ලංකාවේ සමාජ ජාල නියාමනය සඳහා නීති දැඩි කිරීමට සැරසෙයි

නවීන් දේවගේ විසිනි, 2019 ජූනි 6

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සමාජ මාධ්‍ය තමන්ගේ පාලනය යටතට ගැනීමට කලක සිට දරන උත්සාහය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ව නව ඉහලකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටියි. ඒ එම සිදු වීමෙන් පසු පොලිස් රාජ්‍යයක් දෙසට ගෙන යන මර්දනකාරී වැඩපිලිවෙලේ කොටසක් වසයෙනි.

බෝම්බ ප්‍රහාරය එල්ල වූ වහා ම විදුලි සංදේශ සේවා නියාමන කොමිසම හරහා සමාජ ජාලවලට ප්‍රවේශය අවහිර කිරීමට අන්තර්ජාල සේවා සපයන සමාගම්වලට නියෝග කෙරුනි. එම වාරනය දින 10 ක් පුරා පැවතුනි.

එහි ඉලක්කය වූයේ ආන්ඩුව දැන දැන ම මෙම ප්‍රහාරය සිදු වීමට ඉඩ හැරීමට එරෙහි මහජන විරෝධය සමාජ ජාල තුල ප්‍රකාශනයක් අත් කර ගනිතැයි යන බියයි. ඉන් පසුව මැයි 12-14 දිනවල මුස්ලිම් ජනයාට එරෙහි ව ප්‍රචන්ඩ ක්‍රියා සිදුකරන විට ද සමාජ මාධ්‍ය අවහිර කෙරුනි. එසේ කලේ වර්ගවාදීන්ගේ බිහිසුනු ක්‍රියා හා පොලිසියේ සහ හමුදාවල ඇතැම් සාමාජිකයන් ඒවාට අනුබල දීම ප්‍රසිද්ධවීම වැලැක්වීමට යි.

මැයි 14-16 චීන සංචාරය අතර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එරට සමාජ ජාල වෙබ් අඩවි ඇතුලු අන්තර්ජාලය වාරනය කිරීමට කාලයක් තිස්සේ වර්ධනය කර ගෙන ඇති තාක්ෂනික ක්‍රමෝපායන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස එරට ජනාධිපති ෂි ජින්පින්ග්ගෙන් ඉල්ලා සිටියේ ය.

එම සාකච්ඡාවන් ගැන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකයෙකු පැවසූ අදහස් මැයි 26 වැනි දින සන්ඬේ ඔබ්සර්වර් පුවත්පත පල කර තිබුනේ මෙසේය: “වයිබර් සහ වට්ස්ඇප් වැනි අන්තර්ජාලය හරහා දුර ඇමතුම් ලබා ගත හැකි සේවාවන් හරහා කෙරෙන සංවාදයන් හෝ කෙටි පනිවිඩ හෝ ඒවායේ ඇති එන්ක්‍රිප්ෂන් තාක්ෂනය නිසා තෙ වැනි පාර්ශ්වයකට පිවිසිය නොහැකි වීම ආරක්ෂක අංශවල වැඩ කටයුතුවලට බාධාවක් බවත් විනාශකාරී කන්ඩායම්වලට කල්ලි ගැසීමට මේ නිසා හැකියාව ලැබී තිබෙන බවත් ජනාධිපති සිරිසේන චීන ජනාධිපතිට පෙන්වා දුන්නේ ය.”

ජනාධිපතිගේ මෙම කනස්සල්ල විවිධාකාරයෙන් දෝංකාර දෙනු දැක ගත හැකි ය. විශ්ව විද්‍යාල ආචාර්යවරු, ධනේශ්වර මාධ්‍ය, රාජ්‍ය නිලධාරියෝ, ධනපති දේශපාලකයෝ සහ පොලිස්-මිලිටරි නිලධාරියෝ ආදිහු තකහනියේ කෙරෙන වාරන වෙනුවට දිගුකාලීන ඔත්තු බැලීමේ පද්ධතියක් පිහිටුවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් සිටිති.

එන්ක්‍රිප්ෂන් තාක්ෂනය හරහා හුවමාරු කෙරෙන දත්ත සම්ප්‍රේෂනයේ දී තෙ වැනි පාර්ශ්වයකට විවෘත කර බැලිය නොහැකි ය. එම දත්ත නැවතත් කියවිය හැකි දත්ත බවට හරවා ගත හැක්කේ තොරතුරු ලබන්නා සතු ව ඇති යතුරු කේතයක් භාවිතයෙන් පමනි.

එන්ක්‍රිප්ෂන් තාක්ෂනය ගැන උත්සුකය රාජ්‍ය මර්දනයෙන් මිදී දේශපාලන ක්‍රියාකාරීත්වයේ යෙදීමට ඇති අවකාශ උල්ලංඝනය කිරීමට බව පැහැදිලි ය. සිරිසේන බලයට ගෙන ආ 2015 එක්සත් ජනපදය මෙහෙය වූ තන්ත්‍ර මාරු කුමන්ත්‍රනයෙන් පසු, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ ඔත්තු බැලීමේ යාන්ත්‍රනයෙන් මිදී සන්නිවේදන කටයුතු වයිබර් ඇප් එක හරහා කර ගෙන ගියේ කෙසේ දැයි එම කුමන්ත්‍රනයේ ප්‍රධාන සැලසුම්කාරිනියක වූ චන්ද්‍රිකා බන්ඩාරනායක හින්දු පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී විස්තර කලා ය.

“අපි තොරතුරු හුවමාරු කරන්න භාවිත කලේ වයිබර් එක. ආන්ඩුව වයිබර් එක ටැප් කරන්නෙ කෙසේද යන්න දැන ගෙන හිටියෙ නෑ. ඒ තාක්ෂනය ශ්‍රී ලංකාවට තවම නෑ. තිබ්බ නම් මෙලහකට අපි ජීවතුන් අතර නෑ.” යි ඇය ප්‍රකාශ කලා ය.

සිරිසේන ඇතුලු සමස්ත පාලක පන්තිය මේ කාරනාව හොඳින් දනිති. එනිසා මේ ඉඩ කඩ අවහිර කර දැමීම ඔහු ඇතුලු සමස්ත පාලක පන්තියේ ම උත්සුකයකි. සිරිසේන ම මේ සඳහා ඉව අල්ලමින් සිටියේ ය. පසු ගිය වසරේ ඔක්තෝබරයේ පුපුරා ගිය ධනපති පාලනයේ අර්බුදයේ දී, රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට තමන් ගත් තීරනය හකුලා ගැනීමට සිදු වූ පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ ගනනාවක් තමන් භාරයේ තබා ගත් සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම ද ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගත්තේ ය.

මේ අතර සිරිසේන පත් කල මිලිටරි නායකයන් සාමාජිකත්වය දරන කමිටුවක් ඊස්රායලයෙන් සන්නිවේදන අන්තර්බාධක උපකරන මිලට ගැනීමට දැනටමත් ඇනවුම් කර ඇත.

චීනයේ අන්තර්ජාල වාරනය එල්ල කෙරී ඇත්තේ ඊනියා සයිබර් ත්‍රස්තවාදයක් මැඬීමට නොව, කම්කරු පන්තිය සංවිධානය වීමට වැට බැඳීම බව ප්‍රකට කාරනාවකි.

කම්කරු පන්තියට සමාජ මාධ්‍ය ලබා දෙන සංවිධානය වීමේ ශක්තිය වඩාත් විශද ව පෙන්නුම් කල අවස්ථාවකි, පසුගිය ඔක් 24 වැනි දා වතු කම්කරු අරගලයට සහය පල කරමින් කොලඹ කම්කරු තරුනයන් ගාලු මුවදොර පිටියේ පැවැත් වූ පන්දහසක් පමන දෙනා සහභාගී වූ රැලිය.

විවිධ දේශපාලන කන්ඩායම් තම රැස්වීම් වර්ධනය කිරීමට, තම ප්‍රකාශන බෙදා හැරීමට, සාමාජිකයන්ට පනිවිඩ හැරීමට, සංවිධානය වීමට සමාජ ජාල අඩවි සහ ඒවායේ කෙටි පනිවිඩ සේවා යොදා ගනී. ශිෂ්‍ය කන්ඩායම් අතර ද විවිධාකාරයේ සංවිධානය වීම් සඳහා පුලුල් වශයෙන් භාවිතා කෙරෙන මාධ්‍ය සමාජ ජාල සේවාවන් ය.

ශ්‍රී ලංකාවේ සමාජ ජාල අඩවි වාරනය ධනපති පන්තියට ජාත්‍යන්තර පූර්වාදර්ශයක් ද සම්පාදනය කර ඇති අතර ම එකිනෙකා ගේ පිට කසා ගැනීමේ ක්‍රියාවලියකට ඇතුලත් ව ඇත.

යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂන ඇමති අජිත් පී. පෙරේරා සහ ප්‍රතිපත්ති උපදේශකයකු වන චානුක වත්තේගම විසින්, අප්‍රේල් 26 වැනි දා ඬේලි එෆ්ටී ආරාධිත කොලමකට, “සමාජ මාධ්‍ය සමහර විටක අපගේ නරක ම සතුරා විය හැකි ය” යන මැයෙන් ඩිජිටල් ලිපියක් ලියා ඇත. නිව්යෝක් ටයිම්ස් සහ ද ඇට්ලාන්ටික් තීරු ලිපි දෙකක් උපුටා දක්වමින් එහි සඳහන් කර තිබුනේ, සමාජ ජාල වාරනයට කැබිනට්ටුව ගනු ලැබූ තීරනය භාෂනයේ නිදහසට එල්ල කරනු ලැබූ පහරක් ලෙස විවේචනයට ලක් වුවත්, තමන් ගත් එම තීරනයේ තර්කානුකූල බව අවධානයට ලක් වීම සතුටට කාරනාවක් බවයි.

පසු ගිය මාර්තු මාසයේ දී ෆැසිස්ට්වාදී බ්රෙන්ටන් ටැරන්ට් නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිදුකල ඝාතනය ෆෙස්බුක් ඔස්සේ සජීවී ව ප්‍රචාරය කලේ ය. මේ කාරනාව නිමිත්ත කර ගෙන නවසීලන්ත අගමැතිනිය ගෝලීය අන්තර්ජාල වාරනය සඳහා ධනපති පාලක පන්තීන් ගෙනයන උද්ඝෝෂනයක පෙරමුන ගනිමින් ප්‍රන්ස ජනාධිපති මැක්රොන්ගේ ද හවුල්කාරීත්වය ඇති ව අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර හමුවක් කැඳවුම් කලා ය. “ක්‍රයිස්ට්චර්ච් කෝල්” යන නමින් හැඳින්වූ එම හමුව පසු ගිය මාසයේ ජී7 සමුලුවට සමගාමී ව පැවැත් වුනි. එහි දී, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආන්ඩුව සමාජ ජාල අවහිර කිරීම පූර්වාදර්ශයක් වශයෙන් නිතර ම ගෙන හැර දැක්වුනි.

මැයි 28 වැනි දා කැනඩාවේ ඔටාවා නුවර “ඉන්ටනැෂනල් ග්‍රෑන්ඞ් කොමිටි ඔන් බිග් ඬේටා, ප්‍රයිවසි ඇන්ඞ් ඩිමොක්රසි” යන මැයෙන් පැවැත් වූ සමුලුවකට රැස් වූ රාජ්‍ය නිලධාරීන් රැසක් හමුවේ ඇමරිකානු ව්‍යාපාරික රොජර් මැක්නැමී සමාජ ජාල අඩවි තමන්ව නියාමනය කර ගන්නේ නැති නම් කල යුතු හොඳම දෙය ඔවුන් අවහිර කර දමා එම නියාමනයන්ට පොලඹවා ගැනීම බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුව ප්රශස්ත උදාහරනයක් සම්පාදනය කර ඇති බවත් පැවසී ය.

චානුක වත්තේගම “සයිබර් යුගයේ ත්‍රස්තවාදය සමඟ ගල්කටස් තාක්ෂනයෙන් සටන් කල හැකි ද?” යන මැයෙන් ලියූ තවත් තීරු ලිපියක දී, සිදුවීමක් වූ විට සමාජ ජාල අඩවි තහනම් කරනු වෙනුවට දිගු කාලීනව ප්‍රයෝජනයට ගත හැකි ඔත්තු බැලීමේ ජාලයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. රෝහල්, ක්‍රීඩාගාර, සිනමා ශාලා, රියදුරු බලපත්‍ර ආදි නොයෙක් තැන්වලින් තොරතුරු රැස් කෙරෙන මුහුනු හඳුනා ගැනීමේ පහසුකම් සහිත පද්ධතියක් ස්ථාපිත කල යුතු ව ඇතැයි චීනය ආදී රටවල එවැනි පද්ධතීන් නිදසුන් දක්වමින් ඔහු පෙන්වා දෙයි.

ධනේශ්වර සංස්ථාපිතය සහ එහි ප්‍රකාශකයන් වෛරී ප්‍රකාශ වැලැක්වීමට යයි පවසමින් සමාජ ජාල අවහිර කරන ගමන් උපදෙස් දෙන්නේ සංස්ථාපිතයේ මාධ්‍ය කෙරෙහි පමනක් විශ්වාසය තබන ලෙසටයි. මෙය අන්ත විකාර යෝජනාවකි.

ධනපති මාධ්‍ය පලකරන්නේ පාලක පන්තියේ උවමනාවන්ට ගැලපෙනදේ ය. මේ දිනවල මුස්ලිමුන්ට එරෙහි ව ගෙන යන වර්ගවාදී විස කැවීමේ ප්‍රචාරයේ කසකරුවන් ලෙස ක්‍රියාත්මක වන ඒවා ප්‍රකෝපකාරීත්වය අවුලුවන ප්‍රවෘත්ති වාර්තා හා ලිපිවලින් පිරී ඇත.

ආන්ඩුව සමාජ ජාල අවහිර කිරීමට නීති ගෙන ඒමට කැස කවන්නේ මහජන ආරක්ෂාව පිලිබඳ ව ඇති කැක්කුමක් නිසා නොව එය කම්කරුවන්ට, තරුනයන්ට හා අවශේෂ පීඩිත මහජනතාවට බාධකයන් කපා ගෙන ධනපති ක්‍රමයට එරෙහි ව එකමුතු වීමට යොදා ගතහැකි මාධ්‍යයක් ලෙස පවතින නිසා ය.

Share this article: