වඩුමඩු තහනම් පිලිබඳ ජනාධිපති ප්‍රකාශයට එරෙහිව මොරටුව වඩු කාර්මිකයෝ උද්ඝෝෂනය කරති

එම්. දේහින් වසන්ත විසිනි, 2019 ජූනි 15

පසුගිය සතියේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයෝ තම ජීවනෝපායන් රැක ගැනීම සඳහා උද්ඝෝෂනයකට එලැඹුනහ. වඩු මඩු තහනම් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද ප්‍රකාශය ඊට ආසන්නම හේතුවයි. වඩු කාර්මිකයෝ සහ ඊට සම්බන්ධිත රැකියාවන්හි නිරත තුන්දහසක් පමන පිරිසක් ජූනි 7 වන දා ගාලු පාර දිගේ මොරටුව මහනගර සභාව දක්වා පාගමනක යෙදී ජනාධිපතිගේ ප්‍රකාශයට විරෝධය දැක්වූහ.

පරිසරය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස වඩු මඩු වසා දමන බව ජූනි 6 වැනිදා බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති ලෝක පරිසර දින සැමරුම් උලෙලේ දී ජනාධිපතිවරයා පැවසීය. වඩුමඩු ආශ්‍රිත කර්මාන්තයේ නිරත අයට විකල්ප රැකියා සොයා ගැනීමට අවුරුදු 5 ක කාලයක් ලබාදෙන බවත් ගස් කැපීමට භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර ආනයනය සම්පූර්නයෙන් තහනම් කරන බවත් ඔහු තවදුරටත් පැවසීය. දැව මෝල් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් 2014 දී නිකුත් කල ගැසට් නිවේදනය සංශෝධනය කරන බව ද ඔහු පැවසීය.

වඩු කර්මාන්තයේ නියැලෙන ලක්ෂයක පමන පිරිසකුත් ඒ ආශ්‍රිත රැකියා කරන පනස් දහසක පමන පිරිසකුත් සහිත ලංකාවේ දැව කර්මාන්තයේ හදවත ලෙස සැලකෙන මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මික ජනතාව මෙම ප්‍රකාශය මගින් වඩාත්ම කැලැඹීමට පත්ව ඇත.

උද්ඝෝෂනයට පසුදින ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කල ප්‍රකාශයක් මගින් තහනම් කරනු ලබන්නේ ජංගම ලී මෝල් බවත් රටපුරා පවතින එවැනි තුන් සියයක් පමන තහනම් කරන බවත්, සම්ප්‍රදායික ලී මඩු සඳහා එහි බලපෑමක් නැති බවත් ප්‍රකාශ කරමින් ජනාධිපති කල ප්‍රකාශයේ සැර බාල කලේය. එහෙත් වඩු කාර්මිකයින්ගේ උද්ඝෝෂන පසුදිනත් එනම් ඉරිදා දිනයේත් පැවතුනි. කෙසේ නමුත් ජංගම දැව මෝල් යනු කුමක්දැයි පැහැදිලි කෙරී නොමැති අතර සංශෝධිත ගැසට් නිවේදනය ද මෙතෙක් නිකුත් වී නැත.

උද්ඝෝෂන වල ඉස්මත්තට පැනගත් මොරටුව මහ නගර සභාවේ සභාපති සමන්ලාල් ප්‍රනාන්දු තහනම ඉවත් නොකලහොත් තමා මාරාන්තික උපවාසයකට සූදානම් බවට පූච්චානම් ප්‍රකාශයක් කලේය. ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුනේ නිල නොවන නායක මහින්ද රාජපක්ෂ වඩු මඩු සහ චේන් කියත් තහනම ඉවත් කර කර්මාන්තය පවත්වාගෙන යාමට ඉඩදෙන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. වඩු කර්මාන්තය අර්බූදයට යවන ජනාධිපතිගේ ප්‍රකාශය හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුන කියා සිටියේය.

මේ ප්‍රකාශ සියල්ල වඩු කාර්මික විරෝධය ගසාකෑම සහ එම විරෝධය දියකර හැරීම අරමුනු කරගත් ව්‍යාජයන් ය.

ශ්‍රී ලංකාවේ වඩු කර්මාන්තය තුල පවතින්නේ ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයකට වඩා වැඩවසම් නිෂ්පාදන ක්‍රමයක් යැයි කිව හැකි නිෂ්පාදන සබඳතා ය. පවුලේ සියලු දෙනාගේම සහභාගිත්වයෙන් භාන්ඩ නිෂ්පාදනය කෙරෙන ගෘහ කර්මාන්තයක් ලෙස එය මෙතෙකුදු පවතී. භාන්ඩ නිෂ්පාදනය එසේ සිදු වුවද ඒවා විකිනීමේ දී ආධිපත්‍යය දරනුයේ සුවිසල් සමාගම් වන අතර ඔවුහු දැවැන්ත ලාභ අත්කර ගනිති.

ඉතා දුක්ඛිත ජීවිත ගත කරන මෙම වඩුකාර්මික පවුල්වල ජීවන සහ සමාජ තත්වයන් අන්තයටම පිරිහෙමින් පවතී. දරිද්‍රතාව හේතුවෙන් බොහෝ පවුල් දෙදරා ගොස් ඇති බැවින් දරුවන් ඉතා අසරන තත්වයන්ට පත්ව තිබේ. අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට නොහැකි තරමට ලමුන් පිලිබඳ දෙමව්පියන්ගේ අවධානය අඩුවී ඇති බව මොරටුව විල්ලෝරාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයේ ගුරුවරියක් පැවසුවාය.

ඉන්දික අජිත් සිල්වා

මොරටුමුල්ලේ වඩුකාර්මිකයෙකු වන ඉන්දික අජිත් සිල්වා මෙසේ පැවසීය: “අපි ලී මිලදී ගන්නේ ව්‍යාපාරිකයන්ගෙන්. අපි ගස් කපලා ලී රැගෙන එන්නේ නැහැ. බොහෝවිට නයට ලී අරන් බඩු නිෂ්පාදනය කරලා ඒවා ලොකු සාප්පුවට දමලා අත පිහිද ගන්නවා. කිසිම ආන්ඩුවක් මොරටුවේ වඩු කර්මාන්තය පිලිබඳ සැලකිල්ලක් දක්වලා නැහැ. වනාන්තර පිටින් විනාශ කරන අය බේරලා තියෙනවා. මේ තහනම නිසා ලී අදින අය, සාප්පු වල වැඩ කරන අය, ලී කුඩු එකතු කරන අය වගේ වඩු කර්මාන්තය තුල අමතර රැකියා කරන දහස් ගනනකුත් මහපාරට වැටෙනවා.”

එස්.එච්. ජයන්ත

ලී මඩුවක් පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයකු හා කාර්මිකයකු වන එස්.එච්. ජයන්ත පැවසුවේ වඩු මඩු තහනම් කිරීම පිලිබඳ ප්‍රකාශයෙන් තමා වික්ෂිප්තයට පත් වූ බවයි. ආන්ඩුව තමන් “ලී හොරුන්” ලෙස හඳුන්වා දී ඇතත් ඔවුන් ලී මිලදී ගන්නේ නීත්‍යානුකූලව මොරටුවට ලී රැගෙන එන ව්‍යාපාරිකයින්ගෙන් බව ඔහු පැවසීය.

“ලී බඩු හදන්න බොහෝවිට ගන්නේ තේක්ක. ඒවා පවතින්නේ වන වගාවන් ලෙසින්. ඒ නිසා ඒ මගින් ස්වාභාවික වනාන්තර විනාශයක් සිදු වන්නේ නැහැ. ජනාධිපති වඩු කර්මාන්තය නවත්තන්න හදන්නේ එදා වේල හම්බකරගෙන කන දහස් ගනනක් මේ වෘත්තියෙන් රැකෙන බව දන්නේ නැතිවද? පහුගිය කාලෙම අපට හොඳ කලදසාවක් තිබුනෙ නැහැ. අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ බිස්නස් හොඳටම වැටිලයි තිබුනේ. රුපියල් දහ පහලොස් දාහට කඬේ විකිනෙන ලී බඩු වක් සඳහා අපට ලැබෙන්නේ රුපියල් 3,000 ක් රුපියල් 3,500 ක් වගේ මුදලක් ඒ මුදලෙන් අමු ද්‍රව්‍ය සඳහා වියදම අඩු කල විට රුපියල් පන්සියයක් විතර තමයි ඉතුරු වෙන්නේ.”

සුමිත් ප්‍රියංකර

රාවතාවත්ත ශ්‍රමදාන පාරේ කාර්මිකයෙකු වන සුමිත් ප්‍රියංකර මෙසේ පැවසීය: “මට අවුරුදු හැටක් වෙනවා. ලී මඩුවල වැඩ කරන්න ගිහින් යාන්ත්‍රික කියත් වලට මගේ ඇඟිලි තුනක් කැපිලයි තියෙන්නේ. මේ වයසට වඩුවැඩ කිරීම අමාරුයි එහෙත් මේක තමයි දන්න එකම රස්සාව වෙන රස්සාවක් කරලා ජීවත් වෙන එක හිතාගන්න අමාරුයි. අපිට තිබුනු ලී පර්මිට් දැන් නැති කරල දාල. පක්ෂ භේදය නිසා එක පක්ෂයක් බලයට ආවම අනෙක් පක්ෂයේ අයගේ පර්මිට් නැති කරනවා. වැඩි මිලට සංස්ථාවෙන් ලී ගන්න අපට සිද්ධවෙලා තියෙනවා. අවුරුදු අටකට විතර කලින් අල්මාරියක් විකුනුවේ රුපියල් 450 කට දැන් විකිනෙන්නේ රුපියල් හැට දාහකට විතර එහෙත් එදා තරම් වත් ලාභයක් අපට ලැබෙන්නේ නැහැ.”

මෙම කටුක ජීවනෝපායන් පවා මුලුමනින්ම විනාශ කර දැමීමට ආන්ඩුව දරන ප්‍රයත්නයට එරෙහි මහජන විරෝධය වැඩෙන තතු තුල අගමැති රනිල් වික්‍රමසිංහ මොරටුව වඩු කාර්මික නියෝජිතයන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත. ජූනි 10 වන දා පැවැත්වූ එම සාකච්ඡාවේදී වික්‍රමසිංහ ද පවසා ඇත්තේ සම්ප්‍රදායික වඩුමඩු තහනම් නොකරන බවයි. “ආන්ඩුවට වඩු කර්මාන්තය දියුනු කිරීමට” අවශ්‍ය වී ඇති බව සහ ඒ සඳහා අවශ්‍ය ආධාර දෙන බව ඔහු තවදුරටත් පවසා ඇත.

වඩු කාර්මිකයන් කීපදෙනෙකුම පැවසුවේ වික්‍රමසිංහ ඇතුලු විවිධ දේශපාලන නායකයන් දෙන මෙවන් පොරොන්දු ගැන කවර විශ්වාසයක් හෝ තම වඩුමඩු තහනම් නොකෙරෙන බවට කිසිම සහතිකයක් හෝ නොමැති බවයි.

මේ අතර වඩු කර්මාන්තය සංවර්ධනය කිරීමේ නාමයෙන් එම ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධන ආයෝජන වර්ධනය කිරීමේ සැලැසුමක් ද පවතී. “දැව පදනම් වූ කර්මාන්ත- ඉදිරි දැක්ම” මැයෙන් 2014 නොවැම්බර් මස ශ්‍රී ලංකා දැව පදනම් වූ නිෂ්පාදන සංගමය පැවැත්වූ වැඩමුලුවකදී ශ්‍රී ලංකාවේ වඩු කර්මාන්තය මුහුන දෙන ප්‍රධාන ගැටලුව ලෙස නිෂ්පාදනයේ මන්දගාමී ස්වභාවය ගුනාංගීකරනය කලේය. දියුනු තාක්ෂනය හා දැනුම යොදා නොගැනීම පදම් කරන ලද දැව යොදා නොගැනීම යනාදී විවිධ කාරනා ඊට හේතු ලෙස එම සංගමයේ සභාපති චන්න විජේසේකර සඳහන් කර තිබේ.

නිශ්පාදන ඵලදායිතාව ඉහල දැමීමේ කඩතුරාව යටතේ ඉදිරියට දැමෙන මෙම යෝජනාවන්හි සැබෑ අරමුන වනුයේ යන්ත්‍රානුසාර දැව භාන්ඩ කම්හල් මගින් කුඩා වඩුමඩු විස්ථාපනය කිරීමයි.

ගෝලීය ධනවාදය යටතේ ලංකාව වැනි පසුගාමී රටවල නිශ්පාදන ඵලදායිතාව වැඩිකර ගැනීම විදේශ ආයෝජන ගෙන්වාගැනීම සමඟ බැඳී පවතී. දැනටමත් ඉකියා (ෂණෑ්) වැනි සමාගම් ආයෝජන මන්ඩලය හරහා එවන් ආයෝජනයන් සඳහා උත්සාහ දරමින් සිටී. නෝර්වීජියානු සමාගමක් වන ඉකියා යනු ලොව විශාලතම ලී බඩු අලවිකරන දාමයයි.

නව තාක්ෂනය හඳුන්වා දෙමින් නිශ්පාදන ඵලදායිත්වය ඉහල දමා ගැනීම මානව ප්‍රගතියට අත්‍යවශ්‍ය නමුත් මෙහිදී සිදු වනුයේ ධනපතියන් අතලොස්සකගේ ලාභ අවශ්‍යතා සඳහා දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපායන් සමතලා කර දැමීමයි.

සියලු ජනතාවන්ගේ ජීවිත ඉහලට ඔසවා තැබෙන අයුරින් සමස්ත සමාජ සහ ආර්ථික ජීවිතය තාර්කිකව ප්‍රතිසංවිධානය කල හැක්කේ, පුද්ගලික ලාභය සඳහා නොව මානව අවශ්‍යතාවන් සඳහා නිශ්පාදනය සිදු කෙරෙන ජාත්‍යන්තර සමාජවාදය යටතේ පමනකි. වනාන්තර ඇතුලු පරිසරය සුරැකිය හැකි වන්නේ ද ඒ අයුරෙනි.

Share this article: