ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු: ශ්‍රී ලංකාවේ සසප ප්‍රසිද්ධ රැස්වීම ආඥාදායකත්වයේ තර්ජනය පිලිබඳ ව අනතුරු අඟවයි

Aftermath of terrorist attack: Sri Lankan SEP public meeting warns about threat of dictatorship

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 27

අප්‍රේල් 21 ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් ඉක්බිති තීරනාත්මක දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, මැයි 22දා කොලඹ දී සාර්ථක රැස්වීමක් පැවැත්වූ හ. එම රුදුරු ප්‍රහාරයෙන් අහිංසක වැසියන් 250කට වැඩි පිරිසක් මරා දැමුනු අතර තවත් 500කට තුවාල සිදු විය.

රැස්වීමට පෙරාතුව, සසප හා සසජාතශි සාමාජිකයෝ රත්මලාන දුම්රිය නිවාස වල සහ කොලඹ වරාය කම්කරුවන් අතර, ජනයා විශාල වසයෙන් ගැවසෙන කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර උද්ඝෝෂනය කලහ. රැස්වීමට පක්ෂ සාමාජිකයන්, ආධාරකරුවන්, තරුනයන් හා ගෘහනීන් 150ක් පමන සහභාගි විය.

රැස්වීමට සහභාගිවූවන්ගෙන් කොටසක්

“ආන්ඩුවේ පොලිස්-මිලිටරි ආඥාදායක සැලසුම් පරාජය කරනු” යන මාතෘකාව යටතේ පැවැත්වූ රැස්වීමේ මුලසුන දැරුවේ සසප සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර විසිනි. දේශපාලන නායකයන් බෝම්බ ප්‍රහාරවල වගකීම පිලිබඳ ව එකිනෙකාට චෝදනා කරගන්නා නමුත්, මර්දනකාරී හදිසි නීති පැනවීම හා රට පුරා මිලිටරිය දිගේලි කිරීම සම්බන්ධයෙන් ඔවුන් සියලු‍ දෙනා එකඟ බව ඔහු විස්තර කලේ ය.

“පාලක ප්‍රභූවේ, මාධ්‍යයන්ගේ හෝ ව්‍යාජ-වමේ කිසිවෙක් එක් වැදගත් ප්‍රශ්නයකට පිලිතුරු දෙනවා තබා එවන් ප්‍රශ්නයක් මතු කරන්නේ නැහැ. ප්‍රහාරය සිදුවන බවට ආරක්ෂක සංස්ථාපිතයට පූර්ව අනතුරු ඇඟවීම් තිබිය දී මෙම ප්‍රහාරය සිදුවීමට ඉඩ හලේ ඇයි?”

දීපාල් ජයසේකර

මෙයට පිලිතුරු දෙන එකම පක්ෂය සසප පමනයි. ඉස්මතු වන කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම ඉලක්ක කරගත් මර්දනීය පියවරයන් සාධාරනීකරනය කිරීම සඳහා පාලක ප්‍රභූව මෙම ව්‍යසනය ගසාකමින් සිටින බව ඔහු කීවේ ය. “මෙම පියවරයන්ට එරෙහි ව කම්කරුවන් හා දුගීන් බලමුලු‍ගැන්වීමට සටන් වදින්නේ අපි පමනයි.”

ජනාධිපති සිරිසේන අප්‍රේල් 25දා කැඳවූ සර්ව-පාක්ෂික සමුලු‍වට සහභාගි වීම මගින්, සංස්ථාපිතයේ සියලු‍ පක්ෂ මර්දන නීතිවලට ඔවුන්ගේ සම්පූර්න සහයෝගය ලබාදුන් බව ජයසේකර පැහැදිලි කලේ ය. ඔවුන්ගේ උපායාමත්මක වෙනස්කම් කවරක් වුවත්, වැඩෙන පන්ති අරගල කෙරෙහි එකාවන් ව බිය වන ඔවුහු ඒවා මර්දනය කිරීමට අධිෂ්ටානවත් ව සිටිති.

තරුනයන් හා ශිෂ්‍යයන් පොලිස්-රාජ්‍ය පියවරවල ඉලක්කයක් බවට පත් ව ඇතැයි සසජාතශි නායකයෙකු වන ප්‍රදීප් රාමනායක කීවේ ය. දීර්ඝ කාලයක් වසා තැබීමෙන් පසු, විශ්ව විද්‍යාල දැන් යලි විවෘත කර ඇත්තේ මිලිටරි සෝදිසි කිරීම්වලින් පසුව ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුනුපොතේ පලකිරීමක් මුල්කරගෙන යි. මරා දමන ලද දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ නායක වී. ප්‍රභාකරන්ගේ පින්තූරයක් ශිෂ්‍ය සංගම් කාර්යාලය තුල තිබී මිලිටරිය විසින් සොයා ගැනීමෙන් පසු යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් ද අත්අඩංගුවට ගනු ලැබී ය.

ප්‍රදීප් රාමනායක

“පුද්ගලීකරනයට හා පහසුකම් හිඟයට එරෙහි ව මෑත කාලයේ ශිෂ්‍යයන් විරෝධතා දක්වා තිබෙනවා. විශ්ව විද්‍යාල තුල මිලිටරි හා පොලිස් මෙහෙයුම්වල ඉලක්කය වන්නේ, කම්කරු පන්තිය මත කඩාපැනීමේ කොටසක් ලෙස ශිෂ්‍යයන් බියවැද්දීම යි.

“අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) නිල ශිෂ්‍ය නායකත්වය, විශ්ව විද්‍යාල තුල ආරක්ෂාව තහවුරු කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා තිබෙනවා. දැන් අවිශිබම ඊනියා ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධ ව උද්ඝෝෂනයේ යෙදී සිටිනවා. ඔවුන් ආන්ඩුවේ මර්දන ක්‍රියාවන්ට සහයෝගය දෙන්නේ ඒ අයුරින්” යි රාමනායක කීවේ ය.

ප්‍රධාන කතාව පැවැත්වූයේ සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන විසිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය තීරනාත්මක අවධියකට පැමින ඇති බව ඔහු කීවේ ය. “ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව ආඥාදායකත්වයක් දෙසට හැරෙමින් සිටින්නේ මන් දැයි තේරුම් ගැනීමට, මෙහි වර්ධනයන් ලෝක තත්ත්වය තුල තැබිය යුතු” බව විජේසිරිවර්ධන විස්තර කලේ ය.

“එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්ත තුල ගුරුවරුන්ගේ වර්ජන පුපුරා ගොස් තිබෙනවා. පෝලන්තයේ හා ඉන්දියාවේ තමිල්නාඩුවේ ද ගුරුවරුන්ගේ අරගල හටගත්තේ මේ තත්වය තුල. ප්‍රන්සය තුල “කහ කබා” ව්‍යාපාරයේ අරගලයට දැන් මාස ගනනක් තිස්සේ වර්ධනය වෙමින් යනවා. හර්යානා කාර්මික කලාපයේ මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙකු ජීවිතාන්තය තෙක් සිරගත කිරීම මගින් පෙන්වා ඇත්තේ ඉස්මතු වෙමින් පවතින අරගල කෙරෙහි ඉන්දීය ආන්ඩුවේ තැති ගැන්මයි.”

වර්ධනය වන මෙම පන්ති අරගලයන්ට සෑම රටක ම පාලක පන්තීන්ගේ ප්‍රතිචාරය දකුනට හැරීමක් බව විජේසිරිවර්ධන පෙන්වා දුන්නේ ය. ආඥාදායක පාලන ක්‍රම ඇති කිරීමට උත්සාහ දරන ඔවුන්, ෆැසිස්ට් ව්‍යාපාර දිරිමත් කරමින් සිටී.

“එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිටින්නේ එහි යුද සූදානම් වීම්වල ඉහල අවධියක යි. චීනය මිලිටරිමය ලෙස වටලෑමට හා ආර්ථික ව එය සමග ගැටීමට උත්සාහ දරන අතර, එක්සත් ජනපදය දැන් ඉරානයට හා සිරියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට තර්ජනය කරමින් සිටිනවා.”

ශ්‍රී ලංකාව ගත් කල, දුරදිග යන මර්දන පියවරයන් පැටවීමට අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයන් ජනාධිපති සිරිසේන විසින් යොදා ගත්තේ ය. එම පියවරයන් අතරට හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම හා එල්ටීටීඊයට එරෙහි ලේවැකි සිවිල් යුද්ධයේ අවසානයේ සිට නුදුටු පරිමානයෙන් රට පුරා සන්නද්ධ හමුදා භටයන් දිගේලි කිරීම ඇතුලත් වේ.

“ඒ ඇයි? එයට හේතුව, ආන්ඩුව හා පාලක පන්තියේ සෑම කන්ඩායමක් ම මෙහිත් ජාත්‍යන්තර වත් පුපුරා යන අරගල පිලිබඳ ව භීතියට පත්ව සිටීම යි.” දෙසැම්බර් මාසයේ වතු කම්කරුවන්ගේ දින නවයක වැඩ වර්ජනය හා මාර්තු මාසයේ ගුරුවරු 200,000කගේ එක් දින වර්ජනය ඔහු ගෙනහැර දැක්වී ය.

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය ගැන සලකද්දී, විදෙස් ඔත්තු සේවා ඒජන්සියක පූර්ව අනතුරු ඇඟවීම් නො තකා හලේ මන් දැයි ආන්ඩුව හෝ මිලිටරිය විස්තර කර නැත. “සෑම තොරතුරකින්ම පෙන්නුම් කරන්නේ, පන්ති අරගලය මර්දනය කිරීම සඳහා දුරදිග යන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පැටවීම සඳහා ආන්ඩුව එම ප්‍රහාරයන් සිදුවන තුරු ඇස් පියාගෙන සිටි බව යි” යි කථිකයා කීවේ ය.

මිලිටරියට අතිවිශාල බලතල ප්‍රදානය කර ඇති බව විජේසිරිවර්ධන විස්තර කලේ ය. මින් යුද හමුදාපති මහේෂ් සේනානායක අමන්දානන්දයට පත්ව “අපි ඉල්ලු‍වේ බයිසිකලයක්. ඒත් අපිට වාහනයක් ලැබුනා” යයි ප්‍රකාශ කලේ ය.

පානි විජේසිරිවර්ධන

එල්ටීටීඊයේ පරාජයෙහි 10වන සංවත්සරය සමරමින් ජනාධිපති සිරිසේන, ත්‍රස්තවාදය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවත් එය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ද ලෝකය සමග එක් විය යුතු බවත් කියා සිටියේ ය. වෙනත් වචනවලින් කියතොත්, ශ්‍රී ලංකාව කල යුතුවන්නේ විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලු‍ ප්‍රධාන බලයන් සමග පෙලගැසිමයි.

“අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධ වගකීම බාරගැනීමේ දී, තමන් එක්සත් ජනපදය නායකත්වය දෙන සන්ධානය ඉලක්ක කරගත් බව අයිඑස්අයිඑස් සංවිධානය කියා සිටි” බව කථිකයා කීවේ ය. “ප්‍රහාරය සිදුවන විට අප්‍රේල් 19දා ආරම්භ කල පුලු‍ල් අභ්‍යාසයක් එක්සත් ජනපද මිලිටරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වමින් සිටීම අර්ථභාරී යි.”

ආන්ඩුව එක්සත් ජනපදය සමග සබඳතා ප්‍රසාරනය කරමින් සිටින බව ඔහු කීවේ ය. මෑත දී එක්සත් ජනපදයට සංචාරය කල විදේශ ඇමති තිලක් මාරපන, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා සහකාර රාජ්‍ය ලේකම් ඬේවිඞ් හේල් සමග දීර්ඝ සාකච්ඡා පැවැත්වී ය. ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර ශක්තිමත් මිලිටරි සබඳතා සඳහා කැඳවුම් කරමින් මාරපන හා හේල් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කල හ.

දේශපාලන සංස්ථාපිතය විසින් අවුලු‍වමින් සිටින මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය පිලිබඳ ව කථිකයා අනතුරු ඇඟවී ය. පන්ති අරගල නැගී එන සෑම විටක ම, කම්කරු පන්තිය බෙදීම සඳහා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය වර්ගවාදී ප්‍රතිගාමීත්වය දිරිමත් කර ඇති බව ඔහු කීවේ ය.

වාර්ගික ප්‍රකෝපකරනයන්ට හා පොලිස් රාජ්‍ය පාලනය කර ගන්නා පියවරයන්ට විරුද්ධ විය යුතු කම්කරුවන්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමට ගොවීන් හා අනෙකුත් පීඩිත කොටස් රැලි කරගත යුතු ය.

“ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන ලෙසත්, සමාජවාදී ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදීමට අවශ්‍ය නායකත්වය ලෙස සසපට බැඳී එය ගොඩනගන ලෙසත් කම්කරුවන්ට, පීඩිත ස්ථරයන්ට හා තරුනයන්ට ආරාධනා කරනවා” යි කියමින් විජේසිරිවර්ධන සිය කතාව අවසන් කලේ ය.

රැස්වීමට සහභාගි වූ කිහිප දෙනෙකු සමග ලෝසවෙඅ වාර්තාකරුවෝ කතා කල හ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වන සිසිර කීවේ: “අප්‍රේල් 21 ප්‍රහාර සඳහා මුස්ලිම් ජනයා වගකිව යුතු බව කියමින් ආන්ඩුව, විරුද්ධ පක්ෂ හා මාධ්‍ය විසින් ගෙන යන මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය මම හෙලා දකිනවා.

“අන්තවාදය මතු වන්නේ මුස්ලිම් සමාජය ඇතුලතින් බව කියන ජවිපෙ ප්‍රචාරයත් මම හෙලා දකිනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අවිශිබම, අන්තවාදයේ මුල් තිබෙන්නේ ධනවාදය තුල යන්න වසන් කරනවා. විශ්ව විද්‍යාල තුල ආරක්ෂක හමුදා යෙදීමට අවිශිබම ඍජු ව ම සහයෝගය දෙනවා.”

ගම්පහ ප්‍රදේශයෙන් පැමිනි තරුන කම්කරුවෙක් වන කවීෂ්වර: “කම්කරු පන්තිය මෙම වර්ධනයන් අවබෝධ කරගෙන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද සැලසුම්වලට එරෙහි ව සටන් කිරීමට ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් යටතේ එකමුතු වීම තීරනාත්මක යි. මේ මගේ පලමු සසප රැස්වීම. සසප වැඩපිලිවෙල අධ්‍යයනය කිරීමටත් හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගැඹුරින් කියවීමටත් මට අවශ්‍ය යි.”

Share this article: