ලෙජර්වත්ත වත්තේ කලමනාකාරීත්වය කම්කරුවන්ගේ විරෝධතාව මර්දනය කිරීමට ආරක්ෂක හමුදා කැඳවයි

එම්. දේවරාජා සහ ආර්.එම්. ගුනතිලක, 2019 ජුනි 28

ලෙජර්වත්තේ කොටස් හතරක සිංහල හා දෙමල කම්කරුවන් හා තරුනයන් 1,000කට වැඩි පිරිසක් නාරංගල හන්දියේ දී මැයි 28 දා විරෝධතාවක නිරත වූ හ. එදින කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී විරෝධතාව පැවැත්වූයේ වත්තේ මාර්ගය ප්‍රතිසංස්කරනය නොකිරීමත් ඔවුන්ට එරෙහිව මිලිටරිය සහ පොලිසිය මැදිහත් කිරීමට විරුද්ධත්වය පල කිරීමත් සඳහාය. අවට ගම්වාසීහු ද කම්කරුවන්ගේ උද්ඝෝෂනයට සහාය පලකලහ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි-ඇල නගරයේ සිට කිලෝමීටර 21ක් දුරින් පිහිටා ඇති ලෙජර්වත්ත අයිති මල්වත්ත වතු සමාගමට ය. මීට පෙර, වතු කලමනාකරනය විසින් කොන්ත්‍රාත් කරුවන්ට විකුනන ලද වත්තේ ටර්පන්ටයින් ගස්කපා ලොරි මගින් ප්‍රවාහනය කරද්දී කම්කරුවෝ මාර්ගය අවහිර කර ඊට බාධා කලහ. වත්ත සංවර්ධනය කරනවා වෙනුවට එහි ගස්කපා මුදල් උපයා ගන්නේ යයි කම්කරුවෝ සමාගමට චෝදනා කරති. කම්කරුවන් මාර්ගය අවහිර කිරීමට විරුද්ධව වතු පාලකයින් බදුල්ල පොලිසියට හා නගරයේ ස්ථානගත කර සිටින හමුදාවට පැමිනිලි කලහ.

පැමිනිල්ලෙන් පසු නාරංගල නගරයට ජීප් රියකින් පැමිනි හමුදා භටයන් එහි සිටි කම්කරුවන්ට දැව ප්‍රවාහනය කරන විට මාර්ගය අවහිර නොකරන ලෙස අවවාද කර ඇත. විරෝධතාවයේ මූලිකත්වය ගත් කම්කරුවන් පස් දෙනෙකු කැඳවූ බදුල්ල පොලීසිය එලෙසම ඔවුන්ට අනතුරු ඇඟ වුයේය. කම්කරුවන් විරෝධතාව පලකලේ මිලිටරියේ හා පොලිසියේ මෙම බියගැන්වීම වලට එරෙහිවයි.

පාලක එක්සත් ජාතික පක්ෂයේ ඇමතියෙකු හා එහි ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති සුරේෂ් වඩිවේල් ප්‍රශ්නය විසඳීමට මැදිහත්වන්නෙකු ලෙස ව්‍යාජව පෙනී සිටියත් දැව ප්‍රවාහනය දිගටම සිදුවෙයි.

ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) හා කඳුරට පෙරමුන වත්ත විනාශකරන පාලකයින් සමග එකට වැඩ කරයි.

විරෝධතාව සඳහා ආසන්නත ම නිමිත්ත, වතු කලමනාකාරීත්වය විසින් කපනු ලබන ටර්පන්ටයින් ගස් ප්‍රවාහනය කිරීම හේතුවෙන් වත්තේ පාර අබලන්වීමට විරෝධය පලකිරීම වූ අතර, රැකියා දහස් ගනනක් විනාශ කිරීමේ තර්ජනය මතු කරමින් වත්ත කොටස් කිරීමට එරෙහි ව ද කම්කරුවන් අතර විරෝධය වර්ධනය විය. තේ නැවත වගා කිරීම අත්හැර දමා තිබීම නිසා වත්තේ සමහර කොටස් පුරන් වී තිබේ. තේ වගාව අත්හරිමින් සමාගම වානිජමය වටිනාකමක් ඇති ටර්පන්ටයින් හා අලිගැට පේර වැනි පලතුරු වගාව සිදුකරන්නට පටන්ගෙන ඇත.

“අපිට දවස ගානේ රස්සා නැති වී යනවා. අපි ජීවත් වෙන්නේ හරි ම අමාරුවෙන්. ටර්පන්ටයින් ගස් 165ක් කැපූ කලමනාකාරීත්වය රුපියල් මිලියන 10ක් විතර හම්බ කරගත්තත් අපිට සතයක් වත් දුන්නේ නැහැ” යි කම්කරුවෝ ලෝසවෙඅ වෙත කී හ.

තවත් කම්කරුවෙක් ප්‍රවාහාන දුෂ්කරතා විස්තර කලේය: “අපි ප්‍රධාන පාරෙ ඉඳන් කිලෝමීටර 4ක් විතර ඇවිදගෙන එන්න ඕන. වත්තේ බස් සේවාවක් නැහැ. ත්‍රීවීලර් එකකින් එනකොට රුපියල් 350ක් ගෙවන්න ඕන. පාර අලුත්වැඩියා කරන්න මුදල් වියදම් කිරීම කලමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කරනවා.”

1992 දී වත්ත පුද්ගලීකරනය කිරීමෙන් පසු සමාගම් තේ වගාව විනාශ කල ආකාරය කේ. සිවලිංගම් නමැති 64 හැවිරිදි විශ්‍රාමික කම්කරුවෙක් පෙන්වා දුන්නේය: “මම ජීවත් වෙන්නෙ දෙවන කොටසෙ. කලින් අක්කර 300ක තේ වගා කර තිබුනා. දැන් තේ තියෙන්නේ අක්කර 42ක විතරයි. කලින් කම්කරුවො 325ක් වැඩකලත් දැන් ඉන්නෙ 65ක් විතරයි.

ඔහු මෙසේ ද කී ය: “රැකියා නැතිකම දරුනු යි. ගොඩක් තරුනයො රස්සාවල් හොයාගෙන කොලඹ ගිහිල්ල. බි්‍රතාන්‍ය කාලෙ නාරංගල හදපු ලොකු තේ ෆැක්ටරිය අවුරුදු 15කට කලින් වැහුව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කම්කරුවො 100කට විතර රස්සාවල් නැති වුනා. සීඩබ්ලිව්සී, කඳුරට ජනතා පෙරමුන, ලංකා ජාතික වතු කම්කරු සමිතිය වගේ ඔක්කොම වෘත්තීය සමිති මේ දේවල් කරන්න කලමනාකාරීත්වයට සහයෝගය දුන්න.”

42 හැවිරිදි කේ. ශක්තිවේල් මෙසේ කීවේ ය: “මම ටික කාලයක් වත්තෙ වැඩකරල ස්ථීර වෙන්න කල් ගතවෙන හින්ද ඒකෙන් අයින් වුනා. ශ්‍රී ලංකාවෙ කම්කරු නීතියට අනුව දවස් 180ක් වැඩකරන කම්කරුවන් ස්ථීර කල යුතු වුවත් කලමනාකාරීත්වය ඒක නො තකා හරිනව. හැම මාසෙක ම වෘත්තීය සමිති කම්කරුවන්ගෙන් රුපියල් 150ක සාමාජික මුදලක් කපා ගත්තත් ඒගොල්ලො කම්කරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙ නැහැ. අපේ වත්තට ඉස්පිරිතාලයක් නැහැ. දොස්තර කෙනෙක් හිටියත් එයා වැඩකරන්නෙ වත්තේ කන්තෝරුවෙ. ඒ හින්ද කිලෝමීටර 4ක් ගෙවාගෙන ගලඋඩ ඉස්පිරිතාලෙට යන්න ඕන.”

වෘත්තීය සමිතිවල හා ආන්ඩුවේ සහයෝගය සහිත ව ඵලදායිතාව ඉහල දැමීම සඳහා ආදායම් බෙදාගැනීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමට තීරනය කර ඇති සමාගම දැව, පලතුරු හා ෆාම් තෙල් වැනි වානිජමය වගාවන්වලට මාරුවීමට ද සැලසුම් කරති. අවස්ථා දෙකේ දී ම කම්කරුවන්ට රැකියා මෙන් ම ඊපීඑෆ් හා ඊටීඑෆ් (අර්ථසාධක අරමුදල්) ඇතුලු සමාජීය ප්‍රතිලාභ අහිමි වේ.

මෙම සැලසුම්වලට විරුද්ධ ව කම්කරුවන් අතර විරෝධය වර්ධනය වේ. වෘත්තීය සමිතිවල විරෝධතාව සහ වතු සමාගම්වල හා ආන්ඩුවේ තර්ජන නො තකා වතු කම්කරුවන් 100,000කට අධික පිරිසක් මෑත දී වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂනයේ නිරත වූහ. සමාගම් හා ආන්ඩුව යන දෙපර්ශ්වයම මෙම වැඩෙන විරෝධය කෙරෙහි බියපත් ව සිටිති. කම්කරුවන්ට එරෙහි ව ආරක්ෂක හමුදා කැඳවීම පෙන්නුම් කරන්නේ, වතු සමාගම් හා ආන්ඩුව කම්කරුවන්ගේ විරෝධය නිර්දය ලෙස තලා දැමීමට තීරනය කර ඇති බව යි. එය වතු කම්කරුවන්ට පමනක් නො ව සමස්තයක් ලෙස කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි.

Share this article: