ශ්‍රී ලංකාව: ඇබොට්ස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සසප බලගතු රැස්වීමක් පවත්වති

Sri Lanka: Abbotsleigh Estate Workers Action Committee and SEP hold powerful conference

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 20

ඇබොට්ස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 17දා හැටන් නඟර ශාලාවේදී සැලකිය යුතු පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීය.

“වතු කම්කරු අරගලයේ පාඩම් හා වැඩි වැටුප් ද ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද දිනා ගැනීමේ ඉදිරි මඟ” යන මැයෙන් පැවැත්වූ රැස්වීමට 100ට වැඩි පිරිසක් සහභාගී වූහ. වතු කම්කරුවන් 30ට වැඩි පිරිසකගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූ රැස්වීමට විවිධ වැඩකරන ජනතා කොටස් ද විශ්ව විද්‍යාල සිසුන් හා ගෘහනීන් ද සහභාගී වූ අතර, සසප සාමාජිකයින් හා ආධාරකරුවන් 20ක් පමන යුද්ධයෙන් හානියට පත් උතුරු පලාතෙන් පැමින ඊට සහභාගී විය.

වතුවල, නාගරික කාර්මික ප්‍රදේශවල හා විශ්වවිද්‍යාල තුල සති ගනනක් තිස්සේ කරන ලද උද්ඝෝෂන වලින් පසුව පැවැත්වුන සමුලුව විසින්, ඉන්දියාවේ සිරගත කර සිටින මරුති-සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ද විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් හා ඇමරිකාවේ රහස් හෙලි කල චෙල්සි මැනිංගේ නිදහස ඉල්ලා සිටි යෝජනා ද ඒකමතිකව සම්මත කලේය.

එස්. කාන්දීපන්

රැස්වීමේ මුලසුන දැරුවේ, මස්කෙලිය ග්ලෙනුගී වත්තේ කම්කරුවෙකු හා සසප සාමාජික එස්. කාන්දීපන්ය. වෘත්තීය සමිති, “තවදුරටත් කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන්නේවත්, ඒ වෙනුවෙන් පෙනී සිටින්නේවත් නැතැයි සසප හා ලෝසවෙඅ දිගු කලක් තිස්සේ කරන ලද විශ්ලේෂනය, කම්කරුවන්ගේ වැටුප් අරගලය පාවාදීමෙන් සනාථ කෙරුනි. වෘත්තීය සමිති පාලක පන්තියේ උපකරන බවට පත්ව ඇත” යයි ඔහු පැවසීය.

වතු සමාගම්, ආන්ඩුව හා සමිති, “එක් පසෙකත් කම්කරුවන් අනෙක් පසෙහිත් සිටී”, ඇබොට්ස්ලී වතු කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටුව ගොඩනැඟීමට ගත් තීරනය “අනෙකුත් කම්කරුවන්ට ද මඟපෙන්වීමකි” යයි ද ඔහු පැවසීය.

එම්. දේවරාජා

ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා මෙසේ පැවසීය. “සමුලුව කම්කරු පන්තියේ ජාත්‍යන්තර පරිමාන යලි මතුවීම පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.” වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය, තම ජීවන තත්වයන්ට දිගින් දිගටම එල්ල වන ප්‍රහාරයට පලවුන ප්‍රතිචාරයකි, යයි දේවරාජා පෙන්වා දුන්නේය. “සියයට සීයකින් දෛනික වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියේ කම්කරුවන්ය. වතුකරය පුරා සමාගම් වලට එරෙහිව විරෝධය පලවෙද්දී සමාගම් ඔවුන්ගේ ඉල්ලීම් මුලුමනින්ම ප්‍රතික්ෂේප කලෝය. මේ තතු තුල වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා වතු කම්කරු සංගමය (සීඩබ්ලිව්සී) වර්ජනය කැඳවුම් කලේ, කම්කරුවන්ගේ කෝපය දියකර හැරීමටය.”

වැටුප් ප්‍රශ්නය විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දුවීය යන බොරුව ඉදිරිපත් කරමින් දින 7ට පසුව සමිති වර්ජනය අවසන් බව නිවේදනය කලහ. “එහෙත් කම්කරුවෝ තවත් දෙදිනක් යන තුරු වර්ජනය අවසන් නොකලහ. වතු අරගලය වර්ධනය වුනේ සමිති වලට විරුද්ධ කැරැල්ලක් ලෙසය. එය අවසන් වුනේ, සසප මඟපෙන්වීම යටතේ ඇබොට්ස්ලී කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට මූලිකත්වය ගැනීමෙනි.”

ක්‍රියාකාරී කමිටුවේ සභාපති එස්. සුන්දරලිංගම් හා එහි අනෙකුත් සාමාජිකයින් දඩයම් කිරීමට, සමිති වල ද සහාය ඇතිව ඇබොට්ස්ලී වත්තේ කලමනාකාරිත්වය උත්සාහ දරන බව කථිකයා පෙන්වා දුන්නේය. එහි සහකාර වතු අධිකාරී, මාර්තු 17දා හැටන්හි පැවැත්වෙන කම්කරු සමුලුවට සුන්දරලිංගම් සහභාගී වීම වැලැක්වීමට ඔහුට විශේෂ රාජකාරී පවරනු ලැබින. එහෙත් කලමනාකාරිත්වයේ තර්ජන නොතකා ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් ගනනාවක් සමුලුවට සහභාගී විය.

සමුලුව සඳහා උද්ඝෝෂනයට වතු කම්කරුවන් අතර සහයෝගය

ජාත්‍යන්තරව ධනපති පාලක පන්ති, උත්සන්න වෙමින් ඇති ලෝක ධනවාදී අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ උත්සාහයක යෙදී සිටින බව දේවරාජා පැහැදිලි කලේය. “මෙරට වතු සමාගම් ද කරන්නේ ඒ දේමයි. ජාත්‍යන්තර වෙලඳපොලේ තරඟයට මුහුන දීම පිනිස නිෂ්පාදන පිරිවැය පහත දැමිය යුතු බව කියන ඔවුන් ඒ සඳහා සිය ලාභයෙන් කිසිවක් දීමට සූදානම් නැත” යයි ඔහු පැවසීය.

“හාම්පුතුන් හා සමිති අතර අත්සන් තැබුනු, අරගලය විකුනා දැමීමේ සාමූහික ගිවිසුම මඟින්, වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 20ක් වැනි සොච්චම් ගනනකින් වැඩි වුව ද මෙම සමාගම් දැවැන්ත ලාභ උපයාගන්නා අතර ඒවායේ ප්‍රධාන විධායකයෝ ඉතා ඉහල වැටුප් ලබති. ඒ සමඟම දිනකට නෙලිය යුතු තේ දලු ප්‍රමානයේ ඉලක්කය ඉහල නංවා ඇත.”

කම්කරුවන්ට ඉඩම් කැබැල්ලක් දීම තුලින් වතු සමාගම්, වර්තමානයේ වතු කම්කරුවන්ගේ වැටුප් ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිලිවෙලක් තුලින් ඔවුන් අඳ ගොවීන්ගේ හෝ නූතන යුගයේ බැඳ දැමූ ශ්‍රමිකයින්ගේ තත්වයට පිරිහෙලීමට උත්සාහ දරමින් සිටින බවට දේවරාජා අනතුරු ඇඟවීය. “මුලු පවුලම මෙම ඉඩම් කැබැල්ල නඩත්තු කිරීමට ඇද දමයි.”

“වතු කම්කරු වැටුප් අරගලය සනාථ කර ඇත්තේ, ලොව පුරා සිටින සිය සහෝදර කම්කරුවන්ට සේම මෙරට කම්කරුවන්ට ද සමිති තුලින් හෝ ධනපති ආන්ඩු වලට නැත්නම් හාම්පුතුන්ට බල කිරීම නැතිනම් ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ඒවා දිනා ගැනීමට හෝ සිය අයිතීන් ආරක්ෂා කර ගැනීමට නොහැකි” බව ඔහු පෙන්වා දුන්නේය.

“විශාල වතු, කම්හල් හා බැංකු කම්කරු පන්තියේ අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යටත් කල යුතුය. ගෝලීය ආර්ථිකය ධනපතියන්ගේ ලාභ පිපාසාව සංහිඳවීමට නොව සමජයේ බහුතරයකගේ අවශ්‍යතා ඉටුකරන ආකාරයෙන් යලි සංවිධානය කල යුතු” යයිද හෙතෙම පැවසීය.

සියලු වතු වල ද අනෙකුත් ක්ෂේත්‍රයන්හි ද කම්කරුවන්ගෙන් දේවරාජා ඉල්ලා සිටියේ, සමිති වලින් බිඳී තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟමින්, ඒ සියලු සංවිධාන ධනපති පන්තියේ ද ආන්ඩුවේ ද ප්‍රහාරයන්ට එරෙහිව සටන් කීරීම පිනිස එක්සත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

“සමාජවාදී ක්‍රියාමාර්ගයක් ප්‍රානවත් කිරීමට නම් ජාත්‍යන්තර පරිමාන සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් බලයට පත් කල යුතු” බව ඔහු කියා සිටියේය.

ජීවමාන සාකච්ඡා වටයේදී සමුලු ප්‍රේක්ෂකයින් ගනනාවක්ම ඊට සම්බන්ධ විය.

ධනපාලන්

රජයට අයත් ජනතා වතු සංවර්ධන මන්ඬලයේ හන්තාන වත්තේ ධනපාලන් පැවසුවේ, වත්ත ශුද්ධ පවිත්‍ර කිරීමට පවා කලමනාකාරිත්වය අසමත්ව ඇති බවයි. වල් උදලුගෑම පවා නොකරයි. “ඔවුන් පාර දෙපස පමනක් ශුද්ධ පවිත්‍ර කරන්නේ, සංචාරක වාහන ප්‍රදේශය තුලින් ගමන් ගන්නා බැවිනි.”

“ආන්ඩුවේ ඇමතිවරු හා දේශපාලඥයින් අනුක්‍රමයෙන් හන්තාන වත්තේ ඉඩම් අත්පත් කර ගනිමින් සිටී. වතු කම්කරුවන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ මෙම දේපොල වලය. දැන් කුඩා හෝටල් මෙම භූමියේ ඉදිවෙමින් ඇත” යයි ධනපාලන් පැවසීය.

විශ්‍රාම වයසට පැමිනෙන කම්කරුවන් සේවයෙන් ඉවත් කරන නමුත් ඔවුන්ගේ විශ්‍රාම අරමුදල ලබා දෙන්නේ නැත. “මෙම ප්‍රශ්න කථා කිරීමට තැනක් නැත. මම අද මෙහි පැමිනියේ මේ කරුනු හෙලිකිරීමටයි.”

බ්ලූම්ෆීල්ඞ් වත්තේ කම්කරු කාන්තාවක් පැවසුවේ, “ඔවුන් කියන්නේ අපේ දිනක වැටුප රුපියල් 700 දක්වා වැඩිකල බවයි. සැබෑව නම් වැඩිවී ඇත්තේ රුපියල් 20ක් විතරක් බවයි. මේ අතර අත්‍යවශ්‍ය භාන්ඩ මිල ගනන් පිම්මේ ඉහල නඟී. දිනක මුලු වැටුප ගන්නට නම් නෙලන තේ දලු ප්‍රමානය කිලෝ 16ක් විය යුතු බව කලමනාකරනය පවසයි.

අපේ දරුවන් ද අපි වගේම අධ්‍යාපනය නොලබා අපි වින්ද දුක් ගැහැටම විඳිය යුතු ද යන්න දැනගැනීමට මට අවශ්‍යයි. අපි මේ තත්වය වෙනස් නොකල යුතු ද?.”

දේවිකා

කොලඹ වරාය අධිකාරයේ කම්කරු කාන්තාවක් වන දේවිකා පැවසුවේ, වතු කම්කරුවන් මුහුනදී සිටින සැබෑ තත්වය සමුලුවට සහභාගී වීමෙන් තමන්ට පෙනී ගිය බවයි. ඔවුන් මෙරටට ආදායම් උපදවා දෙන ප්‍රධාන කොටසකි. ඔවුන් මුහුන දෙන ගැටලුවලට විසඳුම් තිබිය යුතු යයි ඇය පැවසුවාය. කොලඹ වරායේ කම්කරුවන් මුහුනපා සිටින තත්වය පැහැදිලි කරමින් ඇය පැවසුවේ, ආන්ඩුව වරායේ නැගෙනහිර පරියන්තය පෞද්ගලීකරනයට පියවර ගනිමින් සිටින බවයි. “එය සිදුවුවහොත් වරායේ සේවය කරන දැවැන්ත කම්කරු සමූහයක් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත. වරාය ඇතුලත පවතින තත්වය වෘත්තීය සමිති කටයුතු මඟින් වසංකර තිබේ.”

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මයුරන් සමුලුව අමතා පැවසුවේ, මෙරට නිදහස ලබා වසර 71ක් ගතවී ඇතත්, “ජනතාව මුහුනදෙන මූලික ප්‍රශ්න කිසිවක් විසඳී ඇත්තේ නැත.” වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය 1948දී අහෝසි කරන ලද ප්‍රතිගාමී පියවර පසුව පාලක පන්තිය විසින් කම්කරු පන්තිය බෙදීමට යොදාගත් වර්ගවාදී පිලිවෙත්වල ආරම්භය වූයේ කෙසේදැයි ඔහු සිහිපත් කලේය.

මයුරන්

උතුරේ හා නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුන් වර්ජිත වතු කම්කරුවන්ට සහයෝගය පලකරමින් විරෝධතා සංවිධානය කල බව ඔහු පැවසීය. “අනාගතයේ ද සිසුන් වතු කම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ හඬ නංවනු ඇති බව මට සහතිකය.”

ඇබොට්ස්ලී කම්කරුවෙක් මෙසේ පැවසීය. “මේ සමුලුවට ඇබොට්ස්ලී වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට ලැබීම මට සතුටකි. බොහෝ දෙනෙක් අද මෙහිදී හොඳ කථා පැවැත්තුවා. මේ වර්ගයේ සමුලුවකට සහභාගී වීමෙන් පමනක් අපට, අපගේ සමාජයේ පවතින ගැටලු වටහා ගන්ටත් ඒවා විසඳිය හැක්කේ කෙසේ ද යන්න ගැනත් කථා කල හැකිය. දෙසතියකට පෙර මම, මෙහි පැමින, ඬේවිඞ් නෝරත් විසින් ලියන ලද රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ දෙමල සංස්කරනය දියත් කිරීමේ රැස්වීමකට සහභාගි වුනෙමි. ගෙදර යන ගමන් මම ක්ල්පනා කලේ, සසපට බැඳීමෙන් මට අත්කරගත හැක්කේ කුමක් ද යන්නයි. ගෙදරදී මම පොතේ පිටු දෙකක් කියවා එම පිටු කියවන ලෙස දුවට කිව්වා. බොහෝ වැදගත් දෑ අඬංඟුව ඇති නිසා මෙම පොත මිලට ගැනීමෙන් මා මුදල් අපතේ හැර නැති බව වටහා ගත්තා. මේ වර්ගයේ පොතක වාක්‍ය අපි බොහොම පරිස්සමෙන් කියවිය යුතුයි.”

සුලක්ෂිනා

එක් වත්තක තරුනියක් වන සුලක්ෂිනා, ඊනියා ආදායම් බෙදාගැනීම හෙවත් අස්වනු බෙදාගැනීමේ ක්‍රමය ගැන කථා කලා. “මේ ක්‍රමයෙන් වතුකරයේ ලමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වනු ඇත. කම්කරුවන් මත තව තවත් බර පැටවෙනු ඇත. ලමුන් කම්කරුවන් බවට පත්වූ පසුව ධනපතීන් ඔවුන් ද සූරාකනු ඇත.

වතු කම්කරුවන් වසර 150ක් තිස්සේ පීඩාවට පත්කර ඇතැයි ද මේ ක්‍රමය යටතේ ඔවුන් වහල් තත්වයට පත්කරනු ඇති බැවින් එය මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතු යයි ඇය පැවසීය. අප වෘත්තීය සමිති වලින් බිඳිය යුතුය. ඊට වෙනස් ලෙස සසප පැහැදිලි කල ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනැඟිය යුතය. විසඳුම ලැබෙනු ඇත්තේ විප්ලවය පැමිනෙන්නේ නම් පමනි.”

කේ. රත්නායක

සමුලුවේ සමාප්ති කථාව පවත්වමින් ලෝසවෙඅ ජාතික කතෘ කේ. රත්නායක පැවසුවේ හැටන් සමුලුව නියෝජනය කලේ කම්කරු පන්ති අරගලයේ නව අවදියක් බවයි.

“ඇබොට්ස්ලි කම්කරුවන්, වෘත්තීය සමිති වලින් බිඳී තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට නිවැරදි හා ප්‍රගතිශීලී ආරම්භකත්වයක් ගෙන ඇත. ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් කම්කරුවන් සාමාජික කමිටු ගොඩනැඟීමට පියවර ගනිමින් පෙන්වා ඇති ආකාරයට, මෙය ජාත්‍යන්තර වර්ධනයේ එක් කොටසකි” ඔහු පැවසීය.

“වතු සමාගම්, වැටුප් ක්‍රමය අහෝසි කර එකට ගැටගැසුනු ශ්‍රම වහල් ක්‍රමයක් ඉල්ලා සිටී. යුනිලීවර් හා ටාටා වැනි ජාත්‍යන්තර සංගත, දැවැන්ත ලාභ උපයා ගැනීම පිනිස නිෂ්පාදන පිරිවැය අඩු කරන ලෙස බල කරයි.” මෙම සුරා කෑම ගෝලීය ක්‍රියාවලියක් වන බැවින් “මේ ප්‍රහාරයන්ට එරෙහි ජාතික විසඳුමක් ඇත්තේ නැත. කම්කරුවන්ට සටන් කල හැක්කේ ජාත්‍යන්තරව සංවිධානය වෙමින් සමාජවාදය සඳහා සටන් කිරීමෙන් පමනි” රත්නායක පැවසීය.

මෙරට පාලක පන්තිය උග්‍ර වන පරිහානියකට මුහුනපා සිටී. පාලක එක්සත් ජාතික පක්ෂය, ජනාධිපති සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහෙයවන විපක්ෂයට, ජනතාව මුහුනපා සිටින කිසිදු ප්‍රධාන ගැටලුවකට විසඳුම් නැත. මේ සියලු දෙනා තමන්ගේ ක්‍රමවේදයන්ට අනුව සූදානම් වන්නේ ආඥාදායක පාලනයක් ඇටවීමටයි. රත්නායක පැවසීය.

“මෙම පාලක පන්තිය වසර 30ක් තිස්සේ තමන්ගේම ජනතාවට විරුද්ධව, එනම් දෙමල ජනතාවට එරෙහිව වර්ගවාදී යුද්ධයක් ගෙන ගියේය.” අවසාන වශයෙන් පැමින සිටි සියලු දෙනාගෙන් ඔහු ඉල්ලා සිටියේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසපට බැඳෙන ලෙසත් එය කම්කරු පන්තියේ ජනතා විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනඟන ලෙසත්ය.

Share this article: