සේවක දඩයමට එරෙහි ඒටීජී කම්කරු අරගලය දෙමසකට ආසන්න වෙයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 මාර්තු 5

කටුනායක ඒටීජී සිලෝන් අත්වැසුම් නිෂ්පාදන සමාගමේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 05 දෙනෙකු දොට්ට දැමීමට එරෙහිව ඔවුන් යලි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලා කම්කරුවන් ගෙන යන වැඩ වර්ජනය මේ වන විට දින 50 ක් ඉක්මවා තිබේ.

කම්හල තුල පිහිටුවා ඇති නිදහස් වෙලඳ කලාප හා පොදු කම්කරු සංගමයේ (නිවෙකහාපොකස) ඒටීජී ශාඛාවේ ප්‍රධාන සංවිධායක, ලේකම් සහ සභාපති ඇතුලු 6 දෙනෙකු ජනවාරි 11 වෙනිදා දොට්ට දැමීය. ඔවුන් දොට්ට දමා ඇත්තේ වෘත්තීය සමිතිය පිහිටුවා දෙවසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩ සටහනක දැන්වීමක් ”අනවසරයෙන්” කම්හල තුල ප්‍රදර්ශනය කිරීම යන ව්‍යාජ චෝදනාවක් මතය.

කම්හල තුල පවතින රුදුරු ශ්‍රම සූරාකෑමේ කොන්දේසි වලට එරෙහිව කම්කරුවන් සංවිධානයවීම වලකාලීම මෙම දොට්ට දැමීමේ එල්ලය වේ. සමිතිය පිහිටුවීමෙන් පසු කම්කරුවන්ට එරෙහි මර්දනය තීව්‍ර කල ඒටීජී පාලකයන් විවිධ බොරු චෝදනා යටතේ කම්කරුවන්ට එරෙහි දඩයමක් දියත් කල අතර මීට පෙර ද කම්කරුවන් ගනනාවක් දොට්ට දමා ඇත. ජනවාරි 11 වෙනිදා දොට්ට දැමීමට එරෙහිව ක්ෂනිකව ක්‍රියාත්මක වූ ඒටීජී කම්කරුවන් සිය සහෝදර කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සඳහා සහ සංවිධානයවීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයට පිවිස ඇත.

එහෙත්, නිවෙකහාපොකස ඇන්ටන් මාකස් ඇතුලු නායකත්වය නිරතව සිටින්නේ කම්කරුවන්ගේ අරගලය හුදෙකලා කර පාවාදීමේ භුමිකාවක ය. ජනාධිපතිට, අගමැතිට හා ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතාවලට ඔවුන් ව කොටු කර ඇති අතර නිවෙක සහ කම්කරු පන්තියේ අවශේෂ කොටස් ඒටීජී කම්කරු අරගලය වටා බලමුලු ගැන්වීම සමිති නායකත්වය මග හැර ඇත.

ඒටීජී කම්කරුවන් ගේ ප්‍රශ්නයට මැදිහත් වී එයට විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති සහ අගමැති වෙත නිවෙකහාපොසේස විසින් කරන ලද ආයාචනා වලින් පලක් නො වූ තැන මාර්තු 1 වෙනිදා ආයෝජන මන්ඩලයේ කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත් වී ය.

එහිදී සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් ඇතුලු නියෝජිත කන්ඩායමක් ආයෝජන මන්ඩලයේ අධ්‍යක්ෂ හමු වූ නමුත් ප්‍රශ්නය සභාපතිට යොමුකර මාර්තු 5 වෙනිදා පිලිතුරක් ලබා දෙන බව ඔහු පවසා ඇත. එදිනට විසඳුමක් නො ලැබුනොත් පසුදින සිට විසඳුමක් ලැබෙන තෙක් ආයෝජන මන්ඩලයේ කාර්යාලය ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක් කරන බව මාකස් සඳහන් කලේ ය

ජනාධිපති, අගමැති ඇතුලු සමස්ත ධනපති පාලක පන්තියත්, ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයත් පෙනී සිටින්නේ ආයෝජකයන් සහ ධනපති මහ ව්‍යාපාරිකය වෙනුවෙන් මිස කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් නොවේ. ආයෝජකයන් දිරිගැන්වීම සඳහා කම්කරුවන්ගේ අයිතීන් මැඩලීම ආන්ඩුවේ සහ ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයේ පිලිවෙතයි.

බ්‍රිතාන්‍ය ආයෝජකයන් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන ඒටීජි සමාගමේ හිමිකරු වන ෆසාල් ආබ්දීන් අපනයන සංවර්ධන මංඩලයේ අධ්‍යක්ෂකයෙක් වන අතර ඔහුට අගමැති රනිල් වික්‍රමසිංහ හා විදේශ වෙලඳ ඇමති මලික් සමරවික්‍රම ඇතුලු පාලක පන්තියේ කොටස් සමග සමීප සම්බන්ධකම් ඇත. ආන්ඩුවේ සහ පොලීසියේ සහයෝගය ඇතිව වෘත්තීය සමිතිය අහෝසිකරන බවට සහ අවශ්‍යනම් වන්දියක් ගෙවා වර්ජනයේ යෙදී සිටින කම්කරුවන් සියලු දෙනාම දොට්ට දමන බවට ඔහු තර්ජනය කර ඇත.

කම්හල ඉදිරිපිට උද්ඝෝෂනය කිරීම සහ වැඩට එන අයට බාධා කිරීම තහනම් කරන වාරන නියෝගයක් වෘත්තීය සමිතියට විරුද්ධව ඒටීජී පාලකයන් විසින් ලබා ගෙන ඇති අතර මිනිස්බල (මෑන් පවර්) කම්කරුවන් 350 ක් පමන යොදාගෙන කම්හලේ නිෂ්පාදනය පවත්වාගෙන යමින් වර්ජනය බිඳීමේ දුෂ්ට ප්‍රයත්නයක ඔවුහු යෙදී සිටිති.

ආරක්ෂක අත්වැසුම් නිශ්පාදනය කරන ඒටීජී සිලෝන් කම්හලේ අඩු වැටුප් සහ අතිශය රුදුරු සේවා කොන්දේසි යටතේ වැඩ කිරීමට සිදුවී ඇති බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ. වැඩ ඉලක්කයන් නියම කර ඇත්තේ තත්පර ගනනට බව ඩිපින් අංශයේ කම්කරු කාන්තාවක් සඳහන් කලාය. “තප්පර 55 ක් ඇතුලත තුන් දෙනෙක් ලයින් එකේ එන ග්ලව්ස් 24 ක් ගලවලා තව 24 ක් අන්දන්න ඕනා. දවසකට අත්වැසුම් 7,000 ක් විතර ගලවනවා. වැඩි කාලයක් වැඩ කරන්නේ හිටගෙන. පහුගිය දවස් වල ඩිපින් අංශයට කම්කරුවෝ අඩු කෙරුව. අපි විරුද්ධවුනා. නමුත් පාලකයෝ ගනන් ගත්තේ නැහැ”.

අත්වැසුම් නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන හා දුෂ්කරම කාර්යයක් සිදු කෙරෙන ඩිපින් අංශයේ වැටුප් අනෙක් අංශවලටත් වඩා අඩු බව ඇය පැවසුවාය. එහි කම්කරුවෙකුගේ ආරම්භක මුලික වැටුප මසකට රුපියල් 19,000 කි. වසර පහක සේවා කාලයක් ඇති කම්කරුවෙකුට අතිකාල හා ඉරිදා දින සියල්ල වැඩ කලත් උපයා ගත හැකි මුලු මුදල රුපියල් 30,000 ට අඩු ය.

කම්කරුවන්ට එරෙහිව දරුනු මර්දනයක් කම්හල තුල පවත්වාගෙන යන බව ද ඇය සඳහන් කලාය: “ෆැක්ටරිය වහල් කඳවුරක් වගේ. කිසිම නිදහසක් නැහැ. කහ ඉරක් මත තරුන කම්කරුවෙක් හිටගෙන හිටියා කියලා සතියකට එයාගේ වැඩ තහනම් කලා. අපට අවශ්‍ය දවසට නිවාඩුවක් ගන්න බැහැ. නිවාඩු ඉල්ලුම්පත්‍ර ඉරල වීසි කරනවා. හැමදාම විනය පරීක්ෂන. අපි දිගටම වර්ජනයේ ඉන්නේ මේ මර්දනයට විරුද්ධව. දොට්ට දාලා ඉන්න පස් දෙනාට වන්දි දීලා ඉවත් කරන්න ඉඩ දුන්නොත් පාලකයන් තවත් ශක්තිමත් වෙනවා“.

”අපේ ශ්‍රමය විකුනලා උපාය ගත්තු දෙයක් මිසක් වෙන කිසිදෙයක් නැහැ. ධනපති පක්ෂවලින් අපිට ලැබිච්ච කිසි දෙයක් නැහැ“ යයි තවත් කම්කරුවෙක් පැවසුවේ ය. ඉහල යන බඩුමිල සමග සෞඛ්‍ය හා දරුවන්ගේ අධ්‍යාපන වියදම් ඉහල යෑමත් හේතුවෙන් තම වැටුප ජීවත්වීමට ප්‍රමානවත් නොවන බව ඔහු සඳහන් කලේ ය.

එකම සමාගම තුල වෘත්තීය සමිති විසින් කම්කරු පන්තිය භේද කොට කම්කරුවන්ගේ ශක්තිය හීන කිරීම සම්බන්ධව තවත් කම්කරුවෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි සමිති ක්‍රියාකාරීන් දොට්ට දැමීමට එරෙහිව සටන් කරනවා. ඒවගේම ඒටීජි සමාගමට අයිති කටුනායක ඔකුයුපේෂන් සහ හෑන්ඞ් කෙයා ෆැක්ටරි වලත් වෙනත් ෆැක්ටරිවලත් තියෙන්නේ දරුනු කොන්දේසි. දැන් නොරාටෙල් සමාගමේ කම්කරුවෝ වැටුප් වැඩි කරන්න කියලා උද්ඝෝෂනය කරනවා අසසේස යටතේ. නමුත් අපි කාටවත් ඒකාබද්ධව සටන් කරන්න බෑ. වෘත්තීය සමිති අපිව බෙදලා තියෙන නිසා“ යයි එක් කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය.

සමිති සහ කම්හල් මට්ටමින් කම්කරුවන් බෙදා වෙන් කිරීමෙන් වෘත්තීය සමිති විසින් ඔවුන්ගේ ශක්තිය දුර්වල කර ඇති බව ද ඒටීජී කම්කරුවෝ පැවසූහ. ”අපි සමිති ක්‍රියාකාරීන් දොට්ට දැමීමට විරුද්ධව සටන කරනවා. නමුත් වෘත්තීය සමිති සුදානම් නැහැ ඒටීජී සමාගමට අයිති ඒටීජී ඔකියුපේසන් සහ හෑන්ඞ් කෙයා ෆැක්ටරි වල අය අපේ අරගලයට සම්බන්ධ කරන්න. මේ ෆැක්ටරිවල තියෙන්නෙත් දරුනු සුරාකෑමක්. නිදහස් වෙලඳ කලාපයේ හැම ෆැක්ටරියක ම තත්වයේ වෙනසක් නැහැ. නොරාටෙල් ෆැක්ටරියේ කම්කරුවන් වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂනයක් කරනවා. ඒටීජී ඔකියුපේසන් සහ නොරාටෙල් එකේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමයේ සමිති. නමුත් නායකයෝ විරුද්ධයි ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරන්න.” කම්කරුවෙකු පැවසීය.

කියවන්න: කටුනායක ඒටීජී කම්කරු අරගලයට අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනු කරනු! (2019 පෙබරවාරි 9)

Share this article: