ඕස්ට්‍රේලියාව ඉන්දියානු සාගර යුද අභ්‍යාසයක් ශ්‍රී ලංකාවේදී පවත්වයි

විජිත් සමරසිංහ විසිනි, 2019 මාර්තු 25

ඕස්ට්‍රේලියාව, ඉන්දියානු සාගර කලාපය සඳහා වන තම ප්‍රධානතම යුද අභ්‍යාසය වන ඉන්දු-පැසිෆික් අභ්‍යාසය - 19 (Indo-Pacific Endeavour - 19), මේ දිනවල ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් දියත් කර ඇත. දෙරට අතර මෙතෙක් පැවති විශාලතම යුද අභ්‍යාසය වන මෙය, ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් හා ලංකාවේ සියලු ආරක්ෂක අංශ වල සහභාගීත්වයෙන් පැවැත්වේ.

මේ සඳහා යාත්‍රා, අවි හා උපකරන මාර්තු 11 සිට ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබු අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවන්ගේ 1000ක් පමන භටයන් ගෙන් යුතු ඒකාබද්ධ කාර්යසාධක ඛන්ඩයක් මාර්තු 23 සිට 30 දක්වා අභ්‍යාසයට සහභාගී වනු ඇත. ත්‍රිකුනාමල වරාය මධ්‍යස්ථානය කොටගෙන සිදුකරන මේ අභ්‍යාසය සඳහා කැන්බරා, සක්සෙස්, පරමටා හා නිවුකාසල් යන ප්‍රධාන යුද නැව් හතරක් යොදා ගැනේ. මේ අතරින්, හෙලිකොප්ටර් වාහක ප්‍රහාරක යාත්‍රාවක් වන කැන්බරා නැව, ඕස්ට්‍රලියානු නාවික හමුදාවේ විශාලතම අනදෙන නවුකාවයි . නිව්කාසල් හා පරමටා නැවු, මිසයිල රැගත්, ප්‍රහාරක යාත්‍රා දෙකක් වේ. මීට අමතරව, අභ්‍යාසයට සමබන්ධ වන ගුවන් යානා හම්බන්තොට මත්තල ගුවන් තොටුපල සිට ගුවන්ගත වනු ඇත.

අභ්‍යාසය ගැන කරුනු දක්වමින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක කර්මාන්ත ඇමති ලින්ඩා රෙනොල්ඞ්ස් පැවසුවේ “ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා දකුනු හා අග්නිදිගා අසියා කලාපයේ ආරක්ෂක හමුදාවන් සමග දීර්ඝ කාලීන සම්බන්ධතා පවත්වාගෙන යන අතර, ඉන්දු-පැසිෆික් අභ්‍යාසය වැනි මැදිහත්වීම් මගින් එම සම්බන්ධතා තවත් ශක්තිමත් වන” බවයි.

ශ්‍රී ලංකාව තුල තම හමුදා “මානුෂීය මෙහයුම් හා ආපදා සහන සැපැයීම්” වැනි කටයුතු සඳහා පුහුනු කිරීම් සිදු කරමින්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ, විශේෂයෙන්ම නාවික හමුදාව, සමඟ සම්බන්ධතා ගැඹුරු කරගනු ඇති බව කොලඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජෝන් ෆිලිප් අභ්‍යාසය ගැන මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් පැවසීය. “ශ්‍රී ලංකාවට හා ඕස්ට්‍රේලියාවට සාගර ආරක්ෂාව හා කලාපයේ සාමය පිලිබඳ ශක්තිමත් පොදු දැක්මක් ඇති බවත්” ෆිලිප් තවදුරටත් සඳහන් කලේය.

මෙහිදී කරුනු දැක්වූ කොලඹ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අර්වින් කියා සිටියේ දෙරට අතර ආරක්ෂක සම්බන්ධතා 2015 සිට ස්ථාවරව වර්ධනය වී ඇති අතර, දෙරටේ අවධානය, නීති විරෝධීව පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේ ජාවාරම, හා නීති විරෝධී සංක්‍රමන නැවැත්වීම, මත් ද්‍රව්‍ය පාලනය මෙන්ම ඉන්දියානු සාගර කලාපය තුල “නීතිය මත පදනම් වූ පාලනයක්” ඇති කිරීමටත් වඩ වඩාත් යොමුවෙමින් ඇති බවයි.

කුමන වෙස්ගැන්වීම් සහිතව සිදුකලා වුවද, ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සම්බන්ධතා වල නව ඉහලක් වන මේ යුද අභ්‍යාසය මගින් ඉස්මත්තට ගෙන එන්නේ ඉන්දියානු සාගර කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිදු කෙරෙනු ඇති භූ-දේශපාලනික පෙල ගැසීම් ය. ඇමරිකාවේ දීර්ග කාලීන සගයෙක් වන ඕස්ට්‍රේලියාව, 2016 දී නිකුත් කල “ආරක්ෂක ධවල පත්‍රිකාව” තුල ශ්‍රී ලංකාව ගැන සඳහන් කර තිබුනේ “ඉන්දියානු සාගරය තුල ඉතාම වැදගත් නාවුක ගමන් මගක් අභියස ස්ථානගතව පිහිටා තිබීම, ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා ආරක්ෂක සම්බන්ධතා ගැඹුරු වීමට මූලිකව තුඩු දී ඇත” යනුවෙනි. වෙනත් වචන වලින් කිවහොත් චීනයට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය මගින් කලාපය තුල සංවිධානය කරගනු ලබන මිලිටරි මෙහෙයුම් වලදී, ශ්‍රී ලංකාවේ භූ-මූලෝපායික වැදගත් කම කැන්බරාවද බැරෑරුම්ව අවබෝධ කරගෙන ඇති බවයි.

ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, ජපානය හා ඉන්දියාව, එක්ව සිව් සාමාජික ආරක්ෂක කතිකාව (Quadrilateral Security Dialogue) නමින්, මේ කලාපය තුල චීනයට එරෙහිව පෙරමුනක් පිහිටුවා ගත්තේ 2007 සිටය. ඉන් මෙපිට කාලය තුල, විවිධ යුද අභ්‍යාස, මිලිටරි තාක්ෂන හුවමාරු කිරීම් හා හමුදා ස්ථානගත කිරීම් හරහා මෙම පෙරමුන වඩාත් තහවුරු වී ඇත. ඇමරිකාව, හා ජපානය, ඉන්දියාව හා එක්ව දකුනු ආසියාතික කලාපය තුල “මලබාර්” නමින් දැවැන්ත යුද අභ්‍යාසක් කලක සිට පවත්වන අතර, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර “ඔස්ඉන්ඩෙක්ස් ” නමින් වෙනම අභ්‍යාසයක්ද ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව සමග අභ්‍යාසය අවසාන වූ වහාම ඕස්ට්‍රේලියානු නාවික හමුදාව, ඉන්දියානු නාවික හමුදාව සමග ද අභ්‍යාසයක නිරත වීමට නියමිතය. ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක සඳහන් වූයේ “ඉන්දියානු සාගර කලාපය තුල ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම මූලෝපායික සහකරුවෙක් වන ඉන්දියාව සමග සිදුකරන ක්‍රියාකාරකම්, 2019 ඉන්දු-පැසිෆික් අභ්‍යාසයේ මූලිකම පදනම වනු ඇති” බවයි. කැන්බරා නවුකාව ඇතුලුව, අභ්‍යාසයට සහභාගී වන යාත්‍රා ඉන්පසුව ඉන්දුනීසියාව, සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය හා වියට්නාමය, වැනි මේ කලාපය තුල වොෂින්ටනයේ අනෙකුත් මූලෝපායික සහකරුවන් වන රට වලද සංචාරය කිරීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ මේ මිලිටරි මැදිහත් වීමෙන් පැහැදිලි වන්නේ, ඔබාමා තන්ත්‍රය මගින් 2012 දී “ආසියාවට හැරීම” නමැති ප්‍රතිපත්තිය යටතේ අරඹා, ට්‍රුම්ප් පාලනය යටතේ අලුත් මට්ටමකට තීව්‍ර කෙරෙන, චීනය මිලිටරිමයව කොටුකිරීමේ වොෂින්ටනයේ මෙහෙයුම මගින් පනගන්වා ඇති භූ දේශපාලන වාසුලිය තුලට ශ්‍රී ලංකාව ඇදගෙන ඇති බවයි. “ඉන්දියානු සාගර කලාපයේ නීතිය මත පදනම් වූ පාලනයක් ඇති කිරීම” වැනි වොෂින්ටනයේ චීනය ඉලක්ක කරගත් ප්‍රකාශ මෙම මිලිටරි ක්‍රියාකාරකම් යුක්තියුක්ත කිරීම සඳහා ඕස්ට්‍රේලියාවද යොදාගනිමින් සිටියි. දෙවන පෙල අධිරාජ්‍යවාදී රටක් වන ඕස්ට්‍රේලියාව, තම කලාපීය ආධිපත්‍ය තහවුරු කරගැනීම සඳහා, චීනයට එරෙහි ඇමරිකානු මෙහෙයුමට පූර්නව අන්තර්ග්‍රහනය වී තිබේ.

ඉන්දියානු සාගරයේ හරි මැද, ප්‍රධානතම මුහුදු වෙලඳ මාර්ගයට ආසන්නව පිහිටීම නිසා ශ්‍රී ලංකාව තම ග්‍රහනයේ පවත්වා ගැනීම ඇමරිකානු අධිරාජ්‍යවාදයට මූලෝපායිකව අතිශයින් වැදගත්ය. 2015 ජනාධිපතිවරනයේදී, චීනය සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ගනිමින් සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරදවා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනාවේ වොෂින්ටනය යොදා කල තන්ත්‍ර-මාරු කුමන්ත්‍රනයකිනි.

2015 න් පසුව ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර මිලිටරි සම්බන්ධතා වෙනත් කවර කලකවත් නොතිබුන තරම් ඉහලකට ගෙනගොස් ඇත. 2018 වසර තුල පමනක්, පස්වතාවක් ඇමරිකානු යුද නැවු හා නාවුක භට කන්ඩායම්, ලංකාවේ විවිධ වරාය වල හා මුහුදු තීරයේ එක්සත් අභ්‍යාස හා පුහුනු කිරීම් පැවැත්වීය. ඕස්ට්‍රේලියානු අභ්‍යාසය සඳහාත් කේන්ද්‍ර වී ඇති ත්‍රිකුනාමල වරාය, ඇමරිකානු යුද නැවු සඳහා “සැලසුම් හා සංවිධාන මධ්‍යස්ථානයක්”(Logistics Hub) බවට පත්කිරීමේ ශක්‍යතා අධ්‍යනයක්ද දෙසැම්බර් හා ජනවාරි මාස තුල සිදු කෙරිනි. නවදිල්ලිය විසින් තම පාලනය යටතට ගැනීමට මාන බලමින් සිටින රටේ දකුනු අන්තයේ පිහිටි මත්තල ගුවන් තොටුපොලත්, ඕස්ට්‍රේලියානු අභ්‍යාසයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ඇත්තේද අහම්බයකින් නොවේ.

රාජපක්ෂ පාලන සමයේ මුලින් අත්සන් තැබුනු, ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර ප්‍රතිග්‍රහන හා අන්‍යොන්‍ය-සේවා ගිවිසුම (Acquisition and Cross-Servicing Agreement - ACSA) නමැති මිලිටරි ගිවිසුම ද වර්තමාන ආන්ඩුව විසින් කාල නියමයක් නොමැතිව අලුත් කර ඇත. පෙබරවාරියේදී ඇමරිකානු සෙනෙට් සභාවේ සන්නද්ධ සේවා කාරක සභාව ඇමතු ඇමරිකානු නාවික හමුදාවේ ඉන්දු-පැසිපික් ආඥාපති ෆිලිප් ඬේවිඞ්සන් පැවසුවේ ඇමරිකා-ශ්‍රී ලංකා මිලිටරි හා නාවුක සහයෝගීතාව නව ඉහලකට ගැනීම අත්‍යවශ්‍යව ඇති බවයි.

කලාපය පුරා ඇවිලී යමින්, ක්ෂනිකව ම ලෝක යුද්ධයක් බවට පත්විය හැකි, චීනයට එරෙහි ගැටුමක, ප්‍රධාන නාවුක ප්‍රහාරක කඳවුරක් බවට ලංකාව පත්කර ගැනීමට වොෂින්ටනය සිය ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා ජපානය ඇතුලු එහි සගයනුත් සමග ගෙනයන වැඩපිලිවෙලට කොලඹ මුලුමහත් දේශපාලන සංස්ථාපිතයේම සහයෝගය හිමිවී ඇත.

දේශපාලන කුලල් කාගැනීම් පැවතියේ වුවත්, ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ, මෙම මිලිටරි සම්බන්ධතා තරකිරීමට එක්ව කටයුතු කරන අතර, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජයවාදී රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීමට උත්සුක වී සිටින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ඔහුගේ කන්ඩායම මෙම වර්ධනයන් ගැන නිහඬය.

ඇමරිකාව සමග ඇතිකරගත් ප්‍රතිග්‍රහන හා අන්‍යොන්‍ය-සේවා ගිවිසුම මගින් “රටේ ස්වෛරීභාවයට” හානි පැමිනනෙන බව කියමින්, ජාතිකවාදී ව්‍යාජ විරෝධයක් දක්වන ජනතා විමුක්ති පෙරමුන, මෙම මිලිටරි සම්බන්ධතා හා අභ්‍යාස මගින් මතුකර ඇති කලාපීය හා ලෝක යුද්ධයක සැබෑ අනතුර හිතාමතාම වසන් කරමින් සිටි.

කලාපීය භූදේශපාලනික ආතතීන් මහා පරිමාන යුද්ධයක මුවවිටටම පැමින ඇති බව, පසුගිය මාසයේ, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් වන ඉන්දියාව හා පකිස්තානය අතර කාශ්මීර දේශ සීමාවේ හුවමාරු වූ ගුවන් හා මිලිටරි ප්‍රහාර මගින් පැහැදිලි විය. චීනය එල්ල කරගනිමින් කෙරෙන යුද අභ්‍යාස හා මිලිට්‍රරි ප්‍රකෝපකරනයන්ගෙන් දිනෙන් දින උත්සන්න කරමින් ඇති මේ අනතුර, ශ්‍රී ලංකාවේ කම්කරුවන්, පීඩිතයන් හා තරුනයන් ඉතා බැරෑරුම්ව ගත යුතුය. අධිරාජ්‍යවාදයේ සැලසුම් වලට කරබදු වී ඇති ධනපති දේශපාලන පක්ෂ හා ව්‍යාජ වාම පක්ෂ වලින් සම්පූර්නයෙන්ම බිඳී කම්කරු පන්තියේ නායකත්වය යටතේ යුද විරෝධී ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීමට පෙරට ආ යුතු ය.

Share this article: