ජවිපෙ “අලුත් වැඩපිලිවෙල”: ධනපති ක්‍රමය පිරියම් කර පවත්වා ගැනීමේ ප්‍රතිඥාවක්

කේ. රත්නායක විසිනි, 2019 මාර්තු 14

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පුරසාරම් දෙඩවූ “අලුත් වැඩපිලිවෙල” පෙබරවාරි මාසයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී දොරට වඩම්මන ලදී. එම ක්‍රියා මාර්ගය වනාහී ගෝලීය ධනවාදයේ බිඳවැටීම තුල අර්බුදයේ ගිලී ඇති ලංකාවේ ලාභ පද්ධතිය ද කුනුවී ඇති ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ද ශුද්ධ කර පිරියම් දමා පවත්වා ගෙන යන බවට දෙන ලද ප්‍රතිඥාවකි.

ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරන ලද්දේ ජවිපෙ නොවේ. ඊට සහාය දීම සඳහා සංවිධානය කෙරී ඇති “ජාතික විද්වත් සභාව” (ජාවිස) නම්වූ කන්ඩායමකි. එය සමන්විත වී ඇත්තේ ශාස්ත්‍රාලිකයන්, වෘත්තිකයන් හා කලාකරුවන් පිරිසකගෙනි. ඔවුන් ධනපති සමාජය තුල ඉහලට නැගීම සඳහා අපේක්ෂාවන්ගෙන් නලියන ඉහල මධ්‍යම පන්තික ස්ථරයක නියෝජිතයන් කොටසකි.

ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව සිටින ජවිපෙ බුද්ධිමතුන් ලෙසින් වැජඹෙන කන්ඩායමක් මගින් වැඩපිලිවෙල ඉදිරිපත් කර ගැනීමෙන් තැත් කරන්නේ සිය අපකීර්තිමත් වාර්තාවට පිරුවටක් පොරවා ගැනීමට යි.

ක්‍රියා මාර්ගය නම් කර ඇත්තේ, ජවිපෙ සහ ජාවිස හි අරටුවට ම ජාතිකවාදී දැක්මට ගැලපෙන පරිදි, “ගොඩනගමු ශ්‍රී ලංකාව” යන මාතෘකාවකිනි. පෙබරවාරි 19 දා සුගතදාස ක්‍රීඩාංගනයට රැස් කෙරුනු කීප දහසක මධ්‍යම පන්තික ශ්‍රාවකයකට නැටුම් ගැයුම් මධ්‍යයේ එය ඉදිරිපත් කෙරුනි. පැය තුනක් තිස්සේ අයිටීඑන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවෙන් සජීවීව රැස්වීම විකාශනය කිරීම සඳහා ලක්ෂ ගනන් මුදල් වියදම් කිරීමට මෙම සංවිධානවලට මොනම ප්‍රශ්නයක් වත් නොතිබුනේ ඒවා පුම්බා තැබීමට සල්ලිකාරයන් පිරිසක් පිටුපසින් සිටින බැවිනි.

ජාවිස ක්‍රියාකාරීන් වන චන්දන අබේරත්න, ලියනගේ අමරකීර්ති, ප්‍රභා මනුරත්න, චන්දන අලුත්ගේ, හරිනි අමරසූරිය සහ නිර්මාල් රංජිත් දේවසිරි ඇතුලු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා නීතිඥ අශෝක් පීරිස් ඇතුලු වෘත්තිකයන් දේශපාලන පිටියේ ධනපති පක්ෂ සමග පෙලගැසීගත් වාර්තාවක් සහිත පිරිසකි. ජවිපෙ දීර්ඝ කාලීන ඉදිරිපෙල සහයෙකු වන ජාවිස සභාපති මහාචාර්ය චන්දන අබේරත්න, ජවිපෙ විසින් වර්ගවාදී යුද්ධයට තල්ලුව දීමට ඇටවූ එවක විමල් වීරවංශ නායකත්වය දුන් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ ද නායකයෙකු විය.

මෙම පිරිස 2015 ජනාධිපතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට පෙරමුන ගත්හ. ඔවුන්ගේ සටන්පාඨය වූයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයට එරෙහිව සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ලවා “යහපාලනය” පිහිටුවීම යි.

අවුරුදු හතරකට පසු මෙම කන්ඩායම, සිරිසේනට හා වික්‍රමසිංහට දෙස්දෙවොල් කියමින්, ජාවිස සංවිධානය කර තානය ද වෙනස් කර ගෙන ඇත. දැන් ඔවුන්ගේ සටන්පාඨය “ජනතා පාලනය” පිහිටුවීම යන තවත් ප්‍රෝඩාවකි. එම ඊනියා ජනතා පාලනය ජවිපෙ මගින් පිහිටුවා ගැනීමට වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත.

අබේරත්න මුලින්ම කතා කරමින් ප්‍රකාශ කලේ, දශක හතක පාලනයෙන් ලංකාව වෙලාගෙන ඇති “දුක්ඛ දෝමනස්සයන්ගෙන්” මුදා ගෙන රට හරිමගට ගෙන ඒම සංවිධානයේ අරමුන බවයි. විද්වත් කුහකත්වය නම් අබේරත්න හෝ අනෙකුන් “දුක්ඛ දෝමනස්සයන්” ඇති කිරීමට ධනපති පක්ෂ සමග එක්ව තමන් ද ජවිපෙ ද ඉටුකල භූමිකාව ගැන වචනයක් වත් කතා නො කිරීමයි.

ජාවිස ජාතිකවාදී වැඩපිලිවෙල

වැඩපිලිවෙල “සබුද්ධික ශ්‍රී ලංකාවක්, සංතෘප්තිමත් ශ්‍රී ලංකාවක්, පවිත්‍ර ශ්‍රී ලංකාවක්, කාර්යක්ෂම ශ්‍රී ලංකාවක්, නොසැලෙන ශ්‍රී ලංකාවක්, ආචාරධාර්මික ශ්‍රී ලංකාවක්” යනුවෙන් සය වැදෑරුම් ව පෙල ගස්වා ඇත.

ආටෝප වචනවලින් විස්තර කෙරුනු පිටු සියයක් පමන වන ලියවිල්ල වැඩ කරන ජනතාව දුගීන් හා පීඩිතයන් මුහුන දෙන සැබෑ ප්‍රශ්නවල මූලයන්ගෙන් ඇස් ඉවතට යොමු කිරීමට හිතාමතාම පිලියල කෙරුනු එකකි. ලංකාවේ අර්බුදය ඔවුන් සිඳුවා ඇත්තේ අශීලාචාර, දූෂිත, චෞර හා තක්තඩි පාලකයන්ගේ පාලනයක ප්‍රතිඵලයක් ලෙස ය.

පාලකයන් මේ දුර්ගුනාංග වලින් කුනු වුවන් බවට සැක නැත. එහෙත් ඒවා වනාහි, ඔවුන් නියෝජනය කරන ධනපති ක්‍රමයේ දිරාපත් වීමේ ප්‍රකාශනයන් විනා පුද්ගලික ප්‍රශ්න නොවේ.

ලියවිල්ලේ පූර්විකාව සඳහන් කර ඇත්තේ, “පවත්නා නව ලිබරල් වෙලඳ ආර්ථිකය හා එහි අමානුෂීය බලපෑම අභිභවනය කිරීම ඉලක්ක කොට ගත් සාමාජීය චින්තනයකින්” සිය ප්‍රතිපත්ති පෝෂනය වී ඇති බව යි. ප්‍රතිපත්ති සකස් කිරීමේදී, “මෙතෙක් මෙරට ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති රාමු සේම ජාත්‍යන්තර ප්‍රතිපත්ති එලඹුම්” සැලකිල්ලට ගෙන “ධනාත්මක දේවල් උකහා ගනිමින්” ක්‍රියා කල බව එහි කතෲන් සඳහන් කර ඇත. ලියවිල්ල අවසන් කරන්නේ “යහපත් සමාජ පැවැත්මක අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස එම සමාජයේ ආචාරධාර්මික බව වැදගත් තැනක් ගනී” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

මෙම පියුරිටන් වර්ගයේ දේශනයන් ගෙන් කියැවෙන්නේ සමාජයේ සිටින සියලු දෙනා ශික්ෂාපද පිලිගෙන ක්‍රියාකල කල්හි එය යහපත් සමාජයක් ම වන බවයි.

ආවරනය කෙරී ඇත්තේ මෙරට පවතින්නේ ගෝලීය ධනවාදයේ කොටසක් වූ ධනවාදී සමාජයක් බවත් එහි දශක හතක පරිහානිය ධනපති පන්ති පාලනයේ පරිහානිය පෙන්නුම් කරන බවත් ය. ලියවිල්ලේ උඩ සිට පහලට ධනපති පන්තිය හා කම්කරු පන්තිය යන වචන සඳහන් නොවීම පුදුමක් නොවේ. ජනතාවාදී පාලනය ඇති කරන්නට යන්නේ ධනපති පන්තියේ සිට කම්කරු පන්තිය දක්වා සියලු කොටස් එකතු කර ගෙන ය. කුමන නමක් දමන්නට හැදුවත් එය ධනපති පන්ති පාලනයම ය.

නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවල “අමානුෂික බලපෑම” ඉවත් කර ගත් විට ප්‍රශ්න විසඳා ගත හැකිය. මෙය, රාජ්‍යය ද මැදිහත් කරගෙන ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලකට මාරුවීමෙන් නව ලිබරල් ප්‍රතිපත්ති මගින් ඇතිකෙරෙන විනාශකාරී තත්වය වලක්වා ගතහැකි බවට තොරොම්බල් කරන මාහාචාර්ය ඩේවිඩ් හාවි සහ නයෝමි ක්ලේන් ආදී ජාත්‍යන්තරව ම මතුවී ඇති ධනේශ්වර බුද්ධිමතුන් කන්ඩායමක් පලකරන අදහස්වල ප්‍රතිරාවයයි.

එහෙත්, සමාජ අයිතීන් උදුරා ගැනීම ද ඊට එරෙහිව පැනනගින ප්‍රතිරෝධයන් තලා දැමීම සඳහා මුර්ග මර්දනය මුදා හැරීම ද ලාබ පද්ධතිය අර්බුදයට දක්වා ඇති ප්‍රතිචාරයකි.

එක්සත් ජනපදයෙන් පටන්ගෙන, ප්‍රධාන ධනපති රටවල් හරහා ලෝකයම අලලා ගත් 2008 මූල්‍ය බිඳ වැටීම එලඹවා ඇත්තේ ලෝක ධනවාදයේ බිඳ වැටීමක නව කාල පරිච්චේදයකි. අර්බුදයේ කේන්ද්‍රයේ ම සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ලෝක ආධිපත්‍යය සඳහා යුද සූදානමක යෙදී සිටීම ද අවශේෂ බලයන් ද සිය ආධිපත්‍ය සඳහා වේගවත් කරන යුද සූදානම ද පෙන්නුම් කරන්නේ ලෝක ධනවාදයට දිය හැක්කේ සමාජ අසමානතාවය, ඒකාධිපති හා ෆැසිස්ට් පාලනයන් සහ යුද්ධය ම පමනක් බවයි.

ජාත්‍යන්තරව ම කම්කරු පන්ති අරගලයේ නව පුනර්ජීවනයක කාල පරිච්චේදයක් වර්ධනය වෙමින් පවතින්නේ පාලක පන්තීන් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් උදුරාගනිමින් ගෙනයන ප්‍රහාරයට එරෙහිවයි.

ජවිපෙ විසින් ජාවිස පෙරටුකරගෙන සිය වැඩ පිලිවෙල දියත් කර ඇත්තේ මෙම පන්ති පුනර්ජීවනය ලංකාව තුල දිග හැරීමේ ද ගම්බද හා නගරබද දුගීන්ගේ පෙරලිකාරිත්වය ද වර්ධනය වන කොන්දේසි තුල වීම අහම්බයක් නොවේ.

මහ ජනතාවන්ට මොවුන් කියන්නේ මෙයයි: රට තුල හා රට වටා ඇති සම්පත් සියල්ල ප්‍රයෝජනයට ගනිමින් ගෝලීය තාක්ෂනයේ හා විදේශ ආයෝජනයන්ගේ ද පිහිට ලබාගෙන අර්බුදයෙන් ගොඩ ඒමේ ජාතිකවාදී මාවතක් ලංකාවට ඇත. අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ හා අවශේෂ අංශවල අර්බුද මගහරවාගෙන සමාජ සමානතාවය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරුනු සය වැදෑරුම් පෙලගැසීමෙන් සමෘද්ධිත් රටක් ගොඩනගා ගත හැකිය.

ධනපති ප්‍රභුව සමග සමාජ සමානතාවය ද, පොලිස් පාලනයකට ක්‍රියාකරන පාලක පන්තියක් සමග ප්‍රජාතන්ත්‍රවාදය ද ඇති කල නොහැකි බව ඔවුන් වංචාවෙන් වසා ඇත. එවෙනුවට, ශ්‍රම බලකායක් තැනීමට අධ්‍යාපනය සූදානම් කිරීම, කාර්යක්ෂමව සූරාකෑම තහවුරු කිරීමට රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම හා මහජනයා විනයගත කිරීමේ හා නීති ගරුක හා “ආචාර ධාර්මික” කිරීමේ වැදගත් කම අවධාරනය කෙරී ඇත. ප්‍රාග්ධනයේ අධිකාරය යටතේ විනය හා රෙගුලාසි ගත කෙරුනු පාලනයක් යනු අධිපතිවාදී පාලනයකි. මොවුන් පිඹුරුපත් සදානම් කරන්නේ එවන් පාලනයකට ය.

පවත්නා සමාජ ක්‍රමය තුල සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නවලට විසඳුමක් අත්කර ගත නොහැකි බව දසක හතකට අධික ලංකාවේ පන්ති පාලනය තුල ලංකාවේ කම්කරුවන් අත් දැක ඇත. මෙය සිය පන්ති සගයන් රටක් රටක් පාසා අත්දකින තත්වය මයි.

යුද්ධය, සමාජ අසමානතාවය, ෆැසිස්ට්වාදී හා ඒකාධිපති පාලනයන් කරා පාලක පන්තීන්ගේ විනාශකාරී හැරීම පෙරලා දැමිය හැක්කේ ඒවායේ මූලය වන ධනවාදය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය පිහිටුවීමෙනි.

ලංකාවේ කම්කරු පන්තියට විසඳුම ඇත්තේ මෙම ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම තුලය. කුමන ආකාරයක ජාතික වෙනස්කම් තිබුනත් ජාතිකවාදී විසඳුමක් නැත.

ජාවිස හා ජවිපෙ මැදිහත් වී සිටින්නේ, කම්කරු පන්තිය ධනේශ්වරයේ සෑම කන්ඩායමකින්ම දේශපාලනිකව ස්වාධීන කර අනිකුත් පීඩිත ජනකන්ඩායම්වල ද නායකත්වය ගෙන ධනවාදය පෙරලා දැමීමේ එවන් සටනකට ගෙන ඒම වැලැක්වීම සඳහා ය. ජාවිස තුල සංවිධානයවී සිටින පශ්චාත් නුතනවාදින් හා අවශේෂ ජාතිකවාදීන් සමාජවාදයට සටන් කිරීමට ඉඳුරාම සතුරු ය.

මධ්‍යම පන්තික කන්ඩායම්වල ක්‍රියා කලාපය

2015 දී යහපාලනය ඇති කිරීමේ නමින් මෙම ශාස්ත්‍රාලිකයන් හා වෘත්තිකයන් “සිවිල් සංවිධාන” අටවාගෙන කම්කරුවන් හා දුගීන් අතර රාජපක්ෂ පාලනය උත්සන්න කල වර්ගවාදී යුද්ධයෙන් ඇති කෙරුනු විනාශයන්ට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට හා සමාජ අයිතීන් කප්පාදුවට එරෙහිව වැඩුනු කෝපය සිරිසේන වටා ගොඩනැගුනු දක්ෂිනාංශික ව්‍යාපාරය තුලට හරවා යැවීමට මැදිහත් වූහ.

ඔවුන් එලෙස සැබැවින්ම සිදු කලේ, වොෂින්ටනය තම අධිපතිවාදී උවමනාකම්වලට චීනය යටත් කර ගැනීම සඳහා ගෙන යමින් සිටි මිලිටරි හා රාජ්‍ය තන්ත්‍රික ක්‍රියාවන් තුලට ලංකාව ඇතුලු කර ගැනීම සඳහා සිදුකල තන්ත්‍ර මාරුවකට හවුල්වීමයි. රාජපක්ෂ පාලනයට හා යුද්ධයට උදව් කල ඇමරිකාව ඔහු ඉවත් කිරීමේ මෙහෙයුමට කවරය සපයා ගත්තේ මානව හිමිකම් රැකීම හා යහපාලනය ඇතිකිරීමේ නමිනි. ජවිපෙ ද ඍජුව ඊට සහාය දුන්නේය.

ධනවාදයට ගැටගැසුනු ව්‍යාජ වම ද ඇතුලු මධ්‍යම පන්තික කන්ඩායම් ධනපති පන්ති පාලනය රැක ගැනීමට ක්‍රියාත්මක වූයේ එලෙස ය. වත්මන් ව්‍යාපාරයේ ප්‍රමුඛ උද්ඝෝෂිකාවක් වන ආචාර්ය හරිනි අමරසූරිය “සිවිල් සංවිධානවල” මෙම තීරනාත්මක ක්‍රියාකලාපය ගැන සවුත් ඒශියානිස්ට් කලාපයකට ලියූ ලිපියක මෙසේ සඳහන් කලාය: “2015, ශ්‍රී ලංකා දේශපාලනයේ නාටකාකාර වර්ෂයක් විය. අවුරුද්දේ මුල් අට මාසය තුල ජනධිපතිවරනයෙන් සහ මහා මැතිවරනයෙන් ජනාධිපතිවරයෙක් සහ නව ආන්ඩුවක් බලයට ආවේය. නව දේශපාලන පටිපාටිය බලයට ගෙන ආවේ, 1994 දේශපාලන පරිවර්තනය මතකයට නංවන ආකාරයෙන්, සිවිල් සමාජ කන්ඩායම් හා ක්‍රියාකාරීන් සමූහයකම ප්‍රවාහයක් මතිනි.”

අමරසූරියගේ සඳහන් කිරීම්වලින් පෙන්නුම් කෙරුනේ ලංකාවේ පන්ති පාලනය බරපතල අර්බුදයට ගිය අවස්ථා දෙකකදී ව්‍යාජ වම ඇතුලු දේශපාලනික ඉහල මධ්‍යම පන්තික කන්ඩායම් එය ආරක්ෂාකර දීම සඳහා මැදිහත්වූ ආකාරයයි. අද, පාලක ප්‍රභුවේ අර්බුදය වඩාත් උත්සන්න වී ඇති තත්වයක දේශපාලනිකව දුෂිත, ධනේශ්වරයේ අන්ඩක්වී ඇති ජවිපෙ, එහි කුනු හා ලේ සෝදා වඩම්මා ගැනීමට මොවුන් ක්‍රියා කරන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී ප්‍රහාරයකින් පන්ති පාලනය බේරා ගැනීම සඳහා ය.

ජවිපෙ වාර්තාව

තමන්ට සැපයෙන කඩතුරාවෙන් ප්‍රමුදිතව ජවිපෙ නායක දිසානායක සභාව ඇමතුවේ, රටේ විදේශ නය බර, මන්දපෝෂනය, සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රශ්න, අපරාධ මත්ද්‍රව්‍ය පිලිබඳ විස්තර ගෙනහැර දක්වමින් “අවුරුදු 71ක් අපේ රට පාලනය කල පාලකයන් මේ වනවිට අතිශයින්ම විනාශකාරී අන්තයක් කරා අපේ රට ගෙන ගොස් තිබෙනවා” යයි චෝදනා කලේය.

“මේ අනාරක්ෂිත රට අපි අනාගත පරපුරටත් උරුම කර දෙනවාද? මෙම ගමන් මාර්ගය වෙනස් කරනවාද? නැද්ද? මෙම සමාජ ක්‍රමය පොඩිපට්ටම් කර සමාජ සමානතාවය ඉහලින්ම ගරු කරන නව සමාජයක් අප බිහි කල යුතුයි.” ඔහු ගාම්භීර ලෙස කීවේය. ලෝකයේ නව ගමන් මගින් හුදකලා නොවී ලෝකයා ඉදිරියේ ලංකාවට “නව සන්නාමයක්” ලබාගත යුතු යයි ද දිසානායක කීවේය.

මෙම ප්‍රකාශ මහජනයා නොමග යැවීම සඳහා දොඩවන හිස් පුච්චානම් ය. එජාප ආන්ඩු අතින් ව්‍යසනයට ලක්වීමෙන් පසු 1994, පාලක ප්‍රභුවේ වාරුවෙන් යලි කරලියට ආ ජවිපෙ, එජාපය ද ඇතුලු සෑම ධනපති පක්ෂයක් සමගම සන්ධාන තනා ඇත. 2004-2005 චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවේ කොටස්කරුවන් ලෙස ජවිපෙ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දැමීමට සහයෝගය දුන්නේය. 1983 කොලඹ පාලක පන්තිය ආරම්භ කල දෙමල විරෝධී යුද්ධය 2009 මහා විනාශයකින් අවසන්වන තුරුම එහි පෙරමුනේම නොසැලෙන කසකරුවා වූයේ වර්ගවාදය කරපින්නා ගත් මෙම පක්ෂයයි. එජාප භීෂනයට මුහුන දෙමින්ම ජවිපෙ 1987-1989 කම්කරුවන් හා දේශපාලන විරුද්ධවාදීන් මරා දැමීමට ෆැසිස්ට් ප්‍රහාර එල්ල කලේය.

මේ සියල්ල මුදුනේ, ජවිපෙ 2015 තන්ත්‍ර මාරුවට හවුල්වෙමින් අධිරාජ්‍යවාදීන්ගේ කඳවුර සමග තම සබඳතා ගඹුරු කර ගත්තේය.

1960 ගනන් අග මාඕවාදය හා කස්ත්‍රෝවාදය, සිංහල දේශප්‍රේමය සමග කලතාගත් දේශපාලනයකින් ඇරඹු ජවිපෙ තර්කානුකුල ගමන එයයි. එහෙත් මාක්ස්වාදය හා සමාජවාදය අපකීර්තියට පත්කිරීම සඳහාත් කම්කරුවන් හා තරුනයන් නොමග යැවීම සඳහාත් එම වචන භාවිතා කිරීමේ තුච්ච ක්‍රියාවේ ද මේ සංවිධානය යෙදී සිටියි.

මෙවන් පක්ෂයක්, “සමාජ සමානතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය” ඉහලින්ම පිලිගත් පාලනයක් ඇතිකරන බවට දිවුරන විට මහා ජනතාව තරයේම ප්‍රවේසම් විය යුතුය. ජවිපෙ හා ජාවිස කම්කරු පන්තිය, දුගීන්ගේ ද නායකත්වය ගෙන සමාජවාදී විප්ලවවාදී අරගලයට එලඹීම වලක්වා ප්‍රතිවිප්ලවයට පාර කැපීමට සූදානම් වෙති.

කම්කරුවන් හා තරුනයන් ජවිපෙ හා ජාවිස ප්‍රතිගාමී සූදානම ප්‍රතික්ෂේප කරමින් සූදානම්විය යුත්තේ කුනුවන ධනේශ්වර පන්ති පාලනය පෙරලා දමා, ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස ලංකාවේ සමාජවාදී විප්ලවයට දේශපාලනිකව සූදානම් වීමයි. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත්කරන ඉදිරිදර්ශනය එයයි.

Share this article: