ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ජූලියන් අසාන්ජ්ට දඬුවම් කිරීම ගැන නිශ්ශබ්ද මන්ද?

Why are the Democratic Socialists of America silent on the persecution of Julian Assange?

2019 මැයි 29

පසු ගිය 24දා ජූලියන් අසාන්ජ්ට එරෙහිව එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව නිවේදනය කල ඔත්තු බැලීමේ චෝදනා, විකීලීක්ස් නිර්මාතෘ පිලිබඳ ට්‍රම්ප් පාලනාධිකාරියේ අධිචෝදනා, භාෂනය හා මාධ්‍ය නිදහස පිලිබඳ එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලවෙනි සංශෝධනයේ ආරක්ෂාව කනපිට පෙරලීමේ හා අවංක මාධ්‍යවේදය සාපරාධීකරනයේ පරිශ්‍රමය වේගවත් කරන බව පෙන්නුම් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි මෙම ප්‍රහාරය කොතරම් නිරුවත් ද යත් අන්තර්ජාල වාරනයට සහාය දී, එක්සත් ජනපද යුද අපරාධ ආරක්ෂා කර, අසාන්ජ්ට එරෙහි චරිත ඝාතනයේ යෙදී හා පරිගනක හැක් කිරීම මත ඔහුගේ උදර්පනයට සහාය දී ඇති පුවත්පත්වලට පවා, ආන්ඩුවේ රහස් ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන්, මාධ්‍ය සංවිධානයකට නඩු පැවරීමට ඔත්තුසේවා පනත පාවිච්චි කිරීමේ බියකරු පූර්වාදර්ශයක් සැකසෙමින් තිබෙන බව අනතුරු ඇඟවීමට බල කෙරුනි. මෙයට නිව් යෝක් ටයිම්ස් , වොෂින්ටන් පෝස්ට් හා වෝල් ස්ට්‍රීට් ජර්නල් අයත් ය, මේ සියල්ල අසාන්ජ්ට එරෙහි මෑත ම චෝදනාවලට එරෙහි ව විරුද්ධත්වය දක්වමින් කතුවැකි පල කලහ.

එනමුත් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (ඩීඑස්ඒ) කිසිවක් කියා නැත. ඩීඑස්ඒ ජාතික දේශපාලන කමිටුව ප්‍රකාශයක් නිකුත් කර නැත. මෙම සංවිධානයේ නිල ප්‍රකාශනය වන ලෙෆ්ට් වීක්ලි මෙන් ම එහි අනුබද්ධ ප්‍රකාශනය වන ජැකොබින් සඟරාව සමග ජැකොබින් ප්‍රකාශක බාෂ්කර් සින්කාරා ද ඔත්තුසේවා පනත යටතේ අසාන්ජ්ගේ උදර්පනය ගැන මුලුමනින් ම නිශ්ශබ්ද වී ඇත. අධිචෝදනවා වාර්තා කරන ට්වීටර් සටහනක් යෙදීමට තරම්වත් දෙයක් ඔවුන්ට නැත.

මැයි 17, නව චෝදනා ගෙන ඒමට දින පහකට පෙර, ඩීඑස්ඒ හි ජාත්‍යන්තර කමිටුව, එනම්, එක්සත් ජනපද සංවිධානයේ අභ්‍යන්තර දේශපාලන බල මන්ඩලය, මුලින් ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ සරන පැතීමට ඔහුට බල කෙරුනු, ස්වීඩන බලධාරීන් විසින් ගොතන ලද ස්ත්‍රී දූෂන චෝදනාවලට උත්තර දීමට ඔහු ඉදිරිපත් කල යුතු යැයි ඉල්ලමින්, අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීම සඳහා තම සහයෝගය ඇඟවුම් කලේය.

පසු ගිය මාසයේ තානාපති කාර්යාලයෙන් ම්ලේච්ඡ ලෙස ඇද ගෙන යාමෙන් හා බෙල්මාර්ස් හිර ගෙදරට මාරු කිරීමෙන් පසු, ස්වීඩන නඩු පවරන්නන් මීට පෙර වසා දැමුනු විමර්ශනය මෙන් ම ඔවුන්ගේ උදර්පන ඉල්ලීම යලි අවධාරනය කර ඇත. ස්වීඩනයට කෙරෙන අසාන්ජ්ගේ මොන යම් හෝ මාරුවක්, ඔහුට මරන දඬුවම නො වේ නම්, යුද්ධාධිකරන නඩුවකට හා ජීවිතාන්තය දක්වා හිර දඬුවමකට මුහුන දීමට එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ පූර්විකාවක් වනු ඇත යි යන්න ප්‍රසිද්ධ කාරනයකි.

නීති විරෝධී උදර්පනය හා වධහිංසා පැමිනවීම සඳහා එක්සත් ජනපද අධිකාරීන්ට ස්වීඩනය “සම්පූර්න බලය පැවරීම” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවල ලේඛනගත කෙරී ඇත. “ස්වීඩනය තුලදීම රැඳවුම්කරුට නරක විදියට සැලකීමට එනම්, නිරුවත් කිරීම, ඇස්බැඳීම, මුහුන වැසීම, මාංචු ලෑම, බලෙන් ඇතුලු කෙරුනු ගුදමාර්ග කූරක් මගින් බලහත්කාරයෙන් නිදිකරවීම, විශේෂයෙන් සැලැසුම් කෙරුනු ආතතිය ඇති කෙරෙන සන්නායකයට මාංචු දැමීම ආදී දේ සඳහා ස්වීඩනය නිහඬව එක්සත් ජනපද මිලිටරියට අවසර දුන් අතර තුන්වැනි රාජ්‍යයක දී වධදීමට ඔවුන්ට බාර දුන්නේ”කෙසේ දැ යි වාර්තා විස්තර කරයි.

අසාන්ජ් ට හිංසා කිරීම සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටීමෙන් ඩීඑස්ඒ සංකේතවත් කරන්නේ වඩාත් පුලුල් පරාසයක මධ්‍යම පන්තියේ ව්‍යාජ වාම සංවිධානයන් ය. පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ ප්‍රකාශනය වන ඉන්ටර්නැෂනල් විව්පොයින්ට් ශීර්ෂපාඨයක් තුල “අසාන්ජ්” යන වචනය සහිත එක ලිපියක් හෝ ලියා නැති අතර ඔහු ගැන සඳහන් කර ඇත්තේ අවස්ථා කිහිපයක දී පමනි. එක්සත් ජනපදයේ සමාජවාදී විකල්පය, පසු ගිය වසර තුලම අසාන්ජ්ගේ නම සඳහන් කර නැත. බ්‍රිතාන්‍ය සෝෂලිස්ට් වර්කර්ස් ඉල්ලා ඇත්තේ අසාන්ජ් ස්වීඩනයට පිටුවහල් කල යුතුය කියා ය.

නිශ්ශබ්දතාවේ සිට අසාන්ජ්ට හිංසා කිරීමට විවෘත ව සහාය දීම දක්වා දිවෙන මෙම සංවිධානවල ප්‍රතිචාරය පැහදිලි කල හැක්කේ කෙසේ ද?

අසාන්ජ්ට එරෙහිව ගොතන ලද ස්ත්‍රී දූෂන චෝදනා පලමුව ඉදිරිපත් කෙරුනු 2010 -2011දී, මධ්‍යම පන්තික වම්මු ඔහුගේ ආරක්ෂාවට එකතු වූහ. “අසාන්ජ්ට එරෙහි චෝදනා මූනත වටිනාකමින් ගැනීම අපහසු” යැයි දැනට අභාවයට ගොස් ඇති ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ ප්‍රකාශනය වන, සෝෂලිස්ට් වර්කර් ප්‍රකාශ කලේ ය.

2012 වන විට, ටියුනීසියාව හා ඊජිප්තුවේ විප්ලවවාදී නැගිටීම් හා අධිරාජ්‍යවාදීන්ගේ ලිබියාව හා සිරියාවේ තන්ත්‍ර වෙනස සඳහා යුද්ධ වලින් පසුව අයිඑස්ඕව, තම ආස්ථානය වෙනස් කර තිබුනි. එය මෙසේ ප්‍රකාශ කලේ ය: “අසාන්ජ්ට එරෙහි මෙම දූෂන චෝදනා බැරෑරුම් ලෙස ගැනීමට, හා දූෂන ගැන පැමිනිලි කරන කාන්තාවන්ට පුරුෂාධිපත්‍යවාදීව අවමන් කිරීමට සහභාගී නො වී, අසාන්ජ්ට එරෙහි එක්සත් ජනපද තර්ජනය බැරෑරුම් ව ගනිමින් එයට විරුද්ධත්වය දක්වන උත්සාහයන්ට සහාය දීමට සැබවින් ම මුලුමනින් ම හැකි ය.”

එහෙත් මෙය නො හැකි බව ඔප්පු කල අතර, අයිඑස්ඕව 2012 සිට මෙම වසර මුල දී එහි විසුරවා හැරීම තෙක් අසාන්ජ්ට දඬුවම් දීමට එරෙහි ඕනෑ ම විරුද්ධත්වයක් අතහැර දැමී ය.

ව්‍යජ වම්මු අසාන්ජ් අත්හැර දැමීම, මැද පෙරදිග එක්සත් ජනපද යුද්ධ සඳහා සහයෝගය දීම හා රුසියාව හා චීනයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනකාරී පියවර සඳහා පෙනී සිටීම සමඟ සම්පාත විය. ඕස්ට්‍රේලියාවේ සමාජවාදී විකල්පය පක්ෂය “තිගැස්සෙන සුලු අධිරාජ්‍ය විරෝධයට” ප්‍රසිද්ධියේ පහර දුන්නේ ය.

අයිඑස්ඕවේ හේමාර්කට් බුක්ස් මගින් ප්‍රසිද්ධ කෙරුනු ආරක්ෂා කල නොහැකි: ප්‍රජාතන්ත්රවාදය, ප්‍රතිවිප්ලවය හා අධිරාජ්‍ය විරෝධී පුරසාරම් (In Indefensible: Democracy, Counterrevolution, and the Rhetoric of Anti-Imperialism) නම් පොතේ දී රෝහිනී හෙන්ස්මන්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සිරියාවේ එක්සත් ජනපද තන්ත්‍ර වෙනසට විරුද්ධ වූ ජෝන් පිල්ගර් ඇතුලු සියලුදෙනාට එරෙහි දැඩි ප්‍රහාරයක කොටසක් ලෙස අසාන්ජ් “පුටින්ට ආකර්ෂනය වීම” හෙලාදුටුවාය.

සිරියාව තුල එක්සත් ජනපද මැදිහත්වීම ආරක්ෂා කිරීමේ දී ඩීඑස්ඒ තරමක් පරීක්ෂාකාරීව ඉඳ ඇති අතර, එය එක්සත් ජනපදය අනුබල දෙන ඉස්ලාමීය කැරැල්ල “ජනතා විප්ලවයකින්” සමන්විත ය යන්න ද ඇතුලුව, සීඅයිඒ හා එහි සහචරයන් විසින් තොරොම්බල් කෙරුනු මුසාවන්හි හිර වී ඇත. තවද, එය එවක් පටන් සිරියානු ආන්ඩුව රසායනික අවි පාවිච්චි කලේ ය යන නින්දිත එක්සත් ජනපද ප්‍රකාශවලට සහාය දී ඇත.

ඩීඑස්ඒ තම දේශපාලන කටයුතු කේන්ද්‍රගත කරන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට තම කැපවීම ගැන පුන පුනා ප්‍රතිඥා දී ඇති බර්නී සෑන්ඩර්ස්ගේ 2020 ජනාධිපතිවරන අපේක්ෂකත්වය ප්‍රචාරය කිරීම මත ය. ඔහු 2016දී සඳහන් කලේ, සෑන්ඩර්ස්ගේ ජනාධිපති ධුරය, විදේශයන්හි විශේෂ මෙහෙයුම් වලටත්, ඩ්‍රෝන් ප්‍රහාර ඇතුලු සියලු දේ වලටත් සහාය දෙනු ඇති බවයි.

අසාන්ජ් ගැන ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ නිශ්ශබ්දතාව පැහැදිලි කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට තම යටත් වීමේ දේශපාලන ගම්‍යයන් ය. වසර දෙකක් තිස්සේ , ඩිමොක්‍රටිකයන් අසාන්ජ් තම භූතාවතාරය කර ගෙන ඇත්තේ, ට්‍රම්ප්ගේ ධවල මන්දිරය හා ක්‍රෙම්ලිනය අතර තිබුනා යයි තමන් ගොතන ලද කුමන්ත්‍රනයේ කේන්ද්‍රීය සම්බන්ධය ලෙස පෙන්වා දෙමිනි.

ඔවුන් 2016 තම මැතිවරන පරාජය (තම අපේක්ෂකයා ලෙස, නින්දිත යුදවාදිනියක් මෙන් ම වෝල් වීදියේ කාලතුවක්කුව ඉදිරියට දැමීමේ ප්‍රතිඵලයකි) අනන්‍ය කලේ, සෑන්ඩර්ස් ට එරෙහි මූලික ඡන්දය කොල්ල කෑමේ ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ උත්සාහය හා වෝල් වීදයට වැඳ වැටෙන ක්ලින්ටන්ගේ කතා, විකීලීක්ස් විසින් හෙලිදරව් කිරීම සමගිනි.

අධිරාජ්‍යවාදය සඳහා ඩීඑස්ඒ සහාය හා අසාන්ජ්ට දඬුවම් කිරීම සම්බන්ධ එහි නිශ්ශබ්දතාව ප්‍රකාශ කරන්නේ, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි අතිමූලික වසයෙන් උදාසීන, පොහොසත් ඉහල මධ්‍යම පන්තියේ සංවිධානයක් ලෙස තම සාරභූත සමාජ ස්වභාවය යි. සමාජවාදය කෙසේ වෙතත් මෙම සංවිධානවල කියනු ලබන “වාමවාදය” බොරුවක් බව එය පෙන්වා දෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මෙන් ම කම්කරු පන්තියට හතුරු දක්ෂිනාංශික ධනේශ්වර දේශපාලන පසුබිමේ අත්‍යාවශ්‍ය කොටසකි.

කම්කරු පන්තිය තුල, තරුනයන් හා මධ්‍යම පන්තියේ කොටස් අතර, අසාන්ජ් සඳහා මෙන් ම අකටයුතු හෙලිකරන්නියක වන චෙල්සී මෑනිංට දැඩි හා පුලුල් සහායක් තිබේ. එක්සත් ජනපදය තුල මෙන් ම ලෝකය පුරා මිලියන ගනනාවක් එක්සත් ජනපද අපරාධ පිලිබඳ අසාන්ජ්ගේ හෙලි කිරීම දකින්නේ, මනුෂ්‍යවර්ගයාට කෙරෙන අතිවිශාල සේවයක් ලෙස ය. අසාන්ජ් හා මෑනිංගේ නිදහස ඉල්ලීම සඳහා වන මෙම සහයෝගය බලුමුලු ගැන්විය යුත්තේ, යුද්ධය, සමාජ අසමානතාව හා ඒකාධිපතිත්වයේ මූලාශ්‍රය වන ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලයේ කොටසක් ලෙස ය.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: