ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීමට ජවිපෙ යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 ජුනි 21

ලංකාවේ ධනපති පන්තිය අර්බුදයෙන් ඔද්දල්වී ඇති සිය පන්ති පාලනය රැක ගැනීමට පොලිස් පාලනයක් තහවුරු කර ගැනීම සඳහා අන්ත ප්‍රතිගාමී පියවර ගනිමින් සිටියි. ජනාධිපති, අගමැති හා විපක්ෂ නායකයින්, අහිංසක ජනයා ඝාතනය කරමින් අප්‍රේල් 21 දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය දැනදැනම සිදුවන්නට ඉඩ හැරියහ. පාලක පන්තියේ මේ සියලු කොටස්, එය වහාම අල්ලාගෙන හදිසි නීතිය පනවා, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සක්‍රියකර හමුදා බලගන්වා අන්ත ප්‍රතිගාමී සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ ද උසිගන්වා සූදානම් කරන්නේ එවන් ඒකාධිපති පාලනයකි.

මෙම මර්දනකාරී පියවර සියල්ල ක්‍රියාවට දැමීමට අනෙකුත් පක්ෂ සමග එකතුවී ඉහලින්ම දායක වූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඒවා ශක්තිමත් කිරීමට තවත් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. එහි මාතෘකාව “ආගමික උමතු අන්තවාදයත්, ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාවත්, ජාතික සමගියත් තහවුරු කිරීම සඳහා රට හමුවේ තබන විශේෂ යෝජනා මාලාව” යන්නයි.

අප්‍රේල් 21 ට පසු අනෙකුත් පක්ෂ හා සංවිධාන නිකුත් කර ඇති යෝජනා හා විසඳුම් බලන්න. ඔබට ඒවායේ ද ජවිපෙ කර ඇති යෝජනාවලට සමාන බව පෙනෙනු නියතය.

ශ්‍රී ලංකාවේ සියලු ජන වර්ගවලට “සමාන පුරවැසි අයිතිය” හා “ආගමික නිදහස” දීම ගැන ජවිපෙ යෝජනා තුල රුවා ඇත්තේ තමන් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව මවා පෑම සඳහා ය. මෙම ප්‍රකාශවල සැබෑ අර්ථය යෝජනාවල පහලින් පහලට යනවිට බලා ගත හැකි ය.

මුල්ම යෝජනාවක මෙසේ සඳහන් ය: “ආගමික අයිතිය පෞද්ගලික වන නමුත් නීති රාජ්‍යයට අයිති වේ. ආගමික සංස්ථාවලට අදාලව පවතින නීති හෝ සම්ප්‍රදායන් පොදු නීතිය අභියෝගයට ලක් නොකරන ඒවා විය යුතු අතර පොදු නීතිය ම සැම විට ම බලාත්මක විය යුතුය.”

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ කුමන රාජ්‍යයකට අයිති නීති ද? පොදු නීති යනු කුමක් ද? ජවිපෙ කතා කරන “රාජ්‍යයට අයිති නීති” ධනපති රාජ්‍යයේ නීති ය. ලංකාවේ “පොදු නීතිය” වනාහි සිංහල භාෂාවට හා බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන සිංහල -බෞද්ධ අධිපතිවාදී ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාව හා ඊට අනුකුලව, ධනපති රාජ්‍යය හා දේපොල ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති නීති රෙගුලාසි ය. ජවිපෙට අනුව සියලු ජන කන්ඩායම් එකී “පොදු” නීතියට අභියෝග නොකොට ඊට යටත් වී සිටීමට වග බලාගත යුතුය. මෙය කොලඹ ධනපති පන්තියේ හා එය විසින් පෝෂනය කෙරුනු සිංහල-බෞද්ධ වර්ගවාදීන්ගේ ඉල්ලීමයි.

“ජාති, ආගම් හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ආරම්භ කර පවත්වාගෙන යාම, ලියාපදිංචි කිරීම නතර කිරීමට නීති සකස් කල යුතුය” යන්න මෙම පක්ෂයේ තවත් යෝජනාවකි. අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු උසිගන්වා ඇති වර්ගවාදී නඩ ද මෙම ඉල්ලීම කරති. මෙම සංවිධාන පෙල ගැසී සිටින්නේ ප්‍රධාන ධනපති පක්ෂ වන එජාපය, ශ්‍රීලනිපය, පොදු පෙරමුන හා ජවිපෙ පිටුපස ය.

සංයුක්තව ගත්කල ලංකාව තුල මූලිකව එවන් පක්ෂ තනා ඇත්තේ දෙමල හා මුස්ලිම් ජන කන්ඩායම් පදනම් කරගෙන ය. එහෙත් එවන් සංවිධාන ගොඩ නැගීමට ඇති අයිතිය තහනම් කරන නීති සකස් කිරීමට යෝජනා කිරීම වර්ගවාදී උද්ඝෝෂනයට තෙල් දැමීමකි.

ජාති හා ආගම් පදනමින් දේශපාලන පක්ෂ සංවිධානය කර ඇත්තේ, ධනපති පන්ති පාලනය තුල තම ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් අහිමිවීම හා යටපත් කිරීම කෙරෙහි සුලු ජන කන්ඩායම් තුල මතුවන ප්‍රතිරෝධය එකී ජන කන්ඩායම් තුල සිටින ප්‍රභූ කොටස් තම වරප්‍රසාද සඳහා කේවල් කිරීමට හැරවීම සඳහා ය. පීඩිත ජන කන්ඩායම් වල එම ප්‍රතිරෝධයට කිසිදු ප්‍රගතිශීලි විසඳුමක් ධනපති පන්තියේ කවර හෝ කන්ඩායමකට ලබා දිය නොහැකිය.

ලංකාවේ මෙවන් පක්ෂ බිහිවුයේ අහම්බෙන් නොවේ. ඊට හේතු වූයේ, විශේෂයෙන්ම, 1948 පටන් ලංකාවේ බලයගත් ආන්ඩු කම්කරු පන්තිය භේද කිරීම වඩවඩා උත්සන්න කරමින් ගෙන ගිය දෙමල විරෝධී වාර්ගවාදී වෙනස්කම් කිරීම ය. පසුව එය වර්ගවාදී යුද්ධයක් මට්ටමට ම එසැවිනි. මෙම භේදකරනය යොදා ගත්තේ මුලිකවම කම්කරු පන්තිය බෙදා දුර්වල කොට පන්ති පාලනය රැක ගැනීම සඳහා ය. මුස්ලිම් හා ක්‍රිස්තියානි ජන කන්ඩායම් ද එවන් ම වෙනස්කම් වලට පාත්‍ර කෙරුනි. සිංහල වර්ගවාදය වැලඳගෙන සිටින ජවිපෙට ඒ පිලිබඳව සඳහන් කිරීම පවා අරහන්ය.

මුස්ලිම් අන්තවාදී සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාවකට මුවාවී, ආගමික හා වාර්ගික පදනම මත තැනූ පක්ෂ තහනම් කිරීමට ජවිපෙ කරන යෝජනාව ප්‍රජාතන්ත්‍ර-විරෝධී ය. කම්කරුවන් ඊට එක හෙලා විරුද්ධවිය යුත්තේ එය ධනපති රාජ්‍යයේ අත් ශක්තිමත් කිරීමට කරන යෝජනාවක් වන බැවිනි. එබඳු තහනමක් පාලක පන්තිය අත කම්කරුවන්ට හා එහි සංවිධානවලට එරෙහිව පෙරලා උසිගන්වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආගම, ජන වර්ගය, ලිංගිකත්වය ආදී වෙනස්කම් මුල්කරගෙන අනන්‍යතා පදනම මත දේශපාලන පක්ෂ හා සංවිධාන ගොඩ නැගීමට විරුද්ධ වෙයි. එය කම්කරු පන්තිය එම රේඛා ඔස්සේ බෙදීමට ක්‍රියා කිරීමක් වන බැවිනි. එවන් පක්ෂ තැනීම බහුතරයේ පක්ෂවල ප්‍රතිගාමී භේදකරනයට දක්වන ප්‍රතිගාමී ප්‍රතිචාරයකි.

සියලු වර්ගවල වෙනස්කම් අහෝසිකර සමානත්වයේ පදනම් මත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමේ විකල්පයක් සම්පාදනය කල හැක්කේ, වත්මන් යුගයේ අතිශයින්ම ප්‍රගතිශීලි හා විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියට පමනකි. එය, සකල පීඩනයන්ගේ මූලාශ්‍රය වන, සූරාකෑම මත පදනම්වූ ධනවාදය පෙරලාදමා සමාජවාදය තහවුරු කිරීමේ අරගලය සමග බැඳී ඇත. සසප පදනම් වන්නේ එම ක්‍රියාමාර්ගය මත ය.

මෙම අරගලයට සපුරා විරුද්ධ ජවිපෙ යෝජනා කරන්නේ “ජනතාව අතර ගොඩනැගී ඇති සැකය, වෛරය හා අවිශ්වාසය දුරු කිරීම සඳහා සත්‍ය හා හා ප්‍රතිසන්ධාන කමිටුවක්” හා “ජාතික, ආගමික, කුල හෝ ලිංගිකමය වෙනස්කම් නිසා ඇති කෙරෙන හිංසා හා බලපෑම් වැලැක්වීමට ‘වෙනස්කම් වැලැක්වීමේ කොමිසමක්’ ස්ථාපනය කිරීම සහ “වෛරී ප්‍රකාශ සිදු කිරීම හා ප්‍රචාරය කිරීම වැලැක්වීමේ පනතක්” හඳුන්වා දීමයි.

ධනපති පන්ති පාලනය තුල කොමිසන් සභා සහ පනත් පිලිබඳ මෙම යෝජනා ධනපති රාජ්‍යය ශක්තිමත් කරන පියවර මිස මුස්ලිම් හෝ කවර ජන කොටසක වත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරන ඒවා නොවේ.

“රාජ්‍ය ආයතන තුල පොදු ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු වන පරිදි කටයුතු කිරීමට වග බලා ගැනීම” හා ”ජනතාවට සමාජයේ එකිනෙකා අතර සැකය අවිස්වාසය ඇතිවන හා අනන්‍යතාව අපැහැදිලි ඇඳුම් පැලඳුම් භාවිතය වෙනස් කිරීමට පියවර ගැනීම (උදාහරන වශයෙන් බුර්කාව, මුහුනු ආවරන වෙනස් කිරීමට පියවර ගන්නා” ලෙස) ජවිපෙ ඉල්ලයි.

මෙම යෝජනාව අනෙකුත් ඒවා මෙන්ම මාට්ටු වන්නේ මුස්ලිම් හා අනෙකුත් ජන කන්ඩායම් වලට වෙනස්කම් කිරීම් නීතියෙන් තහවුරු කිරීමයි. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනයාට එරෙහිව මෙවැනි තහනම් නියෝග සිරිසේන-වික්‍රමසිංහ පාලනය නිල වශයෙන් ක්‍රියාවට දමා ඇත. පනතක් මගින්ම එම නියෝග තහවුරු කරමින් තවත් අඩියක් ඉස්සරහට යාමට ජවිපෙට අවශ්‍ය ය.

“ජනතාවට තමන් කැමති තැනක ජීවත්වීමට ඇති මූලික අයිතිය පිලිගත යුතු ය” යි ප්‍රකාශයක් කරන ජවිපෙ එහි වංචනික බව ඒ හුස්මටම හෙලිකරමින් යෝජනා කරන්නේ “එහෙත් යලි පදිංචි කිරීම් හෝ නව නිවාස ගොඩ නගා පදිංචි කිරීම්වල දී විවිධ ජාතික ආගමික කන්ඩායම් එකිනෙකා මිශ්‍ර වන අයුරින් සිදු කරන” ලෙස ය.

මෙම යෝජනාව සිහි ගන්වන්නේ ධනපති ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ දෙමල ජනයා පදිංචි ප්‍රදේශ වල සිංහල ගොවි ජනපද පිහිටුවීම මගින් දෙමල ජනයාට එරෙහි වාර්ගික භේදකරනය උග්‍රකරමින් ගෙන ගිය වැඩපිලිවෙලයි.

ජවිපෙ යෝජනා සියල්ල කර කැවෙන්නේ “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ මන්ත්‍රය වටාය. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ පටන් විසකුරු ලෙස ධනේශ්වර සංස්තාපිතයේ අනෙක් සෑම කොටසක් ම ජප කරන මන්ත්‍රය “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එකිනෙකාට චෝදනා කරන්නේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීම හා නොතකා හැරීම ගැන ය. ජවිපෙ දිවුරා කියා සිටින්නේ තමන් පමන එම කාර්යය කිරීමට වෙනත් සමතෙක් නැති බවයි.

එක්සත් ජනපදයේ පටන් යුරෝපය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් ඇතුලු සෑම රටකම පාලක පන්ති සිය න්‍යාය පත්‍රය ලෙස දක්වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි. උදාහරනයක් ලෙස, ට්‍රම්ප් ආන්ඩුව ජාතික ආරක්ෂාවේ නමින් රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීමට ක්‍රියාකරන අතර එනමින් ම අනෙක් රටවල් යටත් කිරීමේ යුද්ධ වලට ද සැරසෙයි. සෑම රටකම පාලක පන්තීන් ඒකාධිපතිවාදය හා ෆැසිස්ට්වාදය වෙතට ගමන් කිරීමට යොදාගන්නේ මේ ආයුධයයි. එය ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුල සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාරවලට විරුද්ධව ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනයවන අරගලවලට පාලක පන්තීන් දක්වන ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිචාරයයි.

ජාතික ආරක්ෂාව යනු ධනපති ජාතික රාජ්‍යයේ ආර්ථික, මිලිටරි හා දේශපාලන සම්බන්ධතා රැකීමයි. එනම්, ධනපති පන්තියේ ලාභ අවශ්‍යතා හා මංකොල්ලකාරී ක්‍රියාවන් සියල්ල ආරක්ෂා කිරීමයි. බාහිර තර්ජන පමනක් නොව අභ්‍යන්තර ව ද ජාතික ආරක්ෂාවට තර්ජන ඇතිබව පාලක පන්තිය කියයි. කම්කරුවන්, දුගීන්, තරුනයන්, ශිෂ්‍යයන් කරන අරගල පාලක පන්තියට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයකි. පාලක පන්තිය හෙලිදරවු කරන මාධ්‍ය හා ලේඛකයන්, දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන්ම සමාජවාදීන්ගේ ක්‍රියා පාලක පන්තියට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

කම්කරු පන්තිය යල්පිනු ජාතික රාජ්‍ය පද්ධතිය ආරක්ෂා නොකරයි. ජාතික ආරක්ෂාව නම්වූ ධනේශ්වර රාජ්‍ය රැකීමේ ප්‍රතිගාමී ආස්ථානය ද ඉඳුරාම ප්‍රතික්ෂේප කරයි. කම්කරු පන්තිය වනාහි අන් සියලු පන්තීන් ගෙන් වෙනස් ජාත්‍යන්තර පන්තියකි. එහි ක්‍රියාමාර්ගය, නිෂ්පාදන බලවේග ජාතික රාජ්‍ය පද්ධතියේ විලංගුවලින් මුදාගෙන ලෝක ආර්ථිකය ලාභය සඳහා නොව මානව වර්ගයාගේ අවශ්‍යතා සඳහා ප්‍රතිසංවිධානය කරන ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගයයි.

මුස්ලිම්-විරෝධී ප්‍රචාරයෙන් ආවරනය කොට ජාතික ආරක්ෂාවේ නමින් ලංකාවේ පාලකයන් හා ධනපති පක්ෂ ගෙන යන්නේ කම්කරු පන්තිය මැඩ පොලිස් රාජ්‍යයක් සඳහා වැඩපිලිවෙලකි. අන් සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජවිපෙ ද සම්බන්ධවී සිටින්නේ එම වැඩපිලිවෙලටයි.

Share this article: