හිටපු ඇමති මිලින්ද මොරගොඩ හමුදා සේවය අනිවාර්ය කරන ලෙස ඉල්ලයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2019 ජුනි 7

හිටපු ඇමතිවරයෙකු වන මිලින්ද මොරගොඩ මෑත දී නිකුත් කල ප්‍රකාශයක් මගින් ශ්‍රී ලංකාව තුල “අනිවාර්ය හමුදා සේවය” හඳුන්වා දෙන ලෙස ඉල්ලා ඇත.

මැයි 27 වෙනිදා මාධ්‍යවල පල කෙරුන ඔහුගේ ප්‍රකාශය තුල දී “ශ්‍රී ලංකාවේ දැදුරු වූ සමාජය සහ සමාජ ඒකාබද්ධතාවයක් නැති, වර්තමානයේ පාලනය කිරීමට දුෂ්කර ලෙස පෙනෙන ප්‍රශ්නයට රැඩිකල් විසඳුමක් සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය” බව සඳහන් කරයි.

අර්බුදය සමනය කිරීම පිනිස ශ්‍රී ලංකාව “බහුඅංශික මූලෝපායන් මාලාවක්” අනුගමනය කල යුතු යයි පවසන මොරගොඩ දේශපාලන නායකයන්, පක්ෂ මත භේද පසෙක තබා ක්ෂනික පදනමක ක්‍රියාවට දැමිය හැකි” කෙටි, මධ්‍යම හා දිගුකාලීන රැඩිකල් පියවරයන්ගේ පැකේජයක්” මත එකඟ වියයුතු බව අවධාරනය කරයි.

“අනිවාර්ය හමුදා සේවය හඳුන්වාදීම” එවන් එක් පියවරක් බවත්, වයස අවුරුදු 18 සම්පුර්න වන සියලු පිරිමින් සේවයේ යොදවන අනිවාර්ය හමුදා සේවයක් පාබල, ගුවන් හා නාවික හමුදාවන් හා පොලීසිය තුල ස්ථාපිත කල යුතු බවත් ඔහු යෝජනා කරයි. අදාල පුහුනුවෙන් පසු ඔවුන් අවශ්‍ය වූ විටෙක මෙහෙයුම් වල යෙදීමට සූදානම් හමුදා සංචිතයේ භටයන් බවට පරිවර්තනය කෙරෙයි. නිලධාරීන් නොවන අය අවුරුදු 40 දක්වා සහ වරලත් නිලධාරින් අවුරුදු 50 දක්වා සංචිතය තුල සිටිය යුතු ය.

හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමට අවකාශයක් නොලැබෙන පරිදි රාජ්‍ය අංශයේ රැකියා සඳහා එය අනිවාර්ය සුදුසුකමක් කල යුතු බව ද මොරගොඩ යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ධනේශ්වර ප්‍රභුවේ ප්‍රමුඛයෙකු වන මොරගොඩ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දැනුවත් නියෝජිතයෙකි.

“ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරන ප්‍රවර්ධනය කිරීමේ, කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය හා ජාතික හා කලාපීය ආරක්ෂාව පිලිබඳ ඍජු සහ උත්ප්‍රේරන භූමිකාවක් ඉටුකරන චින්තන පර්ෂදයක් ” ලෙස තමා හඳුන්වා ගන්නා පාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයා ඔහු ය. එමෙන් ම, 2002-2004 එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ සහ 2005-2010 මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රධාන ඇමතිකම් දැරූවෙකි. ඊට අමතරව ඔහු ධනපති පාලක පන්තියේ ආර්ථික-දේශපාලන පිලිවෙත් සම්බන්ධව ප්‍රමුඛ උපදේශකයෙකි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි මූලෝපායාත්මක අවශ්‍යතාවයන් වෙනුවෙන් කලාපය තුල පෙරමුනු රටක් ලෙස ක්‍රියාකරන ඉන්දියාව සමග මොරගොඩ සමීප සම්බන්ධකම් පවත්වයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඈෂ්ලි විල්ස් විසින් 2003 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් පනිවුඩයකට අනුව මොරගොඩ වොෂින්ටනයට අතිශය වැදගත් පුද්ගලයෙකි. ඇමරිකානු පුරවැසිකම හිමි ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධ “තොරතුරු ලබා ගැනීමේ වැදගත් මූලාශ්‍රයකි”. විකීලීක්ස් වෙබ් අඩවිය විසින් මෙම කේබල් පනිවුඩය එලිදරව් කරන ලදී.

පනිවුඩයේ මෙලෙස සඳහන් කර ඇත. “බුද්ධිමත්, චතුර, මොරගොඩ පරිපූර්නව එක්සත් ජනපදයට ගැලපෙන්නෙකි. වොෂිංටන් ඩී.සී. වල උපන් ඔහු වනාහි ද්විජාතික ඇමරිකානු පුරවැසියෙකි. [කරුනාකර ආරක්ෂා කරන්න] ඇමරිකානුවකු සමග විවාහ වී සිටින ඔහුට වොෂිංටනය හා බොහෝ සම්බන්ධකම් තිබේ. ඒවා ඔහු හෙරිටේජ් පදනම සහ හාර්වර්ඞ් සරසවියේ ආගන්තුක සාමාජිකයෙකු ලෙස සිටි සමයේ පටන් එන සම්බන්ධකම් ය. ලෝක සම්බන්ධතාවල වැදගත් කම පිලිගත්තෙකු වන හෙතෙම ලෝකයේ බලගතුම රට එක්සත් ජනපදය බව ද ශ්‍රී ලංකාව එය තේරුම් ගෙන ඒ අනුව වැඩ කල හොත් හොඳ බව ද මැනවින් වටහාගෙන සිටී”.

මොරගොඩ යෝජනා කරන අනිවාර්ය හමුදා සේවය ක්‍රියාවේ යෙදවීම මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එහෙත් සමාජ ආතතිය තීව්‍ර වූ හැම අවස්ථාවක දී ම එවන් පිලිවෙතක් ක්‍රියාවට දැමීම සඳහා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය උත්සාහ කර ඇත. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොට සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය මැද එජාප ආන්ඩුව විසින් 1985 දී බලමුලු ගැන්වීම සහ අතිරේක හමුදා පනත (The Mobilisation and Supplementary Forces Act) සම්මත කලේ ය.

අනිවාර්ය හමුදා සේවය සඳහා පූර්න බලැති පනතක් පිලිබඳ යෝජනාවක් 2002-2004 එජාප ආන්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරන ඇමති ව සිටිය දී මොරගොඩ ඉදිරිපත් කලේ ය. මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) ආන්ඩුව යලි යලිත් එවන් ප්‍රයත්නයක යෙදුන නමුත් මහජන විරුද්ධත්වය නිසාවෙන් ක්‍රියාවට දමා ගැනීමට අපොහොසත් විය.

අනිවාර්ය හමුදා සේවය ස්ථාපිත කිරීම සම්බන්ධ උත්සුකය ශ්‍රී ලංකාවට පමනක් සීමා නොවේ. එය ධනවාදයේ පද්ධතිගත අර්බුදයක හා කප්පාදු පිලිවෙත්වලට එරෙහි ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය මධ්‍යයේ ලොවපුරා ධනපති පාලක පන්තීන් ආඥාදායක පාලනයන් කරා මාරුවීම සඳහා කෙරෙන සැලසුම්වල අත්‍යන්ත කොටසකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අනිවාර්ය යුද සේවය අවසන් කල යුරෝපා සංගමයට අයත් රටවල් හා එක්සත් ජනපදය, ස්ටැලින්වාදී නිලධරය විසින් 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් හා සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව, ප්‍රතිමල්ල අධිරාජ්‍ය බලයන් අතර ආතතිය වැඩි දියුනු වන කොන්දේසි යටතේ යලි එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටිති.

ස්වීඩනය සහ ප්‍රන්සය එය දැනටමත් ක්‍රියාවට දමා තිබේ. තම ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් කෙරහි බරපතල මහජන විරුද්ධත්වයක් මතුවන තතු තුල අනිවාර්ය හමුදා සේවය යලි හඳුන්වාදීමේ නිවේදනයක් ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පසුගිය නොවැම්බර් මාසයේ නිවේදනය කලේ ය. ඒ අනුව 2026 ට පෙරාතුව ඒ වනවිට වයස අවුරුදු 16 සපිරෙන 800,000 ප්‍රන්ස තරුනයන් හමුදාවට බඳවා ගැනීමට අපේක්ෂා කරයි.

ජර්මනිය ඇතුලු යුරෝපා සංගමයේ අනෙකුත් රටවල පාලක පන්තීන් අතර අනිවාර්ය යුද සේවය යලි හඳුන්වාදීම ගැන විවාදයක් ආරම්භ කර ඇති අතර එක්සත් ජනපද හමුදාව තුලින් ද ඒ සඳහා යෝජනා ඉදිරිපත් කෙරී ඇත.

මොරගොඩගේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මහා අවපාතයක් තුලට රූටා යමින් තිබෙන ලෝක ධනවාදය විසින් ශ්‍රී ලංකාව බරපතල ආර්ථික-දේශපාලන අස්ථාවරත්වයක ගිල්වා ඇති කොන්දේසි තුලය.

සමාජ අසමානතාවය වඩ වඩා පෘථුලවීම සහ සමාජ ධ්‍රැවීකරනය ගැඹුරුවීම හේතුවෙන් දැවැන්ත සමාජ අරගල පුපුරායාමේ කොන්දේසි නිර්මානය කර ඇත. ජාත්‍යන්තර පන්ති අරගලයේ නැගීමේ කොටසක් ලෙස මෑත මාසවල ශ්‍රී ලංකාව තුල පැන නැගුන රාජ්‍ය අංශයේ සහ වතු ඇතුලු පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අරගල එවන් වර්ධනයක පෙරනිමිති ය. කම්කරුවන්ගේ අරගල වලට සමගාමීව තරුනයන්ගේ හා ගම්බද දුගීන් ඇතුලු අවශේෂ පීඩිත ජනයාගේ අරගල ඉස්මතු වෙමින් ඇත. මෙම වර්ධනයන් කෙරෙහි ධනපති පාලක පන්තිය තැති ගෙන සිටී.

මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු-පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කර ඇත්තේ එම තතු තුලය. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය ට මුවා වෙමින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කල ආන්ඩුව, හමුදාව සහ පොලීසියට වරෙන්තුවකින් තොරව පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ අසීමිත බලතල පවරා ඇත.

ජනාධිපති, අගමැති, ආන්ඩුව සහ විපක්ෂය ඇතුලු පාලක පන්තියේ සියලු පාර්ශ්වයන්ගේ හා ධනපති ජනමාධ්‍යවල නොමද පිටුබලය සහිතව අතිශය දරුනු මුස්ලිම් භීතිකාවක් අවුලුවා ඇත්තේ, හමුදාවේ සහ පොලීසියේ මර්දනයට තල්ලුව දීමේ හා කම්කරු පන්තිය වාර්ගික සහ ආගමික පදනම් මත බෙදා වෙන් කිරීමේ දුෂ්ට ප්‍රයත්නයක් ලෙස ය.

ඒ සමග ම, පාලක පන්තියේ පුර්න අනුග්‍රහය ඇතිව බොදු බල සේනා, සිහල රාවය, මහ සොහොන් බලකාය ඇතුලු ෆැසිස්ට් නඩ වල ප්‍රකෝපකරනයන් උත්සන්න කර ඇත.

අනිවාර්ය හමුදා සේවයක් ස්ථාපිත කිරීම පිලිබඳ මොරගොඩ ගේ යෝජනාව ඉදිරිපත් කෙරී ඇත්තේ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ පන්ති අරගලගල තලා දැමීම සඳහා සන්නද්ධ හමුදා සහ පොලීසිය වඩා ශක්තිමත් කිරීමට අනුබල දීමක් ලෙසය. ඔහු පාලක පන්තියෙන් ඉල්ලා සිටින්නේ පක්ෂ අතර පවතින මත භේද පසෙක ලා ඒ සඳහා ඒකාබද්ධ වන ලෙස ය.

එය කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි.

Share this article: