වඳ සැත්කම් පිලිබඳව වර්ගවාදීන් ගෙනයන විසකුරු ප්‍රචාරය

විජිත් සමරසිංහ විසිනි, 2019 ජුනි 26

දේශපාලන පක්ෂ ද සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ ද අප්‍රේල් 21 දා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු ඊට කිසිසේත්ම සම්බන්ධයක් නැති මුස්ලිම් ජනයාට එරෙහිව ඇරඹු වර්ගවාදී ප්‍රකෝපකරනය අඛන්ඩව ගෙන යති. මෙසේ උත්සන්න කෙරෙමින් පවතින්නේ එම ප්‍රහාරයට පෙර කලක සිට ක්‍රමානුකුලව සූදානම් කෙරෙමින් පැවති මුස්ලිම්-විරෝධී ව්‍යාපාරයක් පාලක පන්තියේ බරපතල දේශපාලන අර්බුදයක් මධ්‍යයේ විසකුරු ලෙස පෙරට ගැනීමයි.

එම ව්‍යාපාරයේ එක් අශික්ෂිතම ප්‍රචාරයක් වූයේ කුරුනෑගල ශික්ෂන රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් වන ශියබ්දීන් සාෆි, සිසේරියන් සැත්කම කරන අතරතුරදී මවුවරුන්ගේ අනුමැතියකින් තොරව ඔවුන් වඳ භාවයට පමුනුවා ඇත යන්නයි. මුස්ලිම්-විරෝධී වාර්ගික ඇවිස්සීම් යුක්තියුක්ත කිරීම සඳහා එය යොදා ගැනීමට මාධ්‍ය හා ආරක්ෂක අංශ ඍජුව මැදිහත් වී ඇත.

මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් වන සාෆි, දරුවන් බිහි කිරීමේදී විශේෂිත අවස්ථා වල සිදුකරන “සිසේරියන්” නමැති සැත්කම් කරන අතරතුරදී, සිංහල-බෞද්ධ මවුවරුන් තෝරා ඔවුන්ගේ අනාගත ගැබ් ගැනීම් වලකන ආකාරයෙන් පැලෝපිය නාල නමැති ඉන්ද්‍රිය අවහිර කිරීම හෝ හානි කිරීම මගින් නිසරු භාවයට (වන්ධ්‍ය කරනයට) පමුනුවා ඇතැයි යන්න ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. මෙම ප්‍රචාරයේ දී වෛද්‍යවරයා නඩු නොමැතිවම වරදකරු කර ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ලියනප්පුලා හා කියවනප්පුලා විවිධ කතා ගොතා ඇත.

මාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ මේ ප්‍රචාරය දියත් වෙද්දී, ඊට උඩගෙඩි දෙමින් දිගින් දිගටම සාෆිගෙන් ප්‍රශ්න කිරීම, හා ඔහුගේ නිවස හා ව්‍යාපාරික ස්ථානයක් පරික්ෂා කිරීම සිදුකල පොලිසිය, පසුගිය මැයි 24 වෙනිදා ඔහු අත්අඩංගුවට ගත්තේ ඔහුගේ සමහර වත්කම් ලැබුනු මාර්ග පිලිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමට යයි පවසමිනි. එහෙත් ඔහු දැන් රඳවා ගෙන ඇත්තේ ත්‍රස්ත විරෝධී රුදුරු නීතිය යටතේ ය.

සාෆිට එරෙහිව ගෙනයන දැවැන්ත ප්‍රචාරයේ බලපෑම මධ්‍යයේ ඔහු විසින් සිසේරියන් සැත්කමට භාජන කල බව කියන මවුවරුන් 1000 ක් පමන තමන් වන්ද්‍ය කරනයකට ලක්වී ඇතියි සැකයක් පවතින බව කියමින් පොලිසියට පැමිනිලි ඉදිරිපත් කර තිබෙන බව සාෆි ගැන වාර්තා කිරීම තම සුවිශේෂ වෘත්තීය කරගෙන සිටින්නන්ගේ මෑතම වාර්තාවක සඳහන් ය.

මහජනතාව තුල වර්ගවාදීන් විසින් වර්ධනය කෙරෙන සැකය හා බියට තවත් පොහොර දැමීම සඳහා රාජ්‍ය සේවයේ වෛද්‍ය වරුන් මත ආධිපත්‍ය දරා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද, චෝදනාව සම්බන්ධව වහාම පරීක්ෂා කල යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකරන පරීක්ෂනය ප්‍රමානවත් බවට තමාට විශ්වාසයක් නැති බවත් නිවේදනය කලේය.

සාෆිට එරෙහි වන්ද්‍ය කරන චෝදනාවට විද්‍යාත්මක විශ්වාසනීත්වයක් සැපයීමට මාධ්‍ය විසින් ප්‍රධාන වශයෙන්ම යොදාගෙන ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙක් වන වෛද්‍ය චන්න ජයසුමන නමැත්තෙකි. ජයසුමන, නුතන විද්‍යාවට එලිපිට ගරහමින්, දෙවිවරුන් හා අදෘශ්‍යමාන භූත බලවේග ගැන නන්දොඩවන, පහත් පෙලේ සිංහල බෞද්ධ වර්ගවාදියෙකි.

එහෙත්, විශේෂඥ නාරි හා ප්‍රසවවේද වෛද්‍යවරුන් ගනනාවක්ම එම චෝදනාවේ ඇති අභූත බව පෙන්වමින් කරුනු දක්වා ඇත.

කොලඹ විශ්ව විද්‍යාලයේ නාරි හා ප්‍රසවවේද අධ්‍යන අංශයේ ප්‍රධානියාවන මහාචාර්ය හේමන්ත සේනානායක ලංකාදීප හා ඬේලිමිරර් පුවත්පත්වලට ලබාදුන් සම්මුඛ සාකච්චාවකදී පෙන්වාදී ඇත්තේ වෛද්‍ය හා හෙද කන්ඩායමක ප්‍රයත්නයක් ලෙස කෙරෙන සිසේරියන් සැත්කමකදී එක වෛද්‍ය වරයෙකුට, රහසේ මෙවැනි ක්‍රියාවක් කිරීම “අපහසු” දෙයක් බවයි.

ඔහු එසේ පවසන්නේ, වෛද්‍ය වරයෙකු විසින් තමා සැත්කමට භාජනය කරන මවකගේ පැලෝපීය නාල කපා ගැටගැසීම හෝ විශේෂිත අඬුවකින් ඒවා මිරිකා හානි කිරීම සිදුකල යුත්තේ, නිර්වින්දක වෛද්‍යවරයා, අනෙකුත් වෛද්‍ය වරුන් හා හෙද කාර්ය මන්ඩලය ඇතුලු 6 දෙනෙකුගේ පමන කන්ඩායමක් රෝගියා දෙස නිරතුරුව බලා සිටින අතරතුර නිසා ය. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරන ඔහුට ලබාදිය යුත්තේ විශේෂ පුහුනුව ලද ශල්‍ය හෙදිය විසිනි. ඔවුන් සියලු දෙනාගේම පූර්න සහාය එම වෛද්‍යවරයාට ලැබුනේ නම් විනා, එවැනි හානි කිරීමක් සිදුකල හැකි නොවේ.

තමන් වන්ද්‍ය කරනයකට ලක්වී ඇත්ද යන්න සැකයක් ඇති මවු වරුන් පරීක්ෂා කිරීමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂන ලංකාවේදී පහසුවෙන් සිදුකල හැකි බවටත් හැකිතරම් ඉක්මනින් හා විනිවිද පෙනෙන ආකාරයෙන් මේ චෝදනා විද්‍යාත්මකව නිෂේධනය නොකලහොත් එය ඉතා භයානක පූර්වාදර්ශයක් බවට පත්වීමට ඉඩ ඇති බවටත් ඔහු අනතුරු අඟවයි.

මහාචාර්යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ, නූතන වෛද්‍ය විද්‍යාවේ සාර්ථකත්වය පදනම් වී ඇත්තේ එහි ඇති විද්‍යාත්මක හා පාරදෘශ්‍ය බව හා රෝගියා වෛද්‍යවරයා හා අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් කෙරෙහි තබන විශ්වාසය මත බවයි. ශතවර්ෂයකට අධික කාලයක් පුරා වර්ධනය වුනු විශ්වීය ප්‍රමිතීන් මාලාවක් නූතන වෛද්‍ය විද්‍යාවට ඇත.

සේනානායක සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දරු උපත් වලින් සියයට 99ක්ම පුහුනු වෘත්තිකයන් අතින් සිදුවීම, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල විශාල ජයග්‍රනයක් මෙන්ම, නූතන වෛද්‍ය විද්‍යාව පිලිබඳව පොදුවේ ඇති මහජන විශ්වාසය පෙන්වා දෙන බවයි. පසුගාමී සිංහල බෞද්ධ වර්ගවාදී නඩයේ වුවමනාවට, මාධ්‍ය විසින් සාෆි පිලිබඳ ගොතා ගෙනයන බොරු ප්‍රචාරය මේ විද්‍යාත්මක ජයග්‍රහන හා ප්‍රගතිශීලී චින්තනයටම එරෙහිව යන්නකි.

දරු උපත් හා කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ ප්‍රජනන සෞඛ්‍ය පිලිබඳ කාරනා ඕනෑම සමාජයක් තුල ඉතා සංවේදී කරුනු වේ. එම තතු තුල මුස්ලිම්වරුන් හෝ එම වෛද්‍යවරයෙක් හිතාමතා මව්වරුන් වන්ද්‍යකරනයට ලක්කිරීම පිලිබඳ ප්‍රචාරයක් සමාජයේ පසුගාමී පතුල කැලඹීය හැකි බවට වර්ගවාදියෝ දුෂ්ට ලෙස ගනන් බලා ඇත. මුස්ලිම් විරෝධී නඩ මේ මාතෘකා තම විසකුරු ආයුධ මල්ලේ උඩින්ම තබාගන්නේ මේ නිසාය.

මීට පෙර සිටම කෙරුනු ප්‍රචාරයක් වූයේ මුස්ලිම් ජනයා වැඩිවැඩියෙන් දරුවන් බිහිකර, “සිංහල ජාතිය වඳකර” ලංකාවේ බහුතරය වීමට යත්න දරන බවයි. මුස්ලිම් හෝටල් හිමියන් විසින් සිංහල පිරිමින් හා ගැහැනුන් තෝරා ඔවුන් වඳ භාවයට පැමිනවිය හැකි පෙති වර්ගයක් කෑමට මිශ්‍ර කරන බවට අමුලික බොරු ප්‍රචාරයක් පසුගිය වසරේදී සංවිධානයවූ මුස්ලිම්-විරෝධී නඩයක් විසින් පතුරවා හැරිනි. එම ප්‍රචාරය ගෙනගිය මැර පිරිසක් පෙබරවාරි 26 දා අම්පාර මුස්ලිම් හෝටල්වලට පහර දුන්හ.

ඊට එරෙහිව වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් ගනනාවක් ඉදිරිපත්වී කල පැහැදිලි කිරීම් මගින් වඳ පෙති ගැන ප්‍රචාරය පුස්සක් කලේය. ශ්‍රී ලංකාව තුල හා පිටත සේවය කරන විශේෂඥ වෛද්‍ය වරුන් 200කට අධික ගනනක් ගැහැනුන් හෝ පිරිමින් වඳ භාවයට පත්කල හැකි එවැනි පෙති වර්ගයක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කලහ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ලංකාවේ නියෝජිත රිට්සු නකෙන් සන්ඬේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශකලේ “ප්‍රජනන සෞඛ්‍ය පිලිබඳ වැරදි ප්‍රචාර ජනවාර්ගික සමාජ අතර වෛරය ඇවිලීමට හා ආතතීන් නිර්මානය කිරීමට යොදාගෙන ඇත. මෙය සිදු නොකල යුතුය, නොවිය යුතුය.”

අම්පාරේ ප්‍රකෝපකරනයෙන් දින කිහිපයකට පසු, අමිත් වීරසිංහ නැමති කුප්‍රකටයෙකු විසින් මෙහෙයවෙන මහසොහොන් බලකාය නම්වූ සංවිධානය, මහනුවර දිගන-තෙල්දෙනිය ප්‍රදේශවලින් අරඹා දින කිහිපයක් මුස්ලිම් ජනයාට හා ඔවුන්ගේ දේපොලවලට ප්‍රචන්ඩ ප්‍රහාරයක් එල්ල කලේය.

අප්‍රේල් 21 දා බෝම්බ ප්‍රහාරයෙන් පසු, ගෙනගිය ඉස්ලාම්-භීතිකා ව්‍යාපාරයක් මධ්‍යයේ මැර කල්ලි මැයි 13-14 වයඹ පලාතේ ප්‍රදේශ ගනනාවක හා ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජනයාගේ දේපොල ගිනිබත්කොට, ඔවුන්ට පහර දී එක අයෙක් මරා දැමූහ. ඔවුන් සංවිධානය කොට මෙහෙයවුනු බව, ආන්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයන්ගේ සහය ලද බව සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පහරදීම් සිදුවෙද්දී ඇස් පියාගෙන සිටිබව වාර්තා ගත ය.

සාෆි මැදිකරගෙන උත්සන්න කෙරුනු ප්‍රචාරය විශාල මුස්ලිම් ජනගහනයක් සිටින කුරුනෑගල හා අවට ලේවැකි ප්‍රකෝපකරනයක් අද්දරට යමින් පැවතුනි. වෛද්‍යවරයා සේවයකල කුරුනෑගල මහ රෝහල අසල මැයි 28 දා ඔහුට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂනය එවැන්නකි. ඒ පිලිබඳ ඉඟියක් ආරක්ෂක ලේකම් ශාන්ත කොට්ටෙගොඩ පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියේ මැයි 29 දා දුන් සාක්ෂියෙන් එලියට එයි.

“තත්වයෙන් ප්‍රයෝජන ගන්නට හදන පාර්ශවයන්” කලබලයක් ඇතිකිරීමට ක්‍රියා කරමින් සිටියේ යයි කොට්ටෙගොඩ කීවේය. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කලේය: “කුරුනෑගලට ජනයා රැස්වෙමින් සිටියා. පිටපලාත්වලින් කන්ඩායම් පැමින සිටින බවද ඔවුන් සංවිධානය වන බවද අපට දැනගන්නට ලැබුනා. බලවත් පුද්ගලයන් එහි සිටිබවද අපට අසන්නට ලැබුනා.”

ආරක්ෂක අංශ “ඇස් පියාගෙන සිටීම” ගැන පලල්ව ප්‍රචාරය වී තිබූ තතු තුල කුරුනෑගල එදින ප්‍රකෝපකරනයක් ඇතිවීම වලක්වා ගැනුන ද මුස්ලිම් විරෝධී ආතතියට තෙල් දැමීම දිගටම සිදුවේ.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව ආරක්ෂක අංශවල මුදුන් පමනක් නොව ආන්ඩුවේ හා විපක්ෂයේ නායකයින් දැන සිටිබව ඉවතලිය නොහැකි සාක්ෂි එලිවෙමින් පවතී. මුස්ලිම් විරෝධී ප්‍රචාරය යොදා ගෙන ඇත්තේ එම දේශපාලනික සාපරාධි ක්‍රියාව අවරනය කර ගන්නා අතරම කම්කරු පන්තිය වාර්ගිකව භේද කිරීමට හා පොලිස් රාජ්‍ය පියවර වඩවඩාත් ඉස්මත්තට ගැනීමට යි.

ජාත්‍යන්තරවම දැන් වර්ධනයවන කම්කරු අරගල රැල්ල හමුවේ පාලක පන්ති භ්‍රාන්තව සිටිති. දකුනු ආසියානු කලාපයේ රටවල පාලක පන්තීන් කම්කරු පන්තියට එරෙහිව තම සම්ප්‍රදායික අවිය වන වාර්ගික භේද කිරීම හා වර්ගවාදී ලේ වැගිරීම් වලට නැවතත් හැරෙමින් ඇත. ධනවාදයේ කුනුවීම තුල ෆැසිස්ට්වාදය හා අන්ත දක්ෂිනාංශය ශක්තිමත්වූ සෑම රටකම හා සැම කාලයකම, අවිද්‍යාව හා පසුගාමීත්වයට නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලැබීම ඓතිහාසිකව අත්දැක ඇත.

ඉන් ප්‍රකාශිත වන්නේ පාලක පන්තීන් ම්ලේච්ච ඒකාධිපති පාලනයකට සූදානම් වන බවයි. හිතනමතන කම්කරුවන්, තරුනයින් හා බුද්ධිමතුන් මේ ධාවනය ගැන අවධානය යොමු කිරීම හදිසි අවශ්‍යතාවකි.

Share this article: