වතු කම්කරු සමුලුවට සහභාගි වී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්න!

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) වෙතින් ශිෂ්‍යයන්ට කරන කැඳවුමක්, 2019 මාර්තු 12

ඇබොට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් මාර්තු මස 17 දා හැටන් නගර ශාලාවේ දී පවත්වනු ලබන වතු කම්කරු සමුලුවට සහභාගි වන ලෙස සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටී.

මෙම සමුලුව පවත්වන්නේ ලක්ෂයකට අධික වතු කම්කරුවන් පසුගිය දෙසැම්බර් මාසයේ දින නවයක් අඛන්ඩව යෙදීගත් වර්ජනය වෘත්තීය සමිති විසින් පාවා දීමෙන් පසු එම අරගලයේ වැදගත් දේශපාලන පාඩම් මෙන්ම, වැටුප්, ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් දිනාගැනීමේ ඉදිරිදර්ශනය පිලිබඳව සාකච්ඡා කිරීම පිනිසය. සමුලුවේ තේමාව “වතු කම්කරු අරගලයේ පාඩම් හා වැටුප් ද සමාජ අයිතීන් ද දිනාගැනීමේ ඉදිරි මාවත” යන්නයි.

අවශේෂ කම්කරුවන්ට සහ ගොවියන්ට මෙන්ම අධ්‍යාපන කප්පාදුවට එරෙහිව අඛන්ඩව අරගලයේ නිරත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එම පාඩම් එක සේ වැදගත් වේ. ශිෂ්‍යයන්ට තම අධ්‍යාපන අයිතීන් දිනා ගත හැක්කේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්වී ගැනීමෙන් පමනි.

ධනේශ්වර ක්‍රමයේ ගෝලීය පරිමාන බිඳවැටීමක් යටතේ අප අත්දකිමින් සිටින්නේ පන්ති අරගලයන්ගේ නව අවධියක ආරම්භයයි. ලංකාවේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සමාන්තරව, වැටුප් කප්පාදුවට හා සේවක දොට්ට දැමීම්වලට එරෙහිව උතුරු ඇමරිකාවේ මෝටර් රථ කම්කරු අරගලය, ගෝලීය පරිමාන පාසල් ගුරුවරුන්ගේ අරගල, කප්පාදුවට හා අසමානතාවයට එරෙහි ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය වැනි බලගතු පන්ති අරගල මාලාවක් ජාත්‍යන්තරව පැන නැගී තිබේ.

දශක හතරකට වැඩි කාලයක් ධනපති ක්‍රමයේ ප්‍රහාර කම්කරු පන්තිය මත දිගේලි කිරීමට ආන්ඩු සහ හාම්පුතුන් සමග එක්ව ක්‍රියාකල වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක් ලෙස මෙම පන්ති සටන් පුපුරා යෑම සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවයක අවශ්‍යතාවය කම්කරු පන්තිය විසින් දැක ගැනීම මෙම අරගලවල පවත්නා විශේෂ ලක්ෂනයන් ය.

ඒ සමගම, එම අරගල ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත සංවිධානය කිරීම සඳහා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂය විසින් ලෝක සමාජවාදී වෙබි අඩවිය කේන්ද්‍ර කර ගනිමින් ගෙනයන අරගලයට කම්කරුවන්ගෙන් ලැබෙන අනුකූලතාවය ද වැඩෙන්නට පටන් ගෙන ඇත.

සසප මූලිකත්වයෙන් ඇබොට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව පසුගිය දෙසැම්බරයේදී පිහිටුවන ලද්දේ, වෘත්තීය සමිති විසින් රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා දින නවයක් තිස්සේ ගෙනගිය වැඩවර්ජනය පාවාදීමෙන් අනතුරුවය.

ජෙනරල් මෝටර්ස් සමාගම විසින් 15,000 ක් කම්කරුවන් දොට්ට දැමීමට එරෙහි කම්කරු විරෝධතාවන් මධ්‍යයේ, එක්සත් ජනපදයේ සසප එම දොට්ට දැමීමට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට මූලිකත්වය ගත්තේය. මෙම ප්‍රහාර කම්කරුවන් මත දිගේලි කිරීමට යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) වෘත්තිය සමිතිය, ජෙනරල් මෝටර්ස් සමාගම සමග ඍජුව සහයෝගීව සිටී.

ඇබොට්ස්ලි වත්තේ ක්‍රියාකාරී කමිටුවට තවත් වතුවල සහ අවශේෂ කම්කරු පන්තියේ සහාය ගොනු වෙමින් තිබෙන්නාක් මෙන්ම ඇමරිකාවේ මෝටර් රථ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවට මෙක්සිකෝව, කැනඩාව ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය ගොනු වෙමින් තිබේ.

ක්‍රියාකාරී කමිටු, වෘත්තීය සමිතිවලට ආදේශකයක් නොවේ. කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වා ගනිමින් එම පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය යොදා කම්කරු පන්තික රාජ්‍ය බලය ස්ථාපිත කිරීමටත්, එමගින් මහා පරිමාන බැංකු, ෆැක්ටරි සහ වතු, කම්කරු පාලනය යටතේ ජනසතු කොට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ සමස්ත ආර්ථික සහ සමාජ ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ ඉදිරිදර්ශනය මත මෙම ක්‍රියාකාරී කමිටු පාදක වෙයි.

අතලොස්සකගේ ලාභ අවශ්‍යතා මත පාදක වූ ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා ආරක්ෂා කරමින් ඒ යටතේ සහන දිනා ගැනීමේ බංකොලොත් ඉදිරිදර්ශනයෙන් මෙහෙයවෙන වෘත්තීය සමිති, ධනවාදයේ අර්බූදයේ සියලු බර කම්කරු පන්තිය මත පටවන ධනපති ආන්ඩුවල සහ මහා සමාගම්වල උපකරන බවට පරිවර්තනය වී ඇත.

ලංකාවේ ශිෂ්‍ය විරෝධතා මුදුනට පැන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) විරෝධතා දේශපාලනය ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ පෙල ගැස්වීමට සතුරු ය. එය ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ මෙහෙයවෙයි.

පසුගිය දශක කිහිපය පුරා ලංකාවේ මහජන අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි අංශවල සිදු කෙරෙන දැවැන්ත කප්පාදු හා පෞද්ගලීකරනය මගින් පැහැදිලිව පෙන්නුම් කර ඇත්තේ “ශිෂ්‍ය සටන්“ උත්කර්ෂයට නංවන අවිශිබමය, ඔවුන් වටා රැලි වී සිටින වෘත්තීය සමිතිවල සහ ව්‍යාජ-වාම පක්ෂවල විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවයයි.

ශිෂ්‍යයන් ට සහ ගම්බද දූගීන්ට නායකත්වය දිය හැක්කේ ධනේශ්වර සමාජයේ එකම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියට පමනි. නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහිව සටන් වදින ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ පෙලගැසිය යුත්තේ එබැවිනි.

වතු කම්කරු අරගල මැදට පැන ගත් “1000 ව්‍යාපාරය” වනාහි, පෙසප හා අවිශිබමය ඇතුලු තවත් ව්‍යාජ-වාම සංවිධාන විසින් ගොඩනැගූ සංවිධානයකි. මේ වසරේ එලැඹෙන මැතිවරනවලට ඉදිරිපත් වන ධනපති පක්ෂවලට බලපෑම් දැමීමට “පලල් පෙරමුනක්“ ගොඩනැගීම කම්කරු වැටුප දහසක් කර ගැනීමේ “හොඳම” වැඩපිලිවෙල බව පෙසප ඇතුලු “1000” ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

ධනපති ආන්ඩුවල ඇමති ධූර දරමින්, කම්කරුවන්ට හොර රහසේ හාම්පුතුන් සමග ඇතිකර ගන්නා ගිවිසුම් මගින් ශ්‍රම සූරාකෑම වේගවත් කිරීමේ අන්ත ප්‍රතිගාමී භූමිකාවක යෙදී සිටින වතු වෘත්තීය සමිතිවල වැඩපිලිවෙලින්, “1000 ව්‍යාපාරයේ” වැඩපිලිවෙල වෙනස් නොවේ.

ලොව පුරා මෙවැනි මධ්‍යම පන්තික සංවිධාන, ගැඹුරු වෙමින් පවත්නා ධනවාදයේ ගෝලීය අර්බූදය හා ඉන් අභිමුඛ කෙරී ඇති අන්තරායන් කම්කරු පන්තියෙන් සහ තරුනයන්ගෙන් වසන් කරයි. ගෝලීයව පහල යන පාරිභෝගික ඉල්ලුම හා කෙන්යාව ඉන්දියාව හා චීනය වැනි තේ කර්මාන්තයේ යෙදෙන රටවලින් ලංකාවේ තේ සමාගම්වලට එල්ල වී ඇති තරගකාරී අභියෝගය හමුවේ වතු හාම්පුතුන්ගේ එල්ලය වී ඇත්තේ ශ්‍රම සූරාකෑම තවතවත් තීව්‍ර කිරීමයි.

මීලග මැතිවරනයකින් කවර ධනපති ආන්ඩුවක් බලයට පත් වූවද එහි එල්ලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත කම්කරු පන්තියේ සියලු සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අතුගා දැමීමයි. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට හතුරු පෙසප ඇතුලු ව්‍යාජ-වම්මු විසින් අටවනු ලබන්නේ ධනපති ආන්ඩු පිටුපස කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් ගාල් කිරීමේ මෙවැනි උගුල් ය.

සමස්ත කම්කරු පීඩිත මහජනයා ඉදිරියේ ඇති අන්තරායන් පැහැදිලි කරමින් කම්කරු පන්තියට සමාජවාදී ඉදිරිදර්ශනයේ පවත්නා ශක්‍යතාව පැහැදිලි කෙරෙන සහ ඒ පිලිබඳව සාකච්ඡා කෙරෙන මෙම කම්කරු සමුලුවට සහභාගීවන්නැයි අපි සියලු හිතන මතන ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: