කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී සමාගම සොච්චම් වන්දියක් දී කම්කරුවන් සියගනනක් දොට්ට දමයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 මාර්තු 30

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) පිහිටි ඒටීජී සිලෝන් අත්වැසුම් නිෂ්පාදන සමාගම සේවක දඩයමට විරුද්ධව වර්ජනයේ නියුක්තවූ සේවකයන් සිය ගනනක් සීමිත වන්දියක් දී දොට්ට දැමීම අරඹා තිබේ.

සේවයෙන් පහ කෙරුනු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් යලි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලා කම්කරුවන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් දින 75 ට වැඩි කාලයක් ගෙන ගිය අඛන්ඩ වැඩ වර්ජනය ආන්ඩුවට, ඒටීජී පරිපාලනයට හා ආයෝජන මන්ඩලයට කන්නලව් කිරීමේ නිස්සාර විරෝධතා තුල හිර කල නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය (නිවෙකපොසේස) සමාගමේ මෙම දඩයමට මුලුමනින්ම වගකිවයුතුය.

ඒටීජි කම්කරුවන්ගේ අරගලය මුලුමනින්ම හුදකලා කල ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිවෙකපොසේස, වර්ජනයේ නිරත කම්කරුවන් වන්දි ලබා දී රැකියාවෙන් දොට්ට දැමීමටත් සමාගම තුල සූරාකෑම හා මර්දනය වැඩිදියුනු කිරීමටත් ඒටීජී පරිපාලනයට ඉඩ සලසා දී තිබේ.

දඩයමට ලක්ව සිටි නිවෙකපොසේස ඒටීජි ශාඛාවේ ප්‍රධාන සංවිධායක, සභාපති සහ ලේකම් ඇතුලු පස් දෙනා ද වන්දි ලබා ගැනීමට සූදානමින් සිටී. මේ සතියේ බදාදා වන විට මාස තුනකට ආසන්න කාලයක් වැටුප් නොලබා වර්ජනයේ සිටි කම්කරුවන් දෙසියයකට පමන වන්දි ලබා දී රැකියාවෙන් දොට්ට දමා තිබේ.

වර්ජනයේ නියලුන කම්කරුවන් කන්ඩායමක් නැවත රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටී. ඔවුන් යලි සේවයේ පිහිටුවන්නේද යන්න සැක සහිත ය. රැකියා දෙන්නේ නම් තම කොන්දේසිවලට යටත්වීම හා වර්ජනයේ යෙදීම ගැන සමාව ඉල්ලීට සමාගම ඔවුන්ට බල කරනු ඇත. එම කම්කරුවන්ට මාකස් කිසිදු ලජ්ජාවකින් තොරව ප්‍රකාශ කොට ඇත්තේ කම්කරුවන් රැකියාවට නොගෙන සිටීමට අයිතියක් ඒටීජී පරිපාලනයට නො මැති බවයි. දොට්ට දැමූ කම්කරුවන්ට නිවෙකය තුල හෝ අන් තැනෙක රැකියාවක් අලුතින් සොයා ගැනීමත් අතිශය දුෂ්කර කටයුත්තක් වනු ඇත.

ඒටීජී ධනපතියන් වසර ගනන් මෙම කම්කරුවන්ගේ ශ්‍රම ශක්තිය දරුනු ලෙස සූරාකෑමෙන් බිලියන ගනන් ලාභ පොදි ගසාගෙන ඇති නමුත් සමාගම කම්කරුවන්ට දෙන්නේ සොච්චම් වන්දියකි. කම්කරුවෙකුගේ මාසික මූලික වැටුප් දෙකක් වසරකට ලැබෙන අයුරින් වන්දිය ගනනය කොට තිබේ. වසර දහයක් සේවය කල කම්කරුවෙකුට පවා ලැබෙන්නේ රුපියල් ලක්ෂ පහක හයක පමන මුදලකි.

ඒටීජී සමාගම විසින් කම්කරුවන් දොට්ට දැමීම සිදු කලේ 2015 දී පිහිට වූ වෘත්තීය සමිතියට අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර ඒ පිලිබඳව ආයතනයේ දැන්වීම් පුවරුවේ ප්‍රචාරය කිරීම යන ව්‍යාජ චෝදනා මතයි. කම්හලේ අභ්‍යන්තරව සිදු කරා යයි කියන පරීක්ෂනයකින් පසු හය දෙනෙක් රැකියාවෙන් දොට්ට දැමුවේ ජනවාරි 11 දා ය. මෙය කම්කරුවන්ගේ සංවිධානයවීමේ අයිතිය බිඳීමේ ප්‍රකෝපකාරී ක්‍රියාවකි.

ඊට එරෙහිව පන්සියයක පමන කම්කරුවෝ එතැන් සිට අඛන්ඩ වර්ජනයක නිරත වූහ. සමාගමේ ප්‍රහාරයට රජයේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ, ආයෝජන මන්ඩලයේ හා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පූර්න පිටුබලය හිමි විය.

ඒටීජී සමාගමේ හිමිකරුවකු වන ෆසාල් ආබ්දීන් බ්‍රිතාන්‍යයේ සිය හවුල්කරුවන් සමග එක්ව ඒටීජී සිලෝන්, ඔකුයුපේෂන් සහ හෑන්ඩ්කෙයාර් නමින් කටුනායක ෆැක්ටරි තුනක් සහ වතුපිටිවල සහ කොග්ගල කර්මාන්ත ශාලා පවත්වාගෙන යන ලංකාවේ ප්‍රධාන පෙලේ ධනපතියෙකි. ආබ්දීන් ලංකා අපනයන සංවර්ධන මන්ඩලයේ අධ්‍යක්ෂකයෙකු ලෙස ද කටයුතු කරයි. අගමැති රනිල් වික්‍රමසිංහගේ, විදේශ වෙලඳ ඇමති මලික් සමරසිංහගේ හා පොලීසිවල සහයෝගය ඇති ආබ්දීන් සමිති අතුගා දමන බවට කම්කරුවන්ට තර්ජනය කර තිබුනි.

ඒටීජී සමාගමේ ප්‍රරහාරවලට එරෙහිව සටන්වැඳීමට නිදහස් වෙලඳ කලාපයේ හා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය ගොනු කරගත් ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම අත්‍යාවශ්‍ය කෙරී තිබුනි. නමුත් නිවෙකපොසේස, වර්ජනයට සහාය පතා කම්කරු පන්තියේ සෙසු කොටස් සංවිධානය කිරීම පමනක් නොව තම සංගමයේ අනෙකුත් සාමාජිකයන් මෙහෙයවීම පවා ප්‍රතික්ෂේප කර ඒටිජී වර්ජනය හුදකලා කලේ ය.

ඒටීජී ඔකුයුපේෂන් නමින් යාබද කම්හලේ වෘත්තිය සමිතියට නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) විසිනි. “ඒටීජී සිලෝන් කම්කරුවන්ගේ අරගලයට අපේ සහාය” යන බැනරයක් එල්ලු නමුත් අසසේස සිදු කලේ ද මාකස් අනුගමනය කල පිලිවෙතමයි. අසසේස එසේ සිදු කලේ ඔවුන්ගේ වෘත්තීය සමිතියක් තිබෙන නොරාටෙල් කම්හලේ කම්කරුවන් නිවෙක තුල ඒවනවිටත් වැටුප් වැඩි කිරීමේ අරගලයකට සම්බන්ධ වී සිටිය දී ය.

තරුන කම්කරුවන් වර්ජනය මැද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ගෙන් විමසුවේ කම්කරු කොමසාරිස්ගේ නියෝග නොතකා ඒටීජී පරිපාලනය කටයුතු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයයි. අධිකරනය ඇතුලු පවත්නා මෙවැනි ආයතනවලින් කම්කරුවන්ට සාධාරනයක් ඉටු නොවන්නේ දැයි ඔවුන් ප්‍රශ්න කලේ ය.

ධනපති රාජ්‍යයේ උපකරන වන කම්කරු කොමසාරිස් කාර්යාල, කම්කරු අධිකරන පමනක් නොව බලයට පත් සෑම ආන්ඩුවක් යටතේම කම්කරු පන්තිය මත ප්‍රහාර එල්ල කෙරී ඇත. එවන් ප්‍රහාර වඩා රුදුරු ලෙස ක්‍රියාවට දමන අගමැති රනිල් වික්‍රමසිංහට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා ආයෝජන මන්ඩලයට ගැටලුවට මැදහත් වෙන්නැයි කන්නලව් කරන ලිපි හා විරෝධතා පවත්වමින් නිවෙකපොසේස කම්කරුවන් දේශපාලනිකව අවමංගත කලේ ය.

කම්කරු කොමසාරිස්, ආයෝජන මන්ඩලය, අධිකරනය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ලොව පුරා ධනපති ආන්ඩු පෙනී සිටින්නේ මහා සමාගම්වල ධනපතියන්ගේ ලාභ පොදි තර කිරීමට මිස කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා නොවේ. ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලය මගින් පාලනය වන නිවෙකයේ බොහෝමයක් කර්මාන්ත ශාලා තුල වෘත්තීය සමිති පිහිටුවීම තහනම් කොට තිබේ.

ආයෝජන ආරක්ෂනය සඳහා රුදුරු තරගයක යෙදී සිටින ආසියාව පුරා සෑම රටකම ධනපති පාලක පන්තීන් සමග එකපෙලට සිටිමින් ලංකාවේ ආන්ඩුව කම්කරු පන්තිය දරුනු සූරාකෑමකට අවශ්‍ය කොන්දේසි නිර්මානය කර දෙමින් සිටී. කටුනායක හා බියගම වැනි වෙලද කලාප තුල දරිද්‍ර වැටුප් ලබන ස්ථීර කම්කරුවන් හා සමාන මට්ටමට කුලී පදනම මත බඳවා ගැනෙන මිනිස් බල කම්කරුවන් කම්හල් තුල දැන් වැඩෙහි යොදවා තිබේ.

ලෝක ධනේශ්වර අර්බූදය හමුවේ ආයෝජන හැකිලීම, ලොව පුරා පාරිභෝගික ඉල්ලුම පහල බැසීම හා ජාත්‍යන්තර තරගය හමුවේ අපනයන ආදායම් කඩාපාත් වීම මගින් උග්‍ර කෙරී ඇති ආන්ඩුවේ නය බරෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ආන්ඩුවට දී ඇති නියෝගය වන්නේ කම්කරු පන්තිය මත තව තවත් ප්‍රහාර තීව්‍ර කිරීමයි.

ඒටීජී කම්කරු දඩයම සම්බන්ධ කම්කරු කොමසාරිස් ජනරාල්ගේ යෝජනාව වුයේ දොට්ට දැමීමට ලක්වූ සමිති ක්‍රියා කාරීන් සමාව ගෙන සමාගමේ වැඩට යායුතු බවයි. ඇන්ටන් මාකස් එම යෝජනා එකහෙලා පිලිගත්තේ “කම්කරුවො වරදක් කරලා නැති වුනත් අපි ඒකට එකඟයි. මොකද අපිට ඕන දෙපාර්ශවයටම දිනන්න පුලුවන් සමතයකට එන්න” යන පිලිතුරකිනි.

මාකස් විධායක ධුර සමාජිකත්වයක් දරන ඉන්ඩස්ටි්‍ර ඕල් නැමැති යුරෝපා සංගමයට හා යුරෝපා ධනපති ආන්ඩුවලට බැඳීගත් වෘත්තීය සමිතියේ සැබෑ ස්වභාවය ද ඒටීජී වර්ජනයේ පාවාදීම මගින් යලි එලිමහනට පිවිස තිබේ. පලමුව, එහි මහ ලේකම් වෝල්ටර් සැන්චෙස් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සේවක දඩයම ඉවත් කරන්නැයි ඉල්ලීමක් කලේ ය. පසුව බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ඉදිරිපිට හුදකලා විරෝධතාවක් සංවිධානය කලේ ය. මේ සියල්ල කම්කරුවන් රැවටීමට ඇටවූ උප්පරවැට්ටි ය.

අතලොස්සකගේ ලාභ අවශ්‍යතා මත පදනම් ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතා ආරක්ෂා කරමින් ඒ යටතේ සහන දිනා ගැනීමේ ඉදිරිදර්ශනයෙන් මෙහෙය වන වෘත්තීය සමිති ධනවාදයේ අර්බූදයේ සියලු බර කම්කරු පන්තිය මත පටවන ධනපති රාජ්‍යයේ සහ මහා සමාගම්වල උපකරන බවට පත් වී තිබෙන පරිවර්තනය ලෝක පරිමානව සෑම රටක් තුලම සමිතිවල ක්‍රියා කලාපයයි. සැබෑ වසයෙන් නම් සමිති ක්‍රියා කරන්නේ දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ලාභ පොදී ගසා ගැනීමට කම්කරුවගේ අයිතීන් උදුරා දෙන සංස්ථා ලෙසය.

ඒටීජී කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය හා වෘත්තීය සමිතිවල පාවාදීම අවශේෂ කම්කරු පන්තියට විශාල පාඩමකි. ඒටීජී අරගලය මධ්‍යයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කල පරිදි කම්කරු පන්තියට එරෙහි මෙවැනි ප්‍රහාර පරාජය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් බිඳී ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තෝරා පත්කර ගැනෙන ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා අවශේෂ කම්කරුවන් සමග එකාබද්ධව අරගලය සංවිධානය කිරීමෙන් බවයි. මෙම අරගලය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ඉලක්ක කල යුතුය. .

Share this article: