ට්‍රම්ප් ඉවත් කිරීමේ ධාවනයට මුලර් දිරිය දෙයි

Mueller encourages drive to remove Trump

2019 මැයි 30

විශේෂ නීතිඥ රොබට් මුලර් විසින් බදාදා නිකුත් කල විස්මිත ප්‍රකාශයකින්, 2020 මැතිවරනයට මත්තෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය යැයි නිගමනය කර ඇති ඇමරිකානු පාලක පන්තියේ කොටස් වලට වෙඩි උන්ඩ සැපයීය.

2016 මැතිවරනවලදී සිදුවූයේ යැයි කියන රුසියානු ඇඟිලි ගැසීම් සහ ශක්‍ය දුස්සන්ධානය පිලිබඳව ද ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් විසින් යුක්තියට කරන ලද බාධාවන් පිලිබඳව ද වසර දෙකක් පුරා සිදු කෙරුනු විමර්ශනය ගැන ප්‍රථම ප්‍රසිද්ධ ප්‍රකාශය කිරීමට මුලර් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ ය. අප්‍රේල් 18 දා තමන් විසින් නිකුත් කල වාර්තාවේ පදානුයෝජනයට හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා සමීපව අනුකූල වූ නමුත් තම වාර්තාව මගින් ට්‍රම්ප් සාපරාධී වැරැදි වලින් නිදහස් වී ඇතැයි ධවල මන්දිරය කියන කතා පැහැදිලිව ප්‍රතික්ෂේප කලේය.

අධිකරන දෙපාර්තමේන්තුවේ දිගුකාලීන නීති මගින් බලයේ සිටින ජනාධිපතිවරයකුට එරෙහිව ජාතික අපරාධයන් සම්බන්ධයෙන් චෝදනා කල නොහැකි බැවින් ට්‍රම්ප්ට එරෙහිව සාපරාධී වැරැද්දක් සම්බන්ධව චෝදනා ගොනුකල නොහැකි බව මුලර් අවධාරනය කලේය. යුක්තියට සාපරාධී ලෙස බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු ට්‍රම්ප් නිර්දෝෂී නොකල නමුත් එයට විකල්පව ඔහු කියා සිටියේ අධිකරන දෙපාර්තමේන්තුවේ ඉහත ප්‍රතිපත්තිය නොතිබුනේ නම් ඔහුට ජනාධිපතිට එරෙහිව අධිචෝදනා ගොනුකල කල හැකිව තිබූ බවයි.

“ජනාධිපති පැහැදිලිවම කිසිදු අපරාධයක් සිදු නොකල බවට අපට විශ්වාසයක් තිබුනේ නම් අපට එය පැවසීමට හැකිව තිබුනි. කෙසේ වෙතත් ජනාධිපති අපරාධයක් සිදු කලාද යන්න අපි නිර්නය නොකෙලෙමු”යි විශ්‍රාම යන විශේෂ නීතිඥයා පැවසුවේය.

“බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ වැරදි සම්බන්ධයෙන් විධිමත් ලෙස චෝදනා ගොනු කිරීමට නම් සාපරාධී නීති පද්ධතියට වඩා වැඩි ක්‍රියාදාමයක් ව්‍යවස්ථාවට අවශ්‍ය කෙරෙන” බව පැවසූ ඔහු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ගයන් සඳහා කොන්ග්‍රසයට අවශ්‍යයෙන්ම ආරාධනා කලේය.

එජ අධිරාජ්‍යවාදයේ - ජාත්‍යන්තර සහ ජාතික - කටයුතු පරිපාලනය කිරීමට ට්‍රම්ප්ගේ හැකියාව ගැන විශ්වාසය භංග වී ඇති පාලක පන්තියේත්, රජයේත් වැඩෙන කල්ලියකගේ ප්‍රකාශකයා ලෙස, එජ බුද්ධි අංශයේ සහ පොලිස් සංස්ථාපිතයේ දිගු කාලීන අංගයක් වූ මුලර් තම මැදිහත් වීම සිදු කලේය.

මුලර් වාර්තාව ප්‍රසිද්ධියට පත් කල දින පටන් ගෙවීගිය සති 10 ඇතුලත සිදු වූ දේවල් සලකා බලන්න.

මදුරෝට බලයේ රැඳී සිටීමට ඉඩ හරිමින් ද, එජ පිටුබලය ලද බොරුකාර ගුඅයිඩෝ හුදෙකලා කරමින් සහ සුලු මහජන සහයෝගයක් සහිත එජ රූකඩයක් බව අනාවරනය කරමින් ද, වෙනිසියුලාව තුල ට්‍රම්ප්ගේ තන්ත්‍රමාරු කුමන්ත්‍රනය අසාර්ථක විය. හමුදා මැදිහත්වීමක් සඳහා පීඩනය යොදමින් සිටින පරිපාලනය තුල කොටස් පමනක් එයින් දිරි ගැන්වී ඇත.

ආර්ථික අවිනිශ්චිත භාවය උග්‍ර කරමින් ද මූල්‍ය වෙලඳපොලවල් පෙරලා දැමීමට තර්ජනය කරමින්ද ට්‍රම්ප් චීනය සමග වෙලඳ යුද්ධය තියුනු කර ඇත. ජේපී මෝර්ගන් චේස් ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් පූර්න තීරුු බදු යුද්ධයක දරුනු ප්‍රතිඵල ගැන මෙම සතියේ අනතුරු අඟවමින් සංගත මූල්‍ය ප්‍රභූවේ උත්සුකය ප්‍රකාශ කලේය.

රුසියාව සහ චීනය වැනි න්‍යෂ්ටික සන්නද්ධ බලයන් වහා මැදිහත් කෙරෙන පූර්න යුද්ධයකට තුඩු දිය හැකි ප්‍රකෝපකරනයක් තුල ට්‍රම්ප් විසින් ඉරානයට, ප්‍රහාරක ගුවන් යානා රැගත් නාවික බලකායක් යවනු ලැබුවේ රට “අවසන්” කරන බවට තර්ජනය කරමිනි.

නිම කල ජනාධිපතිගේ ජපාන සංචාරය තුලදී, ට්‍රම්ප් උතුරු කොරියාව සම්බන්ධ විදේශ ප්‍රතිපත්ති පිලිබඳ තම ප්‍රමුඛ උපදේශකයින්ගේ ආස්ථානයන් සමග ප්‍රසිද්ධියේ ගැටුනේ ඉරානයට එරෙහි ශක්‍ය හමුදා මැදිහත්වීම ගැන මතභේද ඇඟවුම් කරමිනි.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව තම ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට එජය විසින් තහවුරු කෙරුනු ජාත්‍යන්තර සබඳතාවල මූලික ව්‍යුහය තවදුරටත් දුබල කරමින්, යුරෝපා සංගමයට පහර දෙන යුරෝපයේ අන්ත දක්ෂිනාංශික ජනතාවාදී නායකයින්ට ට්‍රම්ප් තම සහාය ප්‍රකාශ කලේය.

රට තුලදී, ඇමරිකාවේ ධනපති පාලනයට මුක්කුව සැපයූ ව්‍යවස්ථාමය ව්‍යුහයන්ට යටින් වල කපමින් ෆැසිස්ට් පන්නයේ කොටස් වලට ආමන්ත්‍රනය කරන අතර කුමන හෝ කොන්ග්‍රස් මන්ඩලීය අධීක්ෂනයක් ප්‍රතික්ෂේප කරමින්, ධවල මන්දිරය අසීමිත ජනාධිපති බලතල තහවුරු කරමින් සිටියි.

ට්‍රම්ප්ට එරෙහි පාලක පන්ති කොටස, වෙනිසියුලාව තුල මැදිහත් වීම ද චීනයට එරෙහිව පීඩනය උග්‍ර කිරීම ද ඇතුලු ඒ හෝ මේ යුදකාමී ප්‍රතිපත්ති තීරන සම්බන්ධයෙන් ඔහු සමග නොඑකඟවනවා නොවේ. එහෙත් ඔවුන්ගේ උත්සුකය වන්නේ එජ මූලෝපාය ක්‍රියාත්මක කරගෙන යාම සඳහා ට්‍රම්ප් චංචල සහ පූර්වාපේක්ෂිත නොවන කෙනෙකු යන්න පිලිබඳව යි. තවදුරටත්, බුද්ධි අංශයේ සහ හමුදා තන්ත්‍රයේ බලගතු කොටස්වල ස්ථිරසාර උත්සුකය වන්නේ පරිපාලනය රුසියාවට එරෙහිව ඇති තරම් ආක්‍රමනශීලී නොවන බව යි.

ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටිකයින්ගේ විරෝධය කේන්ද්‍ර වී පවතින්නේ ඔහුගේ සැබෑ අපරාධ, එනම්, සංක්‍රමනික දරුවන් මහා පරිමානයෙන් රඳවනු ලැබීම (මෙම තත්වය ගැන එක්සත් ජාතීන් පවසන්නේ වධදීම් වලට සමාන බවයි), තම දේශසීමා තාප්පයට මුදල් සැපයීම සඳහා හදිසි තත්වය ප්‍රකාශ කිරීම, යුද අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා තමා සතු සමාව දීමේ බලය දුස්භාවිතය සම්බන්ධයෙන් නොවේ. ඒ වෙනුවට ඔවුනගේ විරෝධය කේන්ද්‍ර ව පවතින්නේ ක්‍රෙම්ලිනය සමග කල කුමන්ත්‍රනයක ප්‍රතිඵලය ලෙස ට්‍රම්ප්ගේ මැතිවරන ජයග්‍රහනය සිදුවූයේය යන විකාර සහගත සහ ගොතන ලද චෝදනා වලට යි.

මේවා සියල්ලම සිදුවෙමින් පවතින්නේ පාලක පන්තිය තුල භීතියේත්, කුලප්පුවේත් මනෝභාවය නිර්මානය කරමින් එජයේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තියේ වැඩෙන සටන් රැල්ලක සහ සමාජවාදය කෙරෙහි වැඩෙන මහජන උනන්දුවක තතු යටතේය. එක්සත් ජනපදයේ ලෝක ආර්ථික ස්ථානය එක දිගටම පිරිහෙන තතු තුල විදේශ පිලිවෙත සම්බන්ධිත තියුනු නොඑකඟතාවන්, රටතුල කැරැලිකාරීවන කම්කරු පන්තිය සමග අවශ්‍ය නිපුනතාවයෙන් ගනුදෙනු කිරීම සඳහා ට්‍රම්ප් පාලනාධිකාරය අතිශයින් අස්ථිර සහගත වෙතැයි යන හීතිය සමග වෙලී පවතී.

ක්‍රියාපටිපාටිය වෙනස් කරමින්, දෝෂාභියෝග ක්‍රියාවලිය ආරම්භ කිරීම අනුමත කිරීම සඳහා ඩිමොක්‍රටික කථානායිකාව වන නැන්සි පෙලෝසිට කෙරෙන ඉල්ලීම්, මුලර්ගේ පෙනීසිටීම මගින් උග්‍ර කෙරිනි. දෝෂාභියෝගය සඳහා කැඳවීම් කිරීමේදී ඩිමොක්‍රටික ජනාධිපති අපේක්ෂකයින් වන කමලා හැරිස්, එලිසබෙත් වොරන් සහ ජුලියන් කැස්ත්‍රෝ සමග නිව් ජර්සි හි සෙනේට් සභික කොරේ බුකර් පෙල ගැසුනි.

ඩිමොක්‍රටික පෙරටුගාමියකු වන හිටපු උප ජනාධිපති ජෝ බිඩන් පැවසුවේ ජනාධිපති තම වත්මන් ක්‍රියාපටිපාටිය දිගටම කරගෙන යන්නේ නම් “දෝෂාභියෝගය මග නොහැරිය නොහැකි” බවයි. දෝෂාභියෝගයට සහය දෙන එකම රිපබ්ලිකානුවා වන රිපබ්ලිකානු කොන්ග්‍රස් සභික ජස්ටින් ඇමාෂ් ට්වීට් පනිවිඩයකින් දැන්වූයේ “බෝලය ඇත්තේ අපේ පැත්තේ, කොන්ග්‍රස් මන්ඩලයේ” යනුවෙනි.

දෝෂාභියෝග ක්‍රියාපටිපාටිය අධීක්ෂනය කරන පාර්ලිමේන්තු අධිකරන කමිටුවේ සභාපති ජෙරල්ඞ් නැඞ්ලර් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කලේ “සියලුම විකල්පයන් මේසය උඩ ඇත” යනුවෙනි. කෙසේ වෙතත් දෝෂාභියෝගය පිලිබඳ කුමන හෝ යෝජනාවක් ගෙන ආවොත් එයමත් සමස්ත දේශපාලන පද්ධතියම බිඳ වැටීමට තර්ජනය කරනු ඇත. නියෝජිත මන්ත්‍රී මන්ඩලය ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ආවද, ඔහු වරදකරුවකු බවට පත් කරමින් තනතුරෙන් ඉවත් කිරීමට සෙනේට් සභාව තුල රිපබ්ලිකානුවන්ගෙන් සැලකිය යුතු කන්ඩායමකගේ සහාය අවශ්‍ය කෙරෙයි. මෙහි අර්ථය වනු ඇත්තේ රිපබ්ලිකානු පක්ෂයේ දේශපාලන බිඳ විසිරීයාමකි. තමන්ව තනතුරෙන් ඉවත් කරනු ලැබීම ට්‍රම්ප් විසින් සාමකාමීව පිලිගනු ඇතැයි දේශපාලන සංස්ථාපිතය තුල විශ්වාසයක් නොමැත. දේශපාලන බලය රැක ගැනීම සඳහා තම ෆැසිස්ට්මය පදනමට ඔහු ආමන්ත්‍රනය කරනු ඇතැයි යනුවෙන් භීතියක් පවතී.

කොන්ග්‍රසයෙන් ට්‍රම්ප් නෙරපනු ලැබුවහොත්, ඔහු වෙනුවට පත්වනු ඇත්තේ ප්‍රතිගාමිත්වයෙන් නොඅඩු උප ජනාධිපති මයික් පෙන්ස් ය.

කම්කරු පන්තිය ඉදිරියේ පවතින තීරනාත්මක ගැටලුව වන්නේ තමාගේම වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය මත පාදකව මැදිහත් වෙමින් ධනපති පාලනයේ දේශපාලන අර්බුදයට ප්‍රතිචාර දැක්වීමයි. වොෂින්ටනයේ ගැටුම වනාහි මහජනතාවට හොරෙන් ක්‍රියාත්මක වන එකම පාලක ප්‍රභූවේ ප්‍රතිවාදී දක්ෂිනාංශික, මිලිටරිවාදී කල්ලි අතර සිදුවන්නකි.

කෙසේ වුවත්, මෙම ගැටුම දිග හැරුනද, එය නිර්මානය කරනු ඇත්තේ යුද්ධය දෙසට ධාවනය උග්‍ර කිරීම සහ කල්ලි දෙකම මුලුමනින්ම සහය දෙන ජුලියන් අසාන්ජ් සහ චෙල්සි මෑනිං පීඩාවට පත් කිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම ය. “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය” මත රුසියානු ආන්ඩුවේ ප්‍රහාරවල උපකරනයක් ලෙස විකිලීක්ස් ක්‍රියා කරයි යන ව්‍යාජ කියාපෑම, තම කරුනු ඉදිරිපත් කිරීමේදී, මුලර් යලිත් ප්‍රකාශ කලේය.

ට්‍රම්ප්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී විකල්පයක් නියෝජනය කරනවා වෙනුවට, අසමානතාවයට සහ මර්දනයට එරෙහිව කම්කරුවන්ගේ දැඩි කෝපය විසින් තම පද්ධතියේ පැවැත්මට තර්ජනය කෙරෙන්නේ නම්, සී අයි ඒ සංවිධානයේ සහ එෆ්බීඅයි සංවිධානයේත් තම හමුදා සහ එහි සගයින් කැඳවුම් කිරීමට ඩිමොක්‍රටික පක්ෂය මැලි නොවනු ඇත. ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තියේ සිට ඩිමොක්‍රටිකයෝ තම සමස්ත වෑයම ම කැප කරනු ලැබ ඇත්තේ ඔහුගේ පාලනාධිකාරයට එරෙහි මහජන විරෝධය යටපත් කරමින් වාෂ්ප කිරීමටත් එය දක්ෂිනාංශික යුද-ගැති ප්‍රතිපත්ති පිටුපස ගාල් කිරීමටත් ය.

ඇත්තෙන්ම, දෝෂාභියෝගයට ඩිමොක්‍රටික නායකත්වයේ ප්‍රතිරෝධයට ප්‍රධානම හේතුව වන්නේ කම්කරු පන්තියට තම අවශ්‍යතාවන් බලමුලු ගැන්වීම සඳහා යම් හෝ මාවතක් විවෘත වනු ඇතැයි යන භීතියයි.

සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අනිවාර්යයෙන්ම පරදුවට තබමින් පාලක පන්තිය තම අභ්‍යන්තර ගැටුම් වල නිරතව සිටියදී කම්කරු පන්තියට නිෂ්ක්‍රීය ප්‍රේක්ෂකයකු ලෙස බලා සිටිය නොහැක. යුද්ධය අවසන් කිරීම, අතිමහත් සම්පත් යලි බෙදා හැරීම සහ සමාජ සමානතාවය ඇති කිරීම ඇතුලු තම අවශ්‍යතාවයන් සඳහා වන කම්කරු පන්තියේ සටන, රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටිකයින් යන දෙකොටසටමත්, ධනපති ක්‍රමයටත් එහි රාජ්‍යයටත් එරෙහි ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක දැවෙන අවශ්‍යතාවය මතු කරයි.

බැරි ග්‍රේ

Share this article: