ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ඊනියා මත්ද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුමට කැඳවා ගැනේ

විජිත් සමරසිංහ විසිනි, 2019 මාර්තු 21

මාර්තු 8 දා පැවති මාධ්‍ය සාකච්චාවකදී, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ, “මතින් නිදහස් රටක්” වැඩපිලිවෙල හෙවත් ඊනියා මත්ද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුමට ආරක්ෂක හමුදාවන්ද සෘජුව සම්බන්ද වීමට තීරනය කර ඇති බවයි. සිවිල් කටයුත්තක් වන මත්ද්‍රව්‍ය පාලනයට හමුදා මැදිහත් කරවීමට දැනට ඇති නීතිමය බධාද ලඟදීම ඉවත් කෙරෙනු ඇති බව මෙහිදී ප්‍රකාශ විය.

ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුනරත්න ගේ ප්‍රධානත්වයෙන් හා යුද, නාවික හා ගුවන් හමුදාපති වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුව, “මත්ද්‍රව්‍ය මර්දනයට හමුදා වල සහභාගීත්වය පිලිබඳව මාධ්‍ය අධ්‍යාපනගත කිරීම” සඳහා පැවැත්වෙන බව සඳහන් කර තිබිනි. ආරක්ෂක හමුදා මත්ද්‍රවය වලට එරෙහිව පූර්න යුද්ධයක් දියත් කිරීමට සූදානම් බව සියලු හමුදා ප්‍රධානීන් ප්‍රකාශ කල අතර, හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කලේ “මේ ඒකාබද්ධ ක්‍රියාන්විතය, ත්‍රිවිධ හමුදා ඊලාම් කොටි සංවිධානයට එරෙහිව ගෙනගිය යුද්ධයට සමාන වනු ඇති” බවයි.

මත්ද්‍රව්‍ය රටට රැගෙන එන්නන්, අලෙවි කරන්නන් හා භාවිත කරන්නන් යන සියලු මට්ටම් සිසාරා යන ආකාරයේ රහස් ඔත්තු ජාලාවක්, හමුදා බුද්ධි අංශය මගින් එලීමට තීරනය කර ඇති බව ප්‍රකාශ කල සේනානායක, තව දුරටත් කියා සිටියේ හමුදාව යටතේ ඇති කන්දල්කඩු හා සේනපුර යන මධ්‍යස්ථානවල වල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සඳහා පුනුරුත්තාපන කඳවුරු පිහිටුවීමටද කටයුතු කරන බවයි.

නාවික හමුදාව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නතර කිරීම තම ප්‍රධාන කාර්ය බවට පත්කරගෙන ඇති බව, හමුදාපති වයිස් අද්මිරාල් පියල් ඩි සිල්වා ප්‍රකාශ කලේය. පසුගිය කාලය පුරා නාවික හමුදාව මුහුදු මගින් ලංකාවට ගෙන එන මත්ද්‍රවය වැටලීම සඳහා සහය දී ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා බහරේනයේ මූලස්තානගතව ඇති ඒකාබද්ධ නාවික හමුදා වැඩසටහන (Combined Maritime Forces Initiative) හි සහය ලබා ගැනීම සඳහා ද දැනට සාකච්චා පැවැත්වෙන බවද තවදුරටත් ප්‍රකාශ කලේය.

මෙහිදී කරුනු දැක්වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පසුගිය අවුරුදු 3 ඇතුලත, මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතු සඳහා ගුවන් හමුදාව ගුවන් පැය 800ක් පමන වැය කර ඇති බවත්, ඉදිරියේදී එය තවත් ඉහල නංවන බවත් ප්‍රකාශ කලේ ය. ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ මේ සඳහා තුන්වන නාවික-ගුවන් බලගනයද යලි ක්‍රියාකාරී කර ඇති බවයි.

සිවිල් කටයුත්තක් වන මත්ද්‍රව්‍ය පාලනය සඳහා හමුදා මැදිහත් කරවීම සඳහා නීතියෙන් ඇති බාධාද ඉක්මනින්ම ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව මාන්ඩලික ප්‍රධානි විජේගුනරත්න පැවසීය. මීට අවශ්‍ය නීතිමය වෙනස්කම “මාස ගනන් නොව සති කීපයක් අතුලත රජය විසින් සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන” බවත්, එම නීතිමය ප්‍රතිපාදන සැලසීමත් සමග හමුදාවන්ටද අනිත් නීතිය ආරක්ෂා කරන ආයතන සමග එක්ව, මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඊට ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු සඳන් කලේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මුවාවෙන්, දැවැන්ත පොලිස් හා හමුදා මර්දන යාන්ත්‍රනයක් රටතුල ස්ථාපිත කරගැනීමට ජනාධිපති සිරිසේන ගෙනයන වැඩපිලිවෙලට හමුදා නායකත්වය පූර්නව අන්තර්ග්‍රහනය කර ඇති බව මේ කරුනු දැක්වීම් වලින් පැහැදිලි වේ. මරන දන්ඩනය යලි ක්‍රියාත්මක කිරීම හා පිලිපීනයේ ජනාධිපති දුතර්තේ ගෙනයන ආකාරයේ ඊනියා “මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයක්” දියත් කිරීම සිරිසේන තම ප්‍රමුඛතම දේශපාලන සටන් පාඨය බවට පත්කරගෙන ඇත.

ජනවාරියේ පිලිපීනයේ නිල සංචාරයක නියැලුනු සිරිසේන එහිදී තම පිලිපීන සගයා වන රොද්‍රිගෝ දුතර්තේ “මුලු ලෝකයටම ආදර්ශයක්” ලෙස උත්කර්ෂයට නැංවී ය. මත්ද්‍රවය වලට එරෙහිව හමුදාවේ හා පොලිසියේ අත් ශක්තිමත් කරන බවට ඔහු පොරොන්දු වූ අතර, මත්ද්‍රව්‍ය පිලිබඳ කරුනු වාර්තා කිරීමට විශේෂිත දුරකථන අංකයක් විවෘත කලේය. පෙබරවාරියේදී පාර්ලිමේන්තුව අමතා කතාකල සිරිසේන, මරන දන්ඩනයට එරෙහි වන්නේ යයි, මානව අයිතිවාසිකම් කොමිසමටත්, රාජ්‍ය නොවන සංවිධාන වලටත් විවෘතව චෝදනා කලේය. ආරක්ෂක හමුදාවන්ට සිවිල් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීමට හැකිවන ලෙස නීති වෙනස් කිරීමට ගෙනයන සූදානම දුරදිග යන ඇනවුම් සහිත ක්‍රියාවකි.

මෙය පිලිපීනයේ ඊනියා “මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයට” සමාන, පොලිස්, හමුදා හා අනෙකුත් පැරා-මිලිටරි ආකාරයේ මදාවි කන්ඩායම් වලට නීතියට උඩින් ක්‍රියාත්මක විය හැකි ආකාරයේ ත්‍රස්ත යන්ත්‍රයක් පිහිටුවා ගැනීම දෙසට ගන්නා තවත් පියවරකි. දුතර්තේගේ මර්දන මෙහෙයුම් මගින් මේවන විට පිලිපීනයේ සාමාන්‍ය ජනතාව අති බහුතරයක් ඇතුලු 32,000ක් පමන දෙනා ඝාතනය කර ඇති බවට මානව හිමිකම් සංවිධාන අනුමාන කරයි.

සිරිසේනගේ මේ ඊනියා “මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය” නව මර්දන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරගැනීමට යොදා ගන්නා වහන්තරාවකි. මත්ද්‍රව්‍ය නිසා ඇති කෙරෙන විනාශය කෙරෙහි මහජනයා අතර පවතින බරපතල උත්සුකය මේ සඳහා ගසාකනු ලබයි.

ආන්ඩුවට හා සමස්තයක් වසයෙන් පාලක පන්තියට ගැඹුරුවන දේශපාලන අර්බුදය නිසා මිලිටරිය පොලිස් බලතල වලින් බලගන්වා මුදා හැරීමට අවශ්‍ය වී ඇත. එම අර්බුදය තුල පාලක පන්තියේ කොටස් අතර දේශපාලන යුද්ධයක් අවුලවා ඇති සැටි පසුගිය ඔක්තෝබර් මාසයේ සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පතිකිරීමට ගෙනගිය අසාර්ථක දේශපාලන කුමන්ත්‍රනයෙන් ප්‍රදර්ශනය විය.

වර්ධනය වන බරපතල අර්බුදය පැටවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දමමින් ගන්නා පියවර නිසා කම්කරුවන්, දුගීන් හා සිසුන් ඇතුලු තරුනයන් අතර දැනටමත් බරපතල පෙරලිකාරිත්වය පුපුරා ඉස්මත්තට එනු ඇතැයි ආන්ඩුව හා පාලක පන්තියේ සෑම කොටසක්ම භීතියට පත්ව සිටියි. ඔවුන් සූදානම් වන්නේ එය තලා දැමීමටයි.

අගමැති වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂ (එජාප) කැබිනෙට්ටුව, මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට ඍජුව සහය දෙන බව යලි යලිත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප), සිරිසේන හා රාජපක්ෂට හිතවත් මන්ත්‍රී කන්ඩායම් දෙකම, මේ ඊනියා මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාන්විතය උත්කර්ෂයට නන්වමින් සිටින අතර, ජනතා විමුක්ති පෙරමුන, දෙමල හෝ මුස්ලිම් ජාතිකවාදී පක්ෂ හෝ ව්‍යාජ-වාම පක්ෂ වලින් එයට මොනම ආකාරයේ හෝ විරෝධයක් එල්ල වී නොමැත.

සිරිසේනගේ, ඒ හෝ මේ ප්‍රකාශයන්ට යම් ඇල්මැරුනු උත්සුකයන් පලකලද, ඊනියා සිවිල් සංවිධාන හා ධනපති බුද්ධිමතුන්ද, ක්‍රමක්‍රමයෙන් තහවුරු කරමින් ඇති මේ නීති විරෝධී පියවර ගැන නිශ්ශබ්ද පිලිවෙතක් අනුගමනය කරති.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභුව හා එහි ආන්ඩු, කම්කරුවන්ගේ අරගල මැඩීමට පොලිසිය හා මිලිටරිය මෙහෙයවා ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඔවුන් 1971 හා 1987-89 දකුනේ භීෂනයන් හා දෙමල ජනයාට එරෙහි 30 අවුරුදු යුද්ධය තුල ද විස්තර කල නොහැකි තරමේ ම්ලේච්ඡ ඝාතන හා විනාශ සිදුකර ඇත.

ධනපති පන්තියේ වර්තමාන අර්බුදය හා සීඝ්‍ර දකුන ට ගමන් කිරීම තුල කම්කරු පන්තියට පසෙකට වී සිටීමට නො හැකිය. අර්බුදය හමුවේ ධනපති පන්තිය ඇදෙමින් සිටින මිලිටරිවාදී, ඒකාධිපති හා ෆැසිස්ට් විකල්ප වලට එරෙහිව, කම්කරු පන්තියට ඇත්තේ ජාත්‍යන්තර එක්සත් කම මත පදනම් වූ සමාජවාදී විකල්පයයි. ධනපති පන්තිය සුදානම් කරමින් සිටින මිනීමරු ප්‍රහාරයන්ට එරෙහිව වැඩපොලවල හා නිවහන් පෙදෙස්වල ක්‍රියාකාරී කමිටු පිහිටුවා, පීඩිතයන් හා තරුනයන් ගොනු කරගත් ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් මගින් සටන් කිරීමට කම්කරු පන්තිය සූදානම් විය යුතුය.

Share this article: