අයිඑස්අයිඑස් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කලේ ඇයි?

Why the ISIS launched a terror attack on Sri Lanka

වසන්ත රූපසිංහ විසිනි, 2019 මැයි 29

අහිංසක මිනිසුන්, ගැහැනුන් හා ලමුන් 250කට වැඩි ගනනක් මරා දමමින් හා තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාව තුල ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට හා සුඛෝපභෝගී හෝටල් තුනකට අප්‍රේල් 21දා එල්ල කල ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවල සිට මාසයක් ගත වී ඇත.

ආන්ඩුවට හා ආරක්ෂක සංස්ථාපිතයට ප්‍රහාරය පිලිබඳ ව පූර්ව අනතුරු ඇඟවීම් විදෙස් ඔත්තු සේවා ඒජන්සීන්ගෙන් ලැබුනු නමුත් ඒවා වැලැක්වීමට පියවර නො ගැනුනි. එසේ වැලැක්වීමේ පියවර නො ගත්තේ මන් ද යන්නට නිසි නිල පැහැදිලි කිරීමක් දී නැත.

එහෙත්, ප්‍රහාරයෙන් ඉක්බිති ව, දේශපාලන සංස්ථාපිතයේ සියලු කන්ඩායම් හදිසි නීතිය හා විෂඝෝර පොලිස්-රාජ්‍ය පියවරයන්ට සහයෝගය දී ඇති අතර, මුස්ලිම්-විරෝධී ප්‍රජාගනවාදය හා ප්‍රචන්ඩත්වය අවුලුවමින් සිටිති. මෙම නව “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” සැබෑ ඉලක්කය වන්නේ, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි ව නැගෙන කම්කරු පන්තියේ අරගලයන් ය.

මේ දක්වා ප්‍රසිද්ධ කර ඇති සාක්ෂිවලට අනුව, මෙම අපරාධය ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑස්) සංවිධානය සමග සම්බන්ධ දේශීය ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමක් වන නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) විසින් සිදුකරන ලද්දකි. එනමුත්, පිලිතුරු දී නොමැති ප්‍රශ්න බොහොමයක් ඉතිරි ව පවතී.

අප්‍රේල් 23දා ඒඑම්ඒකිවු ප්‍රවෘත්ති ඒජන්සිය හරහා ප්‍රහාර පිලිබඳ වගකීම අයිඑස්අයිඑස් විසින් බාරගත්තේ, එන්ටීජේ නායක සහරාන් හෂීම් ඇතුලු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුගේ කන්ඩායමක ඡායාරූපයක් නිකුත් කරමිනි. සිරස්තලය මෙසේ සඳහන් කලේ ය: “ප්‍රහාරය දියත් කල අය සහකාරක රාජ්‍යයන්ගේ පුරවැසියන් හා ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානිවරුන් දින දෙකකට පෙර ඉලක්ක කරගත් හ.”

දින හයකට පසුව, “පාස්කුවේ යෙදී සිටි කුරුස යුද්ධකරුවන්ගේ නිවාසවලට බෝම්බකරුවන් පහර දුන්නේ, බග්හවුස්හි ඔවුන්ගේ සහෝදරයන් වෙනුවෙන් පලිගැනීමට” යි බෝම්බකරුවන් උත්කර්ෂයට නංවමින් අයිඑස්අයිඑස් නායක අබූ-බකර් අල්-බග්දාදි වීඩියෝවක පෙනී සිටිමින් කියා සිටියේ ය. බග්හවුස් යන නැගෙනහිර සිරියාවේ ගම්මානය, සිරියාව තුල අයිඑස්අයිඑස්වරුන්ගේ අවසාන බලකොටු විය. එය එක්සත් ජනපදය පිටුබලය දෙන හමුදාවන් අතට පත්වූ විට, මාර්තු මාසයේ ට්‍රම්ප් පරිපාලනය උදම් ඇනුවේ අයිඑස්අයිඑස් මුලිනුපුටනු ලැබූ තිබුනු බවට යි.

එක් ප්‍රකාශයක් වත් එන්ටීජේ නමින් සඳහන් කලේනැත. එහෙත්, අයිඑස්අයිඑස් සැකකරුවකුගෙන් ලබාගත් තොරතුරු මත පදනම් ව අප්‍රේල් 4දා ඉන්දීය ඔත්තු සේවා ඒජන්සියක් ශ්‍රී ලංකාවේ ඔත්තු සේවා වෙත විශේෂ අනතුරු ඇඟවීමක් කලේ ය. එය සඳහන් කලේ, ප්‍රහාරවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අඩංගු බවත්, ඒවා එන්ටීජේ ක්‍රියාකාරී සහරාන් විසින් සංවිධානය කරමින් තිබුනු බව හා දේවස්ථාන ඉලක්ක කරගත් බවත් ය.

එන්ටීජේ බිහිකරන ලද්දේ, 2012 දී ආරම්භ කල ශ්‍රී ලංකා තවුහීත් ජමාත් (එස්එල්ටීජේ) වෙතින් කැඩී ගිය සහරාන් විසින් 2016 දී ය. තමන් මැදහත් පුද්ගලයන් ලෙස සඳහන් කරන එස්එල්ටීජේ නායකයෝ, සහරාන් ප්‍රචන්ඩත්වය හා වඩා මූලධර්මවාදී ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් පෙනී සිටි බවට චෝදනා කරති.

ශ්‍රී ලංකාවේ පාස්කු දින බෝම්බ ප්‍රහාර, ඉරාකය හා සිරියාව තුල අයිඑස්අයිඑස් භූමි ප්‍රදේශ අහිමි වීමට එකට එක කිරීමක් ලෙස කල දෙයක් බව ශ්‍රී ලංකාවේ විශ්ලේෂකයින් හා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර ඇත. එහෙත් කිසිවෙක් විස්තර කර නැති දෙය වන්නේ, එක්සත් ජනපදය හෝ මැද පෙරදිග තුල සමීප සහකරුවන් වෙනුවට ශ්‍රී ලංකාව ඉලක්ක කරගනු ලැබුවේ මන් ද යන්න යි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ, ශ්‍රී ලංකාව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග රාජ්‍යතාන්ත්‍රික ව හා මිලිටරිමය ලෙස සමීප ව ඒකාග්‍ර කර ඇත. දිවයිනේ මූලෝපායික වැදගත් කම, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කර සිරිසේන බලයේ පිහිටුවමින් 2015 දී වොෂින්ටනය ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමෙන් අවධානරය වෙයි. රාජපක්ෂ ගනන්ගන්නා ලද්දේ චීනයට වඩා සමීපතමයෙකු ලෙස යි.

ශ්‍රී ලංකාවේ සොල්දාදුවන් පුහුනු කරමින් හා ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස පවත්වමින්, පසුගිය වසර හතර පුරා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකාය (ඉන්දුපැකොම්) ශ්‍රී ලංකාව සමග මිලිටරි සබඳතා බොහෝ සෙයින් ශක්තිමත් කරගෙන ඇත. එක්සත් ජනපද මැරීන් බලකාය වැනි ශ්‍රී ලංකා නාවික හමුදා මැරයින් බලකායක් ස්ථාපනය කිරීමට ද ඉන්දුපැකොම් සහයෝගය දෙයි.

පෙබරවාරි මුල වොෂින්ටනයේ සෙනෙට් සන්නද්ධ සේවා කමිටුව ඇමතූ ඉන්දුපැකොම් ප්‍රධානී අද්මිරාල් ෆිලිප් ඬේවිඞ්සන් ප්‍රකාශ කලේ, ශ්‍රී ලංකාව “ඉන්දියන් සාගරය තුල වැදගත් මූලෝපායික මධ්‍යස්ථානයක් ලෙස පවතින අතර, අපගේ මිලිටරි සබඳතා දිගට ම ශක්තිමත් වෙමින් පවතිනවා” යනුවෙනි.

ආරක්ෂක ඇමතිවරයා ද වන ජනාධිපති සිරිසේන, කැබනට්ටුවේ අනුමැතිය ද සහිත ව 2017 අගෝස්තුවේ එක්සත් ජනපදය සමග ප්‍රවේශ හා ප්‍රතිසේවා ගිවිසුම (ඒසීඑස්ඒ) අවිනිශ්චිත කාලයකට අලුත් කලේ ය. පලමුව 2007 දී වසර දහයක කාලයකට අත්සන් තැබූ ඒසීඑස්ඒ ගිවිසුම, සැපයුම් හා ගබඩාකරනයන් සඳහා ශ්‍රී ලංකාවේ මුහුද හා ගුවන් තොටුපොලවල් භාවිතා කිරීමට එක්සත් ජනපද මිලිටරියට අවසර ලබා දෙයි.

හත්වන නාවික බලඇනියේ යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් නමැති එක්සත් ජනපද ගුවන් යානා ගෙන යන නෞකාව, ජනවාරි මාසයේ දී සේවා ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ත්‍රිකුනාමල වරායට සේන්දු වූයේ, මූලෝපායික ගැඹුරු වරායේ එක්සත් ජනපද නාවික හමුදා ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ කොටසක් වසයෙනි.

එක්සත් ජනපද නාවික හමුදා වෙබ් අඩවිය දෙසැම්බර් 9දා සඳහන් කලේ: “මෙම ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ගුවන් පථයක් හා නිවැරදි ද්‍රව්‍ය නිවැරදි ස්ථානයට නිවැරදි වේලාවේ දී ලැබීම හරහා නැව්වලට දිගට ම මුහුදේ මෙහෙයුම් කිරීමට හැකියාව ලබා දෙමින්, කුඩා නැව් ගතකිරීම්වලට විවිධ දිශාවන් ඔස්සේ යා හැකි පරිදි ගබඩාවලින් විශාල නැව් තොග ලබාගැනීම සඳහා ඉඩ ලබා දෙයි.”

ජනවාරි 21 හා 29 අතර, යූඑස්එස් ජෝන් සී. ස්ටෙනිස් නෞකාවේ ගුවන් යානයක්, ශ්‍රී ලංකාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට ත්‍රිකුනාමලයේ ස්ථාන ගත කර ඇති යෝධ ගුවන් යානා ගෙන යන නෞකාවට සැපයුම් මෙහෙයුම් සිදු කිරීමේ නිරත විය.

එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමග මිලිටරි හා මූලෝපායික සබඳතා වැඩිදුර ශක්තිමත් කරගැනීම සඳහා අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර ක්ෂනික ව ගසාකෑවේ ය. බෝම්බ ප්‍රහාරවලින් පැය 48ක් ඇතුලත “විමර්ශනවලට සහය වීම” සඳහා එෆ්බීඅයි විමර්ශකයන් දුසිම් ගනනක් හා ඉන්දුපැකොම්හි මිලිටරි විශේෂඥයෝ දිවයිනට ගොඩබට හ.

මැයි මස මුල දී, එක්සත් ජනපදය සමග ඉහල පෙලේ “සහයෝගතා සාකච්ඡාවකට” සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ඇමති තිලක් මාරපන වොෂින්ටනයට සංචාරය කලේ ය. ඔහු, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, සහකාර ලේකම් ඬේවිඞ් හේල් හා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝලටන් මුනගැසුනි.

මාරපනගේ සංචාරයේ දී, දෙරට අතර හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) වෙනස් කිරීම ගැන එක්සත් ජනපද නිලධාරීන් මතු කල බව වාර්තා වේ. 1995 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අත්සන් කල මෙම ගිවිසුම, එතැන් පටන් බලාත්මක වී තිබේ. මෙම ගිවිසුම යාවත්කාලීන කිරීමක් පිලිබඳ ව සලකා බැලෙමින්තිබෙන බව පසුගිය සතියේ වාර්තා වූ විට, එය “සාමාන්‍ය දෙයක්” බව කියමින් දෙරටේ ආන්ඩු එම වාර්තාව නො තකා හැරියේ ය.

එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කලේ: “මෙම යාවත්කාලීන කිරීම්, දැනට මත් ක්‍රියාත්මක ක්‍රියාවලීන් කාර්යක්ෂම කරමින්, ත්‍රස්තවාද-විරෝධී ක්‍රියාකාරකම්, නාවුක ආරක්ෂාව හා පොදුවේ උත්සුක අනෙකුත් ප්‍රශ්න පිලිබඳ ව ශ්‍රී ලංකාවේ මිලිටරිය සමග ඒකබද්ධතාවන් පහසු කරනු ඇත.”

එහෙත් මෙම වෙනස්කම්වලට අනුව, ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැදීමේ නාමයෙන් එක්සත් ජනපද භටයන් දිවයින මතට එවීමට පහසුකම් සැලසිය හැක.

බෝම්බ ප්‍රහාරවලින් ක්ෂනික ව ඉක්බිත්තේ, සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වෙමින් හා ප්‍රහාරය පිලිබඳ ව “රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට” වරද පටවමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අගමැති වික්‍රමසිංහට දුරකථනයෙන් කතා කලේ ය. “(මෙ)ය ඇමරිකාවේ ද සටන යි” යි ඔහු ප්‍රකාශ කලේ ය.

යථාර්ථය නම්, 1980 ගනන්වල ඇෆ්ගනිස්ථානය තුල සෝවියට්-විරෝධී ආක්‍රමනය සමයේ, අල් කයිඩා වැනි ඉස්ලාමීය සංවිධාන බිහිකිරීම පිලිබඳ වත්, සිරියාවේ සිවිල් යුද්ධයේ දී අල් කයිඩාවෙන් කැඩී ගිය අයිඑස්අයිඑස් වැනි ඉස්ලාමීය කන්ඩායම් යොදාගැනීම පිලිබඳ වත්, එක්සත් ජනපද ඍජු ව වගකිව යුතු බව යි.

ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සබඳතා සුවිශේෂී වසයෙන් එල්ල කෙරෙන්නේ, බීජිනයට එරෙහි වඩා පලල් ආර්ථික යුද්ධයේ හා යුද්ධයට සූදානම් වෙමින්, කලාපය පුරා මිලිටරි ගොඩනැංවීම් කිරීමේ කොටසක් ලෙස චීනයට එරෙහි ව යි. කලාපය පුරා ආතතීන් වැඩි දියුනු කරන එක්සත් ජනපද යුද ධාවනය, න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් අතර විනාශකාරී යුද්ධයක් බවට පුපුරා යා හැකි ගැටුමක් තුලට ශ්‍රී ලංකාව ඇදගෙන යමින් සිටී.

දිවයින මත එක්සත් ජනපද මිලිටරිය මැදිහත් කිරීම ශක්තිමත් කිරීමේ පියවරට විරුද්ධ ව නැගී සිටිමින් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය , සමාජවාදය සඳහා සටනේ දී ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ලොව පුරා සිය පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ විය යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් (හජාජාක) ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඇතුලු එහි සියලු ශාඛාත් සටන් වදින ඉදිරිදර්ශනය මෙය යි.

Share this article: