ඕපියුමලෙෆ්ට් වෙබ් අඩවියට පිලිතුරක්

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 මැයි 31

මෙහි පහත පල වන්නේ, “ඓතිහාසික වගකීම ඉටුකරනු පිනිස ඔබ සූදානම්ද?” යන මාතෘකාව යටතේ ඕපියුමලෙෆ්ට් වෙබ්අඩවිය විසින්, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධනට යොමු කරන ලද ප්‍රශ්න මාලාවකට ඔහු දෙන ලද පිලිතුරුයි.

***

සංස්කාරක,

ඕපියුමලෙෆ්ට් වෙබ් අඩවිය.

“ඓතිහාසික වගකීම ඉටුකරනු පිනිස ඔබ සූදානම්ද?” යන මාතෘකාව යටතේ ඔබේ වෙබ් අඩවිය විසින්, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන කමිටු සාමාජිකයෙකු වන මා හට කරන ලද කැඳවුම සැලකිල්ලට ගතිමි.

සසප, අප්‍රේල් 21 ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය සිදුවූ තැන් පටන්, එම ප්‍රහාරයේ සහ ඒ පිලිබඳ ආන්ඩුවේ පූර්ව සහ පශ්චාත් ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් මෙන්ම, විපක්ෂයේ, මාධ්‍යයන් හි, සිංහල අන්තවාදී කන්ඩායම්වල සහ ව්‍යාජ-වාම පක්ෂවල ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් වාර්තාවන්, විශ්ලේෂන සහ ඉදිරි දර්ශන මාලාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා දැනටමත් පලකර ඇත.

අන් සෑම අවස්ථාවකදී මෙන්ම එම විශ්ලේෂන සහ ඉදිරි දර්ශනයන් ඉදිරිපත් කිරීමේ සසප අරමුන වූයේ, කම්කරු පන්තියේ දේශපාලනික විඥානය වර්ධනය කිරීම හරහා එම පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

එහිදී සසප පදනම් වන මාක්ස්වාදී මූලධර්මයන්, ඓතිහාසික සම්ප්‍රදායන් සහ ක්‍රියාමාර්ගයන් තවදුරටත් පැහැදිලි කිරීම සඳහා ඔබ ඉදිරිපත්කොට ඇති ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමට නිගමනය කලෙමි.

ප්‍රශ්න සහ පිලිතුරු:

ප්‍රශ්න අංක 1:

ඉස්ලාම් දර්ශනය හා ඉස්ලාම් අන්තවාදය අතර ඇති මූලධාර්මික සම්බන්ධය පිලිබඳව ඔබේ අදහස කුමක් ද?

පිලිතුර:

අන්තවාදයන් පවතින්නේ ඉස්ලාම් ධර්මය සම්බන්ධිතව පමනක් නොවේ. බුද්ධ ධර්මය සහ ක්‍රිස්තියානි ධර්මය ඇතුලු අනෙක් ඕනෑම ආගමික දර්ශනයක් සම්බන්ධිතව ද අන්තවාදයන් පවතී.

අන්තවාදී වුව ද නොවුන ද ආගම පිලිබඳ අපේ අදහස මෙසේය: “සියලු ආගම් යනු මිනිසුන්ගේ දෛනික ජීවිතය පාලනය කරන බලවේග ඔවුන්ගේ මනස තුල මනස්සෘෂ්ටික ලෙස පරාවර්තනය වීමක්, භෞමික බලවේග අද්භූත බලවේගවල ස්වරූපය ආරූඪ කර ගන්නා පරාවර්තනයක් මිස අන් කිසිවක් නොවේ.” (ඩූරිං විරෝධය-ෆෙඞ්රික් එංගල්ස්)

කෙසේ නමුත්, ආගමික දර්ශනයන් සහ ආගමික අන්තවාදයන් අතර සම්බන්ධය සෙවීම මාක්ස්වාදීන් වන අපේ කර්තව්‍යය නොවේ. අපේ මූලික කර්තව්‍යය වනුයේ ජාත්‍යන්තර කම්කරු පන්තියට තම විමුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් සම්පාදනය කර දීම යි.

“ඉස්ලාම් දර්ශනය හා ඉස්ලාම් අන්තවාදය අතර ඇති මූලධාර්මික සම්බන්ධය” සෙවීමේ ඔබේ ව්‍යායාමය තුල, අන්තවාදී නොවන “මධ්‍යස්ථ” මුස්ලිම්වරුන්ට ප්‍රවේශවීමේ සේයාවක් පවතී. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට එරෙහිව පුලුල් පෙරමුනක් යෝජනා කරන ඔබ ඇතුලු ව්‍යාජ-වම්මු විවිධ වර්ගයේ “මධ්‍යස්ථයන්” සොයමින් සිටිති.

එපමනක් නොව, ඔබේ ප්‍රශ්නයමත්, සමස්ත ධනේශ්වර සංස්ථාපිතය එක්ව වර්ධනය කරමින් පවත්නා මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේ කේන්ද්‍රීය තර්කය, එනම්, අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති “ඉරාකය සහ සිරියාව තුල ඉස්ලාමික රාජ්‍යය (අයිඑස්අයිඑස්)” සහ එය සමග සහයෝගීව වැඩ කලේ යැයි කියන ශ්‍රී ලංකාවේ අන්තවාදී කොටස්වල ක්‍රියාකාරකම් පිලිබඳ වගකීම ඉස්ලාම් ධර්මය සහ “ඉස්ලාමි සමාජය” විසින් භාරගතයුතු ය යන්න, නියෝජනය කරයි.

ප්‍රශ්න අංක 2:

සුලුජාතික කන්ඩායමක් තුලින් මතු වී ඇති මේ අන්තවාදය ඔවුන්ව තව තවත් ආන්තීකරනයට ලක් නොකර ඉන් මුදා ගැනීමට ඔබට ඇති යෝජනාව කුමක් ද?

පිලිතුර:

“ආන්තීකරනයෙන්” මුදා ගැනීමට නම්, ඉහත අන්තවාදී ත්‍රස්ත ව්‍යාපාරයන්ගේ නැග්ම සහ ව්‍යාප්තිය පිලිබඳව වෛෂයික සහ ඓතිහාසික තක්සේරුවක් අවශ්‍ය ය.

පසුගිය දශක කීපය තුල, මුස්ලිම්, බෞද්ධ හෝ වෙනත් ආගමික අන්තවාදී ව්‍යාපාරයන්හි වේගවත් වර්ධනයට මූලික හේතුව, ලෝක පරිමානව වර්ධනය වී ඇති භූ-දේශපාලනික සහ සමාජ ආතතීන් ය.

මෙම ආතතීන් වර්ධනය වී ඇත්තේ, ජාතික රාජ්‍ය පද්ධතිය සහ ගෝලීයකෘත ආර්ථිකය අතර ද පුද්ගලික දේපොල සහ ලාභය මත ද පදනම්වූ ධනේශ්වර නිෂ්පාදනය සහ නිෂ්පාදනයේ සාමාජීයකරනය අතර ද පවත්නා පරස්පර විරෝධයන් පෙරනොවූවිරූ ආකාරයෙන් ගැඹුරුවීම හේතුවෙනි.

ලෝක යුද්ධයක් දෙසට වන වේගවත් ධාවනය සහ පන්ති අරගලයේ ජාත්‍යන්තර පරිමාන තියුනු නැග්ම එහි ප්‍රකාශනයන් ය.

මෙයට ප්‍රතිචාරී වසයෙන්, රටක් රටක් පාසා පාලක පන්තීහු ආඥාදායකත්වයන් දෙසට වේගවත් පියවර තබිමින් සිටිති. ඔවුහු තම භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා මෙන්ම, කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීමට සහ ඔවුනට එරෙහිව කඩා පැන්නවීමට, අන්තවාදී, වර්ගවාදී සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන් පෝෂනය කොට ඉස්මත්තට ගනී.

ඉරාකය සහ සිරියාව තුල අයිඑස්අයිඑස් සහ අනෙකුත් ඉස්ලාමික අන්තවාදී කන්ඩායම්වල නැග්ම විභාග කලහොත්, එය බොහෝ කොටම, මැදපෙරදිග තුල ඇමරිකානු විදේශ පිලිවෙතෙහි නිෂ්පාදිතයක් බව පැහැදිලි වෙයි.

සිරියාවේ අල් අසාද් තන්ත්‍රය පලවා හැර තමාට හිතපක්ෂපාතී රූකඩ තන්ත්‍රයක් අටවා ගැනීම සඳහා කලක සිට දරන ප්‍රයත්නයේදී, එක්සත් ජනපදය, ප්‍රධාන යුරෝපීය බලයන් සහ ඔවුනගේ කලාපීය සගයන් වන සව්දි අරාබිය සහ කටාරය වැනි රාජ්‍යයන්, අසාද්ට එරෙහිව සටන් වැද සිටින ප්‍රාදේශීය කන්ඩායම්වලට සැලකියයුතු මිලිටරිමය, දේශපාලනික සහ මූල්‍ය සහයෝගයක් ලබා දුන්හ. ඉන් වැඩිමනත් වාසිය අත්පත් කර ගත්තේ, අයිඑස්අයිඑස් සංවිධානය සහ අනෙක් අන්තවාදී කන්ඩායම් ය.

අප්‍රේල් 21දා ප්‍රහාරයට සම්බන්ධිත ලංකාවේ ජාතික තවුහීඞ් ජමාත් සංවිධානය ද පෝෂනය වී වර්ධනය වූයේ මෙම ජාත්‍යන්තර ප්‍රපංචයේ කොටසක් ලෙසිනි.

මෙයින් තහවුරු වනුයේ, ඉහත දැක්වූ ඉස්ලාමික අන්තවාදී සංවිධානයන්හි නැග්ම සහ ඔවුනගේ ජාත්‍යන්තර පරිමාන සැහැසි ක්‍රියාවන් වනාහි, අර්බුදයට පත් ගෝලීය ධනවාදයේ නිෂ්පාදිතයක් බවයි.

ගෝලීය ධනවාදයට එරෙහි දේශපාලනික සටනකින් තොරව “ආන්තීකරනය” වැලැක්විය නොහැකි බව එහි තාර්කික නිගමනය යි. ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීන විප්ලවවාදී බලවේගයක් ලෙස නැගී සිටිමින් ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය යටතේ එම සටනට නායකත්වය දිය යුතු යි.

මෙම සටනේ කොටසක් ලෙස, ලංකාවේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරු පන්තිය එකමුතුව, ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වා ගනිමින්, ඊලම්-ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක ස්වරූපයෙන් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කල යුතුය.

“හදිසි නීතිය ඉවත් කරනු”, “මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයට එරෙහිවෙනු”, “සිංහල-දෙමල-මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව ගොඩ නගනු”, “ඊලම් - ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩුවකට සටන් වදිනු” යන සටන් පාඨ යටතේ කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතර උද්ඝෝෂනය කරමින් එම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මේ සඳහා අත්‍යවශ්‍ය වෙයි.

“ආන්තීකරනය” වැලැක්වීමේ සසප යෝජනාව එයයි.

ප්‍රශ්න අංක 3:

සෘජුව හා වක්‍රව රාජ්‍යය පාලනයේ කොටස්කාර දේශපාලන පක්ෂ හා කන්ඩායම් මුහුන දී ඇති අර්බුදයේ තරමටම වාමාංශිකයන් හා ප්‍රගතිශීලිනුත් එහි ගිලී ඇතැයි කීවොත් ඔබේ පිලිතුර?

පිලිතුර:

පලමුවෙන්ම කිව යුත්තේ සසප හැර, අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සහ කන්ඩායම් සෘජුව හා වක්‍රව රාජ්‍යය පාලනයේ කොටස්කාරයන් බවයි.

ඔබේ මේසයට කැඳවා ඇති අනෙකුත් පක්ෂ කන්ඩායම් සහ සසප, අප්‍රේල් 21දා ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිචාරයන් පිරික්සීමෙන් පමනක් වුව මෙය පැහැදිලිවෙයි.

ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩීමේ නාමයෙන් ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දෙසට ගත් විසකුරු පියවරයන්ට සසප හැර ඔබ විසින් නම්කොට ඇති “වාමාංශිකයන් සහ ප්‍රගතිශීලීන්” කවරෙකු හෝ විරුද්ධ වී නොමැත.

අප්‍රේල් ප්‍රහාරය වහා ඩැහැ ගනිමින් ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දෙසට පියවර ගනු ලැබුවේ, වැඩෙන පන්ති අරගල තලා දැමීමට බව එම සියලු පක්ෂ සහ සංවිධාන කම්කරු-පීඩිත මහජනතාවට වසන් කරයි.

එපමනක් නොව, ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, “මුස්ලිම් සමාජයට” භාර දෙමින් ඔවුහු ආන්ඩුව ඇතුලු ධනපති සංස්ථාපිතය මුස්ලිම් ජනයාට එරෙහිව ගෙනයන රාජ්‍ය මර්දනයට සහ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට සහාය දෙති.

ඒ සියල්ලටමත් වඩා, තම මූලෝපායික කක්ෂයට ශ්‍රී ලංකාව ඇතුලු කර ගැනීම සඳහා, 2015 දී වොෂින්ටනය අතදමා සිදුකල තන්ත්‍ර මාරු මෙහෙයුමේ දී මෙම පක්ෂ සහ සංවිධාන සෘජුව හෝ වක්‍රව එයට සහයෝගය දුන්හ.

එම තන්ත්‍ර මාරු මෙහෙයුම මගින් ශ්‍රී ලංකාව වොෂින්ටනයේ යුද වාසුලියට අන්තර්ග්‍රහනය කර ගැනීම තුල රටෙහිත් සමස්ත කලාපයේත් කම්කරු-පීඩිත මහජනතාවට මුහුන දීමට සිදුවන අන්තරායකාරී තත්වය පැහැදිලි කරමින්, එයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් සටන් කලේ ඔබේ මේසයට කැඳවා ඇති අය අතරින් සසප පමනි.

අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් අයිඑස්අයිඑස් සංවිධානය තම අමාක් නිව්ස් ඒජන්සිය හරහා අප්‍රේල් 23දා නිකුත් කල ප්‍රකාශය සමග පලකල මරාගෙන මැරුනු බෝම්බකරුවන්ගේ ඡායාරූපය පිලිබඳ සටහනෙහි මෙසේ සඳහන් විය: “දින දෙකකට පෙර ශ්‍රී ලංකාවේ දී, සන්ධාන රාජ්‍යයන්හි පුරවැසියන් සහ ක්‍රිස්තියානීන් ඉලක්ක කර ගනිමින් එල්ල කල ප්‍රහාරයේ ඝාතකයන් මෙම කන්ඩායම සමග සිටී.” මෙහි “සන්ධාන රාජ්‍යයන්” යනුවෙන් සඳහන් කෙරෙනුයේ අයිඑස්අයිඑස් ට එරෙහිව සටන් කරන එක්සත් ජනපදය ප්‍රමූඛ රාජ්‍යයන් ය.

මේ අනුව ත්‍රස්ත ප්‍රහාරයට හේතුව ශ්‍රී ලංකාව තුල වැඩෙන එක්සත් ජනපද ආනුභාවය බවට අනුමාන කල හැක. ප්‍රහාරය සිදු වන දිනයේත්, හම්බන්තොට වරාය පාදක කර ගනිමින් එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසයන් ක්‍රියාත්මක වෙමින් පැවතුනි.

ප්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තේ ඇමරිකානු එෆ්බීඅයි විමර්ශකයන් කන්ඩායමක් ලංකාවේ ආන්ඩුවේ ඉල්ලීමකින් තොරවම දිවයිනට කඩා වැදුනේ, ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලදී ශ්‍රී ලංකාවට සහාය දීමේ කඩතුරාව යටතේ ය.

මෙම සිද්ධි දාමයේ අර්ථය වනුයේ එක්සත් ජනපද පසමිතුරන්ගේ ඉලක්කයක් බවට ශ්‍රී ලංකාව පත්වීමේ හැකියාව වඩවඩාත් වැඩිවෙමින් පවතින බවයි.

මෙම අන්තරායන් පරාජය කිරීමට ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය ය. සසප හැර අන් සියලුම පක්ෂ සහ සංවිධාන පදනම්ව ඇත්තේ, ජාතිකවාදී ක්‍රියාමාර්ගයන් මත බැවින් ඒවා සියල්ල අර්බුදයට යාම වලකාලිය නොහැක.

ඊට විපරීතව, අධිරාජ්‍යවාදී යුද සැලසුම්වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කරමින් එක දිගටම සටන් වැදුනු සසප යේ සහ එහි ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය, සිද්ධීන් මගින් වඩාත් බලගතුව සනාථ වී ඇත.

ප්‍රශ්න අංක 4:

මෙවන් අර්බුදයක් තුල දී වත් අවම එකඟතාවයකට පැමිනීමට නොහැක්කේ වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන් තුල ඇති කට්ටිවාදය යැයි කීවොත් ඔබ එකඟ ද?

පිලිතුර:

මේ සඳහා අවම එකඟතාව විය යුත්තේ, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය යි. නමුත් සසප හැර ඔබ කැඳවා ඇති සියලු පක්ෂ සහ සංවිධාන කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට පරම ලෙසින් ම සතුරුය.

ඔබ විසින් “වාමාංශිකයෙකු” ලෙස නම්කොට ඇති කේ.ඩී. ලාල්කාන්ත නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ධනේශ්වර සංස්ථාපිතයේ දේශපාලන පක්ෂයකි. ජවිපෙ නායක අනුරකුමාර දිසානායක කියා සිටින්නේ “බල පොරය” පසෙක ලා ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ සමග ඒකාග්‍රව වැඩ කලයුතු බවයි. ඔහු මෙසේ කියයි: “මෙතන කඳවුරු දෙකයි තියෙන්නෙ. අපි එක පැත්තක, ඉස්ලාම් අන්තවාදීන් අනෙක් පැත්තෙ.”

ඔහු “අපේ පැත්ත” යනුවෙන් නම් කරනුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුන, දෙමල ජාතික සන්ධානය, ජවිපෙ සහ ව්‍යාජ-වාම පක්ෂ සහ ධනපති මාධ්‍ය ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතය නියෝජනය කරන කඳවුර යි.

අප්‍රේල් 21 දා සිද්ධිය ඩැහැගනිමින් ආන්ඩුව පොලීසියට සහ මිලිටරියට ලබා දී ඇති විෂදල වලින් පවා සැහීමට පත් නොවන ජවිපෙ නායක දිසානායක කියනුයේ, ධනපති රාජ්‍යය වඩාත් ශක්තිමත් කලයුතු බවයි: “ශක්තිමත් නීති පද්ධතියක්” සම්පාදනය කරමින් “ආරක්ෂක යාන්ත්‍රනය ප්‍රතිසංවිධානය” කලයුතු යැයි ඔහු කියයි.

ඔබේ ආරාධිත ලැයිස්තුවේ සිටින ව්‍යාජ-වම්මුන් සියලුදෙනා යෝජනා කරනුයේ, ග්‍රීසියේ “සිරිසා” සහ ස්පාඤ්ඤයේ “පොදෙමෝස්” වැනි “වාම-ජනතාවාදී” ව්‍යාපාරයන් ය. මෙම ධනපති ව්‍යාපාර පදනම්ව ඇත්තේ ධනපති ක්‍රමයම පිලියම් කොට “මානුෂීය” කිරීමේ වැඩපිලිවෙලවල් මතයි.

මෙම ව්‍යාපාරයන්හි සැබෑ ස්වරූපය වටහා ගැනීමට “සිරිසා” වේ අත්දැකීම වුව සෑහේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මධ්‍යම බැංකුව සහ යුරෝපා සංගමය යන ත්‍රිත්වය විසින් ග්‍රීසියට පනවන ලද රුදුරු කප්පාදු පියවරයන් ආපසු හරවන බවට පිලින දෙමින් මහජන ඡන්දය ගසා කා බලයට පැමිනි “සිරිසා” ආන්ඩුව එම කප්පාදු පියවර වඩාත් ගැඹුරු කරමින් සිටී.

සිරිසාවේ, පොදෙමොස් හි සහ ප්‍රන්සයේ ජීන් ලුක් මෙලන්චන්ගේ උපදේශිකාව වන ශන්තාල් මූෆ් මෙම “වාම ජනතාවාදයේ” ප්‍රමුඛ න්‍යායාචාර්යවරියයි.

මූෆ් පැහැදිලිව සඳහන් කරන පරිදි වාම ජනතාවාදී ව්‍යාපාරය එය සමාජවාදී ලෙස අනන්‍ය කර ගන්නේ හෝ ධනපති රාජ්‍යයට විරුද්ධව අරගලයකට කැඳවුම් කරන්නේ හෝ නැත. එය සිරිසාව ග්‍රීසියේදීත්, පොදෙමොස් ස්පාඤ්ඤයේදීත් කර ඇති පරිදි අන්ත දක්ෂිනාංශය සමග සම්මුතිය සහ සහයෝගිතාවය සඳහා හේතු සොයාගැනීමේ ඉඩකඩ ගැන සිහින දකියි.

කම්කරු පන්තිය සමාජවාදී ව්‍යාපාරයට දිනාගැනීමේ සටනට එරෙහි වන වාම ජනතාවාදය සහ ව්‍යාජ වම, මිත්‍යාවන් සහ වෙනත් අතාර්කික දේශපාලන රූපාකාරයන් උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් දේශනා කරයි.

මූෆ් ගේ අනුගාමිකයෙකු වන සුමිත් චාමින්ද මෙම දේශපාලනයේ ශ්‍රී ලාංකික නියෝජිතයෙකි. ඔහු තොරොම්බල් කරන “දේශපාලන ප්‍රභූ-තන්ත්‍රයට එරෙහි ජනතා බලය” නමැති සූත්‍රය නිශ්චිතව යොමු කෙරී ඇත්තේ, සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට එරෙහිව වැඩී ඇති දැවැන්ත මහජන විරෝධය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට යොමුවීම වලකා අවමංගත කිරීමටයි.

ඔබේ මේසයට කැඳවා ඇති වික්‍රමබාහු කරුනාරත්න සහ සිරිතුංග ජයසූරිය, 1964 දී ලංකා සම සමාජ පක්ෂය (ලසසප) ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ධනපති පෙරමුනකට ඇතුලු වී කරන ලද මහා පාවාදීමෙන් පසුව පවා ලසසපය තුල රැඳී සිටියහ.

1970 පිහිටුවන ලද සමගි පෙරමුනු ආන්ඩුවට එරෙහිව වැඩුනු දැවැන්ත මහජන විරෝධය හමුවේ මොවුන් දෙදෙනා ඇතුලු කන්ඩායමක්, ලසසපයෙන් ඉවත් වී නව සම සමාජ පක්ෂය (නසසප) පිහිටුවා ගත්හ. උපායික මතභේද මත ජයසූරිය පසුව ඉන් ඉවත්ව එක්සත් සමාජවාදී පක්ෂය (එසප) පිහිටුවා ගත් නමුත්, දෙදෙනාම කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට සහ ජාත්‍යන්තරවාදයට එරෙහි දේශපාලනය තුල වඩවඩාත් කිඳී ගත්හ.

කරුනාරත්නගේ දක්ෂිනාංශික ගමන කෙතරම් ද යත්, තම භූ-මූලෝපායික අවශ්‍යතා සඳහා වොෂින්ටනය මූලිකත්වය ගෙන 2015 දී ශ්‍රී ලංකාව තුල කරන ලද තන්ත්‍ර මාරුවට පූර්න පිටුබලය ලබා දුන්නේය. එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවෙකු ලෙස උත්කර්ෂයට නැංවීමේ ප්‍රතිගාමී කාර්යයෙහි ඔහු නියැලී සිටියි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන විශ්වාසවන්තයා වන වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ රුදුරු කප්පාදු සහ ආඥාදායක පාලනයක් වෙනුවෙන් නිර්දයව හඬ තලන්නෙකි.

ආන්ඩුව ක්‍රියාවට නැංවූ පොලිස්-මිලිටරි බල ගැන්වීමි වලට රබර් මුද්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති සිරිසේන කැඳවූ ඊනියා සර්ව පාක්ෂික සමුලුවට ද සහභාගි වූ කරුනාරත්න එම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට පූර්න අනුමැතිය ලබා දුන්නේ “සියල්ලටම ප්‍රථම රට පැවතිය යුතුය” යන ප්‍රතිගාමී සූත්‍රය තොරොම්බල් කරමිනි.

ජයසූරියගේ ප්‍රතිගාමී භූමිකාව ඊට දෙවෙනි නැත. 2015 තන්ත්‍ර මාරුවේදී ඊට සහාය දුන් ජයසූරිය දැන් ඔබේ යෝජනාවටම ගැලපෙන පරිදි, “රට අර්බුදයෙන් මුදා ගැනීමට” ධනපති පෙරමුනක් යෝජනා කරයි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, තම ඊනියා ජාත්‍යන්තරය වන කම්කරු ජාත්‍යන්තරය සඳහා වන කොමිටියේ (සීඩබ්ලිව්අයි) වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කරන ජයසූරිය මෙසේ පවසයි: “සමස්ත වම, ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී බලයන් සහ වෘත්තීය සමිති එකමුතු වී මෙම අන්තරායකාරී දෘෂ්ටීන් පරාජය කිරීම සඳහා යත්න දැරිය යුතු බව එක්සත් සමාජවාදී පක්ෂය අවධාරනය කරයි.”

ජයසූරිය යෝජනා කරන්නේ, ධනේශ්වරයේ සෘජු උපකරනයන් බවට පත්ව ඇති වෘත්තීය සමිති, “ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී” සලු පැලැඳගත් ධනපති කොටස් සහ ව්‍යාජ-වම්මුන්ගේ එකතුවකි. එය ධනපති පෙරමුනක් හැර වෙනත් යමක් නොවේ.

තම ප්‍රතිගාමී දේශපාලනයට වාම කවරයක් ලබාදීමේ අරමුනෙන් ජයසූරිය මෙසේ කියයි: “රට මුහුන දී සිටින දැවැන්ත සමාජ, ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්න වලින් එයට ගැලවීමට හැක්කේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ ඒකාබද්ධ අරගලයකින් පමනකි.”

කෙසේ නමුත්, එම “ඒකාබද්ධ අරගලය” පාදක වියයුත්තේ කුමන ක්‍රියාමාර්ගයක් මතද යන්න සඳහන් නොකිරීමට ජයසූරිය වගබලා ගනී.

ඔබ කැඳවන තවත් සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), තම මාතෘ ජවිපෙ මෙන්ම ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලට සෘජුව සහභාගි වෙමින් සිටී. අප්‍රේල් 21 ප්‍රහාරය ගසා කමින් ආන්ඩුව ගත් මර්දන පියවරයන්ගේ කොටසක් ලෙස විශ්ව විද්‍යාල තුල සිදු කෙරෙන මිලිටරි සෝදිසි කිරීම් වලට, පෙසප විසින් මෙහෙයවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) නියෝජිතයන් කායිකව සම්බන්ධ වූ බව අවිශිබම කැඳවුම්කරු මහීල් බන්ඩාර දෙහිදෙනිය ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය.

“විවිධ වාමාංශික කන්ඩායම් එක මේසයකට” ගෙන ඒම සඳහා පෙසප බොහෝ කලක සිට තතනයි. 2013 දී මෙවන් යලි කාන්ඩ ගැසීමක් සඳහා පෙසප විසින් අටවන ලද “වාමාංශිකයන්ගේ සංවාදය” සඳහා සසප ට කල ආරාධනය ප්‍රතික්ෂේප කරමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ ලිවීය:

“ඔබේම සංවිධානය -පෙරටුගාමී සමාජවාදී පක්ෂය- නිර්මානය කිරීම සිදු වූයේ, කුමාරතුංග ආන්ඩුවට සහභාගි වීම, වර්ගවාදී යුද්ධයට සම්පූර්න සහාය දැක්වීම හා අවසානයේ දී රාජපක්ෂ බලයට පත් කිරීම යනාදිය නිසා ජවිපෙ අපකීර්තියට පත්වීමෙන් පසුව ය. ජවිපෙ නායක කන්ඩායමක් ඉන් බිඳීම අවස්ථාවාදී ගනන් බැලීම් මත සිදු කරන ලද්දක් වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂ විසින් ජවිපෙ දේශපාලනයේ ප්‍රතිගාමී ප්‍රවේශය හෝ ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කරනු ලැබීමක කිසිදු සලකුනක් අපි නොදකින්නෙමු.”

පසුගිය සය වසර තුල ඩයස් ගේ මෙම ගුනාංගීකරනය වඩවඩත් සනාථ වී ඇත. “වාම-ජනතාවාදී” පෙරමුනු තැනීමේ මූලික කර්තව්‍යය භාරගෙන ඇත්තේ පෙසප යි. තමා විසින් දේශපාලන නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) මෙහෙයවා ගනිමින්, “සිසු-ජන පෙලගැස්ම”, “නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ව්‍යාපාරය” ආදී විවිධ නම් වලින් යුත් නිමක් නැති මහජන පෙරමුනු නිර්මානය කිරීම සම්බන්ධයෙන් පෙසපට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි.

පසුගිය රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිකම් දරමින් නිදහස් අධ්‍යාපනයේ ගහලයන් ලෙස ක්‍රියාත්මක වූ දිනේශ් ගුනවර්ධන සහ චම්පික රනවක වැනි කුප්‍රකට සිංහල වර්ගවාදීන් පවා පෙසප තම වේදිකාවට කැඳවා ගත්තේ ය. රනවක වත්මන් ආන්ඩුවේ ද ඇමතිකම් දරමින් එම ප්‍රහාරයන් සඳහා පූර්න දායකත්වය ලබා දෙමින් සිටී.

පාලකයන්ට බලපෑම් යෙදීමේ විරෝධතා දේශපාලනය තුල සිසුන් සහ කම්කරුවන් සිරකර තැබීමේ ප්‍රතිගාමී කර්තව්‍යයේ යෙදී සිටින පෙසප, ධනවාදය පෙරලා දැමීමේ ශක්‍යතාව සහිත එකම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය දෙසට හැරීමෙන් සිසුන් වැලැක්වීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දරමින් සිටී.

ඔබ විසින් කැඳවා ඇති දීප්තිකුමාර ගුනරත්න වැනි පශ්චාත් නූතනවාදීන් මාක්ස්වාදයේ මූලික පදනම්, එනම් මානව ඉතිහාසයේ ගාමකය පන්ති අරගලය යන්න මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනවා පමනක් නොව කම්කරු පන්තියක් නොපවතින බව පවා නරුම ලෙස කියාපායි.

මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරන්නන්, සමාජවාදයේ සතුරන් සහ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට එරෙහිව මහජන පෙරමුනු දේශපාලනය ජීවිකාව කරගත්තවුන්ගෙන් සමන්විත ඔබේ සාකච්ඡා මේසයට සසප කවර ලෙසකින් හෝ උනන්දු නොවනු ඇත.

දශක ගනනාවකට පසුව ජාත්‍යන්තර පරිමානව මතුව ඇති කම්කරු පන්තියේ නව සටන් රැල්ල සහ සමාජවාදය දෙසට ලෝක පරිමානව වැඩෙමින් පවත්නා මහජන නැඹුරුව ඇතුලු වෛෂයික වර්ධනයන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය සහ වැඩකටයුතු සමග අන්තර්ඡේදනය වෙමින් පවතී.

ජාත්‍යන්තර කම්කරු පන්තියට ඓතිහාසිකව අවශ්‍ය කෙරී ඇති විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමේ ලා වසර 50 කට අධික කාලයක් පුරා ආරක්ෂා කල ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන් මත සසප ස්ථිරසාරව රැඳී සිටීම “කටිටිවාදය” ලෙස මෙම ව්‍යාජ-වම්මුන් විසින් යලියලිත් නම්කර ඇත.

එසේ කරනුයේ සසප ඔවුනගේ මහජන පෙරමුනු දේශපාලනයට අංශුමාත්‍රයකින් හෝ සහනයක් නොදී කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය වෙනුවෙන් සම්මුති විරහිතව සටන් වදින බැවිනි.

ප්‍රශ්න අංක 5:

මේ මොහොතේ අවම එකඟතාවයක් යටතේ හෝ මේ අර්බුදයට සුභවාදී විසඳුම් සෙවීමට වාමාංශිකයන් හා ප්‍රගතීශීලින් එක්ව කටයුතු කල යුතු නම් එය කෙසේ විය යුතු ද?

පිලිතුර:

“මේ අර්බුදය” ඇතුලු ගෝලීය ධනපති ක්‍රමයේ සමස්ත අර්බුදයට ඇති විද්‍යාත්මක විසඳුම වනුයේ ජාත්‍යන්තර සමාජවාදය යි. එවන් පැහැදිලි විසඳුමක් තිබියදී මෙවන් සාකච්ඡා මේස සූදානම් කෙරෙනුයේ එයට එරෙහිව ධනපති ක්‍රමය තුලම විසඳුම සෙවීමේ නව වටවංගුවක කම්කරු පන්තිය සිර කිරීමට බව අත්දැකීමෙන් අපි දන්නෙමු.

එබැවින් ඔබේ සාකච්ඡා මේසයට සසප කවර ලෙසකින් හෝ උනන්දු නොවන බව නැවතත් පවසන්නෙමි.

මෙයට,

පානි විජේසිරිවර්ධන

සසප දේශපාලන මන්ඩල සභික

Share this article: