වරාය කම්කරුවෝ පුද්ගලීකරන වැඩ පිලිවලට විරෝධය දක්වති

විලානි පීරිස් විසිනි, 2019 ජූනි 29

කොලඹ වරායේ පිහිටි නැගෙනහිර බහාලු‍ පර්යන්තය (ඊසීටී) පිලිබඳ සහයෝගීතා ගිවිසුමක්, ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර මැයි 28 දා කොලඹ දී අත්සන් කල බව වරාය, නාවික කටයුතු සහ දක්ෂින සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කර ඇත. ගිවිසුමට අනුව රාජ්‍යයන් ත්‍රිත්වයම එක්වී ඉදිරි කටයුතු සිදුකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් හැකි වහාම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලු‍ම මෙහෙයුම් වලින් සියයට පනස් එකක කොටස් ශ්‍රී ලංකාව සතුවන අතර හවුල් පාර්ශවයන්ට මිලදී ගතහැකි කොටස් ප්‍රමානය සියයට හතලිස් නවයකි.

මෙම ගිවිසුම මගින් තවත් කම්කරුවන් විශාල ප්‍රමානයක රැකියා අහිමිවන බව ද ඊසීටී ය වරාය අධිකාරියට අහිමි කිරීමෙන් පසු ජය බහාලු‍ම් පර්යන්තය ද (ජේසීටී) විදේශික ආයෝජකයන්ට පැවරීමට පිඹුරුපත් සකසමින් සිටින බව ද වරාය කම්කරුවෝ පවසති.

ශ්‍රීලනිප, එජාප ආන්ඩු විසින් කොලඹ වරාය සතු සම්පත් විශාල ප්‍රමානයක් පුද්ගලීකරනය කිරීම හේතුවෙන් වරාය අධිකාරිය යටතේ සේවය කල කම්කරුවන් දහස් ගනනකට රැකියා අහිමි වී ඇත. 1970 දශකයේ වරාය අධිකාරිය යටතේ 20,000 ක් පමන සේවකයන් සිටි නමුත් අද එම සංඛ්‍යාව 10,000 ක් පමනය. ස්ථිර සේවකයන් වෙනුවට, වරප්‍රසාද අහිමි කරන ලද, මිනිස් බල කම්කරුවන් සොච්චම් වැටුපකට සේවයේ යෙදවීම සෑම ආන්ඩුවකම පිලිවෙත බවට පත්ව ඇත.

පුද්ගලීකරනය හේතුවෙන් වරාය අධිකාරියේ බහාලු‍ මෙහෙයුම් ප්‍රමානය පහලට බසිමින් ඇති බවද වාර්තාවේ. 2014 දී වරාය අධිකාරිය විසින් බහාලු‍ම් මිලියන 2.6 ක් මෙහෙයවා ඇති නමුදු එය ක්‍රමයෙන් අඩුවී 2018 පලමු අර්ධය තුල එය මිලියන 1.1 දක්වා පහල බැස ඇත. වාර්තා වන අන්දමට දැන් වැඩිම බහාලූ මෙහෙයුම් ප්‍රමානයක් කරමින් තිබෙන්නේ වරාය තුල ඇති විදේශීය සමාගම් සතු පර්යන්තවලින්ය.

2013දී එවකට පැවති රාජපක්ෂ ආන්ඩුව හම්බන්තොට වරායේ එක අංශයක පාලනය චීන සමාගමකට පැවරෙනසේ කොටස් ප්‍රමනයක් විකුනු 2016 දී ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ මුලිකත්වය ගැනීමෙන් වත්මන් ආන්ඩුව චීනයට අයත් මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට වරායේ පාලනය හිමිවන පරිදි 70 ක කොටස් ඊට විකුනූ අතර වරායට ආසන්න හෙක්ටෙයාර් 15 අවුරුදු 99 කට බදු දුන්නේය. වරයා එලෙස පුද්ගලිකරනයෙදී කම්කරුවන් සිය ගනනකගේ රැකියා ද අහෝසිකර දමන ලදී.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ලංකාවේ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරනුයේ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු‍ සුබසාධන ක්ෂේත්‍රයන් සඳහා වන වියදම් වඩවඩාත් කප්පාදු කරන ලෙස සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය වේගවත් කොට අය-වැය පරතරය අඩුකර ගන්නා ලෙසයි.

වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂවල සහාය ඇතිව ආන්ඩුව ක්‍රියාවට නංවමින් සිටින්නේ එම විධානයන් වන අතර වරාය කම්කරුවන් මුහුන දී සිටින්නේ ඒ යටතේ එල්ල වන ප්‍රහාරන්ට ය.

ලංකාව තුල මූලෝපායිකව වැදගත් ස්ථාන සඳහා ඉන්දියාවේ ඉල්ලු‍ම වැඩිදියුනුවූයේ හම්බන්තොට වරාය චීනයට පැවරීමත් සමගය. එසේ චීන සමාගමට පවරා සති දෙකකට පසුව වාර්තා වූයේ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (එම්ආර්අයිඒ) සියයට 70 ක කොටසක් වසර 40 කට බදු ගැනීම සඳහා නවදිල්ලිය ඉදිරිපත් කල ඉල්ලු‍ම් පත්‍රය ගුවන් හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අනුමත කල බවයි.

අප්‍රේල් 21 දා එල්ල කල ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් පසු, ශ්‍රී ලංකාව තුල මිලිටරි සහභාගීත්වය ගැඹුරු කිරීමට ඇමරිකාව ක්‍රියාකරමින් සිටින අතර, කලාපයේ ඇමරිකානු මූලෝපායික සහකරු වන ඉන්දියාව කලාපය තුල තම අධිකාරිත්වය ඉහල නැංවීම වේගවත් කොට ඇත. කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීම සඳහා වසර දෙකක පමන සාකච්චාවක් ඉදිරියට ගිය අතර අප්‍රේල් 21 දා ප්‍රහාරයත් සමග මෙම ගිවිසුම තහවුරු කරන ලදි.

ආන්ඩුවල පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව අරගලයක් නොකිරීම ගැන වරාය කම්කරුවෝ වෘත්තීය සමිති බරපතල විවේචනයට ලක් කරති. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික සේවක සගමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පුද්ගලී කරනයට මුලු‍මනින් සහයෝගය දෙන බව පවසති. ජවිපෙ සමිති පූද්ගලීකරනයට විරුද්ධ බව ප්‍රෝඩාකාරීව පවසන නමුත් ආන්ඩුවේ සමස්ත පුද්ගලීකරනයට පක්ෂ බව ඔවුහු පෙන්වා දෙති.

ටග් යාත්‍රා සේවකයෙකු වන අනුර ලෝක සමාජවාදී වෙබ් අඩවියටකියා සිටියේ මේ වන විට වරාය පාලනාධිකාරිය කම්කරුවන් කොටස් වශයෙන් කැඳවමින් තම පුද්ගලීකරන න්‍යාය පත්‍රය ඔවුන්ට ගිල්ලවීමට උත්සාහ දරමින් සිටින බවයි.

ඊසීටී පුද්ගලීකරනය මගින් වරාය අධිකාරිය සතු ජය බහාලු‍ පර්යන්තයේ (ජේසීටී) ක්‍රියාවලියට සිදුවන ඍජු බලපෑම අනුර මෙසේ පැහැදිලි කලේය: “කොලඹ වරායේ, විශේෂයෙන්ම ජේසීටී එකේ කන්ටේනර් ප්‍රමානයෙන් සීයට හැත්තෑවක් වගේ ඉන්දියාවෙ. ඒවා ප්‍රති අපනයනය කරන එක තමයි අපි කරන්නේ. ඉතින් ඊසීටී එක ඉන්දියානු සමාගමකට දුන්නොත් ඒ ඔක්කොම කන්ටේනර් එතෙන්ට යනවා; එතකොට ජේසීටී එක පාඩුයි කියලා ඒකත් විකුනාවි.”

අනුර තව දුරටත් කියා සිටියේ වරාය පුද්ගලිකරන වැඩපිලිවෙල අනුප්‍රාප්තික ආන්ඩු සියල්ලක්ම ඉදිරියට ගෙන ගිය එකක් බවයි. තමා සේවය කරන ටග් යාත්‍රා අංශය පුද්ගලීකරනය සඳහා වසර කීපයක් පුරා උත්සාහ දරන බව ඔහු පැවසුවේය.

“මුලින්ම මහින්ද රාජපක්ෂ ආන්ඩු කාලේ පුද්ගලික ටග් බෝට්ටු තුනක් සේවයට දැම්මා තාවකාලිකව කියලා, දැන් මේ ආන්ඩුව යටතේ, ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක් ගෙන්වපු ටග් බෝට්ටු තුනක් අවුරුදු දෙකකට කුලියට අරගෙන දාල තියනවා, දවසකට මේවට ගෙවන කුලිය ඇමරිකන් ඩොලර් දාස් ගානක්. මේ ටග් බෝට්ටු හදන්ඩ, මෙහෙයවන්ඩ, අලු‍ත්වැඩියා කරන්න ඇති තරම් ශ්‍රමය හා දැනුම තියෙද්දී තමයි මේ කුලියට අරගන්නේ.”

නැගෙනහිර පර්යන්තය සම්බන්ධ නව ගිවිසුමට එරෙහිව ජවිපෙ පසුගිය සතියේ උඝෝෂනයක් සිදුකලද ඔවුන් පවසන්නේ යෝජිත ගිවිසුම “රටට අවාසි සහගත” බව මිස, පුද්ගලීකරනය නතර කල යුතුය යන්න නොවන බවත් හෙතෙම තවදුරටත් පැහැදිලි කලේය.

ජය බහාලු‍ පර්යන්තයේ කන්ටේනර් රියදුරෙකු වන ලියනගේකියා සිටියේ වරායේ මහා පරිමාන පුද්ගලීකරන වැඩපිලිවෙලක් රහසිගතව දියත් වෙමින් ඇති බවය. “ඊසීටී පිටරටට දෙන්න ගිවිසුම ගහන්න සති කීපෙකට කලිනුත් සභාපති තුමා (වරාය අධිකාරියේ) ඇවිත් කිව්වා, ඒක අධිකාරිය යටතේ සංවර්ධනය කරනවා, අලු‍තින් ක්‍රේන් ගෙන්නන්නත් සැලසුම් කරලා තියෙන්නේ කියල. අපිට කියන්නේ එක දෙයක් වෙන්නේ සම්පුර්නයෙන්ම වෙන දෙයක්. දැන් කතාවක් තියනවා ජේසීටී ඉන්දියාවට දෙන්න යනවා කියලා.”

මේ පුද්ගලීකරන වැඩපිලිවෙල ක්‍රියාත්මක වුනොත් මහා පරිමානයෙන් සේවකයන් ඉවත් කෙරෙන බව හා ස්ථිර සේවකයන් තවමත් භුක්තිවිඳින සහන අතලොස්ස පවා කපා දැමෙන බව ඔහු තව දුරටත් කියා සිටියේය. “මේක අපේ රැකියා වලට සුනාමියක් වේය කියලා තමයි අපි හිතන්නේ. පුද්ගලිකරනයට විශාල විරෝධයක් සේවකයෝ අතර තියෙනවා. නමුත් ඒකට එරෙහිව ඒකරාශිවෙන්න බැරි විදිහට සේවකයෝ බෙදල තියෙන්නේ.”

කම්කරුවන් බෙදීමට, වරායේ පාලන අධිකාරිය ගෙනයන කුමන්ත්‍රන වලින් සමහරක් ඔහු මෙසේ විස්තර කලේය. “අධිකාරියේ එක එක සුවිශේෂ වැඩ වලට දීර්ඝ කාලීනව පුහුනු කරපු සේවකයෝ ඉන්නවා. එහෙම පුහුනු කරපු ජ්‍යෙෂ්ඨ සේවකයෝ ඉන්දැද්දි, වයසින් හා සේවයෙන් අඩු සේවකයන්ව, ඊට වඩා පහල ශ්‍රේනියක් හා අඩු වරප්‍රරසාද යටතේ ඒ වැඩ වලටම බඳවා ගන්නවා. එහෙම කන්ඩායම් වාදයක් ඇති කලාම, මේ දෙගොල්ල කිසිම සටනකට එකතු කරන්න බැහැ.”

පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් පෙලගස්වා ගැනීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ වෘත්තිය සමිති බව ලියනගේ ප්‍රකාශ කලේය. “මිනිස්සුන්ට යූඑන්පී, ශ්‍රී ලංකා සමිති එපාම වෙලා තියෙන්නේ. මිනිස්සු ඒවායෙන් අහක් වෙල ජේවීපී සමිතියට බැඳුනා, ඒගොල්ලොත් මේ අවස්ථාවේ පුද්ගලීකරනයට විරුද්ධව මොනම සටනක්වත් ගන්නේ නැහැ. මේ හැමෝගෙම ඇත්ත දැන් සේවකයන්ට පැහැදිලියි.”

කම්කරුවන්ගේ අත්දැකීම එය වුවත්, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය කියා සිටින්නේ “සියලු‍ කම්කරුවන්ගේ එකමුතුවකින්” ආන්ඩුවට බලපෑම් දැමීමකින් කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැක ගත හැකි බවයි. ජවිපෙ නායකයෙකු වන කේ.ඩී. ලාල්කාන්ත තමන්ගේ පරන තැටියම වාදනය කරමින් මෙසේ පැවසීය. “මේ සම්බන්ධයෙන් අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයටත් සැලකිය යුතු කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි විවිධ සටන් ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීමට තීරනය කරලා තිබෙනවා.” ආන්ඩුව මේ විකිනීමේ ක්‍රියාමාර්ගය අත්හරින තුරු, “සත්‍යග්‍රහ”, “උද්ඝෝෂන”, “මත විමසුම්” ආදී ක්‍රියා රැසක් සංවිධානය කරන බවට ලාල්කාන්ත පාරම් බෑවේය.

මහා බේගලයක් ඇදබාමින් ඔහු කියා සිටියේ හම්බන්තොට වරාය විකිනීමට එරෙහිව ජවිපෙ සටනක් කල බව යි. පොලිස් හා නාවික හමුදාවේ තර්ජනයන්ට මුහුන දෙමින් හම්බන්තොට වරාය කම්කරුවන් ගෙනගිය අධිෂ්ඨානශීලී අරගලයට සහාය පිනිස අවම වශයෙන් කොලඹ වරාය කම්කරුවන් නොකැඳවූ ජවිපෙ හා ඊට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවා සංගමය අනෙකුත් වෘත්තීය සමිති සමග එක්ව එම අරගලය හුදෙකලා කොට පාවා දුන්නේය.

දකුනු කොලඹ වරාය පර්යන්තයන් චීනයට පැවරීමේදී ජවිපෙ සහ එයට අයත් සමිති කවර හෝ සටනක් සංවිධානය නොකලේ ය. කෙසේ නමුත්, “දකුනු කොලඹ වරාය චීනයට දුන්න වෙලාවේ සැලකිය යුතු සටනක් පැනනැගුනේ නැහැ” යැයි පවසමින් ලාල්කාන්ත කම්කරුවන්ට මත වරද පැටවීය.

ජවිපෙ උත්සාහ දරන්නේ ඊනියා විරෝධතා උද්ඝෝෂන වටවංගු කීපයක කම්කරුවන් යලි යලිත් සිර කොට ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීමටයි. ආන්ඩුවල පුද්ගලීකරන වැඩපිලිවෙලට ඉදිරියට ගෙන යාමට බලයේ සිටි ආන්ඩුවලට හැකි වුයේ ජවිපෙ නායකත්වයදෙන සමිතිය ඇතුලු‍ සියලු‍ වෘත්තීය සමිති ඊට එරෙහිව අරගලයක් සංවිධානය කිරීමට මුලුමනින් විරුද්ධවූ නිසා ය. සමිති ප්‍රකාශ කලේ විරෝධතා ව්‍යාපාරයකින් ජාමුඅ ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට නතර කිරීමට ආන්ඩුවලට බලපෑම් කලහැකි බවයි. පුද්ගලීකරන තර්ජනයට මුහුන දෙන අනෙකුත් රාජ්‍ය ආයතනවල ද සමිතිවල ක්‍රියා කලාපය මීට වෙනස් නැත.

වරාය කම්කරුවන්ට තම අයිතීන් රැක ගැනීම වෘත්තීය සමිති මගින් කල නොහැකි ය; එමෙන් ම ධනපති පන්ති පාලනය තුල තමන්ගේ අයිතීන් රැක ගත නොහැකි බවයි.

කම්කරුවන් වෘත්තිය සමිතිවලින් ස්වාධීනව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත්කරගන්නා ක්‍රියාකාරී කමිටු මගින්, ආන්ඩුවේ ප්‍රහාරවලට ලක්ව සිටින අවශේෂ කම්කරුවන්ගේ ද සහයෝගය ගොනුකර ගනිමින් පුද්ගලීකරනයට එරෙහිව අරගලය සංවිධානය කරගත යුත්තේ මේ නිසාය.

මෙම අරගලය සමාජවාදී ප්‍රතිපත්ති සඳහා ද ඒවා ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ද යොමු කලයුතුයයි සමාජවාදී සමානතා පක්ෂය කියා සිටී.

Share this article: