ඇමරිකාව ඉරානයට එරෙහි “ප්‍රහාරයට” සූදානම් වේ

US preparing “assault” against Iran

පීටර් සිමන්ඞ්ස් විසිනි, 2019 ජූනි 18

ට්‍රම්ප් ආන්ඩුව විසින් ඉරානයට එරෙහිව කරනු ලබන යුදවාදී තර්ජන හමුවේ 17දා පෙන්ටගනය නිවේදනය කලේ, ඇමරිකාව 1000ක අමතර හමුදාවක් හා තවත් මිලිටරි ආම්පන්න තොගයක් මැද පෙරදිගට යවන බවයි. එම හමුදා යෙදවුම්, මීට කලින් යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා හාරක නෞකාව සමඟ එහි ප්‍රාහාරක නාවික හමුදා ඛන්ඩය ද න්‍යෂ්ටික හැකියාවෙන් යුත් බී-52 ප්‍රහාරක ගුවන් යානා බලඇනියක් ද පර්සියානු ගල්ෆ් කලාපයට යැවීමට අමතරවය.

ජෙරුසලම් පෝස්ට්හි යලි පලකරන ලද ඊස්රායලයේ මාරිව් ඔන් ලයින් වෙබ් අඩවියේ වාර්තාවකින් කියා ඇත්තේ, ට්‍රම්ප් පාලනය ඉරානයට එරෙහි “උපායික ප්‍රහාරයකට”ක්‍රියාත්මක ලෙස සූදානම් වෙමින් සිටින බවයි. නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර මත පදනම් වූ වාර්තාව, මෙසේ පවසයි. “7දා සිට ධවල මන්ඳිරය, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදේශකයින්, පෙන්ටගන් නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ හමුදා අනදෙන නිලධාරීන් සමඟ නිමක් නැති සාකච්ඡාවන්හි නිරතව සිටියි.”

ඇමරිකාව 2003 ඉරාකය ආක්‍රමනයේදී මෙහෙයවනු ලබන විශාල යුද්ධනැවක් මගින් ටොමහෝක් මිසයිලයක් විදියි[ අනුග්‍රහය එජ නාවුකහමුදාව Credit: US Navy]

මාරිව් ඔන්ලයින් වෙබ් වාර්තාවට අනුව, “සැලකිල්ලට ලක්ව ඇති මිලිටරි කටයුතු අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට බෝම්බ හෙලීම” වන බව නම් සඳහන් නොකල නිලධාරීන් පවසා ඇත. බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙක් පවසා ඇත්තේ “බෝම්බ හෙලීම දැවැන්තව සිදු කල ද ඒවා එක් ඉලක්කයකට සීමාවනු” ඇති බවයි.

හමුදා යෙදවුම් නිවේදනය කරමින් ඇමරිකානු වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහැන් මෙසේ පැවසීය: “කලාපය තුල ඇමරිකානුවන්ට හා එහි ආසක්තයන්ට තර්ජනයක් වී ඇති ඉරාන හමුදාව හා අනුචර කන්ඩායම් විසින් කරගෙන යනු ලබන සතුරු කටයුතු පිලිබඳව අප සතුව ඇති විශ්වාසනීය හා සැලකිය යුතු ඔත්තු සේවා තොරතුරු වලින් මෑතක සිදුවූ ප්‍රහාර ඉරානය විසින් සිදුකර තිබෙන බව සනාථ කරයි.” ඉන් පසුව ඔහු තවත් අභූත ප්‍රකාශයක් ද කලේය. එනම්, “එක්සත් ජනපදය ඉරානය සමඟ ගැටුමක් සැලසුම් කරන්නේ නැත” යන්නයි.

යථාර්තය නම්, පර්සියානු ගල්ෆ් කලාපයේ දැන් පැනනැඟී ඇති පුපුරන සුලු තත්වය මුලුමනින්ම වොෂින්ටනයේ නිමැවුමක් වන බවයි. එක්සත් ජාතීන්ගේ යෝජනා මුලුමනින්ම උල්ලංඝනය කරමින් ට්‍රම්ප් පාලනය, සම්බාධක ලිහිල් කිරීමට හිලව් වශයෙන් ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සීමාකරන බවට ජර්මනිය ඇතුලු එක්සත් ජාතීන්ගේ ස්ථිර සාමාජිකයින් පස්දෙනා ඇතිකරගත් 2015 ගිවිසුම හිතුවක්කාරී ලෙස ඉරා දැමීය.

ඉන් පසුව ඇමරිකාව, ඉරාන ආර්ථිකය බිඳ හෙලමින් එරට සියලු තෙල් අපනයන කපාහැරීම අරමුනුකරගත් සිය දරුනු සම්බාධක තවත් දැඩිකරමින් යලි ක්‍රියාත්මක කලේය. සිය හිතුවක්කාරී සම්බාධක නොතකමින් කටයුතු කරන සමාගම් වලට එරෙහිව දන්ඬන ආර්ථික පියවර ගන්නා බවට ද ඇමරිකාව තර්ජනය කලේය. වොෂින්ටනය විසින් ඉරානයට පනවා ඇති ආර්ථික තහංචි එරටට එරෙහි යුද්ධයකට සමාන වන්නේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පෙරටුකරගෙන ට්‍රම්ප් ආන්ඩුව, පසුගියදා පර්සියානු ගල්ෆ්හි තෙල් නැව් දෙකකට එල්ලවූ ප්‍රහාරය ඉරානයට එරෙහි මිලිටරි කඩාපැනීමක් සඳහා කඩතුරාව කරගෙන සිටී. 16දා පොම්පියෝ පැවසුවේ, “මිලිටරි ප්‍රතිචාරයක් ද ඇතුලු විකල්ප ගනනාවක් ගැන ඇමරිකාව සලකා බලන” බවය.

ඉරානයට එරෙහි කුමන හෝ මිලිටරි ප්‍රහාරයක් අධීක්ෂනය කරන ඇමරිකානු මධ්‍යම අනදෙන මධ්‍යස්ථානය, කුඩා බෝට්ටුවකින් පැමිනි ඉස්ලාමීය විප්ලවකාරී හමුදාව විසින් ජපානයට අයත් කොකුකා කරේජස් නමැති හානියට පත් තෙල් නැවෙන් අක්‍රියවූ බිම් බෝම්බයක් ඉවත්කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කලේය. ඉන් පසුව 17දා ද එම චෝදනාවටම ලක්වූ ඡායාරූප ප්‍රදර්ශනය කලේය.

සිය නාවිකයින්ට අනුව නැවට වැදුනේ ඉහලින් ආ දෙයක් බව නැව හිමි සමාගම විසින් කර තිබෙන ප්‍රකාශය නොසලකා ඇමරිකානු නිලධාරීන් දිගටම ප්‍රහාරය ගැන ඉරානයට චෝදනා කරයි. ජපානය හා ජර්මනිය යන දෙරටම වොෂින්ටනයේ ප්‍රකාශ ප්‍රශ්නයට බඳුන් කරමින් වීඩියෝවෙන් ප්‍රමානවත් සාක්ෂි නොලැබෙන අතර වැඩිපුර සාක්ෂි ඉදිරිපත් කරන ලෙස පවසා ඇත. ප්‍රහාරයට කුමන ආකාරයකින් හෝ තමන් සම්බන්ධ නැති බව ඉරානය පවසා තිබේ.

ජෙරුසලම් පෝස්ට් පුවත්පතින් උපුටා දක්වන එක්සත් ජාතීන්ගේ ආරංචි මාර්ග වලට අනුව, ට්‍රම්ප්ම වුවත් මේ පිලිබඳව උද්‍යෝගයක් නොදක්වන නමුත් ඔහුගේ නොඉවසීම නිසා ක්‍රියාත්මක වන ලෙසට බල කරන පොම්පියෝ වෙත කොල එලිය දල්වා ඇත.

අද දින පොම්පියෝ ෆ්ලොරිඩාවේ පිහිටි ඇමරිකානු මධ්‍යම අනදෙන මධ්‍යස්ථානය වෙත යාමට නියමිතය. එහි අනදෙන ප්‍රධානී ජෙනරාල් කෙනත් මැකෙන්සි හා විශේෂ මෙහෙයුම් අනදෙන ප්‍රධානියා වන ජෙනරාල් රිචඞ් ක්ලාක් හමුවන ඔහු “කලාපීය ආරක්ෂක උත්සුකයන් හා මෙහෙයුම් ගැන” ඔවුන් සමඟ සාකච්ඡා කරනු ඇත.

“වෙනත් විකල්ප සලකා බැලීම” පිනිස දිගටම වොෂින්ටනයේ රැඳී සිටින ආරක්ෂක ලේකම් ෂැනහැන් සමඟ නොයා තනිවම පොම්පියෝ සිදුකරන ගමන “අසාමාන්ය”” යයි සීඑන්එන් ප්‍රවෘත්ති සේවය පවසයි.

2015 ගිවිසුමේ ප්‍රකාර දින 10ක් තුල පවත්වාගත යුතු, පහත් වර්ගයේ සුපෝෂිත යුරේනියම් මට්ටම ඉක්මවා යන බවට 17දා පලවූ ඉරානියානු ප්‍රකාශන ද තවදුරටත් ආතතීන් ඉහල නැංවීම පිනිස ඇමරිකාව විසින් අල්ලා ගනු ලැබ ඇත. එදින මාධ්‍ය හමුවේ කතාකරමින් ඇමරිකාවේ ජාතික ආරක්ෂක කමිටුවෙහි ප්‍රකාශක ගැරට් මාක්විස්, ඉරානයේ කටයුතු “න්‍යෂ්ටික බ්ලැක්මේල් කිරීමක්” ලෙස හංවඩු ගැසීය. එයට විරුද්ධව “ජාත්‍යන්තර පීඩනය උග්‍ර කලයුතු””බව ඔහු අවධාරනය කලේය.

මොන තරම් දැවැන්ත කුහක කමක් ද! 2015 ගිවිසුම ඉරා දැමූ ඇමරිකාව, යුද තර්ජන එල්ල කරමින් ඉරාන ආර්ථිකය අඩපන කර ඇත. මාසයකටත් අඩු කාලයකට පෙර ට්‍රම්ප් පැවසුවේ, එරට ගැටුමකට පැමිනියහොත්, “එය නිල වශයෙන් ඉරානයේ අවසානය” වනු ඇති බවයි. ඉන් ඇඟවුම් කලේ, මිලියන 80ටත් වැඩි ඉරාන ජනතාව මුලිනුපුටා දමන න්‍යෂ්ටික අවි ද ඇතුලු මුලු ඇමරිකානු මිලිටරි ශක්තියම යොදවනු ඇත යන්නයි.

තමන් තවදුරටත් ගිවිසුමට බැඳී නැතැයි ටෙහෙරානය කියන විට එය “බ්ලැක්මේල් කිරීමක්” ලෙස හංවඩු ගැසේ.

“භයානක න්‍යෂ්ටික ගිවිසුමෙන් ඔවුන්ගේ න්‍යෂ්ඨික හැකියාව තහවුරු කර” තිබීම නිසා ඇමරිකාව ඉන් ඉවත් වන්නේ යයි කිවූ ට්ර්ම්ප්ගේ එම බොරුවම මාක්විස් විසින් ද පුනරුච්ඡාරනය කර ඇත. ඔබාමා ආන්ඩුවේ යුද තර්ජනය හමුවේ පමනක් ඉරානය එකඟවූ 2015 ගිවිසුම යටතේ සැබවින්ම සිදුවුනේ, එරට න්යේෂ්ඨික වැඩසටහන් දරුනු ලෙස කප්පාදු වීමය. ඒ යටතේ එරට බලහත්කාරී පරීක්ෂන වලට යටත් කෙරුනි. ජාත්යින්තර පරමානුක බලශක්ති ආයතනය යලි යලිත් පවසා ඇත්තේ ඉරානය ගිවිසුමේ ඇතුලත් බැරෑරුම් අවශ්ය තාවන්ට අනුකූලව කටයුතු කර තිබෙන බවයි.

වොෂින්ටනයේ නීති විරෝධී කටයුතු හමුවේ, එරටට එසේ කිරීම පිනිස පූර්න යුක්තිසහගත අයිතියක් තිබුන ද ඉරානය කටුගා දැමුනු ගිවිසුම පිලිබඳව කටයුතු කරන්නේ අදිමදි කරමිනි. මැයි මස මුල හරියේ ඉරාන ජනාධිපති හසන් රව්හානි, තෙල් අපනයනය කිරීමටත් ජාත්‍යන්තර බැංකු සමඟ ගනුදෙනු කිරීමටත් ඉරානයට හැකියාව ලැබෙන පලදායී පියවර ගැනීම පිනිස බි්‍රතාන්‍යය, ප්‍රන්සය, ජර්මනිය, රුසියාව හා චීනය යන ගිවිසුමට අත්සන් තැබූ අනෙකුත් රටවලට, දින 60ක කාලයක් ලබා දුන්නේය. එම අවසාන දිනය ජූලි 7දායින් අවසන්වේ.

යුරෝපීය බලවතුන් ගිවිසුම රැක ගැනීමට උත්සාහ දරා ඇත ද මේ දක්වා ක්‍රියාත්මක වී ඇත්තේ සුලු වශයෙනි. දැනට පවත්නා, ඇමරිකාව විසින් අධිකාරය දරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය හා බැංකු ක්‍රමය මඟහැර යා හැකි ඉන්ස්ටෙක්ස් යන විකල්ප ගෙවීමේ ක්‍රමයක් දියත් කර ඇත ද එය තවමත් ක්‍රියාත්මක නොවේ. එය ක්‍රියාත්මක වුවත් මුලදී අදාල වන්නේ ආහාර හා බෙහෙත් සඳහා පමනි. සම්පූර්නයෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රනයක් යුරෝපීය බලවතුන්, නිසැකයෙන්ම ප්‍රති ප්‍රහාර එල්ල කරනු ඇති ඇමරිකාව සමඟ විවෘත ගැටුකට ඇද දමනු ඇත.

පර්සියානු ගල්ෆ්හි ට්‍රම්ප් ආන්ඩුවේ යුද වලිප්පුව, යුරෝපය තුල බෙදීම් ඇතිකර තිබේ. ජර්මානු විදෙස් ඇමති හෙයිකෝ මාස්, පසුගිය සතියේ තෙල් නැව් වලට එල්ලවූ ප්‍රහාරයන්ට ඉරානයේ සම්බන්ධය ගැන ඇමරිකාවෙන් තවදුර “සාක්ෂි” ඉල්ලා සිටියදී බි්‍රතාන්‍යය ඉක්මනින්ම ඇමරිකානු මඟට පිලිපන්නේය. 17දා ඉතාලියේ නියෝජ්‍ය අගමැති, ෆැසිස්ට් ලිගා සංවිධානයේ නායක මැටියෝ සැල්විනි, ඉරානයට විරුද්ධව වොෂින්ටනයේ යුද ව්‍යායාමයට රෝමයේ සහයෝගය ප්‍රකාශ කලේය.

ට්‍රම්ප් ආන්ඩුව ඉවබව නැතිව ඉරානයට විරුද්ධ යුද්ධයකට සූදානම් වෙයි. එක් ප්‍රහාරයකට පමනක් සීමා වුවත් ඉරානයට එල්ල කරන ඇමරිකානු ගුවන් ප්‍රහාර, එහි කලාපීය අනුචරයින් වන සව්දි අරාබිය හා ඊස්රායලය පමනක් නොව, තම වැදගත් ආසක්තයන් ආරක්ෂා කර ගැනීම පිනිස අනෙකුත් මහා බලවතුන් ද ඇදගන්නා මහා යුද්ධයක් බවට වේගයෙන් වර්ධනය වනු ඇත. මානව වර්ගයා ම්ලේච්ඡත්වයට ඇද දමන විනාශකාරී ලෝක යුද්ධයක වැඩෙන තර්ජනය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි යලිත් අනතුරු අඟවා තිබේ. එකම විකල්පය, යුද්ධයේ මූලික හේතුව වන ධනවාදයට හා එහි යල්පැනගිය එදිරිවාදී ජාතික රාජ්‍යයන්ට ලෝකය බෙදා දැමීම අවසන් කරන සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, කම්කරු පන්තියේ යුද විරෝධී ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැඟීම පමනි.

Share this article: