ලේඛක සත්කුමාරට ඇප ලබාදීම යලි ප්‍රතික්ෂේප කෙරෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූනි 6

බෞද්ධ සංස්ථාපිතයේ උසිගැන්වීම මත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි නඩුව ජූනි 4 වන දා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේදී යලි කැඳවීය. සත්කුමාරට ඇප ලබාදීම සයවන වරටත් ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරිය ඔහුගේ රැඳවුම්භාරය ජූනි 18 වන දා දක්වා දීර්ඝ කලාය.

පොලීසිය අප්‍රේල් 01 දා සත්කුමාර අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කලේ ඔහු තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නම් කෙටි කථාවක් මගින් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි බෞද්ධ අන්තවාදී සංවිධාන ඇතුලුව පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මන්ඩලයේ මාන්කඩවල සුමන නම් භික්ෂුවක් විසින් කරනු ලැබූ අභූත පැමිනිල්ලක් මත ය.

ලේඛකයාට ඇප ලබාගැනීම දුෂ්කර වන සේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) යටතේ හා වැඩවසම් නීතියක් වන ශ්‍රී ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291(ආ) යටතේ පොලීසිය විසින් සත්කුමාරට එරෙහිව සාවද්‍ය චෝදනා ගොනුකොට තිබේ.

නඩුවේ මේ දක්වා ඉදිරිපත් කොට ඇති කරුනු අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ වරදක් කල බවට කිසිදු සාක්ෂියක් සත්කුමාරට එරෙහිව ඉදිරිපත්ව නැති බැවින් දන්ඩනීති සංග්‍රහයේ 291ආ යටතේ මෙම අධිකරනයට ඇප ලබාදීම සිදුකල හැකි බවත් එලෙස ඇප ලබාදෙන ලෙසත් සත්කුමාර වෙනුවෙන් කරුනු දක්වමින් නීතිඥ සංජය විල්සන් ඉල්ලා සිටියේය.

වැඩිදුර පරීක්ෂන සඳහා යැයි කියමින් ඇප ලබා දීමට එරෙහි වන පොලීසිය ලේඛකයා අනියත කාලයක් සිරකොට තබා ගැනීමේ ප්‍රයත්නයක දැනුවත්ව යෙදී සිටින බවද දෙමසකට අධික කාලයක් තම සේවා දායකයා මෙලෙස රඳවාගෙන සිටින බවද නිතීඥ විල්සන් අධිකරනයට පෙන්වා දුන්නේ ය. කෙසේ නමුත් පොලීසියේ ඉල්ලීමට ඉඩදුන් මහේස්ත්‍රාත්වරිය ඇප ලබාදීම යලිත් ප්‍රතික්ෂේප කලාය.

මේ අතර, පොලීසිය විසින් සත්කුමාරගේ භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලුව මූලික අයිතිවාසිකම් කඩකිරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩුව ද පලමු වරට පසුගිය 21 දා ශ්‍රේෂ්ඨාධිකරනයේ දී කැඳවිනි.

එහිදී සත්කුමාර වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ජේ.සී. වැලිඅමුන පෙන්වා දුන්නේ, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 135(1)ඉ වගන්තියට අනුව නීතිපතිගේ පැමිනිල්ලක් හෝ නීතිපතිගෙන් කලින් ලද අවසරයක් මත කරනු ලබන පැමිනිල්ලක් නොමැති අවස්ථාවක පොලීසියට මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුවක් පවරා පවත්වා ගෙන යා නොහැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ල එම නීති තත්ත්වය පිලිගන්නා ලදී. නමුත් මෙම නීතිමය කරුන පෙන්වා දුන් පසුද පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරිය නඩුව ඉවත දැමීමට කටයුතු නොකලාය.

බෞද්ධ අන්තවාදී භික්ෂූ සංවිධානවල උවමනාවන් සන්තර්පනය කරමින් ලේඛකයෙකු අයුතු ලෙස බන්ධනාගාරයේ රඳවා තැබීමට පොලීසිය මෙලෙස ක්‍රියාත්මක වන්නේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පූර්න අනුග්‍රහය යටතේ ය.

එනමුදු බෞද්ධ අන්තවාදී හැඩියන් සම්බන්ධයෙන් ආන්ඩුව ක්‍රියාත්මක වන්නේ ඊට ඉඳුරාම වෙනස් අයුරෙනි.

ජනාධිපති⁣මෛත්‍රීපාල සිරිසේන තමා සතු අත්තනෝමතික බලය ක්‍රියාවට දමමින්, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සමාව දී බන්ධනාගාරයෙන් මුදා හලේය. අධිකරනයට අපහාස කිරීමේ වරද යටතේ සිර දඬුවමක් විඳිමින් සිටි ඥානසාර අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ නායකයා ය.

ඥානසාර සිර භාරයෙන් නිදහස් කිරීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිංහල බෞද්ධ වර්ගෝත්තමවාදී හැඩියන් හට නීතිය නොතකා වැඩ කල හැකි බවට සංඥාවක් නිකුත් කල අතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද ඊනියා නීතියේ බලයේ ද ව්‍යජ වහන්තරාවන් උනා දැම්මේය. ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ස්ථිර කරනු ලැබූ අධිකරනයට අපහාස කිරීමේ වරදට ලැබුනු වසර හයක දඬුවමින් අඩුතරමින් වසරකවත් දඬුවම් කාලයක් ඥානසාර ගෙවා තිබුනේ නැත.

කලාවට හා කලාකරුවන්ට එරෙහි මෙම ප්‍රහාරය ජාත්‍යන්තර වශයෙන්ම ප්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල කර ඇති ප්‍රහාරයක කොටසකි. ඇමරිකාවේ බුෂ් පාලන තන්ත්‍රය විසින් ඉරාකය තුල සිදුකල යුද අපරාධ හෙලිදරව් කිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අධිරාජ්‍යවාදී දඩ බල්ලන් විසින් කුදලාගෙන ගොස් පෝරකයේ එල්ලීමට කැස කවයි.

අන්තර්ජාල සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි නිරතුරුව වාරනය කෙරෙනුයේ මෙම පසුබිම තුල ය. මෙම වර්ධනයන් සිදු වනුයේ පොදු මහත් කම්කරුවන්, තරුනයන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන්ට භයානක ලෙස අනතුරු අඟවමිනි.

කලාවේ නිදහස ඇතුලු සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම ආරක්ෂා කල හැක්කේ එම අයිතීන් වලට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය හා පන්ති සමාජය අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමෙන් පමනි.

සත්කුමාර අත්අඩංගුවට ගැනීම හෙලාදකිමින් හා ඔහු නිදහස් කර ගැනීම සඳහා කැඳවුම් කරමින් අප්‍රේල් 12 දින සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) නිකුත් කල ප්‍රකාශය අනුයමින්, ලිපි හා ප්‍රකාශ නිකුත් කිරීම හරහා මෙම උද්ඝෝෂනයට සහාය දෙන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, කලාකරුවන්ගෙන් හා සෙසු බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: