ශ්‍රී ලංකාව: මේ වසරේ ආර්ථික වර්ධනයෙහි තියුනු පහල යාමක්

දිල්රුවන් විතානගේ විසිනි, 2019 ජුනි 26

ආර්ථික වර්ධනයේ තියුනු පහල යාම සහ ඉදිරි වසර පහ ඇතුලත ගෙවිය යුතු ඩොලර් බිලියන ගනනක යෝධ විදේශන නය ඇතුලු ද්විත්ව ආර්ථික ගැටලුවලින් ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය හා එහි ආන්ඩුව වෙලී සිටී.

ජාත්‍යන්තර ප්‍රමානන ආයතනයක් වන මූඩි, ජුනි 20දා, 2019 වසර සඳහා ශ්‍රී ලංකාවේ වර්ධන අනුපාතය සියයට 2.6ක් දක්වා පහල දැමුවේය. ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්තවාදී කන්ඩායමක් විසින් අප්‍රේල් 21දා සිදුකරන ලද විනාශකාරී බෝම්බ ප්‍රහාරවලට පෙර, මේ වසර සඳහා දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) වර්ධන අනුපාතය සියයට 3.4ක් වෙතැයි ගනන් බලා තිබුනි.

ක්‍රිස්තියානි දේවස්ථාන හා සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරකයෝ අහිංසක වැසියන් 250කට අධික පිරිසක් මරා දමා 500කට පමන තුවාල සිදුකල හ. දල දේශීය නිෂ්පාදිතයට සියයට 5කින් දායකත්වය සපයන, එමෙන්ම රටේ තුන්වන විශාලතම විදෙස් වත්කම් උපයන්නා වන සංචාරක කර්මාන්තයට එය තියුනු ලෙස බලපා ඇත. විශේෂයෙන් ම ආන්ඩුවේ සුරැකුම්පත්වලින් ආයෝජන එලියට ඇද ගනිමින් විදේශ ආයෝජනවලට ද එය බලපා තිබේ.

ප්‍රසිද්ධ උත්සවයක දී ජුනි 11දා කතා කල මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, වර්ධන අනුපාතය සියයට 2.9ක් වියහැකි බවත් එය ද අවිනිශ්චිත බවත් පැවසී ය. “පාස්කු දින සිදුවීම්වල බලපෑම සම්පූර්නයෙන් අවබෝධ කරගැනීමට තවමත් කල් මදි ය. අපි දැන් පැමිනෙමින් සිටින්නේ එතැනටයි; [ආර්ථික] වර්ධන අනුපාතය සියයට 2.9ක් දක්වා පහල යනු ඇත.”

එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථික පිරිහීම ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රතිවිපාකයක් පමනක් නො වේ. පසුගිය වසර දෙකෙහි වර්ධන අනුපාතයන් පැවතුනේ පහල යමිනි. 2017 දී වසර 16ක් තුල අඩුම අගය වූ සියයට 3.4 වාර්තා කල එය, 2018 දී තවත් පහල යමින් සියයට 3.2ක් විය.

ප්‍රධාන වසයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානිය ගෝලීය ආර්ථික බිඳවැටීමේ නිෂ්පාදිතයකි. ඒ සමගම, එය වනාහි කප්පාදු පියවරවල කොටසක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග කරන පරිදි ආන්ඩුව විසින් වියදම් කැපීමේ ප්‍රතිඵලයක් ද වේ. 2020 වන විට ශ්‍රී ලංකාවේ අයවැය පරතරය දදේනියෙන් සියයට 3.5ක් දක්වා අඩුකිරීමට නියමිත ව ඇත්තේ 2015 දී පැවති මට්ටමෙන් අඩක් දක්වා කපා හරිමිනි.

පුද්ගලික බැංකුවලින් නය ලබාගැනීම ප්‍රසාරනය කරමින් ආර්ථිකය පිම්බීමට ආන්ඩුව මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටී. මහ බැංකුව “තැන්පතු මත පොලී අනුපාත පහත දමන ලෙස බැංකු හා මූල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කලේ ... නය නිෂ්පාදන සඳහා පොදුවේත්, කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායන් සඳහා විශේෂයෙන්මත් අඩු පොලී නය සම්පාදනයට ඉඩ සලසමින් සැබෑ ආර්ථිකයට නය ගලා යාම පහසු කිරීම පිනිසය” යි අප්‍රේල් 29දා ඬේලිඑෆ්ටී වාර්තා කලේ ය.

මහ බැංකුවට අනුව “මූල්‍ය අංශය විසින් දරන අරමුදල්වල වැඩිතර පිරිවැය අඩුකිරීම” හේතුවෙන්, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායයන් සඳහා නය පොලී අනුපාත සියයට 2කින් පමන අඩුකල හැක.

එහෙත් පොලී අනුපාත අඩුකරමින් බැංකු ප්‍රතිචාර නො දැක්වූ නිසා, තමන් බැංකුවල සහයෝගය බලාපොරොත්තු වූ බව කී මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවූයේ: “එසේ නොවන්නේ නම්, පැහැදිලි ව ම , නය සීමාවක් පනවන්නේදැයි සලකා බැලීමට මූල්‍ය මන්ඩලයට සිදුවේ.” ඔහු මෙසේ ද කීවේ ය: “පැහැදිලි ව ම ජාතික ගැටලුවක් දැනට පවතින නිසා [එය විසඳීමට] සෑම දෙනා ම තමතමන්ගේ කොටස ඉටුකල යුතු යි.”

ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ බැංකු හා මූල්‍ය ආයතන ධනාත්මක ව ප්‍රතිචාර දක්වා ඇද්දැයි යන්න දැනගන්නට නැත.

“ශ්‍රී ලංකාව මුහුන දෙන මූලික අභියෝගය වන්නේ ඉදිරියේ එන වසර පහ පුරා එහි විශාල විදේශ නය ආපසු ගෙවීමයි. වාර්ෂික ව ඩොලර් බිලියන 3 බැගින්, 2020-2024 කාලය තුල ඩොලර් බිලියන 15.4ක පමන සමස්ත නය ප්‍රමානයක් ආන්ඩුව ගෙවිය යුතුයි” මූඩි විශ්ලේෂකයෙක් වන මැතිව් සර්කොස්තා කීවේ ය.

ජාත්‍යන්තර වෙලඳපොලෙන් අරමුදල් උපයාගැනීමේ විකල්ප තිබෙන බව කී සර්කොස්තා “ එහෙත්, මෙම අරමුදල් ලබාගැනීම හා ඒවායේ පිරිවැය සම්බන්ධයෙන් බලපෑ හැකි ආයෝජකයන්ගේ මනෝගතියේ ක්ෂනික වෙනස්වීම්වල අවදානමට”‍ ආන්ඩුව මුහුන දී සිටින්නේ යයි අනතුරු ඇඟවූවේය. ඊට අමතරව, අයවැය පියවීම සඳහා විදේශීයව මුදල් සොයා ගැනීමට ද ආන්ඩුවට සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය විමර්ශනය කිරීමෙන් පසු මැයි 17දා ජාමූඅ එහි මාන්ඩලික වාර්තාව නිකුත් කලේ ය. “දැඩි වන ගෝලීය මූල්‍ය කොන්දේසි හා ප්‍රාග්ධන පිටතට ගලායාමේ පීඩනයන් නිසා [ ගෙවීම] සඳහා මුදල් සොයා ගැනීමේ අවදානමකට” රට මුහුන දෙන බව එය සඳහන් කලේ ය. වාර්තාව තවදුරටත් මෙසේ සඳහන් කලේ ය: “දුර්වල ගෝලීය වර්ධනය ද ප්‍රධාන ආර්ථිකයන් අතර වෙලඳ ආතතීන් ද නිසා අපනයන වර්ධනය, ඍජු විදේශ ආයෝජන හා ප්‍රේෂන අඩුවීම” රටට බලපෑ හැකි ය.

එහි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස වක්‍ර ව අනතුරු අඟවමින් ජාමූඅ මෙසේ කීවේ ය: “රට තුල දී, මැතිවරන තෙක් පවතින දේශපාලන අවිනිශ්චිතතාව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අන්තරායන් ඉස්මතු කරයි.”

අර්බුදය මධ්‍යයේ ආන්ඩුව වියදම් කැපීමේ ජාමූඅ පියවරයන් තදින් ක්‍රියාත්මක කරනු ඇත. සියයට 15ක් තරම් විශාල ප්‍රමානයකින් ප්‍රාග්ධන වියදම් කප්පාදු කරන ලෙස පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය සෑම අමාත්‍යාංශයකට ම දැනුම් දී ඇත. අයවැය පරතරය කැපීමේ කොටසක් වන මෙය මහජනයාට තීරනාත්මක විවිධ ක්ෂේත්‍රවලට බලපානු ඇත.

“පාඩු ලබන ආයතන” වානිජකරනය හෝ පුද්ගලීකරනය කිරීමට ද මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. රජයට අයත් ව්‍යවසායනන්ගේ පාඩු 2018 දී දෙගුන වූ බව හුවා දක්වමින් “මෙම පාඩු ලබන ආයතනවලට ආන්ඩුව දිගට ම ආධාර දිය යුතුදැයි යලි සිතාබැලිය යුතු” බව මුදල් ඇමති මංගල සමරවීර ජුනි 10 දා අවධාරනය කලේ ය.

පාඩු ලබන ආයතන මත වියදම් කරන මුදල් “සුභසාධන හා යටිතල පහසුකම් වර්ධනයට උපයෝගී කරගත හැකි ව තිබුනු” බව ව්‍යාජ හේතු දක්වමින් ඔහු කීවේ ය.

ඔහු මෙම අදහස් පලකලේ රජයට අයත් සංගත අටක් සමග මූලෝපායික සංගත අභිප්‍රායන් අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී කතාකරමිනි. එම ව්‍යවසායයන් අතරට, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, සමුපකාර තොලවෙලඳ සංස්ථාව, ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම කාර්යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මිල්කෝ සමාගම, ජාතික පශුසම්පත් සංවර්ධන මන්ඩලය හා භූවිද්‍යා සමීක්ෂන හා පතල් කාර්යාංශය ඇතුලත් විය.

“මෙම ක්‍රියාවේ මූලික අරමුන වන්නේ ඵලදායිතාව හා මූල්‍ය තත්ත්වය ඉහල දැමීම මගින් මෙම ආයතන ලාබ ලබන ඒවා බවට පත්කිරීම” බව සමරවීර කීවේ ය. මෙහි අර්ථය වන්නේ, මෙම සංගතවල සේවකයන්ගේ වැඩ ප්‍රමානය වැඩිකිරීම හා අවශ්‍ය නම් රැකියා කප්පාදු කිරීම යි. මුදල් අමාත්‍යාංශයේ පියවර ජාමූඅ නියෝග කරන ලද වැඩසටහනේ කොටසකි.

ආර්ථික අර්බුදයේ විපාක ගැන සන්ඬේ ටයිම්ස් ආර්ථික තීරුලිපි රචකයා මෙසේ සඳහන් කර තිබුනි: “ආර්ථික පිරිහීමේ බලපෑමට වැඩිපුර ම ලක්විය හැක්කේ, එකතැන පල්වන ආර්ථිකයක් තුල රැකියා, ආදායම්, ජීවනෝපාය හා අනාගතය දුක්ඛිත වන දුගීන් ය. ආන්ඩුවේ නායකයන් දුප්පත් කම තුරන් කිරීම ගැන කතා කල ද ඔවුන්ගේ ක්‍රියාවන් හා වචන එකිනෙකට නො ගැලපේ.”

ආර්ථික පල්ලම් බැසීම හා යෝධ නය බරවල අර්ථය වන්නේ, ආන්ඩුව හා පාලක ප්‍රභූව කම්කරුවන් හා දුගීන්ගේ සමාජ අයිතීන් මත බරපතල ප්‍රහාර එල්ල කරනු ඇති බවත්, ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුන් ආඥාදායක පාලන රූපවලට හැරෙනු ඇති බවත් ය. ඔවුන්ගේ සැබෑ භීතිය වන්නේ මෙම ප්‍රහාරවලට එරෙහි ව සමාජ ප්‍රතිරෝධයක් පුපුරා ඒම පිලිබඳවයි.

පසුගිය සතියේ දුම්රිය රියදුරන් හා විවිධ කාර්මික සේවයකයන් 3,000ක් ඉහල වැටුප් ඉල්ලමින් වැඩ වර්ජනයක නිරත විය. වෘත්තීය සමිති නායකයන් එය දින දෙකකට සීමා කලත්, එය ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව කම්කරුවන් බෙදීමට දියත් කෙරී ඇති විසකුරු මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය මධ්‍යයේ පැවති පලමු වැඩ වර්ජනය විය. මෙම වර්ජනය, ආන්ඩුව තම අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව සමස්ත කම්කරු පන්තිය තුල කැකෑරෙන කෝපයේ ප්‍රකාශනයකි.

Share this article: