ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයේ දී ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදියෝ බලගතු සහායක් දිනාගනිති

Sri Lankan Trotskyists win strong support for Julian Assange and Chelsea Manning

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජුනි 07

ජුනි 3දා චෙල්සි මෑනින් සහ ජුලියන් අසාන්ජ් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයක යෙදුනු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජිකයෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අතරින් බලගතු සහායක් දිනා ගත් හ. කොලඹ නගරාසන්නයේ පිහිටි මෙම විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශාලතම තෘතීයික අධ්‍යාපන ආයතන අතරින් එකකි.

සසප හා සසජාතශි සාමාජිකයන් හා ආධාරකරුවන් “අසාන්ජ් හා මෑනිං නිදහස් කරගැනීමේ ජාත්‍යන්තර අරගලයට එක්වන්න” යන ලිපියේ පිටපත් සිය ගනනක් බෙදා හරිමින් ශිෂ්‍යයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමග සජීවී සාකච්ඡාවල නිරත විය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි උපුටා දැක්වූ උද්ඝෝෂකයෝ, කතා කිරීමේ නිදහස ස්ථීරසාර ව ආරක්ෂා කර ඇති මෑනිං, අසාන්ජ්ට විරුද්ධ ව එක්සත් ජනපද ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් යලිත් සිරගත කර ඇති බව ශිෂ්‍යයන්ට විස්තර කල හ.

අප්‍රේල් 11දා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටිය දී බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අල්ලා ගත් අසාන්ජ්, ඇප කොන්දේසි බිඳීමේ ව්‍යාජ චෝදනා මත බෙල්මාෂ් බන්ධනාගාරයේ සති 50කට සිරගත කර ඇති අතර මෑත දී බන්ධනාගාර රෝහලට ඇතුලු කරනු ලැබී ය. ඔහු එක්සත් ජනපදයට උදර්පනය කර ගැනීමට අපේක්ෂා කරන ට්‍රම්ප් පරිපාලනය, ඔත්තු බැලීම පිලිබඳ බොරු චෝදනා 17ක් ඔහුට විරුද්ධ ව ගොනු කර තිබේ. ඒ අනුව ඔහු වසර 170ක් දක්වා වන සිරගත කිරීමකට මුහුන දී සිටී.

සිසුන් “සිවිල් පුද්ගල ඝාතන” වීඩියෝ පටය නරඹමින්

විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කරන ලද “සිවිල් පුද්ගල ඝාතන” වීඩියෝ පටය හා අසාන්ජ්ගේ නිදහස ඉල්ලමින් ජාත්‍යන්තර ව පැවැත්වෙන විරෝධතාවන්ගේ වීඩියෝ පට, සසප හා සසජාතශි උද්ඝෝෂකයන් විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට හා කම්කරුවන්ට පෙන්වනු ලැබී ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් දියත් කර ඇති උද්ඝෝෂනයට සහාය පලකරන පෙත්සමකට ශිෂ්‍යයෝ අත්සන් කල හ. විරෝධතාවක් පැවැත්වූ උද්ඝෝෂකයෝ “අසාන්ජ් හා මැනිං නිදහස් කරනු,” “අන්තර්ජාල වාරනය නවතනු” හා “කතාකිරීමේ නිදහසට හා නිදහස් ප්‍රකාශනයට අත නො තබනු” යනාදී සටන් පාඨ හඬ නැගූ හ.

ජුනි 3 උද්ඝෝෂනය පවත්වන ලද්දේ, බෞද්ධ අන්තවාදී කන්ඩායම් හා සිංහල වර්ගවාදී මැරයන් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි ව අවුලුවාලමින් සිටින ප්‍රකෝපකාරීත්වයක් මධ්‍යයේ ය. මෙම ෆැසිස්ට් නඩ, පාලක හා විරුද්ධ පක්ෂ සහ ප්‍රධාන මාධ්‍ය විසින් දිරිමත් කරනු ලැබේ.

තරිඳු (වමේ) සහ ඔහුගේ මිතුරන් උද්ඝෝෂනයට සහාය දෙමින්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එක්සත් සමාජවාදී පක්ෂය හා නව සම සමාජ පක්ෂය ඇතුලු ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම පක්ෂ, අසාන්ජ්ට හා මැනිංට එරෙහි ව එක්සත් ජනපදය නායකත්වය දෙන වෛරී සහගත ප්‍රචාරනය පිලිබඳ ව දැඩි නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගොස් ඇත.

පෙසප විසින් පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) ජයවර්ධනපුර සරසවි ක්‍රියාකාරිකයෝ සසප උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරූ හ. උද්ඝෝෂකයන් ශිෂ්‍ය සංගමයෙන් හා විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් අවසර ලබාගත්තේදැයි අවිශිබම නායකයෝ විමසූ හ. සසප ආධාරකරුවන් තමන්ට උද්ඝෝෂනයේ යෙදීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බව පැහැදිලි කල විට ඔවුහු පසුබා ගිය හ.

ජුනි 3 උද්ඝෝෂනය, සසප හා සසජාතශි විසින් වැඩපොල, විශ්ව විද්‍යාල හා කම්කරු පන්තික ප්‍රදේශවල එලඹෙන සති කිහිපයේ පැවැත්වීමට සැලසුම් කරන විරෝධතා, දේශන හා ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක කොටසකි.

පුෂ්පනාත් පෙත්සමට අත්සන තබයි

“සිවිල් පුද්ගල ඝාතන” වීඩියෝව දැකීමෙන් තමන් කම්පනයට පත්වූ බවත්, විකිලීක්ස්හි හෙලිදරවු කිරීම්වලට එක්සත් ජනපදය මෙතරම් හතුරු මන්ද යන්න තමන්ට දැන් වැටහෙන බවත්, දෙවන වසර තාක්ෂන ශිෂ්‍යයෙක් වන පුෂ්පනාත් පැවසී ය: “එක්සත් ජනපදයේ මෙහෙයුම්වල සැබෑ ස්වභාවය මොන යම් ආකාරයකින් හෝ හෙලිදරවු කිරීම විශාල මහජන විරුද්ධත්වයක් නිර්මානය කරනු ඇතැයි එය බිය වෙනවා. එක්සත් ජනපදය මානව අයිතීන් රකින්නෙකු ලෙස ව්‍යාජ ව පෙනී සිටීමට උත්සාහ දැරුවත් මේ සා පරිමානයෙන් වෙන කිසිදු රටක් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර නැහැ.”

ඔහුගේ මිත්‍ර නවන්ජන මෙසේ පැවසී ය: “අපි මෙවැනි වැදගත් ප්‍රශ්න ගැන දැනගෙන හිටියේ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිසා මේ ගැන දැන ගැනීමට අපිට යම් අවස්ථාවක් තිබුනත් ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා නො කරන නිසා බහුතර ජනතාවට මෙම වර්ධනයන් ගැන දැන ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මානව වර්ගයා මුහුන දෙන විශාලතම අන්තරාය තුන්වන ලෝක යුද්ධයක් ය යනුවෙන් ඔබ කියන දේ සමග මම එකඟ යි. අසාන්ජ් යනු එම අන්තරාය හඳුනාගත් හිතන මතන මාධ්‍යවේදියෙක් ලෙස මම සලකනවා.”

අසල පාසලක ශිෂ්‍යයෙක් සසප උද්ඝෝෂකයන්ට විස්තර කලේ අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ වීඩියෝ පටය දැක තිබුනු බව යි: “ඉන්ටර්නෙට් එකේ මම මේ වීඩියෝ දැක්කා. ඒ නිසා මට හිතුනා ඔහු එක්සත් ජනපද යුද අපරාධ හෙලිදරවු කර ඇති බව. ඒත් මේ රටේ මාධ්‍යවල මේ ගැන කිසිවක් මම දැක්කේ නැහැ. ශ්‍රී ලංකාවේ ආන්ඩුව මේ වගේ ප්‍රවෘත්ති දිරිමත් කරන්නේ නැහැ. ඔවුන් පුරුදු වෙලා ඉන්නෙ ඔවුන්ට විරුද්ධ ඕනෑම මහජන මතයක් වලක්වන්න.”

හසිනි

විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යයාවක් වන හසිනි, තමන් කලින් අසාන්ජ් පිලිබඳ කිසිවක් නො දැන සිටි බව ද කතාකිරීමේ නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන ඕනෑම උද්ඝෝෂනයකට සහාය දෙන බව ද ප්‍රකාශ කලා ය. “ඕනෑම පුද්ගලයෙකුට තමන් විශ්වාස කරන දෙය කීමට අයිතියක් තිබෙනවා. එම අයිතියට විරුද්ධ ව කිසිවෙක් කටයුතු නො කල යුතුයි” ඇය කීවා ය.

අසාන්ජ් හා මැනිංට එරෙහි ප්‍රහාර, කතාකිරීමේ නිදහස හා අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ජාත්‍යන්තර ප්‍රහාරයක කොටසක් බව සසප උද්ඝෝෂකයන් පැහැදිලි කල විට හසිනි මෙසේ කීවා ය: “ඔව්, මම පිලිගන්නවා මේ රටෙත් ඒක එහෙමයි කියල. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සංස්ථාපිතයට සමීප ව සම්බන්ධ නිසා මහජනයාට වැදගත් වන ප්‍රශ්න සම්බන්ධයෙන් නිහඬ යි.”

දේශපාලන විද්‍යා උපාධිධාරියෙක් වන උදිත් කීවේ: “සත්‍යය පොදු මහජනයා කරා ලඟාවීම ධනපති ආන්ඩුවලට තවදුරටත් ඉවසන්න බැහැ. පසුගිය කාලෙ මේ ආන්ඩුව කී වතාවක් සමාජ මාධ්‍ය අවහිර කලා ද? ඔබේ උද්ඝෝෂනය කාලීන යි. ලෝක යුද්ධයක් සිදුවිය හැකි දෙයක් වන නිසා යුද්ධයට විරුද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී මේ වගේ හෙලිදරවු කිරීම් අතිශයින් වැදගත්.”

Share this article: