එක්සත් ජනපදය සහ චීනය ගැටීමේ මාවතක

The US and China on a collision course

2019 ජුනි 3

ආර්ථික සහ භූ මූලෝපායික තරග කාරයෙකු ලෙස බෙයිජනයේ නැගීම වැලැක්වීම සඳහා යුද්ධයක් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් බව ප්‍රකෝපකාරී ක්‍රියා මාලාවක් මගින් තහවුරු කරනු ලබයි.

පසුගිය සති අන්තයේ දී සිංගප්පූරුවේ පවැත්වුනු වාර්ෂික ෂැංග්‍රිලා ආරක්ෂක සමුලුවේ දී එක්සත් ජනපදය සහ චීනය අතර දැන් කෙරෙමින් පවත්නා “සීතල යුද්ධය”, “ගිනියම්” යුද්ධයක් බවට පත්වීම කරා ප්‍රධාන පියවරක් ගනු ලැබුනි. අතිශයෝක්තියට නුපුරුදු යයි පතල ද ෆිනැන්ශල් ටයිම්ස් පුවත් පත ඒ ගැන මෙසේ ලිවී ය: “එක්සත් ජනපදය සහ චීනය අතර වැඩෙන වෙලඳාම පිලිබඳ අර්බුදය මිලිටරි ගැටුම සහ පූර්න යුද්ධය පිලිබඳ තර්ජනය උග්‍ර කර තිබේ.”

එවන් ගැටුමකට මැදිවනු ඇති පැසිෆික් ජාතීහු, අලුත් පැසිෆික් යුද්ධයක් ඇතිවීමට ඉතා ආසන්න බව පිලිබඳව මෙම සමුලුවේ දී අනතුරු හැඟවූවෝ ය.

පිලිපීන ආරක්ෂක ඇමැති ඩෙල්ෆින් ලොරෙන්සා මෙසෙ කීය, “එහෙයින් අපගේ ඉමහත්ම භීතිය නම් ප්‍රථම ලෝක යුද්ධය වැනි තවත් ජාත්‍යන්තර ඝට්ටනයක් තුලට නින්දෙන් ම ගමන් කිරීමයි.” ඔහු මෙසේද කීය. අපගේ ආර්ථික අන්‍යොන්‍ය රඳා පැවැත්මට සම්බන්ධ ජාලයන් බිඳී යාමත් සමග එලඹ ඇත්තේ යුද්ධයට පාර කපමින් උග්‍රවන පසමිතුරුකම් ය.”

එක්සත් ජනපද නිලධාරිහු චීනය මිලිටරිමය වශයෙන් කොටු කර ආර්ථික වශයෙන් ගෙල මිරිකා දැමීමේ ඔවුන්ගේ උත්සාහය උග්‍ර කිරීම පිනිස සමුලුව යොදාගත්තෝය. චීනය වනාහී “ප්‍රදේශය පුරා ඇමරිකානු ප්‍රානසම ආසක්තයන්ට බරපතලම දිගු කාලීන තර්ජනය” යයි වැඩ බලන එජ ආරක්ෂක ලේකම් පැටි්‍රක් ශනහන් ප්‍රකාශකලේ ය.

එක්සත් ජනපද නෞකාවක් මූලික කර ගත් ප්‍රහාරක නක්ඩායමක්/ඡායාරූප අනුග්‍රහය : එක්සත් ජනපද නාවුක හමුදාව (Credit: US Navy)

යන්තම් දින කිහිපයකට පෙර, ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්, වෙස්ට් පොයින්ට් යුද්ධ අහ්‍යාස ආයතනයෙන් නික්මෙන අභ්‍යාස ලාභින් අමතා කතා කරමින් පැසිෆික් කලාපය, යුරෝපය සහ ඇමරිකාව යන ප්‍රදේශ වල යුද්ධය උපාධි අපේක්ෂකයින්ගේ ජීවිත කාලය තුලම එන බවට අනාවැකි පල කලේය.

“ඔබගේ ජීවිතයේ කිසියම් අවස්ථාවකදි, ඔබට ඇමරිකාව වෙනුවෙන් යුද භූමියේ සටන් වදින්නට සිදුවන බව සහතික කාරනයකි. ඔබලාගෙන් සමහරෙක් කොරියනු අර්ධද්වීපයේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සටනට එක්වනු ඇත. එනම් උතුරු කොරියාව සාමයට දිගින් දිගටම තර්ජනය කරන තතු හා චීනය වඩවඩාත් මිලිටරීකරනය වෙමින් සිටින තතු තුල එය අපගේ පැවැත්මට අභියෝගයක්ව ඇති ප්‍රදේශය තුලය. රුසියාව ජාත්‍යන්තර දේශ සීමාවන් වෙනස් කරමින් සකසාගැනීමට බලහත්කාරයෙන් යත්න දරන යුරෝපය තුල පමනක් නොව ඔබගෙන් සමහරුන්ට මෙම අර්ධගෝලය තුල ම ද යුද සේවය සඳහා කැඳවනු ලැබීම ට ඉඩ තිබේ.

“ඒ දිනය එලඹෙන කල්හි, ඔබ තුවක්කු වෙඩි හඬට අනුව යමින් ඔබේ යුතුකම ඉෂ්ට කරනු ඇති බවත්, සටන් කර ඔබ දිනන බවත් මම දනිමි.”

එක්සත් ජනපදයේ කටයුතු අත්‍යසාමාන්‍යව අවිචාරවත් හා ප්‍රකෝපකාරී ය. ස්වකීය ආධිපත්‍යයට අභියෝගයක් එල්ලවී ඇතැයි දකින එක්සත් ජනපදය චීනය තම අධ්‍යාසයට යටත් කර ගැනීම සඳහා තමන් අත ඇති සෑම මෙවලමක්ම - මිලිටරි බලයද ඇතුලුව- යොදා ගැනීමට සූදානම්ව සිටී. ඒ සමගම එක්සත් ජනපදය ලෝකය පුරාම ගැටුම් එක විට උග්‍ර කරමින්- වෙනිසියුලාවේ තන්ත්‍ර මාරුව සහ ඉරානයට “මුහුනදීමට” යයි තව තවත් හමුදා මැද පෙරදිගට යවමින් - දෙදරායමින් පවත්නා සිය ගෝලීය ආධිපත්‍යය මිලිටරි මාධ්‍ය මගින් තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටියි.

චීනයේ ආරක්ෂක ලේකම් වෙයි ෆිංහේ එක්සත් ජනපද තර්ජනයට තමාගේ ම මිලිටරිමය හඬින් ප්‍රතිඋත්තර දුන්නේ ය. “කවුරුන් හෝ මායිම පැනීමේ අවදානමට බැහැ ගත්තොත් [මහජන විමුක්ති හමුදාව] අධිෂ්ඨානයෙන් ක්‍රියාකොට සියලු සතුරන් පරාජය කරනු නිසැකය.” ඔහු තායිවාන බෙදුම්වාදයට දිරි දීමෙන් වැලැකෙන ලෙස එක්සත් ජනපදයට අනතුරු හඟවමින් මෙසේ ද කීය, “කවුරුන් හෝ තායිවානය චීනයෙන් බිඳීමට උත්සාහ කලොත්, චීන හමුදාවට ඉතුරුවන්නේ අවසානය දක්වා සටන් කිරීම පමනි. ඒ හැර අන් විකල්පයක් ඇත්තේ නැත.”

එක්සත් ජනපදය සහ චීනය අතර භේදය සංකේන්ද්‍රනයව තිබෙන්නේ චීන රජය විසින් “මේඞ් ඉන් චයිනා 2025” යනුවෙන් නම් කර ඇති ආරම්භකත්වය පිලිබඳව ය. මෙම සලැස්ම යටතේ චීන කර්මාන්ත වලට ඉහල -අගයක්- එකතුකරන හා අධි- තාක්ෂනික නිෂ්පාදනයේ ප්‍රසාරනයක් මගින් එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් සාම්ප්‍රදායිකව ආධිපත්‍යය දැරෙන ක්ෂේත්‍රය තුලට ප්‍රසාරනය වීමක් අපේක්ෂිතය.

ගත වූ දශක ගනනාව තුල චීන සමාගම් රොබෝ යන්ත්‍ර, මොබයිල් දුරකථන, සහ තොරතුරු තාක්ෂනය වැනි ක්ෂේත්‍ර වල අධි-තාක්ෂනික අංශයේ විශාල වර්ධනයක් අත් කරගෙන තිබේ. මෙම වර්ධනය වඩාත් කෙලින් ප්‍රකාශිත වූයේ හුආවේ නම් චීන ජංගම දුරකථන සහ විද්‍යුත් සංනිවේදන සමාගම මේ අවුරුද්ද අවසානවන විට ලෝකයේ ප්‍රධාන ජංගම දුරකථන (smartphone) නිෂ්පාදකයා බවට පත්වීමට සූදානම් තත්වයක් උද්ගත වීමත් සමග ය.

එක්සත් ජනපද සමාගම් විසින් හුආවෙ සමාගමට මෘදුකාංග සහ උපාංග විකිනීම තහනම් කිරීමත් සමඟ පසු ගිය මාසයේ එක්සත් ජනපදය හුආවෙ ඇපල් සහ සැම්සුං සමාගම්වල ගෝලීය තරග කරුවෙකු ලෙස සැබවින්ම එය වනසා දමීම සඳහා පියවර ගත්තේය. ගූගල් සමාගම, ඇන්ඩ්‍රොයිඞ් ව්‍යවහාර පද්ධතිය සහ ඒ හා බැඳුනු සේවාවන් ගෙන් හුආවෙ සමාගම ට සැපැයීම වලක්වා ලූ අතර බ්‍රෝඞ්කොම් සහ ක්වොල්කොම් තමන් ඉදිරියට හුආවෙ සමාගමේ නිෂ්පාදනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය චිප් සම්පාදනය නවතන බව ප්‍රකාශ කර තිබේ.

මේ පියවරයන්ට ට්‍රම්ප් ගේ ධවල මන්දිරයේ පමනක් නොව එ.ජ. ප්‍රධන දේශපාලන පක්ෂ දෙකේම ද සහය ලැබේ. චීනය ගෝලීය තාක්ෂනයේ දී පමනක් නොව, එමගින් මිලිටරිමය වශයෙන් ද එක්සත් ජනපදයේ සමප්‍රතිමල්ලවයෙකු බවට පත්වීමට ඉඩ නොදිය යුතු යයි එකඟතාවයක් ඇමරිකානු පාලක පන්තිය තුල පැන නගිමින් තිබේ.

ඇමරිකාව සහ චීනය අතර ආතතීන් වැඩී ඒම මඟින් 1989 තියන් ආන් මෙන් චතුරශ්‍රයේ මහාඝාතනයෙහි 30ස් වන සංවත්සරය මුවා කොට යටපත් කරනු ලැබ ඇත. 1989 කම්කරුවන් සහ ශිෂ්‍යයන් ට එරෙහි මර්දනකාරී ප්‍රහාරය ආරක්ෂා කරමින් සමුලුවේ දී, “එම විරෝධතා වනාහී “මධ්‍යම ආන්ඩුව විසින් මර්දනය කල යුතු වූ දේශපාලන කලබැගැනි ය ...ඒ මගින් චීනයට ස්ථාවරත්වය අත්කර ගැනීමට හැකිවී තිබේ. එය අතීත ඉතිහාසය ට අයත් දෙයක් බව ඔබ චීනයට පමිනුනොත් බලාගත හැකි” යයි වෙයි කියා සිටියේය.

එහෙත් දශක තුනක “ස්ථාවරත්වය” හමුවේ, චීනය ඇමරිකානු සහ ලෝක ධනවාදයයේ යෝධ ශ්‍රම කඳවුරක් බවට සැබවින්ම පරිවර්තනය කරනු ලැබුවේ දැවන්ත වියදමකිනි. චීනය අධිරාජ්‍යවාදී රටක් නොවේ. එය තවමත් රඳා පවතින්නේ විදේශීය මහසංගත වල ආයෝජනය සහ මූල්‍ය සම්පාදනය මතය. දැන්, යලිත් වරක් ලෝකය මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම පිනිස ඕනෑම දුරක් යාමට තීන්දු කොට ඇති එක්සත් ජනපදයේ වෙඩි ඉලක්කය බවට චීනය පත්ව තිබේ.

තියන් ආන් මෙන් චතුරශ්‍රයේ මහා ඝාතනයෙන් ක්ෂනික ඉක්බිත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙසේ ලිවීය. “චීනය තුල මර්දනය සිදුකරනු ලබන්නේ කෙලින්ම අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා සඳහා ය. චීන කම්කරුවන්ට පහර දීමේ දී නිලධරය වැඩ කරන්නේ අධිරාජ්‍යවාදයේ ඒජන්තයා ලෙස ය. “කම්කරු විනය” යලි තහවුරුකොට ධනේශ්වර පුනස්ථාපනය සහ උග්‍ර සූරාකෑමේ සහ සමාජ අසමානතාවයේ පිලිවෙත් වලට එරෙහිව නැගීඑන කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩලීමට එය ක්‍රියාකරමින් සිටී.”

ප්‍රථම බුෂ් පාලනාධිකාරය එම ඝාතනය ප්‍රසිද්ධියේ හෙලා දුටුව ද එම සිද්ධිය “අභ්‍යන්තර කාරනාවක්” බව රහසින් චීන පාලකයන්ට දන්වා සිටි අතර ඒ සමගම චීන-ඇමරිකානු සම්බන්ධය “රටවල් දෙකේ ම පොදු ආසක්තතා උදෙසා” ප්‍රානසම වැදගත් කමක් දරන බව ද අවධාරනය කලේ ය. ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය මෙසේ ද පැවසීය, “චීන කම්කරුවන්ගේ විනාශවූ සිරුරු රහ කරන අධිරාජ්‍යවාදය ඒ සමගම කඨෝර ප්‍රති-කොමියුනිස්ට්වාදී ප්‍රචාරය උදෙසා ඒවා පාවිච්චි කිරීමට ද බලයි. ඔවුන් අපේක්ෂා කරන්නේ මෙම මර්දනය ශ්‍රමය සූරා කැම වඩාත් ඉහල මට්ටමට නංවනු ඇතිය යන්නයි. ඔවුහු දැනටම චීන භූමියේ ක්‍රියාත්මක වන සෘජු ආයෝජන සහ ඒකාබද්ධ ව්‍යවසායයන් ගේ ලාභ අනුපාතික තව දුරටත් ඉහල නැංවීමට මෙම මර්දනය උපස්ථම්හක වෙතැ යි ගනන් බලති.”

හරියටම සිද්ධ වූයේ ද එයයි. වහවහා “පෝසත් වන” ලෙස චීන ව්‍යවසායකයන් දිරිගැන්වූ ඩෙං ෂියාඕ පිං ගේ 1992 දකුනු සංචාරයෙන් ඉක්බිත්තේ, චීනයේ එජ ආයෝජන ප්‍රසාරනය විය. මෙය චීන කම්කරු පන්තිය සූරා කෑම තුලින් ඇමරිකානු සංගත වලට යෝධ ලාභ සම්භාරයක් ලබාදුන් අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහල තට්ටු ද පුදුමාකර ලෙස පොහොසත් කලේය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අනුගත වීමද එය සමග හවුල් වීම ද චීනයේ ජාතික සංවර්ධනයට සාමකාමී මාවතක් සපයා දෙනු ඇතැයි යන චීන නායකයන්ගේ කුතර්ක මායා සිහිනයක් බව ඔප්පු වී හමාරය.

චීන නිලධාරීන් ඇමරිකානු නියමයන් පිලිගතහොත්, චීන ආර්ථිකයට යෝධ පහරක් එල්ලවී, විරැකියාව උග්‍රකොට මහජන විරෝධතා සහ දේශපාලන පෙරලි ජනනය කරනු ඇත. එහෙත් එක්සත් ජනපදයට මුහුනදී නැගී සිටිමේ අර්ථය, ඉක්මනින් හෝ කල් ගතව හෝ න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධ්‍යක් ජනනය කොට, ශුභ වාදීව කියතොත් පැති දෙකේ ම මිලියන ගනන් මරනයට පත් වීමයි.

පලමුවන ලෝක යුද්ධය පුපුරා යාමත් සමග ලෙනින් අධිරාජ්‍යවාදය පිලිබඳව හඳුනාගත් සියලුම නීති ගෝලීකරනය සහ තාක්ෂනික වර්ධනයන් විසින් ඉක්මවනු ලැබ ඇතැයි යන සකල තර්කයන් ම සාවද්‍ය බව දැන් තියන් ආන් මෙන් චතුරශ්‍රයේ මහා ඝාතනයෙන් තිස් වසරකට පසු ව තහවුරු වී ඇත. ලෝකය යලි බෙදීමක් කරා යමින්, අලුත් කෝලාහලයක යෙදී ඉන්නා ධනේශ්වර පර්යාය තවත් ලෝක යුද්ධයක් කරා වේගයෙන් පෙරලී යමින් ඇත.

මානව වර්ගයා සහ මේ මහා ව්‍යසනය අතර නැඟී සිටින එකම බලවේගය නම් ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. අධිරාජ්‍යවාදී යුද්ධයට මුල් වූ ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක් මගින් චීනයේ ද, එක්සත් ජනපදයේද මුලු ලෝකයේ ම ද කම්කරු පන්තිය තම අරගලයන් ඒකාබද්ධ කර ගැනීම ඉතා හදිසි අවශ්‍යතාවයකි. මෙහි අර්ථය, චීනය ද ඇතුලු මුලුමහත් ලෝකය පුරාම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි කම්කරු පන්ති ව්‍යාපාරයේ පෙරටු බල ඇනිය ලෙස ගොඩනැගීමයි.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: