“සමාජවාදී න්‍යාය සහ වාමාංශික මානසිකත්වය කුඩු කලයුතු” බව මුදල් ඇමති සමරවීර පවසයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 මාර්තු 27

ශ්‍රී ලංකාවට ඇති “(කොඩි)විනය” සමාජවාදී න්‍යාය බවත්, එය “කුඩු කොට විනාශ කලයුතු” බවත්, මාර්තු 18 වන දා, සිරස රූපවාහිනියේ “ඉලක්කය” වැඩ සටහන ට සහභාගි වෙමින් මුදල් ඇමති මංගල සමරවීර පැවසීය.

සමාජවාදයට එරෙහිව නන්විධ ප්‍රලාපයන් ඇද බෑ සමරවීර ගේ සමම්ුඛ සාකච්ඡාව තුලින් වඩාත් විවෘතව එලිමහනට පැමිනියේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන්ට මුලුමනින්ම කැපවන පරිදි රටෙහි ආර්ථිකය පරිවර්තනය කිරීමට ඔහු සහ ඔහුගේ ආන්ඩුව දරන වියරු සහගත ප්‍රයත්නය යි.

සාකච්ඡාව පැවතියේ, අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස, 2019 වසර සඳහා සමරවීර විසින් ඉදිරිපත් කල අය-වැය යෝජනාව පාර්ලිමේන්තුව තුල සම්මත කෙරී දින කීපයකට පසුවයි. එම අය-වැය යෝජනාවෙන් ඉදිරිපත් කෙරුනු ඉලක්කයන් ජය ගැනීම සඳහා සීඝ්‍ර ආර්ථික ලිහිල්කරනයක්” අත්‍යවශ්‍යබව සම්මුඛ සාකච්ඡාවේදී සමරවීර අවධාරනය කලේය.

“බංග්ලාදේශය, ඉන්දියාව සහ මාල දිවයින ඉතා සීඝ්‍රයෙන් ආර්ථිකය ලිහිල්කර” එම රටවල ආර්ථිකය වැඩි දියුනු කරගෙන ඇතැයි සමරවීර පැවසීය. ඔහු විසින් ආදර්ශයන් ලෙස ඉදිරිපත් කරන මෙම රටවල් පසුගිය දශක කීපය තුල සිදු කරන ලද “ආර්ථික ලිහිල්කරනය” මගින් සිදු කෙරී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයෝජනයන් සඳහා දැවැන්ත ලාභ ශ්‍රම තටාකයන් නිර්මානය කර දීමයි.

මෙම “ආර්ථික ලිහිල්කරනය” මගින් “මහජනතාවට සුවිසල් ප්‍රතිලාභ” අත්වෙතැයි සාකච්ඡාවේදී සමරවීර ඉදිරිපත් කල කුතර්කයන්ට විපරීතව එම රටවල කම්කරුවන් අත් විඳිමින් සිටින්නේ අති දුෂ්කර සේවා කොන්දේසි වලට සහ දරිද්‍රතා මට්ටමේ වැටුප් වලටයි. මෙම කොන්දේසි වලට එරෙහිව නිරන්තරව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරුවන් රුදුරුම ආකාරයෙන් මැඩීම එම රටවල පාලක පන්තීන්ගේ පිලිවෙතයි.

බංග්ලාදේශය තුල සිදුු කෙරෙන, පොලිස් බියවැද්දීම් හා මහා පරිමානයෙන් දොට්ට දැමීම් මධ්‍යයේ ඉහල වැටුප් ඉල්ලා දහස් සංඛ්‍යාත කම්කරුවෝ පසුගිය ජනවාරියේ දින අටක වර්ජනයක යෙදී ගත්හ. ආපසු වැඩට පැමිනි කම්කරුවන් 7,000කට අධික පිරිසක් සේවයෙන් පහකිරීමට ෂීක් හසීනා ගේ අවාමි ලීග ආන්ඩුව විශාල ඇඟලුම් සමාගම්වලට පූර්න පිටුබලය ලබා දුන්නේ ය.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මරුති-සුසුකි සමාගමේ කම්කරුවන් එහි පවත්නා රුදුරු සේවා කොන්දේසි වලට එරෙහිව අරගලයට පිවිසෙත්ම, එහි සටන්කාමී කම්කරුවන්ට එරෙහිව එහි පාලකයන් විසින් පොලීසියේ සහයෝගය සහිතව අටවන ලද බොරුනඩුවක ප්‍රතිඵලයක් ලෙස, 2017 දී ගුර්ගාඔන්හි අධිකරනයක් මගින් දුන් තීන්දුවක් මත, 13 දෙනෙකු ජීවිතාන්තය දක්වා ද තවත් 18 දෙනෙකු ඊට අඩු වසර ගනනාවකට ද සිරගත කෙරුනේ, කලින් පැවති කොන්ග්‍රස් ආන්ඩුවේ සහ වත්මන් බීජේපී ආන්ඩුවේ පූර්න සහයෝගය සහිතව යි.

ශ්‍රී ලංකාවේ කටුනායක වෙලඳ කලාපයේ ඒටීජී අත්වැසුම් කම්හලේ නව සමිතියක් ගොඩනැගීමට මූලිකත්වය ගත් කම්කරුවන් පස් දෙනෙකු මෙම වසර මුලදී සේවයෙන් පහකොට ඇත්තේ, තම වෘත්තීය සමිතියේ සංවත්සරය සැමරීම ප්‍රසිද්ධ කිරීම සඳහා කම්හලේ දැන්වීම් පුවරුව අනවසරයෙන් යොදා ගත්තේය යන චෝදනාව මතයි.

ඉහත උදාහරනයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, සමරවීර යෝජනා කරන “ආර්ථික ලිහිල්කරනය” සමග කම්කරු-පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රුදුරු ලෙස පාගා දැමීම අත්‍යන්තයෙන්ම බැඳී පවත්නා ආකාරය යි.

තම ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය ගැන සඳහන් කරමින් සමරවීර පැවසුවේ තමා ද ඇතුලත් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව “ආර්ථික කාල බෝම්බයක්” හිසමත තබාගෙන ගමන් කරනා බවයි. මෙම තත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පනවා ඇති නියෝගයන් ක්‍රියාත්මක කලයුතු බව, මාර්තු 21 වන දා ඬේලි මිරර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී සමරවීර සඳහන් කලේය.

“මෙම බරපතල අවස්ථාවේ දිවි බේරා ගැනීමට නම් රටට මූල්‍යමය විනයක් අවශ්‍ය බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව වැඩ කිරීම ඉතා හොඳ දෙයක්.” බව ඔහු කීවේය. 2020 වන විට අයවැය පරතරය දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමට මූල්‍ය අරමුදල දී ඇති ඉලක්කය පිලිබඳව විමසන ලදුව සමරවීර මෙසේ පිලිතුරු දෙයි: “කෙටියෙන්ම කියනවනම් එය ඉතාම අභියෝගාත්මක යි. ඒත් ඒ සඳහා අප ක්‍රියා කල යුතුයි.”

මෙම ප්‍රකාශය වනාහි, මූල්‍ය අරමුදල විසින් පනවා ඇති දැවැන්ත කප්පාදු මාලාව සහ ප්‍රතිව්‍යූහකරනය වේගයෙන් ක්‍රියාත්මක කිරීම හැර අන් විකල්පයක් ධනපති ආන්ඩුවට නොමැති බව විවෘතවම පිලිගැනීමකි. යතාර්ථය නම්, සමරවීරට පමනක් නොව, පාලක පන්තියේ අන් කවර හෝ කොටසකට ඇති “විකල්පය” එයම බවයි.

මේ යටතේ, දැනටමත් දැවැන්ත පරිමානව කප්පදුු කෙරී ඇති මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රයන් මුලුමනින්ම විනාශභාග් කෙරෙන අතර, රාජ්‍ය සේවක රැකියා දහස් ගනනක් කපා දැමීමට ද, විශ්‍රාම වැටුප් ඇතුලු අනෙකුත් අයිතීන් අහිමි කෙරුනු කොන්ත්‍රාත් පදනමේ කම්කරුවන් බහුතරයකගෙන් රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමට ද ආන්ඩුව ගමන් කරනු ඇත.

චීනය සහ වියට්නාමය වැනි රුදුරු ලාභ ශ්‍රම තටාකයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා වන නීතිරීති වල පූර්න ලිහිල්කරනයකට යායුතු බව මුදල් ඇමතිවරයා සිරස සාකච්ඡාවේදී අවධාරනය කලේ, එම රටවල් “කොමියුනිස්ට්” රාජ්‍යයන් ලෙස ව්‍යාජව ගුනාංගීකරනය කරමිනි.

ප්‍රති-මාක්ස්වාදී “තනිරටේ සමාජවාදය” නමැති න්‍යාය යටතේ ක්‍රියාත්මක වූ මෙම රාජ්‍යයන් හි නිලධාරි තන්ත්‍රයන් විසින් කලින් පැවති සමාජවාදී දේපොල සබඳතාවය බිඳ දමා ධනේශ්වර සබඳතා පුනස්ථාපනය කලේ බොහෝ කලකට පෙරයි. කවර ලෙසකින් හෝ කොමියුනිස්ට් නොවන එම රාජ්‍යයන් කලින් පැවතියේ ද විකෘත කම්කරු රාජ්‍යයන් ලෙසයි.

1980 ගනන් වල ආරම්භ වූ නිශ්පාදනයේ භූගෝලීයකරනයත් සමග ලෝක ආර්ථිකයේ ඇතිවූ පෙරනොවූවිරූ ඒකාග්‍රවීම හමුවේ ජාතික ආර්ථිකයන් අහෝසිවී යාම, මෙම විකෘති කම්කරු රාජ්‍යයන්ගේ අභාවයට හේතුව යි.

සමරවීර එකී රාජ්‍යයන් පසසනුයේ, වත්මනේදී ඒවා කවර ලෙසකින් හෝ සමාජවාදයට සම්බන්ධතාවයක් නොමැති බැවිනි.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ සමාජවාදය සම්බන්ධ කරමින් සිරස සාකච්ඡාවේදී ඔහු කල සැඳහුම් ද මුලුමනින්ම ව්‍යාජ ය. සමාජවාදය පිලිබඳව ඉඳහිට කරන පූච්චානම් කතා තිබියදී, ජවිපෙ ධනේශ්වර සංස්ථාපිතයේ ම පක්ෂයක් බවට පත්ව ඇති බව සමරවීර හොඳින් දනී.

සමාජවාදයට එරෙහි සමරවීර ගේ විරුද්ධත්වය වනාහි, ධනපති පාලක පන්තීන් තුල ජාත්‍යන්තර පරිමානව උත්සන්න වෙමින් පවත්නා සමාජවාද-විරෝධී වියරුවේ ශ්‍රී ලාංකික ප්‍රකාශනයකි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මෙම සමාජවාද-විරෝධයේ ප්‍රමුඛතම උද්ඝෝෂකයෙකි. මෙම වසර මුලදී ජාතික පරිමාන රූපවාහිනී කතාවක් තුල, සමාජවාදය ට එරෙහි තම විරුද්ධත්වය ට්‍රම්ප් විසින් අනාවරනය කලේ “අද රාත්‍රියේ, ඇමරිකාව කවරදාකවත් සමාජවාදී රටක් නො වෙනු ඇතැ යි යන අපගේ අධිෂ්ඨානය අපි අලුත් කරමු” යැයි ප්‍රකාශ කරමිනි.

ඇමරිකානු ඉතිහාසය තුල එරට ජනාධිපතිවරයෙකු, එවන් සැඳහුමක් කල පලමු අවස්ථාව මෙය යි. ඉන් දින කීපයකට පසු ඇමරිකානු කොන්ග්‍රස් මන්ඩලය තුල ට්‍රම්ප් එවැනිම ප්‍රකාශයක් කරද්දී, රිපබ්ලිකානුවන් මෙන්ම ඩිමොක්‍රටිකයන් එය අනුමත කලේ අසුන් වලින් නැගිට අත්පොලසන් දෙමිනි.

ලෝක ධනේශ්වර පද්ධතිය 1930 ගනන් පරයා යන ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින තතු යටතේ, රටක් රටක් පාසා පාලක පන්තීහු එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් ඔවුනගේ

සමාජමය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල උදුරා ගනිමින් සිටිති. එම ප්‍රහාරයන්ට ජාත්‍යන්තර කම්කරු පන්තිය ප්‍රතිචාර දක්වා ඇත්තේ පන්ති අරගලයේ නව පුනර්ජීවනයකිනි.

ඇමරිකාවේ සහ ලොවපුරා ගුරුවරුන්ගේ අරගලයන්ගෙන්, ප්‍රන්සයේ කහබැනියම් ව්‍යාපාරයෙන් සහ මෙක්සිකෝවේ මැටමොරොස් රථවාහන කම්කරුවන්ගේ අරගලයෙන් ප්‍රකාශයට පත් වන්නේ මෙම පුනර්ජීවනය යි. කම්කරු පන්තිය ධනපති ක්‍රමයට ගැට ගසා තබන වෘත්තීය සමිති යකඩ සැට්ටයෙන් බිඳී කම්කරුවන් තමාගේම සංවිධාන ගොඩනගා ගනිමින් අරගලයට අවතීර්න වීමත්, කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවත්, වාමාංශික නැඹුරුවත් මෙම අරගලයන්හි කැපී පෙනෙන ලක්ෂනයන් ය. කම්කරු පන්තියේ මෙම වර්ධනයන් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමර්ගය සමග අන්තර්ජේදනය වෙතැයි ලොවපුරා පාලක පන්තීහු භීතියට පත්ව සිටිති.

මෙම භීතිය ට්‍රම්ප්ගෙන් ප්‍රකාශ වූයේ මෙසේය: “අපේ රටේ සමාජවාදය පිලිගැනීමේ නව ඉල්ලීම්වලින් අපි තැති ගැනිලා.”

සමාජවාදයට එරෙහි සමරවීරගේ වියරු සහගත ප්‍රකාශයන් යටින් පවතිනුයේ ද මෙම තැති ගැන්මයි.

වැඩි වැටුප් ඉල්ලා ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික වතු කම්කරුවන් පසුගිය දෙසැම්බරයේ ගෙනගිය වර්ජනය, දින කීපයකට පෙරාතුව දෙලක්ෂයකට අධික ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති දීප ව්‍යාප්ත වර්ජනය සහ නිරන්තරව කෙරෙන ශිෂ්‍ය විරෝධතා ඇතුලු වැඩෙන පන්ති අරගල රැල්ල හමුවේ සමරවීර ඇතුලු පාලක නඩයේ දෙපා සලිතව ඇත.

මෙම අරගලවල වෛෂයික යොමුව ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදය දෙසටයි. එම වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් කම්කරු පන්තිය සහ ගොවි ජනතාව ඇතුලු අවශේෂ පීඩිතයන් අතර සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. එහි මග පෙන්වීම යටතේ, පසුගිය වතු කම්කරු වර්ජනය මධ්‍යයේ හැටන් හි ඇබොස්ට්ලී වතුයායේ ගොඩ නැගුනු ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ එය විසින් මාර්තු 17 වන දා හැටන් නගර ශාලාවේ පැවැත්වූ කම්කරු සමුලුව ද එම වෛෂයික යොමුව පිලිබඳ ඉතා වැදගත් සාක්ෂියකි.

සමුලුවට සහභාගි වූ සියයකට අධික නියෝජිතයෝ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය ඉතා උනන්දුවෙන් සාකච්ඡා කල අතර, ජාත්‍යන්තර පන්ති යුද්ධයේ සිරකරුවන් වන ජූලියන් අසාන්ජ් සහ චෙල්සී මැනිංග් ද ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් ද නිදහස් කිරීමේ ඉතා මූලධර්මාත්මක සහ ජාත්‍යන්තරවාදී යෝජනා සම්මත කලහ.

මෙම වර්ධනයන්, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ ඔවුනගේ ආවතේවකරුවන්ගේ ආසක්තයන්ට එරෙහිව පිහිටා සිටී.

අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඔහුගේ මුදල් ඇමති එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන ආවතේව කරුවෙකි. සමරවීර ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් කල මෙහෙයට කෘතගුන සලකනු වස්, ඔහුගේ දේශපාලන දිවියට තිස් වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප්‍රධාන දේශනය සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනිය ලෙස සේවය කල සමන්තා පවර් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිනියා ය.

සමරවීර යනු අධිරාජ්‍යවාදයේ දිගු කාලීන ආවතේවකරුවෙකු පමනක් නොව, සමාජවාදයේ ද දිගු කාලීන සතුරෙකි. ජාත්‍යන්තර සමාජවාදයට සහ මාක්ස්වාදයට පරම සතුරු වූ පශ්චාත් නූතනවාදී නඩයන් ට මූල්‍යමය සහ අවශේෂ ප්‍රතිපාදන සම්පාදනය කරමින් එම ප්‍රතිගාමී සංවිධාන නඩත්තු කිරීම සම්බන්ධයෙන් ද ඔහුට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි.

සමරවීර ගේ “සමාජවාදී න්‍යාය සහ වාමාංශික මානසිකත්වය කුඩු කිරීමේ” වියරු ප්‍රලාපයන් යටින් පවතිනුයේ, “ආර්ථික ලිහිල්කරනය” නමින් ඔහු හඳුන්වන නව ලිබරල්වාදී පිලිවෙත් ක්‍රියාත්මක කිරීමේදී කම්කරු පන්තියෙන් මතුවන ප්‍රතිරෝධය සමාජවාදී ඉදිරි දර්ශනය සමග අන්තර්ඡේදනය වෙතැයි යන භීතිකාවයි.

Share this article: