද මෙම ජාත්‍යන්තර ප්‍රපංචයට අයත් වෙයි.

ධනේශ්වර පද්ධතියට එරෙහිව ලොව පුරා වැඩෙන සමාජ විරෝධය කෙරෙහි පාලක ප්‍රභූව ප්‍රතිචාර දක්වන්නේ ෆැසිස්ට් පන්නයේ හා අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමෙන්, අන් කවරදාටත් වඩා විවෘත ලෙස පොලිස් රාජ්‍ය පියවර ගැනීමෙන් සහ සිය යුද සූදානම උත්සන්න කිරීමෙනි.

කම්කරුවන්, තරුනයින්, කලාකරුවන් සහ බුද්ධිමතුන් බිය ගැන්වීමේ සහ මහජනතාව දේශපාලනිකව මර්දනය කිරීමේ පූර්විකාවන් ලෙස ඔවුහු අසාන්ජ් සහ සත්කුමාර වැන්නෝ දඩයම් කරති.

මෙලෙස දඩයමට ලක්ව සිටින මාධ්‍යවේදීන් සහ කලාකරුවන් සම්බන්ධයෙන් යම් සංවිධානයක් ගන්නා ආකල්පය එම සංවිධානයෙහි පන්ති ආස්ථානය පිලිබිඹු කරයි.

ලොවපුරා ව්‍යාජ-වාම සංවිධාන එක්කෝ අසාන්ජ් ට එරෙහි දඩයමේදී අධිරාජ්‍යවාදීන් සමග ඝෘජුවම පෙල ගැසෙති. නැතහොත් මුනිවත රකිමින් වක්‍රව සහාය දෙති. සත්කුමාර සම්බන්ධයෙන් ලංකාවේ ව්‍යාජ-වමේ ප්‍රතිචාරය ද එයට වෙනස් නොවේ. ව්‍යාජ-වම එවන් ප්‍රතිගාමී ආකල්පයක් ගනු ලබන්නේ ධනේශ්වර පද්ධතියට තදින් බැඳුනු ඉහල මධ්‍යම පන්තිය මත එය පාදක වන බැවිනි.

කලාවේ නිදහස ඇතුලු සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම ආරක්ෂා කල හැක්කේ එම අයිතීන් වලට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය හා පන්ති සමාජයද, ධනපති රාජ්‍යය හා එහි ප්‍රතිගාමී මර්දක නීතිද අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමෙන් පමනි.

ලොව සියලු ආන්ඩුවලට සහ ඒවා පාලනය කරන මහා සංගතයන්ට වඩා ඓතිහාසික වශයෙන් බලගතු වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ධනපති පන්ති පාලනයට සෘජුව හෝ වක්‍රව සහයෝගී සියලු සංවිධානවලින් ස්වාධීනවූ, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම හදිසි කර්තව්‍යය බවට පත්ව ඇත.

කලාකරුවන්ගෙන්, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා ප්‍රගතිශීලි බුද්ධිමතුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, ලේඛක සත්කුමාරගේ නිදහස සහ ඉහත අරමුනු සාක්ෂාත් කිරීම සඳහා, රැස්වීම්, උද්ඝෝෂන, පෙලපාලි හා ප්‍රසිද්ධ සමුලු සංවිධානය කිරීම පිනිස, ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් පෙරට එන ලෙසයි.

මෙහි කොටසක් ලෙස, තම කලා නිර්මාන සඳහා වන නිදහස මෙන්න අනෙකුත් අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සටන්වදින ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට වහා ආරම්භකත්වය ගන්නා ලෙස කලා ක්ෂේත්‍රයේ නිරතව සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

Share this article: