ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආන්ඩුවේ අයවැයට අනුමැතිය දෙයි

IMF endorses Sri Lankan government budget

සමන් ගුනදාස විසිනි, 2019 මාර්තු 14

මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද 2019 ආන්ඩුවේ අයවැයෙහි දෙවන වර කියවීම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දී මාර්තු 12දා සම්මත විය. වැඩිදුර විවාදවලින් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගවලට අනුව සකස් කරන ලද එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන ආන්ඩුවේ පියවරයන් පිලිබඳ අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 5දා සිදුවනු ඇත.

ආන්ඩුව “දදේනියෙන් සියයට 90කටත් වැඩි රාජ්‍ය නයට, විශාල මූල්‍ය අවශ්‍යතාවන්ට හා පහල වැටුනු ස්වාරක්ෂක සංචිතයන්ට” මුහුන දී සිටින නිසා “දූරදර්ශී පිලිවෙත් මිශ්‍රනයක් අවශ්‍ය” බව ශ්‍රී ලංකාවේ ජාමූඅ මෙහෙයුම් ප්‍රධානී මැනුවෙලා ගොරේති මාර්තු 12දා ඬේලි එෆ්ටී වෙත ප්‍රකාශ කලා ය. ඇය තවදුරටත් සඳහන් කලේ “මූල්‍ය ස්ථාවරත්වය දිරිමත් කිරීම මගින්” සමරවීරගේ අයවැය “ප්‍රමානවත් තුලනයක් ඇති කරනු ලබන බව”යි.

2016 දී ජාමූඅ ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ඇප නයක් අනුමත කලේ ය. එහෙත් ඩොලර් මිලියන 500ක් වූ එහි අවසන් වාරික දෙක පසුගිය ඔක්තෝබරයේ දී අත්හිටුවනු ලැබී ය. එලෙස කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනපද-හිතවාදී අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපීම හා කොලඹ පාලක ප්‍රභූව තුල කටුක කන්ඩායමික ගැටුමක් පුපුරා යාමට ප්‍රතිචාර වසයෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කල සිරිසේන, පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ අසමර්ථ වූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය.

රාජපක්ෂ චීන-හිතවාදී යයි සලකන එක්සත් ජනපදය ඔහුගේ පත්වීමට විරුද්ධ විය. දෙසැම්බරයේ සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවීමට ගත් තීරනය ශ්‍රීලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අවලංගු කලේ වික්‍රමසිංහ අගමැති ලෙස යලි පත් කිරීමට ඔහුට බල කෙරමිනි.

කොලඹ ආන්ඩුවේ ඉල්ලීම්වලින් පසුව ජාමූඅ සිය නය වැඩපිලිවෙල යලි ඇරඹීමට පෙබරවාරියේ එකඟ වූ අතර, එහි අරමුදල් සැපයීම යලි ආරම්භ කිරීමට “ආන්ඩුව එහි මූලික කරුනු කරා යලි පැමිනිය” යුතු බව ගොරේති ඬේලි එෆ්ටී වෙත මතක් කලා ය. රජයට අයත් ව්‍යවසායන් “සංගත අභිප්‍රාය ප්‍රකාශ” හරහා වඩ වඩා සමීක්ෂනය කිරීම, එනම් සේවක කප්පාදුව හා මිල ගනන් හෝ අයකිරීම් ඉහල දැමීම මගින් ඒවා වානිජමය වසයෙන් ශක්‍ය කිරීම අවශ්‍ය යයි සඳහන් කලාය. දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 3.5ක් දක්වා අයවැය පරතරය අඩුකිරීමේ ඉලක්කය ඉටුවිය යුතු යයි ඇය ආන්ඩුවට අනතුරු ඇඟවූවා ය.

මේ වසර අවසානයේ පලාත් සභා හා ජනාධිපති මැතිවරන පැවැත්වෙන නිසා එජාපය නායකත්වය දෙන ආන්ඩුව එහි 2019 අයවැයෙන් යම් සහනයන් සලසනු ඇතැයි අපේක්ෂා කෙරුනි. එහෙත් යෝධ නය අර්බුදයකට හා ජාමූඅ නියෝගයන්ට මුහුන දෙන ආන්ඩුව, බදු ආදායම් ඉහල දමා ගැනීමට ක්‍රියා කරමින් සීමිත පියවරයන් කිහිපයක් නිවේදනය කලේ ය.

සංකේතාත්මක සහනයන් අතරට රාජ්‍ය සේවකයන්ට රුපියල් 2,500ක වැටුප් වැඩි කිරීමක් හා සීමිත සමෘද්ධි සුභසාධන දීමනාව ලබන ජනයාගේ සංඛ්‍යාව 600,000කින් ඉහල දැමීම අඩංගුවේ. දැනට සමෘද්ධිය ලබන මිලියන 1.3කට ගෙවනු ලබන්නේ මසකට රුපියල් 1,500ත් 3,500ත් අතර සොච්චම් මුදලකි. අනෙකුත් යෝජනා අතරට කුඩා ව්‍යාපාර, ස්වයං-රැකියාවල නිරත වන්නන් හා පුද්ගලික අධ්‍යාපනය ලබන සිසුන් සඳහා සහන නය ලබා දීම ඇතුලත් වේ.

සමරවීරගේ යෝජනා නිකුත් කිරීමට පෙර ආන්ඩුවේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා කියා සිටියේ අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50ක දීමනා ඉහල දැමීමක් අඩංගු වනු ඇති බව යි. මෙය සිදු නො වූ අතර වතු කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීමේ උත්සාහයක යෙදෙන ආන්ඩුව, තේ මන්ඩලයේ ආදායමින් වතු කම්කරුවන්ට රුපියල් 50ක මාසික දීමනාවක් ලබා දීම සඳහා සැලසුම් කර ඇත. එහෙත් මෙම දීමනා ලබා දෙනු ඇත්තේ එක් වසරකට පමනි.

සියයට 100ක වැටුප් වැඩි කිරීමක් මගින් සිය දරිද්‍ර මට්ටමේ මූලික දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් දෙසැම්බර් මාසයේ වතු කම්කරුවෝ දින නවයක ජාතික වර්ජනයක නිමග්න වූ හ. වෘත්තීය සමිතිවල ආධාරය හා ආන්ඩුවේ ආශීර්වාදය ලත් වතු සමාගම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, අසීරුවෙන් දිනා ගත් දීමනා කපා හැර වැටුප සියයට 40කින් වැඩි කල හ.

එජාපය නායකත්වය දෙන ආන්ඩුව සමාජීය අයිතීන් මත එල්ල කරන ප්‍රහාරය නිසා කම්කරුවන්ගේ වැඩෙන විරෝධයට මුහුන පා සිටී. ලොව පුරා කම්කරු පන්තියේ අරගල සමගින් ගොවීන් හා ධීවරයන් සහනාධාර කප්පාදුවටත් ශිෂ්‍යයන් අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමටත් විරුද්ධ ව ගෙන යන විරෝධතා පුපුරා ගොස් ඇත.

ජාමූඅ කප්පාදු නියෝග සමගින් අයවැය තුල නව බදු හා අනුපාත වැඩි කිරීම් අඩංගු වේ. ඒවා අතරට පහත සඳහන් පියවර අයත් වේ.

* සිගරැට් මත පනවන සියයට 12ක බදු වැඩි කිරීමක්

* දේශීය දෘඩ මත්පැන් හා මෘදු මත්පැන් මත පිලිවෙලින් පනවන සියයට 8ක හා සියයට 12ක ඉහල සුරාබදු

* නයවර කාඞ් මගින් කරන විදේශීය මිල දී ගැනීම් මත සියයට 3.5ක බද්දක් පැනවීම

* ගුවන් ගමන් සඳහා ප්‍රවේශ ගාස්තු ඩොලර් 10 දක්වා වැඩි කිරීම

ශ්‍රී ලංකා දුම්රිය සේවය පෞද්ගලීකරනය දෙසට වන නව පියවරයන් ද මුදල් ඇමති සමරවීර විසින් නිවේදනය කලේ ය. “පුද්ගලික අංශයේ සහභාගිත්වය” සහිත ව දුම්රිය සේවය වර්ධනය කරනු ඇතැයි ප්‍රකාශ කල ඔහු “ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මැදිරි කල්බදු හෝ බදු ගැනීමට පුද්ගලික අංශයට ඉඩ දෙන” බව ද පැවසී ය.

ආන්ඩුවේ චින්තන පර්ෂදයක් වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව පසුගිය වසරේ සියලු බදුවලින් සියයට 84ක් ම සමන්විත වූයේ ප්‍රධාන වසයෙන් වැඩ කරන ජනයා විසින් ගෙවනු ලබන වක්‍ර බදුවලිනි.

ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ බුද්ධි අංශයේ ඒකකයක් ස්ථාපනය කිරීම ද ඇතුලු ව, කුඩා ව්‍යාපාර, ස්වයං-රැකියා කරන්නන් හා වැඩ කරන ජනගහනයේ අනෙකුත් කොටස් විසින් ගෙවනු ලබන බදු ඉහල දැමීමට ආන්ඩුව ක්‍රියා කරනු ඇතැයි සමරවීර කීවේ ය. ඒ අතර ම, ඩොලර් මිලියන 100ට හා බිලියන 1ට වැඩි ආයෝජන සහිත ධනවත් ආයෝජකයන්ට විස්තෘත බදු සහන ලබා දෙන බව ඔහු නිවේදනය කලේ ය.

2019 සඳහා ආන්ඩුවේ තක්සේරුගත සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් ටි්‍රලියන 2.4ක් ද සමස්ත වියදම රුපියල් ටි්‍රලියන 4.6ක් ද වෙද්දී ය. වැය හිඟය රුපියල් ටි්‍රලියන 2.2ක් පමන වෙතැයි අපේක්ෂිත ය. සමස්ත හිඟය ම පාහේ පියවා ගනු ලබන්නේ නයවලිනි.

මේ වසරට නියමිත නියමිත නය ගෙවීම් සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 5.9 උපයා ගැනීමට මාර්තු 7දා මහ බැංකුව ඩොලර් බිලියන 2.4ක ජාත්‍යන්තර බැඳුම්කර වෙන්දේසියක් සිදු කලේ ය. ජනවාරියේ දී ආන්ඩුව ඩොලර් බිලියන 1ක නයක් ගෙවූ අතර අප්‍රේල් වන විට ඩොලර් බිලියන 2.4ක් ගෙවීමට නියමිත ය. මෙම ගනන් හිලවු ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය මුහුන දෙන ආර්ථික අර්බුදයේ ගැඹුර පෙන්වා දෙයි.

2019 අයවැය සන්නද්ධ හමුදාවන්ට හා පොලීසියට රුපියල් බිලියන 393ක් වෙන් කල නමුත් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කලේ පිලිවෙලින් රුපියල් බිලියන 187ක් හා 105කි.

සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් කරන පිරිවැය පසුගිය වසරේ පිරිවැයට සමාන වන අතර, එම ක්ෂේත්‍රවල ඒකාබද්ධ වෙන් කිරීම් ආරක්ෂාව හා පොලීසිය වෙනුවෙන් වෙන් කර ඇති මුදලට වඩා රුපියල් බිලියන 100කින් අඩු ය. කම්කරුවන්, දුගීන් හා ශිෂ්‍යයන්ගේ විරෝධතාවන් මැඩීමට ආන්ඩුව ආරක්ෂක හමුදාවන් හා පොලීසිය මුදා හරියි.

තවදුර සහන ඉල්ලමින් මහ ව්‍යාපාරිකය අයවැයට ප්‍රතිචාර දැක්වී ය. අයවැය “යථාර්ථවාදී” යයි කියූ ලංකා වානිජ මන්ඩලය, රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව අසමත් වීම ගැන කනස්සල්ල පලකලේ ය. පසුගිය වසරේ සියයට 3ක වර්ධන රේට්ටුව පිලිබඳ ව උත්සුකතාවන් පලකල එය 2019 සඳහා වර්ධන තක්සේරුව “ව්‍යාපාර සඳහා හොඳ වාතාවරනයක් නො වන” බව කීවේ ය.

කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එජාප ආන්ඩුව එල්ල කරන පලල් පරිමාන ප්‍රහාරයන් සමග වසර හතරක් තිස්සේ ඒකාබද්ධ සිටි ජනාධිපති සිරිසේන කප්පාදුව දිගට ම පැවතිය යුතු බව පැහැදිලි කලේ ය.

යෝජිත අයවැය පිලිබඳ ව සඳහන් කරමින් ඔහු කීවේ: “රට දරුනු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින නිසා සියලු ඉල්ලීම් ඉටුකිරීමේ හැකියාවක් නැහැ. දීමනා හා පහසුකම් ඉල්ලමින් විරෝධතා, වැඩ වර්ජන, පෙලපාලි පැවැත්වීම ආර්ථිකය තවදුර දුර්වල කිරීම පමනක් බව අප සියලු දෙනා අවබෝධ කරගත යුතු ය.”

“ස්ථාවර ආන්ඩුවක්” සඳහා නරුම ලෙස කැඳවුම් කරන සිරිසේන, රාජපක්ෂ පාර්ශවයේ සහයෝගය සහිත ව යලිත් ජනාධිපති ධුරයට පත්වීමට අපේක්ෂා කරයි. එහෙත්, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන මිලිටරියට ආයාචනා කරමින් විවිධ අන්ත-දක්ෂිනාංශික සිංහල ස්වෝත්තමවාදී සංවිධාන සමග පෙල ගැසෙමින් සිටී. එහි ප්‍රකාශිත න්‍යාය පත්‍රය වන්නේ තමන්ගේ ම පක්ෂයේ “ශක්තිමත් ආන්ඩුවක්” පිහිටුවීම යි.

දැවැන්ත නය බරකට හා වැඩෙන මහජන විරෝධයට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ සියලු කන්ඩායම් වැඩෙන ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පන්තිය හා දුගීන් මත පැටවීමට පොලිස්-රාජ්‍ය පාලන ක්‍රමයක් සූදානම් කරමින් සිටිති.

Share this article: