කොලඹ පාලක පන්තියේ පොලිස්-රාජ්‍ය සූදානම පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය යි

Sri Lankan workers need a socialist program to defeat Colombo’s police-state preparations

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 2019 ජුනි 12

අප්‍රේල් 21දා සිදු වූ පාස්කු දින ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තුල හා ආන්ඩුවේ ප්‍රධාන කුලුනු තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරනයේ විවිධ කන්ඩායම් අතර දේශපාලන යුද්ධයක් පුපුරා ගොස් ඇත.

300ක් පමන ජනයා ඝාතනය කල හා 500කට අධික පිරිසකට තුවාල සිදු කල මරාගෙන මැරෙන ප්‍රහාර, ලංකාවේ මුස්ලිම් මූලධර්මවාදී කන්ඩායමක් වන නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) සමග සම්බන්ධීකෘත ව අයිඑස්අයිඑස් සංවිධානය විසින් මෙහෙයවන ලදී.

බෝම්බ ප්‍රහාර පිලිබඳ ව විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට (පීඑස්සී) ඉදිරිපත් කරන සාක්ෂිවලට අනුව, දේශපාලන නායකයන්ගේ හා ආරක්ෂක සංස්ථාපිතයේ පූර්න අනුදැනුම සහිත ව බෝම්බ ප්‍රහාර සිදු වීමට ඉඩ හල බව අනාවරනය වී ඇත.

තේරීම් කමිටුවේ විමර්ශනය වහා ම නවත්වන ලෙස ඇනවීමට පසුගිය සිකුරාදා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෝපයෙන් ප්‍රකාශ කලේ විමර්ශනයේ ඉලක්කය ඔහු ව අපකීර්තියට පත්කිරීම බව යි.

පාර්ලිමේන්තු විමර්ශනය ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන බව ද කියා පෑ සිරිසේන, ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ ව දැනට මත් ගොනුකර ඇති නඩු එමගින් විනිශ්චයට භාජන කිරීමක් සිදු වන බව කීවේ ය. කැබිනට් රැස්වීම් ඇතුලු ආන්ඩුවේ සියලු ක්‍රියාකාරකම් වර්ජනය කිරීමට තර්ජනය කල ඔහු තමන් තනියම වැඩකටයුතු කරගෙන යන බව සඳහන් කලේය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් ඇමතිවරු සිරිසේනගේ චෝදනා ප්‍රතික්ෂේප කල හ. කථානායක කාර්යාලයෙන් නිකුත් කල මාධ්‍ය නිවේදනයක මෙසේ සඳහන් විය: “මාධ්‍ය ආවරනයට අවසර දීමේ තීන්දුව ගත්තේ ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත්කල පාර්ලිමේන්තුව විසින් ම ය. පාර්ලිමේන්තුවට තීන්දු ගැනීම සඳහා බලය හා අධිකාරය ඇත.”

විපක්ෂ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන පාලක ප්‍රභූවේ තවත් කන්ඩායමක් පීඑස්සීයට විරුද්ධ වී එය වැදගත් ජාතික ආරක්ෂක තොරතුරු ප්‍රසිද්ධියේ හෙලිදරවු කරන්නේ යයි චෝදනා කලේ ය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිමල්ල කන්ඩායම්වල හා ආරක්ෂක යාන්ත්‍රනයේ “ජාතික ආරක්ෂක” උත්සුකයන් පවතින්නේ ත්‍රස්තවාදය නැවැත්වීම සඳහා නො ව, කම්කරු පන්තියට හා පීඩිත ජනයාට විරුද්ධ ව කුමන්ත්‍රනය කිරීමේ ඔවුන්ගේ “අයිතිය” රැක ගැනීමටයි. සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ මංමුලා සහගත ලෙස එකිනෙකාට චෝදනා කරන්නේ, ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳ ඔවුන්ගේ ම වගකීම ප්‍රසිද්ධියේ හෙලිදරවු වෙතැයි යන භීතියෙනි.

ඉන්දියානු ඔත්තු සේවා ඒජන්සියක් විසින් ප්‍රහාර පිලිබඳ ව ඉහල පෙලේ ආරක්ෂක සංස්ථාපිතයට කල් තබා අනතුරු අඟවා තොරතුරු ලබා දුන් බවට සාක්ෂි එලිමහනට පැමින ඇත. සිරිසේන, වික්‍රමසිංහ හා අනෙක් අයට ද එලඹෙන බෝම්බ ප්‍රහාර පිලිබඳ තොරතුරු ලබා දුන්න ද ඔවුන් ඔවුන්ගේ ම ප්‍රතිගාමී න්‍යාය පත්‍රයන් ක්‍රියාවට දැමීම සඳහා ඒවා සිදුවීමට ඉඩ හැරියේ ය. එහෙත් ඔවුන් කිසිවෙක් අපේක්ෂා නො කල පරිදි දේශපාලන අර්බුදය තියුනු ලෙස ගැඹුරු කරමින් බූමරංගයක් ලෙස ඔවුන් මතටම කඩාපාත්වී ඇත.

පසුගිය සති අන්ත සන්ඬේ ටයිම්ස් කතුවැකිය මෙසේ ප්‍රකාශ කලේ ය: “පසුගිය දින කිහිපය පුරා හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති හා ජාතික ඔත්තු සේවා ප්‍රධානියා විසින් පීඑස්සීයට කල හෙලිදරවු කිරීම් රට අරටුවට ම සොලවා ඇත. එය පද්ධතිය පිලිබඳ විශ්වසනීයත්වය ප්‍රශ්නයට බඳුන් කරයි; එමෙන්ම පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට බලයේ හා මහජන ආරක්ෂාවේ භාරකරුවන්ට හැකියාව හා ධාරිතාව -හෝ ඒවා නොමැති වීම- ගැන ද ප්‍රශ්න ඉස්මතු කරයි.”

ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ ඉතිහාසය පෙන්නුම් කර ඇති පරිදි ධනපති පාලනය රැකගැනීම සඳහා -රට තුලත් විදේශියවත්- එය එයට කලහැකි ඕනෑම දෙයක් කරනු ඇත. මෙම පාලකයන් 1953 හර්තාලයේ දී, ශ්‍රී ලංකාවේ කැරලිකාරීව නැගීසිටි කම්කරුවන්ට වෙඩි තැබුවේය. උතුරේ හා නැගෙනහිර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවේ 30-අවුරුදු යුද්ධයේ දී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමන ලද අතර, දිවයිනේ දකුනු ප්‍රදේශයේ සිංහල ගම්බද තරුනයන් 60,000ක් පමන මිලිටරිය විසින් 1988-1990 සමයේ මරා දැමුනි.

ජීවිත මිලියන ගනනක් බිලිගත් හා තෙල්වලින් පොහොසත් මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදය මෙහෙයවූ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයටත්,” ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව හා සිරියාව ආක්‍රමනය කිරීමටත් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය උද්යෝගයෙන් යුතු ව පිටුබලය දුනි.

ඔවුන් අතර පවතින උපායික මතභේද කුමක් වුවත් , ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ සියලු කන්ඩායම්, කම්කරු පන්තිය බෙදීමට ප්‍රජාගනවාදය යොදාගැනීමේ දීත්, පොලිස් රාජ්‍යයක් ස්ථාපනය කිරීම සඳහා පියවර ගැනීමේදීත් එක්සත් ය.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරවලින් පසු කැඳවූ වට මේස සාකච්ඡාවන්ට සියලු පාර්ලිමේන්තු පක්ෂ සහභාගි වූ අතර, රටපුරා හදිසි නීතිය පැනවීමට එකඟ වී එම මර්දනීය පියවරයන් තවත් මසකින් දීර්ඝ කර ඇත. උසාවි වරෙන්තුවලින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට ඉඩ සැලසෙන පරිදි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ද සිරිසේන විසින් යලි බලාත්මක කලේ ය.

මෙම බලයන්ගෙන් සන්නද්ධ ව හමුදා හා පොලිස් භටයන් දසදහස් ගනනක් රටපුරා දිගේලි කරනු ලැබ ඇත්තේ, 2009 එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසුව විශාලතම සෝදිසි මෙහෙයුම් සිදුකරමිනි.

වැඩපොල, වතු හා තෘතීයික අධ්‍යාපන ආයතනවල ඔත්තු බැලීමේ ආරක්ෂක ජාලයක් ස්ථාපනය කර ඇති අතර, නව “ප්‍රති-ත්‍රස්ත නීති” සූදානම් කෙරෙමින් පවතී. “ව්‍යාජ ප්‍රවෘත්ති” වැලැක්වීමේ කඩතුරාව යටතේ, ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල හා සමාජ මාධ්‍ය ප්‍රවේශයන් මත කලින් පැනවූ සීමාකිරීම් ස්ථාවර කිරීමට පියවරයන් හඳුන්වා දෙමින් පවතී.

මාධ්‍යවල ආධාරය හා උපකාරය සහිත පාලක හා විරුද්ධ පක්ෂ, ඉස්ලාම්-භීතිකාව ක්‍රමානුකුල ව අවුලුවාලති. එක් පුද්ගලයෙකු මරනයට පත්කරමින්, දුසිම් ගනනකට තුවාල සිදුකරමින් හා දේපොල විනාශ කරමින් මෙම දුෂ්ට උද්ඝෝෂනය දැනට මත් රටෙහි මුස්ලිම් සුලුතරයට විරුද්ධ ව ප්‍රචන්ඩත්වය ජනනය කර ඇත. ආරක්ෂක හමුදා මෙම ප්‍රහාර කෙරෙහි අන්ධ ව සිටිති.

ධනේශ්වර පක්ෂ හා රාජ්‍ය හමුදාවන්ගේ අනුග්‍රහය යටතේ, බොදු බල සේනා හා සිහල රාවය වැනි අන්තවාදී දක්ෂිනාංශික බෞද්ධ භික්ෂූන් හා සිංහල වර්ගවාදී කන්ඩායම් ශක්තිය ලබාගනිමින් සිටී. මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචන්ඩත්වයේ තර්ජන මධ්‍යයේ, පසුගිය සතියේ මුස්ලිම් ඇමතිවරු නව දෙනා ම ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වූ හ.

උත්සන්න කෙරෙන මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදයේ අරමුන වන්නේ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දුර්වල කිරීම හා පොලිස්-රාජ්‍ය පාලනයකට කොන්දේසි නිර්මානය කරගැනීම යි. ශ්‍රී ලංකාව තුල ඉතිහාසය පුනර්කරනය වන්නේ වඩා ම්ලේච්ඡ ආකාරයකට ය. දෙමල සුලුතරයට එරෙහි ව වාර්ගික යුද්ධයක් ගෙනගොස් ඇති ශ්‍රී ලංකාවේ පාලක පන්තිය, සමස්ත ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීමට මුස්ලිම්-විරෝධී උද්ගතයක් අවුලවමින් සිටී.

ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ ප්‍රතිගාමී හැරීම අවබෝධ කරගත හැක්කේ ජාත්‍යන්තර වර්ධනයන්ගේ සන්දර්භය තුල පමනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජනවාරි 3 ඉදිරිදර්ශන ලිපිය තුල විස්තර කල පරිදි: “1930 දී මෙන් සෑම රටකම ධනපති ප්‍රභූව, ආන්තික ජාතිකවාදය සහ සංක්‍රමන විරෝධී විදේශික භීතිකාව අවුලුවන අතරේ වියරු සහගත අන්දමින් පොලිස් සහ මිලිටරි රාජ්‍ය යන්ත්‍රය ගොඩනගමින් සිටියි. තවමත් අව්‍යාජ මහජන පදනමක් නැති මෙම ෆැසිස්ට්වාදී ව්‍යාපාර පවත්නා ධනපති පක්ෂවල අනුග්‍රහය සහ ජනමාධ්‍යය තුලින් ලැබෙන ප්‍රසිද්ධිය මතට වාරු වී සිටියි. එතකුදු වුවත් මෙහි අන්තරාය පැහැදිලිය. ...”

“එහෙත් තවත් සමාජ බලවේගයක් දැන් දේශපාලන රංගපථයට අවතීර්න වී තිබේ. කාලාන්තරයක් තිස්සේ යටත් කරනු ලැබ, පිටමන් කෙරී සිටි කම්කරු පන්තිය සිය ස්වාධීන අවශ්‍යතාවන් දෘඪතරව කියා පෑමට පටන්ගනිමින් සිටියි. ප්‍රන්සයේද, එක්සත් ජනපදයේද දැවැන්ත සමාජ අරගලයන්ගේ පැතිරයාම ජාත්‍යන්තරවම නව විප්ලවවාදී යුගයක ආරම්භය සංඥා කරයි.” (ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය හා 2019 ධනේශ්වර ප්‍රතිගාමීත්වයට එරෙහි දේශපාලන අරගලය).

ජීවන කොන්දේසි මත ආන්ඩු හා මහ ව්‍යාපාරිකය විසින් එල්ල කරන ප්‍රහාරවලට ජාත්‍යන්තර කම්කරු පන්තියේ විරුද්ධත්වය හා ප්‍රතිරෝධය දිගහැරීමේ ප්‍රකාශනයක් වන, දිවයින පුරා කම්කරුවන්, තරුනයන් හා දුගීන් අතර වැඩෙන පෙරලිකාරිත්වය නිසා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය භීතියට පත්ව සිටියි.

ජනවාරියේ දී, එවකට පැවති රාජපක්ෂ තන්ත්‍රය කෙරෙහි වැඩෙන මහජන විරෝධය මධ්‍යයේ, ව්‍යාජ-වම්මුන්, වෘත්තීය සමිති නිලධරයන් හා මධ්‍යම-පන්තික කොටස්වල පූර්න පිටුබලය සහිත ව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනියේ ය. රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමුවේ, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම්වීම්වලට ශ්‍රී ලංකාව පෙල ගස්වා ගැනීම පිනිස යි.

2018 අවසානය වන විට, ජාමූඅ- නියෝග කරන ලද කප්පාදු පිලිවෙත්වලට එරෙහි කම්කරු පන්තියේ ප්‍රධාන කොටස්, ගම්බද දුගීන් හා ශිෂ්‍යයන්ගේ අරගල හා විරෝධතා, සිරිසේන-වික්‍රමසිංහ සමගි ආන්ඩුව පුපුරුවා හැරියේ ය.

වර්ධනය වන මෙම ව්‍යාපාරය පිලිබඳ ව භීතියට පත් සිරිසේන, පසුගිය ඔක්තෝබරයේ පාර්ලිමේන්තු කුමන්ත්‍රනයක් සිදුකරමින් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට රාජපක්ෂ එම තනතුරට පත්කලේ ය. රාජපක්ෂ යලි පත්කිරීමට වොෂින්ටනය විරුද්ධ වූ අතර, පාර්ලිමේන්තුව විසිරවීමට සිරිසේන ගත් මංමුලා සහගත තීන්දුව ව්‍යවස්ථා-විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරනය ප්‍රකාශ කලේ ය. වික්‍රමසිංහ යලි අගමැති ධුරයට පත්කිරීමට සිරිසේනට බලකෙරුනි.

ඉන්දියන් සාගරයේ මූලික නාවික කඳවුරක් ලෙස ශ්‍රී ලංකාව යොදාගැනීමේ මූලෝපායික සැලසුමේ කොටසක් ලෙස, පසුගිය වසර හතර පුරා පෙන්ටගනය කොලඹ සමග සමීප මිලිටරි සබඳතා ගොඩනගාගෙන ඇත. පාස්කු ඉරිදා අයිඑස්අයිඑස් ත්‍රස්ත ප්‍රහාරවලට වොෂින්ටනය ප්‍රතිචාර දැක්වූයේ, “විමර්ශනය” සඳහා වහා ම එෆ්බීඅයි ඒජන්තයන් එවමිනි. දැන් එය, ත්‍රස්තවාද-විරෝධී මෙහෙයුම්වලට “සහය දීමේ” කඩතුරාව යටතේ දිවයින තුල භටයන් ස්ථීර ව රැඳවීමට “හමුදා තත්ත්ව ගිවිසුමක්” සඳහා ඇතිකරගැනීමට බලකරමින් සිටී.

ගෝලීය ආර්ථිකයේ ගැඹුරු වන අර්බුදය ශ්‍රී ලංකාව මත දැවැන්තව බලපාමින් තිබෙන්නේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සූරාකෑමේ ඇනවීම් ක්ෂනික ව ක්‍රියාවට දමන ලෙස කොලඹ ආන්ඩුව මත පීඩනය ඉහල දමමිනි.

පසුගිය වසරේ ආන්ඩුවේ ආදායමෙන් සියයට 108ක් ගිලදැමුනේ නය ගෙවීම් සඳහා ය. සමාජ වියදම් කප්පාදු කරමින්, රජයට අයත් කර්මාන්ත වැඩි වැඩියෙන් පුද්ගලීකරනය කරමින් හා වඩා අඩු වේතන පටවමින් අයවැය පරතරය යෝධ ලෙස අඩුකිරීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම් පැටවිය හැක්කේ අනුකම්පා විරහිත පන්ති-යුද ප්‍රහාරයක් හා ආඥාදායක ක්‍රම හරහා පමනි.

සිංහල, දෙමල හා මුස්ලිම් සියලු ශ්‍රී ලාංකික ධනේශ්වර පක්ෂවලට මෙම ම්ලේච්ඡ න්‍යාය පත්‍රය සමග මතභේදයක් නැත.

ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවෙතැයි තහවුරු නො කල ප්‍රකාශ කරමින් දෙමල ජාතික සන්ධානය (දෙජාස), රටෙහි උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ඉවත් කර නො ගන්නා ලෙස දැන් ඉල්ලා සිටී. කොලඹ සංස්ථාපිතයේ තවත් පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) “ඉස්ලාමීය අන්තවාදය” පරාජය කිරීමේ නමින් මර්දනයට සම්පූර්න පිටුබලය දී ඇත.

නව සම සමාජ පක්ෂය (නසසප), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ඇතුලු ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම කන්ඩායම්, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ “අන්තවාදයට එරෙහි සටනක්” සඳහා වන පාලක ප්‍රභූවේ කැඳවීම් මුලුමනින් වැලඳ ගෙන තවදුර දකුනට යමිනි.

වෘත්තීය සමිති ඔවුන්ගේ පැත්තෙන් කම්කරු විරෝධතා හා වැඩ වර්ජන නවත්වා, ආරක්ෂක යාන්ත්‍රනයයේ අත්ගෙඩි ලෙස සටන්කාමී කම්කරුවන් පිලිබඳ ඔත්තු බැලීමට යොදාගනු ඇති ඊනියා “ආරක්ෂක කමිටු” තැනීමට සහයෝගය දෙමින් සිටිති.

පාලක පන්තිය මිලිටරි හා පොලිස් පාලන ක්‍රම කරා වේගවත්ව හැරීමට එරෙහිවෙමින් සමස්ත වැඩකරන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීම සඳහා ස්වාධීන දේශපාලන බලයක් ලෙස කම්කරු පන්තිය කොලඹ පාලනයේ දේශපාලන අර්බුදය තුලට තීරනාත්මක ලෙස මැදිහත් වීම අවශ්‍යය. කම්කරුවෙකුට එරෙහි ව තවත් කම්කරුවෙක් පිහිටුවන සියලු ආකාරවල ජාතිකවාදයන් හා ස්වෝත්තමවාදයන් ප්‍රතික්ෂේප කල යුතු කම්කරු පන්තිය, හදිසි නීතිය හා සියලු මර්දන නීති වහා ම අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියට කැඳවුම් කරන්නේ, වැඩපොල, විශාල වතු හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන ගම්බද හා නාගරික දුගීන්ගේ ද තරුනයන්ගේ ද සහයෝගය රැලි කරගන්නා ලෙස යි.

දේශපාලන ප්‍රතිගාමීත්වය පරාජය කර මුලිනුපුටා දැමිය හැක්කේ ධනපති ලාබ පද්ධතිය අවසන් කිරීමෙන් පමනි. ඒ සඳහා බැංකු, විශාල වතු, මහා ව්‍යාපාර හා කර්මාන්ත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තබා, සියලු විදේශ නය අහෝසි කොට, අධිරාජ්‍යවාදී මිලිටරි යාන්ත්‍රනය සම්පූර්නයෙන් ඉවත් කිරීම කල යුතු ය.

මෙම අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත පමනි- එනම්, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමෙන් පමනි. සසප ක්‍රියාමාර්ගය මෙය යි. මෙම ඉදිරිදර්ශනයට සටන් කිරීම සඳහා අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට, සසපට බැඳී එය ගොඩනගන ලෙස කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: