ඇමරිකාව ලංකාව තුල හමුදා යෙදවීම් සඳහා ආරක්ෂක ගිවිසුම් අලුත් කිරීමක් ඉල්ලයි

විජිත් සමරසිංහ විසිනි, 2019 ජුනි 03

පසුගිය සති කිහිපයේ නිල ප්‍රකාශන හා ප්‍රවෘත්ති වාර්තා අනාවරනය කලේ, ඉස්ලාමීය ත්‍රස්තවාදී කන්ඩායමක් විසින් අප්‍රේල් 21දා ශ්‍රී ලංකාව තුල එල්ල කල බෝම්බ ප්‍රහාරවලින් පසු, ශ්‍රී ලංකාව තුල මිලිටරි සහභාගීත්වය ගැඹුරු කිරීමට එය ක්‍රියාකරමින් සිටින බවයි.

ලංකාව තුලට ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ට නිර්බාධිත ප්‍රවේශවීමට, සංචාරයට හා මෙහෙයුම් කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීහු ශ්‍රී ලංකාව සමග වන හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) සංශෝධනය කිරීමට උත්සාහ දරමින් සිටිති. බෝම්බ ප්‍රහාරවලින් පසු, විමර්ශනවලට සහයෝගය දීමේ කඩතුරාව යටතේ, මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) නිලධාරීන් හා එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් බලඇනියේ (ඉන්දුපැකොම්) මිලිටරි ඔත්තු සේවා විශේෂඥයන් වොෂින්ටනය විසින් වහාම එවනු ලැබී ය.

මැයි 15 සිට 17 දක්වා පැවති, ප්‍රධාන වසයෙන් මිලිටරි සහයෝගිතාව පිලිබඳ ව අවධානය යොමු කල, “එක්සත් ජනපද-ශ්‍රී ලංකා සහයෝගිතාව පිලිබඳ සාකච්ඡාවට” සහභාගි වීම සඳහා විදේශ ඇමති තිලක් මාරපන වොෂින්ටනයට ගියේය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සහ උප රාජ්‍ය ලේකම් ඬේවිඞ් හේල් සමග මාරපන සාකච්ඡා පැවැත්වුයේය.

මෙම සාකච්චාවලින් පසුව නිකුත්කල ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වූයේ ඒකාබද්ධ මිලිටරි සබඳතාවන් සඳහා සහයෝගය සහ එක්සත් ජනපද නෞකා හා මිලිටරි නිලධාරීන්ගේ සංචාර ඇතුලුව “දැනට පවතින ද්වි-පාර්ශවික ආරක්ෂක අංශ සහයෝගිතාව” පිලිබඳව සතුට පල කරන බවයි. එහි තවදුරටත් දක්වා තිබුනේ “එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව මිලිටරි අතර සහයෝගිතාව ප්‍රසාරනය කිරීමට [දෙපාර්ශ්වය] එකඟ වූ” බවයි.

ඒකාබද්ධ ප්‍රකාශය තුල ඍජුව සඳහන් නො වුන ද මෙයින් ඇඟවෙන්නේ, ලංකාව සමග පලමු වරට 1995 දී අත්සන් කල සෝෆා ගිවිසුම සංශෝධනය කිරීමට වොෂින්ටනය කල යෝජනා සාකච්චා කලබවකි.

සෝෆා යනු එක්සත් ජනපද මිලිටරි භටයන් විදේශීය රටක් තුල ක්‍රියාකාරී වීමේ රාමුව ස්ථාපනය කරන ගිවිසුමකි. යෝජිත සංශෝධනය තුල වොෂින්ටනය ඇතුලත් කිරීමට අපේක්ෂා කරන්නේ: 1) ශ්‍රී ලංකාව තුල සිටින එක්සත් ජනපද භටයන්ට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබාදීම හා 2) ඔවුන්ගේ සියලු ක්‍රියා එක්සත් ජනපද නීතිවලට පමනක් යටත් කිරීම යි.

මිලිටරි ප්‍රවර්ධනයන්ට පහසුකම් සලසන ඒ හා සමාන ගිවිසුමක් වන්නේ, 2017 අගෝස්තු මාසයේ අලුත් කල ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුම (ඒසීඑස්ඒ) යි. 2007 දී මුල් වරට අත්සන් තැබූ මෙම ගිවිසුමට, ප්‍රවර්ධන සහයෝගය, සැපයුම්, සේවා සහ “පෙර නුදුටු අවස්ථාවල දී” ගුවන් තොටුපොලවල් හා වරායන් භාවිතා කිරීම ඇතුලත් වේ. තවමත් ප්‍රසිද්ධ කර නැති 2017 සංශෝධනය වඩා විස්තීර්න වන අතර, ගිවිසුම දින නියමයක් නොමැතිව වලංගු කර තිබේ.

මෙම මිලිටරි ගිවිසුම්වල ස්වභාවය පිලිබඳ ව වැඩෙන මහජන උත්සුකය සංසිඳුවීමේ උත්සාහයක යෙදෙමින්, එක්සත් ජනපදයේ කොලඹ තානාපතිනි ඇලේනා ටෙප්ලිට්ස් මැයි 24දා බෞද්ධ සංස්ථාපිතයේ මහානායකවරුන් මුන ගැසී, එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තුල මිලිටරි කඳවුරක් ගොඩනැගීමට සැලසුම් කරමින් සිටී යයි පලවන අදහස් ප්‍රතික්ෂේප කලා ය. වර්තමාන ගිවිසුම් “රටෙහි ආරක්ෂාව ශක්තිමත් කිරීමට අතිශය වැදගත්” බව ඇය කීවා ය. “එක්සත් ජනපද භටයන්, නෞකා හා ගුවන් යානා ශ්‍රී ලංකාවේ භූමියට හා භෞමික ජලාශ හා ගුවන් අවකාශයට ඇතුලුවීමට අවසර දීමේ හෝ නො දීමේ ස්වෛරී අයිතිය ශ්‍රී ලංකාව තබාගනු ඇත” යි වෙනත් මාධ්‍ය හමුවක දී එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් කීවේ ය.

ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ කිසිදු කන්ඩායමක් අධිරාජ්‍යවාදයට විරුද්ධ නැත. එහෙත්, සමහර ප්‍රභූ කව ඔවුන් වෙලා ගන්නා අධිරාජ්‍යවාදී ග්‍රහනයේ ප්‍රතිවිපාක පිලිබඳ ව කනස්සලු සහගත වෙමින් සිටිති. යෝජිත සංශෝධන සහිත ව සෝෆා ගිවිසුම අත්සන් කලහොත්, “එය වනාහි” නිදහසෙන් පසු “නිල ඇඳුමින් සැරසී, ආයුධ හා සන්නිවේදන උපකරන රැගෙන රට තුල නිදහසේ සැරිසැරීමට විදෙස් භටයන්ට අවසර ලබා දෙන පලමු වතාව” බව ව්‍යාපාරික-හිතවාදී සන්ඬේ ටයිම්ස් පත්‍රයේ දේශපාලන තීරු ලිපියක සඳහන් විය.

හිස් පූච්චානම්වලට වැඩි යමක් නුවූවත්, දේශපාලන සංස්ථාපිතයේ සමහර කොටස් ද සෝෆා හා ඒසීඑස්ඒ ගිවිසුම් පිලිබඳ ව ප්‍රශ්න ඉස්මතු කල හ. ඇතැම් විට වාම වෙස්පෑම් වල යෙදෙන ධනපති සංස්තාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), එවැනි ගිවිසුම් විදේශ හමුදාවන්ට “රටෙහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට මෙන් ම ස්වෛරීත්වයට හා ආරක්ෂාවට බලපාන ක්‍රියාකාරකම්වල නිරත වීමට” ඉඩ ලබා දෙනු ඇතැයි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින්, ජාතිකවාදී දෙඩවිල්ලක් කලේය. එහෙත් මෙම පක්ෂය මෑතක් වනතුරු මෙම ගිවිසුම් ආවරනය කර තැබීමට පාලක පක්ෂයන්ට ඉඩ දෙමින් නිහඬව සිටියේය.

ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල, චෝදනාව ප්‍රතික්ෂේප නො කරමින් ම ගිවිසුම් දෙකෙන් එකක් වත් වර්තමාන ආන්ඩුව යටතේ ආරම්භ කල ඒවා නො වන බව පැවසී ය. සෝෆා ගිවිසුම 1995 දී චන්ද්‍රිකා කුමාරතුංග තන්ත්‍රය යටතේ හා ඒසීඑස්ඒ ගිවිසුම 2007 දී මහින්ද රාජපක්ෂ තන්ත්‍රය යටතේ ඇතිකර ගත් ඒවා බව කියමින් ඇඟ බේරා ගැනීමක ඔහු යෙදුනේය.

කිරිඇල්ලට අනුව, 2017 ඒසීඑස්ඒ විස්තීර්න කිරීම සුලුපහේ වෙනස්කම් සහිත ව පමනක් සිදුකල අතර, සෝෆා සංශෝධන තවමත් සාකච්ඡා වෙමින් පවතී. එක්සත් ජනපදය යෝජනා කල එරට භටයන් රාජ්‍යතාන්ත්‍රික වගකීම්වලින් නිදහස් කිරීම පිලිබඳ වගන්ති වෙනස් කිරීමට ආන්ඩුව උත්සාහ කරන බව ඔහු කීවේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ප්‍රධාන විපක්ෂය මෙම විවාදයේ දී කිසිදු අදහස් දැක්වීමකින් වැලකී සිටියේ ඇතිකිරීමට යෝජිත සංශෝධන කෙරෙහි නිහඬ අනුමැතිය දෙමිනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග ගනුදෙනු කිරීමට තමන්ගේ ආන්ඩුවක් සූදානම් බව පෙන්නුම් කිරීමට රාජපක්ෂ වඩවඩාත් උනන්දුවක් දක්වයි. .

ඉහත දැක්වූ ප්‍රකාශ කිසිවක්, වොෂින්ටනය ශ්‍රී ලංකාව තුල මිලිටරි පැලපදියම් වීම සඳහා කරන ඉල්ලීම පිටුපස තිබෙන සැබෑ හේතු හෙලිදරවු කලේ නැත: එනම්, කලාපය තුල චීනයට එරෙහි යුද සූදානම සඳහා එහි වේගවත් සූදානම් වීම් සහ මැද පෙරදිග දක්වා මිලිටරි මෙහෙයුම්වල කඳවුරක් ලෙස ලංකාව තහවුරු කරගැනීමට දරන ප්‍රයත්නය ය.

ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුනු කරගැනීමට වොෂින්ටනය අපේක්ෂා කරන්නේ එහි ආසියානු පැසිපික් කාලාපය තුල අධිපති බලයලෙස තහවුරු වීමට මිලිටරි ධාවනය වේගවත් කර ඇති තත්වය තුල ය.

කොලඹින් සමීප ආරක්ෂක සහයෝගිතාව අනවා සිටීමට වොෂින්ටනය විසින් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර ඩැහැගැනීම, මේ මාසයේ චීන-එක්සත් ජනපද මිලිටරි ආතතීන් නව ඉහලකට නැගීම සමග සමපාත විය. අර්බුදයට තුඩු දී ඇති දකුනු චීන මුහුද තුල පලමු වතාවට එක්සත් ජනපද, ඉන්දියානු, පිලිපීන හා ජපාන නාවික හමුදා ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වූයේ, චීනය හිමිකම් කියන භූමියෙන් නාවික සැතපුම් 12ක් ඇතුලත එක්සත් ජනපද නාවික හමුදාව ඉලක්කගත මිසයිල විනාශ කරන ආයුධ සමග යාත්‍රා කරමිනි.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා මිලිටරි සබඳතාවන්ගේ ඓතිහාසික කාල සටහන, 1991 සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව එක්සත් ජනපද මිලිටරිවාදයේ වේගවත් ප්‍රසාරනය සමග සමීප ව සහසම්බන්ධ වේ. 1995 දී සෝෆා ගිවිසුම අත්සන් කිරීම සිදුවුයේ පලමු ඉරාක යුද්ධය හා බෝල්කන් යුද්ධයට පසුවයි. 2007 දී රාජපක්ෂ තන්ත්‍රය විසින් පලමු ඒසීඑස්ඒ ගිවිසුම අත්සන් කිරීම, මැද පෙරදිග හා ආසියාවේ ප්‍රතිමල්ල තන්ත්‍රයන් වෙනස් කිරීමට බුෂ් පරිපාලනය ගෙන ගිය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” උද්ඝෝෂනය සමග සමපාත විය.

ලංකාව මෙම සම්බන්ධතා දකුනු ආසියාවේ ප්‍රමුඛ බලය වන ඉන්දියාව සමග වොෂින්ටනය සිය සම්බන්ධතා වර්ධනය කරගැනීමත් සමග වඩාවේගවත් විය. මේ වනවිට චීනයට එරෙහිව ඇමරිකාවේ යුද සැලසුම්වල “පෙරමුනු” රාජ්‍යයක් දක්වා ඉන්දියාව ගමන් කර ඇත.

2014 වන විට ඔබාමා පරිපාලනයෙහි චීනය ආර්ථික ව හා මිලිටරිමය ලෙස වටලෑමේ “ආසියාවට හැරීමේ” පිලිවෙතේ පූර්න වේගය යටතේ, බීජිනය සමග සබඳතා වාත්තු කරගෙන තිබුනු රාජපක්ෂ ඉවත් කිරීමට වොෂින්ටනය තන්ත්‍ර-මාරු මෙහෙයුමක් දියත් කලේ ය. මෙය කූටප්‍රාප්තියට ලඟා වූයේ වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2015 දී බලයට ගෙන එමිනි. එතැන් පටන්, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද මිලිටරියේ මැදිහත් වීම තියුනු ලෙස ඉහල ගොස් ඇත්තේ, ශ්‍රී ලංකාවේ වරායන්වලට එක්සත් ජනපද නෞකා යලි යලිත් සංචාරය කිරීම් හා නැගෙනහිර ත්‍රිකුනාමල වරායේ එක්සත් ජනපද නාවික හමුදාව සඳහා “ප්‍රවර්ධන මධ්‍යස්ථානයක්” ස්ථාපනය කිරීමේ සැලසුම් සමගිනි.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා ආක්‍රමනශීලී ලෙස මෑත දී ඉදිරියට යාම බීජිනය ගැඹුරින් කලඹා ඇත. හානිය පාලනය කිරීමේ පියවරක් අනුයමින්, විදේශ ඇමති වොෂින්ටන් ඩීසීහි සිටිය දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයට නිල සංචාරයක් කලේ ය. “ආසියානු ශිෂ්ටාචාරයන් පිලිබඳ සාකච්ඡා සම්මේලනයට” සහභාගි වීම සඳහා යයි මතුපිටින් පෙන්වූ සංචාරයට, චීන අගමැති හා ජනාධිපති යන දෙදෙනා ම මුනගැසීම ඇතුලත්විය

ආපසු පැමිනි සිරිසේන, තමන්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු ආරක්ෂක ගිවිසුමක් අත්සන් නො කරන ලෙස එක්සත් ජාතික පක්ෂ කැබිනට්ටුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඔහු චීන ජනාධිපති ෂි ජින්පින් සමග පැවැත්වූ සාකච්චාවලදී ආරක්ෂක සම්බන්ධතා ඇතිකර ගැනීමට එකඟවූ බව වාර්තා වී ඇතත් ඒවායේ නිශ්චිත ස්වභාවය පැහැදිලි නැත.

සිරිසේන හුදෙක් චීනය සැනසීමට උත්සාහ දරමින් සිටිනවා වේවා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා හා බීජිනයේ උත්සුකයන් අතර තුලනයවීමට උත්සාහ කරමින් සිටින්නේ වේවා, ශ්‍රී ලංකාව චීනයට එරෙහි නාවික මුරපොලක් බවට පත්කිරීමට වොෂින්ටනය දරන ප්‍රයත්නය නතරවනු නැත. ලංකාවේ ධනපති ආන්ඩු පසුගිය විසිපස් වසර තුල ක්‍රියාකර ඇත්තේ එක්සත් ජනපද මිලිටරිවාදයේ මනාපීය ඒජන්තයින් ලෙස ය.

මේ සතියේ ඇමරිකාවේ දේශපාලන සහ මිලිටරි කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආර්. ක්ලාක් කූපර් ලංකාවට පැමිනීමට නියමිත ය. ඔහුගේ සාකච්චාවල හරිමැද ඇත්තේ එම මිලිටරි සම්බන්ධතා තහවුරු කර ගැනීමයි.

Share this article: