රාජ්‍ය කලමනාකරන සහකාර සේවකයන් කොලඹ දී උද්ඝෝෂනයක් පවත්වයි

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2019 මාර්තු 04

සේවාකොන්දේසි හා වැටුප් ඉල්ලීම් මත රාජ්‍ය හා පලාත් රාජ්‍ය කලමනාකරන සහකාර සේවකයෝ පෙබරවාරි 27දා ලෙඩ නිවාඩු දමා එක්දින වර්ජනයක යෙදී කොලඹ දී පාගමනක් හා විරෝධතා උද්ඝෝෂනයක් පැවැත් වූහ. රාජ්‍ය හා පලාත් රාජ්‍ය කලමනාකරන සේවයේ සමස්ත සේවක සංඛ්‍යාව 72,000 කි. ඉන් බහුතරයක් වර්ජනයට සහභාගී විය. කොලඹ පැවති උද්ඝෝෂනයට 6000 ක් පමන සම්බන්ධ වූ හ. විහාරමහ දේවි උද්‍යානය අසලින් ආරම්භ කෙරුන පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට ගමන් කොට එහිදී විරෝධතාවක නිරත විය.

රාජ්‍ය කලමනාකරන සහකාර සේවකයන්ගේ වර්ජනය ධනපති පාලක පන්තීන්ගේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැන් වර්ධනය වෙමින් පවතින අරගලවල කොටසකි.

උද්ඝෝෂන ය කැඳවුම්කර තිබුනේ කලමනාකාර සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය (කසසේඒවෘස) විසිනි. කසසේඒවෘස සමස්ත ලංකා රාජ්‍ය කලමනාකරන සහකාර නිලධාරීන්ගේ සංගමය, රජයේ කලමනාකාර සහකාර නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය සේවා සහකාර කලමනාකරන නිලධාරීන්ගේ සංගමය ඇතුලු‍ රාජ්‍ය කලමනාකරන සහකාර සේවයට සම්බන්ධ වෘත්තීය සමිති 10 ක එකතුවකි.

ශ්‍රේනිගත උසස්වීම් තරඟ විභාග ක්‍රමය යලි ඇති කිරීම, කලමනාකරන සහකාර සේවා පලමුවන, දෙවන හා තුන්වන ශ්‍රේනි සඳහා දැනට පවතින රුපියල් 25,950 ආරම්භක වැටුප් තලය (එම්එන් 2) වෙනුවට රුපියල් 28,235 ආරම්භක වැටුප් තලයෙහි (එම්එන් 4) පිහිටුවීම, සහ අධිශ්‍රේනිය සඳහා රාජ්‍ය විධායක ශ්‍රෙනින් සඳහා වන රුපියල් 47,615 (එස්එල්) ආරම්භක වැටුප ලබා දීම, 2013 සම්මත කල රාජ්‍ය කලමනාකාර සේවා ව්‍යවස්තාව 2006 ජනවාරි 1 දිනට පෙරදාතම කිරීම, රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන්වල පුලු‍ල්වීම පදනම් කරගෙන ඊට සාපේක්ෂව රාජ්‍ය කලමනාකාර සහකාර සේවයේ තනතුරු ප්‍රමානය වැඩි කීරීම. 2016 ජනවාරි 01 සිට අත් හිටුවා ඇති රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් ක්‍රමය යලි ඇති කිරීම, ඇතුලු‍ ඉල්ලීම් 13 ක් ඔවුන් ඉදිරපත් කර ඇත.

සංවර්ධන නිලධාරීන් ලෙස ඒකාබද්ධ සේවයට බඳවා ගන්නා සේවකයෙකුගේ ආරම්භක වැටුප එම්එන් 4 වැටුප් තලයේ පැවතීම සහ කලමනාකරන සහකාර සේවා විභාග සමත් වීමෙන් පත්වීම් ලබන සේවකයන්ගේ වැටුප එම්එන් 2 වැනි පහල මට්ටමක තිබීම අසාධාරන බව කලමනාකරන සහකාර සේවකයෝ පවසති.

පැප් සේවකයන්ගේ සේවා කොන්දේසි සහ වැටුප් පිලිබඳ ගැටලු‍වලට විසඳුම් සම්පාදනය කිරීම බලයේ පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩුව මෙන් ම, වර්තමාන ආන්ඩුව විසින් ද නොතකා හැර තිබේ. රාජ්‍ය සහ පලාත් රාජ්‍ය කලමනාකර සහකාර සේවය ස්ථාපිත කරනු ලැබුවේ 2004 දෙසැම්බර් මාසයේ ය. එහිදී ලිපිකරු, යතුරු ලියන, ලඝු ලේඛක, සරප්, ගබඩා භාරකරු සහ පොත් තබන්නන් ලෙස වෙන් වෙන් ව පැවති තනතුරු අහෝසි කොට ඒ සියල්ල රාජ්‍ය හා පලාත් රාජ්‍ය කලමනාකරන සහකාර සේවයට අන්තර්ග්‍රහනය කෙරුනි.

එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ සැලසුම් වල කොටසකි. එමගින් ඔවුන්ගේ සේවා කොන්දේසි සහ වැටුප් වලට එල්ල කෙරුන ප්‍රහාරයට එරෙහිව ඔව්හු පසුගිය දසක එකහමාර තුල අරගල වල නිරත වී ඇත. එහෙත් වෘත්තීය සමිති විසින් එම අරගල ධනපති ආන්ඩුවට සහ එහි ඉහල නිලධරයට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂනවලට හා පාලක පන්තියේ ව්‍යාජ පොරොන්දු වලට යත් කොට දියකර හරිනු ලැබීය.

පෙබරවාරි 27 උද්ඝෝෂනය කසසේඒවෘස විසින් කැඳවනු ලැබුවේ තම ගැටලු‍වලට විසඳුම් නොලැබීම කෙරෙහි රාජ්‍ය කලමනාකරන සහකාර සේවකයන් අතර ආන්ඩුව කෙරෙහි වැඩෙන විරෝධය මධ්‍යයේ ය. එහෙත් සමිති නිලධරය කලේ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවකට යටත් කොට යලිත් ඔවුන්ගේ අරගලය පාවා දීමකි.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂනය පැවැත්වෙන අතර තුර ජනාධිපති ලේකම් හමුවීමට ගිය සමිති නායකයන් ආපසු පැමින පැවසුවේ අපේ සටන ජයග්‍රහනය කරල තියෙන්නේ තව ටික කාලයක් යයි ඉල්ලීම් ලබා දෙන්න යනුවෙනි. ඉන් කුපිත වූ කලමනාකරන සහකාර සේවකයෝ වෘත්තීය සමිති නායකයන්ට හු කියමින් පාවාදෙන්නන් ලෙස ඔවුන්ට චෝදනා කලහ.

එම පිලිතුර කිසිසේත්ම පිලි ගත නොහැකි බව සාමාජිකත්වය විසින් දැඩිව අවධාරනය කල තතු යටතේ සමිති නායකයෝ සේවකයන්ගේ නියෝජිත කන්ඩායමක් ද සමග යලිත් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අනතුරුව අගමැති කාර්යාලයට ගියහ. එහිදී කලමනාකරන සහකාර සේවකයන්ගේ ගැටලු‍ ගැන පෙබරවාරි 28 අගමැති දැනුවත් කරන බවට අගමැති සම්බන්ධීකරන ලේකම් විසින් ලිඛිත පොරොන්දුවක් දුන් බවත් ඉදිරි සති 2-3 අතර කාලය තුල ඉල්ලීම් වලට විසඳුමක් ලැබෙනු ඇතැයි සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ධර්මසේන මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

පසුගිය ජනාධිපතිවරනයේදී මෙම සමිති කිහිපයක් මහින්ද රාජපක්ෂට ද අනෙක්වා ජනාධිපති සිරිසේන සහ වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන්හ.

කලමනාකරන සහකාර සේවකයන් ගේ වර්ජනය මුලුමනින් ම අසාධාරන බවත් ඔවුන්ගේ වැටුප් ඉල්ලීම දීමට නොහැකි බවත් රාජ්‍ය කලමනාකරන ඇමති රන්ජිත් මද්දුමබන්ඩාර මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත. “‍ඔවුන්ගේ ඉල්ලීම් 12 න් එකක් හැර අනෙක් 11 අප ඉටු කරලා තියෙනවා. ඔවුන් ඉල්ලන පරිදි ඔවුන්ගේ වැටුප උපාදිධාරීන්ගේ වැටුපට සමාන මට්ටමට වැඩි කලොත් වැටුප් විෂමතාවයන් ඇති වේවි. මේ වෙලාවේ ඒක කරන්න බැහැ”‍ යයි ඔහු සඳහන් කර ඇත.

වර්ජනය විපක්ෂ දේශපාලනඥයන් ගේ උපදෙස් මත කෙරුන එකක් බවත් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුන ඇතිව රාජ්‍ය සේවකයන් කරන කිසිම වර්ජනයක් අනුමත කල නොහැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

ඇමති මද්දුමබන්ඩාර කඩාපැන ඇත්තේ රජයේ සේවකයන් ගේ ඉල්ලීම් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල සමග ගැටෙන නිසාය. ආන්ඩුවේ පිලිවෙත වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම නොව, ජාමුඅ නියෝග අනුව වැටුප් හා සෙසු දීමනා කප්පාදුව, වැඩ වේගවත් කිරීම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හා පුද්ගලීකරනය කිරීමයි.

වෘත්තීය සමිති ආන්ඩුවේ මෙම පිලිවෙත සමග කරබදු වී ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ වෘත්තීය සමිති සමග කල සාකච්චාවකින් පසු රාජ්‍ය සේවයේ උසස්වීම් සඳහා නව ක්‍රමයක් සැකසීමේ ඒකාබද්ධ යෝජනාවක් ඔහු සහ මුදල් ඇමති මංගල සමරවීර, රාජ්‍ය කලමනාකරන ඇමති මද්දුමබන්ඩාර විසින් අමාත්‍ය මන්ඩලයට පෙබරවාරි 26 වෙනිදා ඉදිරිපත් කර ඇත. එහි අරමුන වන්නේ ආන්ඩුව හා වෘත්තීය සමිති ඇතුලු සියලු‍ පාර්ශවයන්ගේ අනුමැතිය ඇතිව “‍පලදායිත්වය සහ කාර්යක්ෂමතාවය”‍ ඉහල දැමීමේ යාන්ත්‍රනයක් රාජ්‍ය සේවය තුල ක්‍රියාවට දැමීම ය. එනම් වෘත්තීය සමිති සහ රාජ්‍ය නිලධරයේ සහයෝගය ඇතිව රාජ්‍ය සේවකයන් මත තවදුරටත් වැඩ වේගවත් කිරීමේ සැලසුම් පැටවීමය.

ධනපති පාලක පන්තිය සහ වෘත්තීය සමිති කෙරෙහි විශ්වාසයක් නැති බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල රාජ්‍ය කලමනාකරන සහකාර සේවකයන් පැවසීය. බලයේ පැවති රාජපක්ෂ ආන්ඩුව මෙන්ම, වර්තමාන ආන්ඩුව යටතේ ද කම්කරු පන්තියේ සෙසු කොටස්වල මෙන් ම, කලමනාකාර සහකාර සේවකයන්ගේ ගැටලු‍වලට ද විසඳුමක් නොලැබෙන බව උද්ඝෝෂනයට සහභාගී වීමට මහනුවරින් පැමිනි කලමනාකරන සහකාර සේවකයෙකු පැවසීය.

“‍කිසිම ආන්ඩුවක් ගැන අපට දැන් විශ්වාසයක් නැහැ. පොරොන්දු දීලා අනෙක් අතට ඒවා කඩකරනවා. යුඇන්පී, ශ්‍රී ලංකා හෝ පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුන) ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. ජනතා විමුක්ති පෙරමුන යමක් කරයි කියල විශ්වාසයක් තිබුනා. නමුත් දැන් පැහැදිලියි ප්‍රධාන පක්ෂ වගේම ඒ අය කරන්නෙත් ජනතාව රවටන එක. වමේ පක්ෂ විදිහට තිබුන සම සමාජ, කොමියුනිස්ට් නව සමාජ පක්ෂය වැනි වමේ පැරනි පක්ෂත් දැන් පිරිහිලා. ”‍

ජනතාවට අලු‍ත් දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව සඳහන් කල ඔහු සමාජවාදී සමානතා පක්ෂය (සසප) පිලිබඳව නොදැන සිටි බව කීවේය. කම්කරු පන්තියට ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි කියන කාරනයට එකඟ බව පැවසූ ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවා තව දුරටත් සාකච්චා කිරීමට කැමති යයි පැවසුවේය.

වෘත්තීය සමිතිවල ක්‍රියා කලාපය ඔහු හෙලාදුටුවේය. “දැන් අවුරුදු ගනනක් මේ ඉල්ලීම් වෙනුවෙන් අපි උද්ඝෝෂනය කරනවා. වෘත්තීය සමිති ආන්ඩුව දෙන පොරොන්දු පිලිඅරගෙන සටන නතර කරනවා. මේවතාව කලෙත් ඒකමයි. තැපැල්, දුම්රිය වතු කම්කරු අරගලය වැනි කම්කරු පන්තියේ හැම අරගලයක දීම වෘත්තීය සමිති කරන්නේ එකම දෙය.”‍

ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන අයිතීන් දිනා ගැනීම සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම ගැන සසප කරන යෝජනාව නිවැරදි බව සඳහන් කල ඔහු අබෝස්ට්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව සසප සමග එක්ව මාර්තු 17 වෙනිදා හැටන් නගර ශාලාවේ දී පැවැත්වීමට නියමිත කම්කරු සම්මේලනයට සම්බන්ධ වීමට උත්සාහ කරන බව ද කීවේය.

Share this article: