ලේඛක සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප අරගලයට මාධ්‍යවේදිනියක් සහාය පල කරයි

2019 ජුනි 13

ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් කල පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

කත්‍යානා අමරසිංහ

ඔහු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරුනු ප්‍රහාරයකි. මෙයට එරෙහිව සත්කුමාර නිදහස් කර ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබි අඩවිය (ලෝසවෙඅ) කේන්ද්‍ර කර ගනිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත් කොට ඇති උද්ඝෝෂනයට විවිධ කලාකරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ සහයෝගය ලැබෙමින් පවතී.

මෙහි පහත පල වන්නේ මාධ්‍යවේදිනියක් සහ ලේඛිකාවක් වන කත්‍යානා අමරසිංහ සසප උද්ඝෝෂනයට සහාය දෙමින් කල ප්‍රකාශය යි.

“ලේඛකයෙකු සතු ප්‍රකාශනයේ නිදහස යනු මූලික මිනිස් අයිතිවාසිකමකි. ඉතිහාසය පුරා ලෝකයේ විවිධ සංස්කෘතීන් පෝෂනයෙහි ලා ලේඛකයන්ට තිබූ මෙකී ප්‍රකාශනයේ නිදහස බලපෑ බව දනිමු. විශේෂයෙන් සම්ප්‍රදායික සීමාවන් අතික්‍රමනය කරමින් නිර්මානකරනයේ යෙදුනු ලේඛකයන් නිසා ලෝක සාහිත්‍යයේ පෝෂනය සිදු විය. එහෙත් අප අද සිටින්නේ ලොව පුරා රාජ්‍යයන් විසින් මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරන යුගයකය. රාජ්‍යය විසින් අර්ථකතනය කරනු ලබන නීති පද්ධතීන් අවභාවිත කරමින් විවිධ පසුගාමී, වර්ගවාදී හා ආගමික අන්තවාදී ප්‍රවාහයන් ලේඛකයන්ට බලපෑම් කරමින් සිටින යුගයකය.

දීප්තිමත් තරුන ලේඛකයෙකු වූ ශක්තික සත්කුමාර රක්ෂිත බන්ධනාගාර ගත වන්නේද අන්තවාදීන් විසින් එල්ල කරනු ලබන එවැනි අයුක්තිසහගත චෝදනාවන්ට ලක්වෙමිනි.

ශක්තික දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට නිර්මාන සැපයූවෙකි. ඔහු බලාපොරොත්තු තැබිය හැකි තරුන ලේඛකයෙකි. විශාල පරාසයක විහිදෙන සමාජ දේශපාලන කාරනා වස්තු විෂයය කරගනිමින් නිර්මානකරනයේ යෙදුනු ඔහු අයුක්තිසහගක චෝදනාවන්ට ලක් වී, රක්ෂිත බන්ධනාගාරගත කොට දැන් මාස දෙකකට වැඩි කාලයක් ගත වී තිබේ. ඔහුට සිදුවූ අයුක්තියට එරෙහිව මේ රටේ පුද්ගල නිදහස අගයන සෑම කෙනෙකුම, ප්‍රකාශන නිදහස අගයන සෑම නිර්මානකරුවෙකුම නැගී සිටිය යුතු බව මගේ හැඟීමය.

මානව ඉතිහාසය පුරාම සමාජය වඩා යහපත් තැනක් බවට පත් කර ඇත්තේ ප්‍රගතිශීලී මිනිසුන් විසිනි. එවැනි ප්‍රගතිශීලී මිනිසුන් මර්දනයට ලක් කිරීම යනු සමාජය තව තවත් අගාධයට තල්ලු කිරීමකි. සමාජය අන්ධකාරයට යවන, කිනම් හෝ ආකාරයක මුග්ධ, පසුගාමී අන්තවාදයන් පරාජය කොට, එම ප්‍රගතිශීලී මිනිසුන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් රාජ්‍ය මර්දනයට එරෙහිව වැඩකරන පොදු මහජනතාව ඒකරාශී විය යුතු යැයි තදින් විශ්වාස කරමි.

ඒ අනුව සහෝදර ලේඛකයෙකු සහ ජනමාධ්‍යකරුවෙකු ලෙස මමද, ශක්තික නිදහස් කර ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය විසින් අරඹා ඇති කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ අරගලයට සහය දෙමි.

Share this article: