රුහුනු සරසවි පරිපාලනය ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූනි 17

අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මත ආන්ඩුව ගෙන යන ප්‍රහාර තවත් ඉදිරියට ගෙන යමින් රුහුනු විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ජූනි මස 4 වැනි දා එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ගේ හා ලේකම් ඉන්දික විදානපතිරන ගේ ශිෂ්‍යභාවය අහෝසි කොට තිබේ.

පරිපාලනය විසින් මෙම ශිෂ්‍යභාවය අහෝසි කිරීම සිදු කර ඇත්තේ පසුගිය මැයි මස 30 දින රුහුනු සරසවියේ ශිෂ්‍ය සංගමය මෙහය වූ උද්ඝෝෂනයක් අතරතුර එම සංගමය අනුබද්ධ වී සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) නියෝජිතයන් දෙදෙනෙකු විශ්වවිද්‍යාල පරිශ්‍රයට කැඳවා ගැනීම යන අභූත චෝදනා මතයි. විශ්වවිද්‍යාලයේ “ආරක්ෂක වැඩපිලිවෙල“ කඩකරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයට “බාහිර පුද්ගලයන්“ කැඳවා ගැනීම “නීති විරෝධී“ යයි පරිපාලනය කියා සිටී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවිශිබමය නියෝජිතයන්ට එවැනි තහනමක් නොවූ බව ශිෂ්‍යයෝ ප්‍රකාශ කරති. ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් සිසුන් “ආරක්ෂා” කිරීමේ නාමයෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය පුරා ක්‍රියාවට නංවා ඇති “ආරක්ෂක වැඩපිලිවෙලෙහි“ සැබෑ අරමුන වනුයේ අධ්‍යාපන කප්පාදුවට සහ පෞද්ගලීකරනයට එරෙහිව අඛන්ඩව අරගලයට ඇදෙන සිසුන් රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීමයි. එනම්, විරෝධතාවල යෙදීමේ, රැස්වීමේ හා දේශපාලනිකව සංවිධානය වීමේ ශිෂ්‍යන්ගේ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අතුගා දැමීමයි.

මේ සතියේ සඳුදා, දඬුවමට ලක් කල ශිෂ්‍යයන්ට එරෙහිව රුහුනු විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පරික්ෂනයක් පැවැත් වූ අතර අවිශිබම නියෝජිතයන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට කැඳවීම මගින් නීති විරෝධී ක්‍රියාවක් සිදු කල බව පිලිගන්නා බවට ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන ලෙස එහිදී ශිෂ්‍යයන්ට නියම කර ඇත. තමන් එය ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට නැවත පරීක්ෂනයක් ඉල්ලා සිටි බවත් අවිශිබම හා සෙසු විශ්වවිද්‍යාලවල සිසුන් සමග එක්ව ශිෂ්‍යභාවය දිනාගැනීම සඳහා දිගටම උද්ඝෝෂනයේ නිරත වන බවත් පුෂ්පික හා විදානපතිරන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසූහ.

පාස්කු ප්‍රහාර දඩමීමා කරගෙන දියත් කල සෝදිසි මෙහෙයුම් තුල දී ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දොර කඩා ඒ තුලට වැදුනු හමුදාව එහි තිබූ ලිපි ලේඛනවලින් සමහරක් රැගෙන ගොස් ඇති බව ද ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කරයි. මේ අතර විශ්වවිද්‍යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කල ශිෂ්‍ය සංගමයේ සටන් පාඨ සහිත පුවරු කඩා බිඳ විනාශ කර දැමීම ද පරිපාලනය විසින් කරන ලද්දක් බවට චෝදනා එල්ල වී ඇත.

උද්ඝෝෂනවලට සහභාගී වීම වැලැක්වීම සදහා සිසුන් බිය ගැන්වීමේ ව්‍යාපාරයක් පරිපාලනය විසින් මෑතක සිට උත්සන්න කර ඇති බව ද එසේ කලහොත් විශ්වවිද්‍යාලය හය මාසයකට වසා දැමීම හා වෙනත් දඬුවම්වලට මුහුන දීමට සිදුවනු ඇති බවට දේශන ශාලාවලට පැමින තර්ජනය කරන බවද තහනමට ලක්ව සිටින නායකත්වය ප්‍රකාශ කලේ ය.

අඟහරුවාදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන රුහුනු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නවක සිසුන් තම උද්ඝෝෂනවලට බලහත්කාරයෙන් ගෙන්වා ගැනීම සඳහා වසරක් පුරා “නවකවදයට“ ලක්කරන බවටත්, අවිශිබම නායකයන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) සම්බන්ධව අධ්‍යාපනය “කඩාකප්පල් කරන“ බවටත් චෝදනා නැගුවේ ය. “අවිශිබමය සිසුන් බිය ගන්වන්නේ එල්ටීටීඊය වගේ“ යයි අමරසේන එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කලේ ශිෂ්‍යයන් හා ශිෂ්‍ය සංවිධාන මැඩීම සඳහා රුදුරුම බලතල යොදා ගැනීමේ සූදානම පෙන්නුම් කරමිනි.

“නවකවදය“ යන කඩතුරාව ආන්ඩුව දිගින් දිගටම ශිෂ්‍යයන් මත රාජ්‍ය මර්දනය දිගේලි කිරීම සඳහා යහමින් උපයෝගි කරගන්නකි. බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම සිදුකරමින් යන අඛන්ඩ අධ්‍යාපන කප්පාදුව හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉමහත් ගැටලුවලට මුහුන දී සිටී. නේවාසිකාගාර හිඟය ඉන් ප්‍රධාන එකකි. දේශනශාලා, පුස්තකාල, පරිගනක, විද්‍යාගාර ඇතුලු භෞතික පහසුකම්වලට මෙන්ම ආචාර්යවරුන්ගේ සහ අනධ්‍යයන කාර්ය මන්ඩලවල ඌනතාවයන්ගෙන් ද විශ්වවිද්‍යාල පද්ධතිය වෙලී පවතී.

පහසුකම් කප්පාදුවටත් අධ්‍යාපනයේ පෞද්ගලීකරනයටත් එරෙහිව ශිෂ්‍යයන් අඛන්ඩව විරෝධතාවලට සම්බන්ධ වී සිටින අතර “ආරක්ෂාව“ දඩමීමා කොට ගෙන දියත් කර ඇති නව නීතිරීති මගින් විශ්වවිද්‍යාල සිරගෙවල්වල තත්වයට ගෙන එමින් තිබේ.

මැයි 30 දා කැලනිය විශ්වවිද්‍යාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයක් සඳහා ඊට පෙර දින රාත්‍රියේ පෝස්ටර් අඳිමින් සිටි සිසුන් පිරිසක් මිලිටරිය යොදා ඉවත් කිරීමට එහි පරිපාලනය මැදිහත් විය. රාතිී 9.00 න් පසු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටීම සිසුන්ට තහනම් බව ප්‍රකාශ කරමින් කල ඒ මැදිහත් වීමට සිසුන් විරුද්ධ වූ විට පරිපාලනය සරසවිය දින නියමයක් තොරව වසා දැමුවේ ය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රමාද කොට ආරම්භ කල සෑම සරසවියක් තුලම මෙම මර්දන යාන්ත්‍රනය දිගේලි කිරීම සඳහා පියවර කිහිපයක්ම ගෙන තිබේ.

* විශ්වවිද්‍යාල තුල හා ඒ අවට හමුදා හා පොලිස් ඒකක හා හමුදා ට්‍රක් රථ ස්ථාන ගත කිරීම

* රාත්‍රී අටට පෙර නේවාසිකාගාරවලට වාර්තා කිරීම හා රාත්‍රී අටට පසු සරසවි භූමියේ රැදී සිටීම ශිෂ්‍යයන්ට තහනම් කිරීම

* විශ්ව විද්‍යාලයට හා නේවාසිකාගාරවලට ඇතුලුවීමේ දී ශිෂ්‍යයන්ගේ බෑග් පරීක්ෂා කොට ජාතික හැඳුනුම්පත සහ විශ්වවිද්‍යාල හැඳුනුම්පත යන දෙකම ආරක්ෂක අංශවලට පෙන්වීම අනිවාර්ය කිරීම

* ශිෂ්‍යයන්ගේ, අනධ්‍යයන කාර්ය මන්ඩලයේ හා ආචාර්යවරුන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම නිරීක්ෂනය කල හැකි අන්දමට සීසීටීවී කැමරා පද්ධතිය යලි නවීකරනය කිරීම

ඒ අතර ප්‍රධාන වේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි මර්දන පියවර සමස්ත කම්කරු පීඩිත මහජනයාට එරෙහිව දිගේලි කරමින් යන ප්‍රහාරවල කොටසකි. ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයේ කොටසක් ලෙස ලංකාවේ පැන නැගී ඇති කම්කරු-පීඩිත ජනයාගේ අරගල රැල්ල තලා දැමීම සඳහා ආන්ඩුව විපක්ෂයේ ද සහයෝගය ඇතුව රුදුරු හදිසි නීතිය ඇතුලු මිලිටරි-පොලිස් රාජ්‍ය සැලසුම් බලගන්වා තිබේ.

හදිසි නීතිය යටතේ, ඕනෑම පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේ බලතල හමුදාවට හා පොලීසිට පැවරෙයි. මීට අමතරව අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ වර්ජන තහනම් කිරීමටත් සංවිධාන තහනම් කොට දේපල පවරා ගැනීමටත් බලය පැවරේ.

කෙසේ නමුත්, පරිපාලනය සමග තමාට ද සහභාගි වියහැකි ආරක්ෂක ක්‍රියා මාර්ගයකට සූදානම් බව දන්වා අවිශිබම නියෝජිතයන් විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරුන්ට ලිපි යවා තිබේ. මෙය ආරක්ෂාව යන කඩතුරාව යටතේ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති මර්දනය විවෘතවම අනුමත කිරීමකි.

බලපෑම් මගින් ධනපති ආන්ඩු සහ පරිපාලන ආයතන සහනදායී පිලිවෙතක් කරා යොමු කරගත හැකිය යන මිත්‍යාව වගා දිගා කරන ව්‍යාජ වාම දේශපාලනයෙන් ගලා එන මෙම යෝජනාවලින් සිසුන් මුහුන දෙන එකදු ප්‍රශ්නයක්වත් විසඳෙනු නැත.

අවිශිබමය දේශපාලනිකව මෙහෙයවන්නේ ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙසප විසිනි. අවිශිබම කඳවුම්කරු මහීල් බන්ඩාර දෙහිදෙනිය උපකුලපති අමරසේනට පිලිතුරු දෙමින් ජූනි 11 වන දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ තම සංවිධානය විවිධ පක්ෂ හා කන්ඩායම් සමග වැඩ කරන “බහු ජන සංවිධානයක්“ බවයි. “ශිෂ්‍ය දේශපාලනය“ හා “බහුජන සංවිධාන“ යන නාමකරනයන් යටතේ අවිශිබමය හා පෙසප පෙරට දමා ඇත්තේ ධනපති ආන්ඩුවලට පීඩනය යොදා සහන දිනා ගත හැකිය යන බංකොලොත් විරෝධතා දේශපාලන වැඩපිලිවෙලකි. ඒ සඳහා ඔවුන් ධනපති පන්තියේ හා විවිධ මධ්‍යම පන්තික කල්ලි කන්ඩායම් සමග ඒකාබද්ධව විවිධ පෙරමුනු ගොඩනගමින් සිටී.

අවිශිබමයේ හා පෙසප හි මධ්‍යම පන්තික දේශපාලනයේ එල්ලය වනුයේ, ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදයේ තතු වසන් කිරීමත්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමට එරෙහිව ශිෂ්‍යයන් අවමංගත කිරීමත් ය.

ආන්ඩුව සහ විශ්වවිද්‍යාල පරිපාලනය සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කොට ගෙන යන රුදුරු මර්දනයට විරුද්ධ වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය, ආන්ඩුවේ පොලිස් රාජ්‍ය සැලසුම් පරාජය කිරීමට සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරු පන්ති නායකත්වය යටතේ ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගැන්වීමේ තීරනාත්මක වැදගත්කම මතුකර සිටී.

කියවන්න: කොලඹ පාලක පන්තියේ පොලිස්-රාජ්‍ය සූදානම පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය යි

විශ්ව විද්‍යාල තුල රුදුරු මර්දන පියවර ක්‍රියාවට නැගෙයි

Share this article: