දුම්රිය සේවකයන් 3000ක් දෙදින වර්ජනයක

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජුනි 22

බ්‍රහස්පතින්දා සවස සිට ආරම්භ කර ඇති දෙදින වර්ජනයට දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති සහ අධීක්ෂන නිලධාරීන් 3,000 පමන සහභාගී වී සිටිති. වර්ජනය නිසා දුම්රිය සේවය මුලුමනින් ම පාහේ අඩාල වී ඇත.

බදාදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ආරම්භ කිරීමට කලින් තීන්දු කර තිබුනත් සමිති විසින් එය බ්‍රහස්පතින්දා රාත්‍රියට කල් දමන ලද්දේ මුදල් ඇමති සමග සාකච්චාවක් ගැන බලාපොරොත්තු තබාගන්නා ලෙස ඉල්ලමිනි. එහෙත් එදින දෙකට පැවති සාකච්චාව බිඳවැටීමෙන් පසු සේවකයන්ගේ නොසන්සුන්තාවය නිසා සවසම වර්ජනය කැඳවීමට සමිතිවලට සිදුවිය.

මෙතෙක් නොවිසඳී පවතින තම ශ්‍රේනිවලට අදාල වැටුප් විෂමතා ගැටලුවට වහා විසඳුම් ලබා දෙන ලෙස වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයෝ ඉල්ලති. ආරක්ෂාව සැලසීමේ මුවාවෙන් ආන්ඩුව සියලුම ප්‍රධාන දුම්රිය ස්ථානවලට හමුදාව යොදවා ඇති අතර ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයේ සේවක නිවාඩු අවලංගු කොට ඇත. වර්ජනය කැඳවුම් කර ඇත්තේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසිනි.

2006 ජුනි මාසයේ නිකුත් කල රාජ්‍ය සේවා වැටුප් පිලිබඳ චක්‍රලේඛය මගින් අලුතින් බඳවා ගනු ලබන දුම්රිය සහායක ශ්‍රේනිවල මාසික ආරම්භක වැටුප රුපියල් 16,500 දක්වා ඉහල දමා ඇතත් තම ආරම්භක වැටුප් තලය ඉහල නොදැමීම නිසා බරපතල අසාධාරනයක් සිදුවී ඇති බව වර්ජනයේ යෙදී සිටින සේවකයෝ කියති. අදාල ගැටලුව සම්බන්ධව ප්‍රවාහන ඇමති, මුදල් ඇමති සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ වෘත්තීය සමිති අතර බ්‍රහස්පතින්දා පැවති සාකච්චා අසාර්ථක වී ඇත.

ජනාධිපති, අගමැති සහ ප්‍රවාහන ඇමති ගැටලුව විසඳීමට එකඟ නමුත් මුදල් ඇමති සහ අමාත්‍යාංශ නිලධාරීන් ඊට විරුද්ධ බව සිකුරාදා දහවල් පැවති මාධ්‍ය සාකච්චාවක දී දුම්රිය සමිති නායකයෝ කීහ. වැටුප් විෂමතා ගැටලුව විසඳීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කල කැබිනට් අනු කමිටුව මගින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුමත වී ඇති නමුත් මුදල් ඇමති විරුද්ධ වීම නිසා එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව ද ඔව්හු කීහ. සමිති නායකයන්ගේ මෙම ප්‍රකාශය දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත මුලුමනින් ම වසන් කිරීමේ ප්‍රයත්නයකි.

වැටුප් වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය විරුද්ධවන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව ද ඇතුලු විශාල වසයෙන් පාඩු ලබන රජය ආයතනවලට මුදල් වෙන් නොකරන ලෙසට ද ඒවා පුද්ගලීකරනය හෝ වානිජකරනයට ලක් කරන ලෙසට ද ජාත්‍යන්තර මූල්‍ය අනවා ඇති තත්වයක ය.

මෙම සමිති විසින් පසුගිය වසර ගනනාව තුල දුසිම් ගනනක් විරෝධතා කැඳවා ඇත. ඒවායේ අරමුන වූයේ දුම්රිය සේවකයන්ගේ අයිතීන් දිනා ගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොව, තම අයිතීන් ලබා නොදීමට එරෙහිව ඔවුන් අතර පවතින නොසන්සුන්තාවය වාෂ්පකර යටපත් කිරීම ය. ඒ හැම අවස්ථාවකම වර්ජනයේ යෙදෙන දුම්රිය සේවක කන්ඩායමේ අරගලය සෙසු දුම්රිය කම්කරුවන්ගෙන් හුදකලා කල ඔව්හු කැඳවූ විරෝධතා ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කොට අරගලය දිය කර හැරියහ.

මෙවර වර්ජනය ද පැය 48කට සීමා කර ඇති සමිති අරගලය වටා කම්කරු පන්තියේ සෙසු කොටස්වල සහයෝගය බලමුලු ගැන්වීමේ කිසිදු පන්ති ක්‍රියාවක් සංවිධානය නොකර පෙර පරිදිම වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයන් නිවෙස් වලට කොටු කර තබා ඇත. පසුගිය අවුරුදු කිහිපයේ විටින්විට විරෝධතා කැඳවූ වෘත්තීය සමිති, සේවකයන් අතර නොසන්සුන්තාව වැඩෙන තතු යටතේ මොනම ආකාරයක හෝ විරෝධතා මෙහෙයවීම තමන්ට අභියෝගයක් වනු ඇතැයි සලකති. ධනපති ආන්ඩුවලට ගැතිව සිටින සමිති දුම්රිය කම්කරුවන්ගේ අරගලය ඒවා සමග හැප්පීමකට යාම වැලැක්වීමට හිතාමත ක්‍රියා කරති.

අඛන්ඩ වර්ජන හා බරපතල අරගල ගැන ඇදබාන කතා හුදෙක් ම නිලධරයේ සැබෑ පිලිවෙත වසා ගැනීමේ ප්‍රයත්නයකි. පසුගිය අගෝස්තු මාසයේ අඛන්ඩ වර්ජනයේදී සමිති නායකයන්ගේ ක්‍රියා කලාපය දුම්රිය සේවකයන් විසින් මතකයට නගා ගත යුතු ය.

දින හයකට පසු එම වර්ජනය සමිති විසින් පාවා දෙනු ලැබුවේ ආන්ඩුවේ තර්ජන ඉදිරියේ නිවට ලෙස යටත් වීමෙන් හා මාස දෙකකින් ගැටලුව විසඳන බවට ජනාධිපති සිරිසේන දුන් ව්‍යාජ පොරොන්දුවට යටත් කිරීමෙනි. වර්ජන වලට බියෙන් වැටුප් වැඩි කල නොහැකි බව මුදල් ඇමති සමරවීර ප්‍රකාශ කල අතර වර්ජනය “ත්‍රස්තවාදී ක්‍රියාවක්” බවත් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජය කල ආකාරයට වර්ජනය කුඩු කරන බවටත් එහිදී තරුන කටයුතු හා දක්ෂින ලංකා සංවර්ධන ඇමති සාගල රත්නායක තර්ජනය කලේ ය.

තර්ජන ඉදිරියේ එලෙස යටත්වූ සමිති නිලධරය, මෙවර වර්ජනය බිඳීමට හමුදාව සහ කොන්ත්‍රාත් සේවකයන් යෙදෙව්වොත් වෘත්තීය සමිති කුමන පියවරක් ගන්නේ දැයි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් නැගූු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් බී. එම්. පී. පීරිස් මෙසේ කයිවාරු ගැසුවේ ය. “දුම්රිය හමුදාව යොදවලා දුවන්න බැහැ. මර්දනය කරන්න උත්සාහ කලොත් අපි අඛන්ඩ වර්ජනයකට යනවා.”

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම් ගැන විමසු විට ඔහු සඳහන් කලේ “පසුගිය ආන්ඩු එය ක්‍රියාවට දැමීමට උත්සාහ කලත් අසාර්ථක වූනා. මේ ආන්ඩුවටත් කිසිසේත්ම ඉඩ නොදෙන” බවය.

දුම්රිය සේවකයන්ගේ බරපතල විරුද්ධත්වය නිසා පුද්ලීකරනය කල් දැමීමට පසු ගිය ආන්ඩුව වලට බල කෙරුන නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දුම්රිය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම කඩිනම් කරන ලෙස නියෝග කර ඇත.

තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි රැක ගැනීමේ දුම්රිය සේවකයන්ගේ අරගලය පුද්ගලීකරනය ට එරෙහි අරගලයත් සමග ඍජුව බැඳී ඇත. එහෙත් පුච්චානම් කතා තිබියදීම පුද්ගලීකරනයට විරුද්ධව කිසිදු අරගලයක් කිරීමට දුම්රිය සමිති සූදානම් නැත. එපමනක් නොව, පුද්ගලීකරනය සඳහා තැබෙන පලමු පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ආවෘත සේවාවක් කිරීමේ ආන්ඩුවේ සැලැස්මට ඔව්හු එකඟතාවය පල කර ඇත. මෙම සමිති ආන්ඩුවේ සැලසුම් දුම්රිය සේවකයන් මත පටවන ඒජන්ත සංවිධාන බව සිකුරාදා මාධ්‍ය සාකච්චාවේ දී මැනවින් තහවුරු විය.

“අපි දේශපාලන අරමුනක් ඇතිව කටයුතු කරනවා කියල සමහරු චෝදනා කරනවා. අපිට එහෙම අරමුනක් නැහැ. අපි මේ ආන්ඩුවට සහයෝගය දුන්නා. ආන්ඩුව අසීරුවට පත් කලේ නැහැ. පසුගිය දින වල අගමැති වෙනස් වුනා. අප්‍රේල් මාසයේ ප්‍රශ්න (ත්‍රස්ත ප්‍රහාර) ඇති වුනා. අපි ඒ අවස්ථාවල කිසිම සටනක් කලේ නැහැ.” යි දුම්රිය නියාමක සංගමයේ ලේකම් පීරිස් එහි දී සඳහන් කලේ ය.

ඔහුගේ මෙම වාර්තාවෙන් පැහැදිලිවන්නේ ධනපති පාලකයන්ගේ දේශපාලන උවමනාවට සමිති අනුගතවී සිටින ආකාරයයි. එහෙත් දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් ගත් කල වැටුප් සටනේ දීර්ඝ කාලීන අත්දැකීම වී ඇත්තේ ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කිරීමේ දේශපාලන අරගලයකින් තොරව ඔවුන්ගේ අයිතීන් දිනාගැනීම හෝ රැක ගැනීම කල නොහැකි බවයි.

එමෙන්ම, බලයේ සිටින ආන්ඩුවල දේශපාලන උවමනාවන්ට සේවය කරන සමිති සහ ඒවායේ නිලධරය මුදුනේ තබාගෙන තම අයිතීන් දිනාගැනීමේ හෝ රැක ගැනීමේ මොනම අරගලයක් වත් කම්කරුවන්ට කල නොහැකි බවයි. පොදුවේ ලංකාවේ සියලු කම්කරුවන්ගේ අත්දැකීම එයයි. එක් අංශයක අරගලය ශක්තිමත් කිරීමට අනෙක් අංශවල කම්කරුවන් එකමුතු කිරීමට ද සමස්ත කම්කරු පන්තියේ එකමුතුවක් ගොඩනැගීමට ද වෘත්තීය සමිති විරුද්ධ ය. ජාත්‍යන්තර කම්කරුවන් සමග එකමුතුව සමිතිවලට හා නිලධරයට නයාට අඳු කොල වැනි ය.

තම අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් කිරීම සඳහා කම්කරුවන්ට තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නව සංවිධාන අවශ්‍ය ය. සෑම වැඩපොලකම, වත්තකම හා කම්කරු නිවහන් පෙදෙස්වල කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත්කරගන්න ක්‍රියාකාරි කමිටු වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩ නැගිය යුතුබව සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ මේ නිසාය. සමිති නිලධරය එම කමිටු තුලට වැද්ද නොගත යුතුය. කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් කිරීම මෙම කමිටු විසින් තීන්දු කල යුතුය.

දෙදින වැඩවර්ජනයත් සමග දුම්රිය කම්කරුවන් මේ සඳහා පියවර ගැනීම හදිසි භාවයකින් මතුව ඇත.

මෙම පියවර ගැනීම සමාජවාදී ප්‍රතිපත්ති සඳහා ද ඒවා ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ද දේශපාලන සටන සමග සම්බන්ධ කල යුතුය.

Share this article: