ලිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී, ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය මැයෙන් පැවැත්වූ රැස්වීමට 200ට අධික පිරිසක් සහභාගී වේ

Two hundred attend meeting on the struggle against fascism at Leipzig Book Fair

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 26

“1930 ගනන්වල පාඩම් හා අන්ත දක්ෂිනාංශයට විරුද්ධ අද දිනයේ අරගලය” මැයෙන් 22දා පැවැත්වුන රැස්වීමට බලගතු සහයෝගයක් ලැබුනි. එය සංවිධානය කලේ මේරිංග් වර්ලැග් විසින් ලිප්සිග් පොත් දැක්මේදීය. එය පැවැත්වුන ලිප්සිග් යාබද ප්ලැග්විට්ස් එතරම් ජනප්‍රිය ස්ථානයක් නොවුන ද එයට 200ක් පමන පිරිසක් සහභාගී වූහ.

ලිප්සිග් රැස්වීමට පැමිනි අයගෙන් කොටසක්

රැස්වීම ආරම්භ කරමින් ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් උලී රිපට් මෙසේ පැවසීය. “මෑත වසරවලදී අපි අවස්ථා ගනනාවකදීම ඉතා සාර්ථක ලෙස රැස්වීම් පැවැත්වූ ලිප්සිග් විශ්ව විද්‍යාලයේ දී මෙවර ද රැස්වීම පැවැත්වීමට ලැබුනා නම් එය අපට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වීමට තිබුනි. එහෙත් දේශන ශාලා කිසිවක් හිස්ව නොපවතින බව පවසමින් විශ්ව විද්‍යාල බලධාරීහු ශාලාවක් සඳහා අප කල ඉල්ලීම ප්‍රතික්ෂේප කලහ.”

මෙය, විශ්වවිද්‍යලවල, දේශපාලන පක්ෂ හා රාජ්‍ය සංස්ථාපිතයේ බලගතු කොටස් අතර අන්ත දක්ෂිනාංශිකයන් වැජඹෙන්නේ කෙසේ ද යන්න පෙන්නුම් කරමින්, පැහැදිලිවම ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂයට යටත්වීමකට සමානය. “හරියටම අපගේ රැස්වීම එල්ල කරන්නේ මොවුන් වෙතය” යයි රිපට් පැවසීය.

මේරිංග් වර්ලැග්, අන්ත දක්ෂිනාංශයට එරෙහි අරගලය හා සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ වැදගත් කෘතීන් දෙකක් ප්‍රදර්ශනයට එක් කල අතර එය එහි නවකථා නොවන සංසදයකට ඉදිරිපත්කොට තිබුනි. සසප උප ජාතික ලේකම් ක්‍රිසේටෝෆ වෑන්ඩ්‍රියර්, Why are They Back? Historical Falsification, Political Conspiracy, and the Return of Fascism in Germany “ඔවුන් යලි පැමිනෙන්නේ මන් ද? ඓතිහාසික මුසාකරනය, දේශපාලන කුමන්ත්‍රනය හා ෆැසිස්ට්වාදය ජර්මනිය කරා යලි පැමිනීම” යන සිය කෘතිය ඉදිරිපත් කලේය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ හා ඇමරිකානු සසප ජාතික සභාපති ඬේවිඞ් නෝර්ත්, “අප රක්නා උරුමය: හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයට ප්‍රතිපදානයක්”යන ඔහුගේ බෙහෙවින් වැදගත් කෘතියේ නව සංස්කරනය ඉදිරිපත් කලේය.

මෙම කෘතීන් දෙක රැස්වීමේ හරි මැද පැවතුනි. රිපට් සිය ආරම්භක කථාවේදී ඒවායේ සමකාලීන වැදගත් කමත් ඒවා අතර පවතින අන්තර් සම්බන්ධතාවනුත් කෙරෙහි අවධානය යොමු කලේය. “මාක්ස්වාදයේ හා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ සවිස්තරාත්මක අවබෝධයක් නොමැතිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කල නොහැකිය. සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තිය බලමුලු ගන්වන්නේ නැතිව ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කල නොහැකියයි” ඔහු පැවසීය.

ක්‍රිසේටෝෆ වෑන්ඩ්‍රියර්

සිය කෘතියේ සමකාලීන අදාලත්වය පෙන්වා දෙමින් රැස්වීමේ ප්‍රධාන කථාව පවත්වන ලද්දේ වෑන්ඩියර් විසිනි. රාජ්‍ය සංස්ථාපිතය සමඟ සමීප සම්බන්ධතා සහිත පුලුල්ව පැතිරුනු නව නාසි ජාලයක් නොතිබෙන්නට, නවසීලන්තයේදී ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කල හැකි නොවීය. “එය නව නාසිවාදියෙකුගේ පුද්ගලික ක්‍රියාවක් වුනේ නැත. එය මූලික සමාජ ප්‍රවනතාවකි.” ඇමරිකාවේ, බ්‍රසීලයේ හා බොහෝ යුරෝපීය රටවල අන්ත දක්ෂිනාංශික ආන්ඩු ගැන ඔහු අවධානය යොමු කලේය. ජර්මනියේ අන්ත දක්ෂිනාංශික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නාසි අවධියේ ජර්මානු හමුදාව උත්කර්ෂයට නංවමින් හොලකෝස්ටය (නාසි අපරාධ) ගනනකට නොගත යුතු බව පවසති. “ඔවුන් යලි පැමිනෙන්නේ මන් ද? යන පොත සවිස්තරාත්මකව පෙන්වා දෙන්නේ, මෙම දක්ෂිනාංශික නැඹුරුව දෘෂ්ටිවාදාත්මකව හා දේශපාලනිකව සූදානම් කලේ කෙසේ ද යන්නයි.

ඓතිහාසික සංශෝධනවාදයේ මෙම ව්‍යායාමයෙහි මුඛ්‍ය ක්‍රියාකලාපයක් ඉටු කලේ, 2014 පෙබරවාරියේ ඩර් ස්පීගල්හි පලවූ ලිපියකි. එය ජර්මනියේ ඉතිහාසය යලි ලිවීමේ අවශ්‍යතාව මතු කලේය. බර්ලින්හි හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි විසින් රචනා කරන ලද ලිපියයෙහි අනෙකුත් දේ වලට අමතරව සඳහන් කර තිබුනේ, හිට්ලර් බිහිසුනු අයෙක් නොවූ බවත් හොලකෝස්ටය 1918 රුසියානු සිවිල් යුද්ධය අවධියේ සිදුවුන ඝාතනයන්ට සමානවූ බවත්ය. නාසි අපරාධ ගනනකට නොගත යුතු බව පැවසීම, සරනාගතයින්ට එරෙහි ප්‍රචන්ඩත්වය හා බියවැද්දීම් හුවා දැක්වීම නිසා, නව නාසිවාදීන් විසින් වීරයෙක් ලෙස බාබරොව්ස්කිට ප්‍රසංශා කරන ලදී.

බාබරොව්ස්කිගේ අන්ත දක්ෂිනාංශික ආස්ථානයන්ටත් වඩා සමහරවිට වැදගත් වන්නේ, ශාස්ත්‍රාලිකය, මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය ඒවාට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. 1980 ගනන් වල “ඉතිහාසඥයින්ගේ මතභේද” පැනැනැඟි අවධියේ මෙන් නොව, නාසි අපරාධ සමාන කිරීමට (සෝවියට් සංගමයට) එරෙහිව මෙම කොටස් අතරින් කිසිදු විරෝධයක් මතු නොවීය. ඊට පටහැනිව සසජාතශියට හා සසපට සෑම ප්‍රධාන දිනපතා පත්‍රයකින්ම පහර දෙන ලදී. මිලිටරිවාදයට, ජාතිකවාදයට හා ඒඑෆ්ඩීයට අපගේ මූලධර්මාත්මක විරුද්ධත්වය නිසා, මහා සභාගයේ (වත්මන් ජර්මානු ආන්ඩුවේ) ඔත්තු සේවය විසින් එය “වාම අන්තවාදය” ලෙස නම් කරමින් වාර්තාවක් නිකුත් කරන ලදී.

“අන්ත දක්ෂිනාංශයේ නැඟීම සූදානම් කරන ලද්දේ මෙයාකාරයෙනි” යයි වෑන්ඩ්‍රියර් පැවසීය. සියල්ල වෙලාගත් දක්ෂිනාංශික මාරුවේ ස්වභාවයත් එහි ජාත්‍යන්තර පරිමානයත් සලකුනු කරන්නේ, අති මූලික සමාජ ප්‍රවනතා දිගහැරෙමින් ඇතැයි යන කාරනයයි. ගැඹුරු වන ධනවාදයේ අර්බුදය තුල ඒවා මුල්බැස ඇත. “පාලක පන්තියේ ආසක්තයෝ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සමඟ නොපෑහෙති. සෑම රටකදීම ඔවුන් වැඩි වැඩියෙන් අත්තනෝමතික පාලන රූපයන් කරා හැරෙන්නේත් යලි වතාවක් ෆැසිස්ට්වාදීන්ට ප්‍රේක්ෂකත්වයක් හිමි වන්නේත් එබැවිනි.”

එහෙත් 1930 ගනන්වලදී මෙන් ෆැසිස්ට්වාදීහු මහජන ව්‍යාපාරයක් නොවෙති. ඔවුන් වෛරයට පත් සුලුතරයකි. ලොව පුරා ජනතාව වමට හැරෙමින් සිටින අතර පන්ති අරගලය උත්සන්න වෙමින් ඇත. මේ තතු තුල ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ, දේශපාලන ඉදිරිදර්ශනය හා නායකත්වයයි. “එක්කෝ කම්කරුවන් බලය සියතට ගෙන සමාජ සමානත්වය හා සහභාගිත්වය පදනම් කරගත් සමාජයක් නිර්මානය කල යුතුය, නැත්නම් පාලක පන්තිය යලි වතාවක් මානව සංහතිය මහා විනාශයක් තුලට දක්කනු ඇත” යයි වෑන්ඩියර් සිය කථාව නිමා කලේය.

වෑන්ඩ්‍රියර් ගේ ප්‍රකාශයන්හි තීරනාත්මක වැදගත්කම ගැන ඬේවිඞ් නෝර්ත් සඳහන් කලේය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ජාත්‍යන්තර විශ්ලේෂනයක සාරාංශයක් වන ඔහුගේ කෘතිය, අදාල වන්නේ ජර්මනියට පමනක් නොවේ. එය ලොව පුරා කම්කරුවන්ට ද තරුනයන්ට ද එකසේ අදාලය. “ඔවුන් යලි පැමිනෙන්නේ මන් ද?” යන කෘතියේ ඉංග්‍රීසි සංස්කරනය දියත් කිරීම මුල් කරගෙන වෑන්ඩියර්, ඇමරිකාවේ දේශන මාලාවකට අප්‍රේල් මාසයේදී සහභාගී වීමට නියමිත බව නිවේදනය කිරීම සතුටට කාරනයක් බව හෙතෙම පැවසීය.

මේ වසන්තයට, ජර්මනිය යලි එක්සත් කිරීමේ 30වන සංවත්සරය යෙදී තිබෙන බව ඔහු සිහිපත් කලේය. ඒ වන විට, සිදුවෙමින් තිබෙන පුලුල් දේශපාලන හා ඓතිහාසික ක්‍රියාදාමය වටහා ගැනීමට සමත් වුනේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනකි. “අප රක්නා උරුමය” කෘතිය ගෙන එන ප්‍රධාන තර්කය, සෝවියට් සංඟමයේ ද නැගෙනහිර යුරෝපයේ ද ජීඩීආර් හි ද (නැගෙනහිර ජර්මනිය) පාලන තන්ත්‍ර, ස්ටැලින්වාදී මිස සමාජවාදී නොවුන බවයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති පදනම් කෙරුනේ මාක්ස්වාදී හෝ සමාජවාදී මූලධර්ම මත නොවේ. එය පදනම් වුනේ, එම සංකල්පයන්හි ස්ටැලින්වාදී හා ජාතිකවාදී ප්‍රතිශේධනය මතය. කෘතිය ඉතා සුවිශේෂී පුරෝකථනයක් කලේය, එනම්, නැගෙනහිර යුරෝපයේ පැවති (ස්ටැලින්වාදී) පාලන තන්ත්‍ර, ට්‍රොට්ස්කි විසින් පෙන්වාදී තිබුනු ආකාරයට කම්කරු පන්තිය විසින් දේශපාලන විප්ලවයකින් පෙරලා නොදැමුවහොත්, විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කරනු ඇතැයි” යන්න බව නෝර්ත් පැවසීය.

දශක තුනකට වැඩි කාලයකට පසුව මේ වර්ධනයන්හි පූර්න ඇඟවුම් පැහැදිලිව මතුව තිබේ. සෝවියට් සංඟමය දියකර හැරීම ඉතිහාසයේ අවසානයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ද නිදහසේ ද නව අවධියක් පවා සනිටුහන් නෙකල අතර එහි ප්‍රතිවිරෝධය සනිටුහන් කරයි: ගැඹුරු වන සමාජ අසමානතාව, අන්ත දක්ෂිනාංශික පක්ෂයක් ජර්මානු පාර්ලිමේන්තුව අරක් ගැනීම, ෆැසිස්ට්වාදී පක්ෂ යුරෝපීය ආන්ඩු ගනනාවක පැලපදියම් වීම, ට්‍රම්ප් හා ධවල මන්ඳිරය, මිලිටරි ප්‍රතිසන්නද්ධවීම හා ලොව වටා යුද්ධයට සූදානම් වීම. තුන්වන ලෝක යුද්ධයක අන්තරාය දැන් කවර කලෙකටත් වඩා දැවැන්ත යයි ඔහු අනතුරු ඇඟවීය.

මේ ජරාව යලි පැමිනෙමින් තිබීම, ධනවාදයේ ඓතිහාසික අර්බුදය සමඟ බැඳී ඇත. සමාජ අසමානතාවේ දැවැන්ත මට්ටම් හා පාලක පන්තීන්ගේ මිලිටරි ප්‍රතිසන්නද්ධ වීම හා යුද්ධය වෙත හැරීම, කම්කරුවන්ගේ ද තරුනයින්ගේ ද නැඟී එන විරුද්ධත්වය හමුවේ, ආඥදායකත්වයේ හා ෆැසිස්ට්වාදයේ පාලන රූපාකාරයන් කරා හැරීම තුලින් පමනක් සාක්ෂාත් කරගත හැකිය. සෑම තැනකම පාලක පන්ති දැකගන්නේ හා බියවන්නේ, සමාජවාදයේ අවතාරයටයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එයට විරුද්ධව අනතුරු ඇඟවීමට බලකිරීමෙන් සලකුනු කරන්නේ, සමාජවාදය දැනටමත් කෙතරම් අනුහසක් දරන්නේ ද යන කාරනයයි.

ඩේවිඩ් නෝර්ත්

ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය වෙත හැරෙමින් නෝර් ත් මෙසේ පැවසීය. “කම්කරු පන්තිය ජාත්‍යන්තර පන්තියකි. එය තම ජාත්‍යන්තර අනන්‍යතාව ගැන දැනුවත් වෙමින් සිටී. එය තමා ගැනම සිතන්නේ සුලුවෙනි, ජාතික කොන්දේසි අනුව සිතන්නේ අඩුවෙනි.” මෙක්සිකෝවේ වැඩවර්ජිත මැක්විලඩෝරා කම්කරුවන් මෑතකදී, මෝටර් රථ කර්මාන්තයේ තොග පිටින් දොට්ට දැමීම් හා කම්හල් වසාදැමීමට එරෙහිව, සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වන ලද පෙලපාලියට සිය සහයෝගය පුදකර ඇති බව ඔහු පැවසීය.

අද දවසේ, යුරෝපය පුරා නැඟී එන දැවැන්ත කම්කරු ව්‍යාපාරය සමඟ ජර්මනියේ වැඩෙන සමාජ අරගල අත්වැල් බැඳ නොඟනී යයි ඇදහිය නොහැකිය. එසේම බි්‍රතාන්‍යයේ, ප්‍රන්සයේ, ඉතාලියේ හෝ නැගෙනහිර යුරෝපයේ පවා වර්ධනය වන පන්ති අරගල එක් රැයකින් යුරෝපීය හෝ ලෝක පරිමානයක පවා, සමාජ අරගලයක් බවට පත් විය හැකිය. අපගේ ඉදිරිදර්ශනය, සිය සංවිධානාත්මක රූපාකාරයන් හා දේශපාලන මූලෝපාය ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය මත පදනම් කර ගනී. අන්ත දක්ෂිනාංශයේ නැඟීම වැලැක්විය හැක්කේ මේ අයුරෙන් පමනි.

“ඔවුන් යලි ජයගනු නැත. ඒ ගැන අපට විශ්වාසය. 1930 ගනන්වල අත්දැකීම් හදිසියේම මතකයෙන් මැකී යන්නට කිසිදු අවකාශයක් නැත.” යයි නෝර්ත් පැවසීය. “1933-45 අතර ජර්මනියේ සිදුවීම් වලින් මෙරට දැවැන්ත වේදනාවක් විඳීය. විශ්වවිද්‍යාලයේ බාබරොව්ස්කි හා ඔහුගේ කල්ලිය ද ඔහුට සහාය පලකල පරිපාලනයේ හෙංචයියන් ද සිතනවා ඇත්තේ, ඔහුට නාසීන්ගේ අපරාධ මකා දැමිය හැකි බවත් කුමක් සිදුවූයේ ද යන්න සෑම දෙනාටම අමතක වනු ඇති බවත්ය. එහෙත් එවැන්නක් සිදුවිය නොහේ.

එක් රැයකින්ම වගේ මේ රටේ ජනතාව තමන් මුහුනපා සිටින අන්තරාය වටහා ගන්නා තාක් දුරට, දැවැන්ත සමාජ හා දේශපාලන විරෝධයක් වැඩෙනු ඇති බව අපි විශ්වාස කරන්නෙමු. එහි අඩුවක් නොවනු ඇත, එහෙත් අවශ්‍ය වන්නේ, ඉතා ඉහල මට්ටමේ දේශපාලන හා ඓතිහාසික දැනුවත් භාවයකි.

ධනවාදය හා පාලක පන්තිය ෆැසිස්ට්වාදයේ නොමැකිය හැකි ආසාධනයකට හිමිකම් කියති. පුද්ගලයින් හැටියට නොව, සමාජ ක්‍රමයේ නියෝජිතයින් ලෙසය. මෙය ඉතිහාසයෙන් සනාථවී තිබෙන කාරනයකි.”

නෝර්ත් සිය කථාව අවසන් කලේ, බලගතු ප්‍රතිචාරයක් දිනාගත් ඉල්ලීමක් ද ගෙන එමිනි. “මේ රැස්වීමේ පාඩම් උකහා ගන්න, ක්‍රිස්ටෝෆ් වෑන්ඩියර්ගේ පොත ද ජාත්‍යන්තර කමිටුවේ කෘතීන් ද හදාරන්න, සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න. මෙවර නම් මේ සහතික වීම අත්‍යවශ්‍යය, එනම් ලෝක විප්ලවයේ කොටසක් ලෙස ජර්මානු විප්ලවය ජයගනු ඇත යන්නයි.”

Share this article: