වතු කම්කරුවෝ ජූලියන් අසාන්ජ්, චෙල්සී මෑනිං සහ සිරගත කරන ලද මරුති සුසුකි කම්කරුවන් සඳහා නිදහස ඉල්ලති

Plantation workers demand freedom for Julian Assange and Chelsea Manning and for jailed Maruti Suzuki workers

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 21

මාර්තු 17දා ශ්‍රී ලංකාවේ හැටන් නගර ශාලාවේ දී ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද වතු කම්කරු සමුලුවේ දී පහත දැක්වෙන යෝජනා සම්මත කල හ.

චෙල්සී මෑනිං හා ජූලියන් අසාන්ජ් වහා නිදහස් කරනු!

සප්‍රතිපත්තික මාධ්‍යකරුවෙක් වන විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ්ට හා අධිරාජ්‍යවාදී සාපරාධ හෙලිකරන්නියක වන චෙල්සී මැනිංට එරෙහි ව එක්සත් ජනපද, බි්‍රතාන්‍ය හා ඕස්ටේ්‍රලියානු අධිරාජ්‍යවාදීන්ගේ ඒකාබද්ධ කුමන්ත්‍රනය හෙලා දකින මෙම සම්මේලනය, ඔවුන් වහා ම කොන්දේසි විරහිත ව නිදහස් කරන්නැයි ඉල්ලා සිටී.

ඔවුන්ගේ නිහදස උදෙසා ලෝකය පුරා කම්කරුවන්, තරුනයින් හා හිතන මතන බුද්ධිමතුන් බලමුලු ගැන්වීමට සමාජවාදී සමානතා පක්ෂ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ගෙන යන අරගලයට අපගේ හඬ එක් කරන අතර ම, දකුනු ආසියාතික කලාපයේ මිලියන සංඛ්‍යාත මහජනයාට එම අරගලයට ඒකාබද්ධ වන ලෙස අපි ඉත සිතින් ඉල්ලා සිටින්නෙමු.

ඇෆ්ගනිස්තානය, ඉරාකය ඇතුලු ලෝකය පුරා අනෙකුත් රටවල එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සිදුකරන මිලිටරි අපරාධ තම ජීවිත ද නො තකා ලෝක මහජනතාව ඉදිරියේ හෙලිකිරීමට දායක වීම මගින් අසාන්ජ් සහ මෑනිං ලෝක මහජනයාට සිදුකර ඇත්තේ අමිල මෙහෙයකි.

අධිරාජ්‍යවාදය අසාන්ජ් හා මෑනිං දඩුකඳේ ගැසීමට සූදානම් වන්නේ, එහි කුමන්ත්‍රනවලට එරෙහි වන්නන්ට ලබා දෙන දඬුවම් සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් වසයෙන් එය තහවුරු කිරීමට බව අපි වටහාගෙන සිටින්නෙමු.

දෙමල සුලුතර ජනයාට එරෙහි 30-අවුරුදු ලේවැකි සිවිල් යුද්ධයකින් බැටකෑ රටක වැඩකරන ජනයා වන අපි, 2009 යුද්ධය නිමාවුනු තැන් පටන් ගෙවුනු දශකය ගෙවා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත තීව්‍ර කරන ලද ප්‍රහාරයක් මධ්‍යයේ ය.

දැන්, මෙම දූපත චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානමේ කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා ක්‍රියාත්මකව සිටින මෙරට අධිරාජ්‍ය ගැති පාලකයන් ඒ උදෙසා මහජනයාගේ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කාබාසිනියා කිරීමට ක්‍රමානුකූල ව වැඩකරමින් සිටී.

කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකින් පමනක් අසාන්ජ් හා මෑනිංගේ නිදහස සුරක්ෂිත කල හැකි බවට සසප හා ලෝසවෙඅ කරන තක්සේරුව මෙම සම්මේලනය මුලුමනින් අනුමත කරයි. මෙම උද්ඝෝෂනය ගොඩනැගීමට දිය හැකි සෑම සහයෝගයක් ම ලබාදීමට අපි පොරොන්දු වෙමු.

සිරගත කරන ලද මරුති-සුසුකි කම්කරුවන් නිදහස් කරනු!

දැනට දෙවසරකට පෙරාතුව දිග් ගැස්සුනු හොර නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2017 මාර්තු 18දා ඉන්දියාවේ ගුර්ගාඔන්හි උසාවියක් මෝටර් රථ නිෂ්පාදනය කරන ජපන් සමාගමක් වන, මරුති සුසුකි කම්හලේ කම්කරුවන් දහතුන් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කලේය. තවත් කම්කරුවන් හතර දෙනෙකුට වසර පහ බැගින් ද දාහතර දෙනෙකුට වසර තුන බැගින් ද සිර දඬුවම් නියම කරනු ලැබී ය.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම මරුති සුසුකි කම්හලේ 13 දෙනාද ඔවුන් සමග ඊට අඩු මට්ටමේ චෝදනා මත වරදකරුවන් කෙරුනු සෙසු කම්කරුවන් 18 දෙනා ද නිදහස් කරන ලෙසට ආරම්භ කර ඇති උද්ඝෝෂනයට, ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහයෝගයෙන් ඇබොට්ස්ලී කම්කරු ක්‍රියාකාරී කමිටුව කැඳවන ලද වතු කම්කරුවන්ගේ මෙම සම්මේලනය සම්පූර්න සහයෝගය පල කරයි.

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියට ආසන්න හර්යානා ප්‍රාන්තයේ මනේසාර් මරුති සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ අංශය තුල 2012 වසරේ දී ඇවිලුන කම්කරු අරගලයක් මධ්‍යයේ දී මානව සම්පත් කලමනාකරුවෙකු මියයාම අරබයා, මෝටර් රථ නිෂ්පාදන සමාගම, පොලිසිය හා අධිකරන නිලධාරීන් එක්ව මෙම කම්කරුවන්ට එරෙහිව බොරු නඩුවක් අටවා පවත්වා ගෙන ගියේ ය. එවක පැවැති කොන්ග්‍රස් පක්ෂ ආන්ඩුවත් දැන් බලයේ සිටින හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවත් මෙම ගොරතර ක්‍රියාවට සහයෝගය දුන් හ.

මේ කම්කරුවන් මුලුමනින් ම නිර්දෝෂී ය. ඔවුන්ගේ එක ම “අපරාධය” වූයේ ජපානය පාදක කරගත් අන්තර්ජාතික සංගත විසින් සමාගමට හිතැති හොරිකඩ වෘත්තීය සමිතියේ ආධාරය ඇති ව පටවනු ලැබූ රුදුරු සේවා කොන්දේසිවලට අභියෝග කිරීම යි.

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය, එරෙහි ව අර්බුද-ග්‍රස්ත ලෝක ධනවාදය විසින් කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයේ කොටසක් ය. ලංකාවේ වතු කම්කරුවන් වැටුප ඉහල දමා ගැනීමට ගෙනයනු ලබන සාධාරන අරගලය බිඳීම සදහා සටන්කාමී කම්කරුවන් සේවයෙන් පහ කෙරෙන අතර ගුරුවරුන්ගේ හා සිසුන්ගේ අරගලයන්ට පොලිස් ප්‍රහාර එල්ල කෙරෙන්නේ මෙම තත්ත්වයේ දී ය.

ලොව වටා කම්කරුවන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරන සියලු දෙනා ධෛර්ය සම්පන්න මරුති- සුසුකි කම්කරුවන්ගේ ආධාරය සඳහා පෙරට පැමින, වහා ඔවුන් නිදහස් කරන මෙන් බල කල යුතු යයි මෙම සම්මේලනය ඉල්ලා සිටියි.

Share this article: