උතුරේ යුද අපරාධවලට එරෙහි හර්තාලයට දහස් ගනනක් සහභාගී වෙති

අපේ වාර්තාකරුවන් , 2019 මාර්තු 2

අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සඳුදා උතුරු පලාතේ පැවැත් වූ හර්තාලයට දහස් ගනනක් ජනයා සහභාගී වු හ. උද්ඝෝනය නිසා යාපනය, වව්නියාව, කිලිනොච්චි මුලතිව් සහ මන්නාරම් යන දිස්ත්‍රික්ක පහේම රාජ්‍ය සහ පුද්ගලික ආයතන, බැංකු, පාසල් හා ප්‍රවාහන සේවය මුලුමනින් ම පාහේ අඩපන විය. උසාවි විවෘතව පැවති නමුත් නීතිඥයෝ උසාවි කටයුතුවල යෙදීමෙන් වැලකී සිටියහ. කඩ සාප්පු සහ අනෙකුත් ව්‍යාපාරික ආයතන වසා දැමුනු අතර කලු කොඩි ඔසවා තිබුනි.

කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ඉදිරිපිට උද්ඝෝෂනයේ යෙදුන විරෝධතාකරුවන් මහනුවර- යාපනය මාර්ගය අවහිර කිරීමෙන් එහි ගමනා ගමනය පැය කිහිපයක් ඇනසිටියේ ය. අනතුරුව කිලෝමීටර් 8 ක් පමන දුර පෙලපාලියකින් ගමන් කල උද්ඝෝෂකයෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ලමා හදිසි අරමුදල (යුනිසෙෆ්) කාර්යාලයට පෙත්සමක් බාර දුන්හ. අතුරුදහන් වුවන්ගේ ඥාතීන් විසින් 2017 පෙබරවාරි මාසයේ 25 වෙනිදා සිට වසර දෙකක් පුරා වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන් හි අඛන්ඩ සත්‍යග්‍රහයක් පවත්වාගෙන යති.

“අපේ ඥාතීන් කොහේ ද? අපි යුද අපරාධ අමතක නොකරන්නෙමු! යුද අපරාධ වලට සමාව නොදෙන්නෙමු! අතුරු දහන් වූවන් සම්බන්ධ කාර්යාලය අපට එපා!, අපි කඳුලු සමග ජීවත් විය යුතු ද? අපේ කඳුලු ඔබට දේශපාලන සෙල්ලමක් ද? අතුරුදහන් වූවන් ගැන යුක්තිය ඉටු නොවීම ගැන ආන්ඩුව සහ සහ ජාත්‍යනතර ප්‍රජාව වගකිව යුතු යි!” ආදී සටන් පාඨ විරෝධතාකරුවන් හඬ නැගීය.

හර්තාලය සංවිධානය කර තිබුනේ උතුරු පලාතේ හිටපු මහ ඇමති සී.වී. ගේ නායකත්වය සහිත දෙමල මහාජන සංසදය (ටීපීඑෆ්) විසිනි. දෙමල ජාතික සංධානයේ (ටීඑන්ඒ) මන්ත්‍රීන්, විග්නේශ්වරෙන් දෙජාසයෙන් වෙන්ව පිහිටුවාගත් දෙමල මහජන පක්ෂය, ආගමික නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති උද්ඝෝෂනයට සම්බන්ධ වුහ.

මෙම සංවිධාන වල ද සහභාගිත්වය ඇතිව ටීපීඑෆ් විසින් සඳුදා හර්තාලය කැඳවනු ලැබුවේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධය පැවති කාලය තුල හා ඉන් පසුව අතුරුදහන් වූ සිය ඥාතීන් පිලිබඳව නිසි තොරතුරු සම්පාදනය කිරීමට ආන්ඩුව අසමත් වීම, එකල ආරක්ෂක හමුදා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් මුලුමනින් නිදහස් නොකිරීම සහ දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතලුලු ප්‍රශ්න නොවිසදීම සම්බන්ධයෙන් දෙමල ජනයා තුල පැසවන වෛරය අවමංගත කිරීමේ එල්ලය ඇතිවය.

ටීපීඑෆ් මෙහයවීම යටතේ උද්ඝෝෂකයන් විසින් යුනිසෙෆ් කාර්යාලයට බාර දෙන ලද පෙත්සමෙන් යුද අපරාධ සහ අතුරුදහන් වුවන් පිලිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ආන්ඩුව කල් ගන්නා හෙයින් ඒ පිලිබඳව ජාත්‍යන්තර අධිකරනයන් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත යුතුව ඇත.

උද්ඝෝෂකයන් ඇමතු විග්නේශ්වරන් යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයක් උතුරු පලාතේ පිහිටුවන ලෙස ඉල්ලා ඇත.

“මෙම කරුනු පිලිබඳව සොයා බැලීම ට අපට ජාත්‍යන්තර අධිකරනයක් අවශ්‍ය ඒ නිසයි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය ගැන පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යාන්ත්‍රනයක් තහවුරු කල යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙහි කාර්යාලයක් පිහිටවිය යුතු” බව ඔහු එහි දී සඳහන් කර ඇත.”

යුද්ධය මුලු කාලය තුල දී රාජ්‍ය හමුදාවන් විසින් දෙලක්ෂයක් පමන දෙමල සිවිල් වැසියන් ඝාතනය කෙරුනි. තවත් දහස් ගනනක් බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුන අතර අවතැන් වූ 300,000 පමන ජනයා හමුදාව විසින් පාලිත අවතැන් කඳවුරු තුලට ගාල් කෙරුනි.

අතුරුදහන් වූවන්ගෙන් බහුතරයක් යුද්ධය පැවති වකවානුවේ සහ 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ක්ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් හා බලහත්කාරයෙන් පැහැරගෙන ගිය අයවලුන් ය. එසේ අතුරුදහන් වූ සිය ඥාතීන් පිලිබඳ තොරතුරු ලබාදෙන ලෙස යුද්ධය අවසන් වූ තැන් පටන් ඔවුන්ගේ ඥාතීන් ඉල්ලා සිටි නමුත් මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන් ම 2015 බලයට පත් වූ මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ද මේ දක්වාම එය දැනුවත් ව පැහැර හැර තිබේ. පාලක පන්තිය සමස්තයක් ලෙස යුද අපරාධ මෙන් ම දේශපාලන සිරකරුවන් සිටින බව ද ප්‍රතික්ෂේප කරයි.

ටීඑන්ඒ සහ එවක එහි නායකයෙක් ව සිටි විග්නේශ්වරන් 2015 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව බලයට ගෙන ඒමට ඍජුව සහයෝගය දුන් අතර කොලඹ පාලන තන්ත්‍රය එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ගේ භූ-දේශපාලන උත්සුකයන් සමග පෙල ගැසීම කෙරෙහි සතුටු වුහ. දෙජාස එම තන්ත්‍ර මාරුවට කෙලින්ම සම්බන්ධවූ අතර ඇමරිකාවේ භූ-දේශපාලන උවමවන්ට සේවය කිරීමට සුදානම ප්‍රකාශ කර ඇති සංවිධානයකි. එම “ජාත්‍යන්තර ප්‍රජාව” ගේ සහයෝගය ඇතිව දෙමල ජනයාගේ ප්‍රශ්න වලට විසඳුම් සම්පාදනය කර ගත හැකි බවට මෙම පක්ෂ ඔවුන් තුල මිත්‍යාවන් වගා කල හ.

කොලඹ ආන්ඩුව සිය භූ-දේශපාලන මූලෝපාය සමග පෙල ගැසෙන කොන්දේසි තුල අධිරාජ්‍යවාදී බලයන්, විශේෂයෙන් ම, එක්සත් ජනපදය යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව ශ්‍රී ලංකා ආන්ඩුවට එල්ල කල චෝදනා හා ඒවා ගැන විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරනයක් පිහිටුවීම පිලිබඳ යෝජනා හකුලා ගත්තේය. ඒ වෙනුවට “අභන්තර ක්‍රියාවලියක්” මගින් එම ගැටලු විසඳන බවට ශ්‍රී ලංකා ආන්ඩුවේ ප්‍රෝඩාකාරී පොරොන්දු වලට උඩ ගෙඩි දුන්නේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය සහිතව 2015 සම්මත කල 30/1 යෝජනාවෙන් යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර අධිකරනයක් පිහිටුවීම ඉවත් කර කොලඹ පාලන තන්ත්‍රය විසින් යෝජිත “අභ්‍යන්තර ක්‍රියාවලියට” සහ යෝගය පල කරමින් “සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිලිබඳව” ශ්‍රී ලංකාවේ “කැපවීම” ඉල්ලා සිටියේ ය.

එහෙත්, ඇස්බැන්දුමක් වූ එම යෝජනාව ක්‍රියාත්මක නොකල ආන්ඩුව යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ චෝදනා යට ගැසීම ට සහ ඒවාට සම්බන්ධිත ආරක්ෂක හමුදා නිලධාරීන් ට එරෙහිව නෛතික පියවර ගැනීම මග හරිමින් ඔවුන් ආරක්ෂා කිරීමේ පිලිවෙතක් අනුගමනය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම වසරේ සැසිය තුල දී දැන් එම යෝජනාවෙන් ඉවත් වන ලෙස සිරිසේන විදේශ කටයුතු බලධාරීන් ට නියෝග කර ඇති බවට මාධ්‍යවල වාර්තා කෙරී ඇත.

ධනපති පාලක පන්තියේ මෙම දුෂ්ට නොතැකීම කෙරෙහි වැඩෙන මහජන විරෝධය හා මානවහිමිකම් සංවිධානවල විවේචනයන් මධ්‍යයේ ජනාධිපති සිරිසේන 2017 සැප්තැම්බර් මාසයේ අතුරුදහන් වුවන් සම්බන්ධ කාර්යාලය පිහිටු වී ය. එයට අතුරුදහන්වුවන් පිලිබඳ පැමිනිලි 20,000 පමන ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන හෝ අගමැති වික්‍රමසිංහගේ ආන්ඩුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

අධිරාජ්‍යවාදී බලයන් යුද අපරාධ හෝ මානව හිමිකම් ගැන උත්සුක වන්නේ නැත. ඔවුන් උත්සුක වන්නේ කලාපය තුල තම මූලෝපායාත්මක අවශ්‍යතා රැකෙන හා තමන් ට අවනත පාලන තන්ත්‍රයක් කොලඹ පවත්වාගෙන යාම කෙරෙහි ය. ශ්‍රී ලංකා ආන්ඩුව යුද අපරාධ සහ මානව හිමිකම් සම්බන්ධව විමර්ශනය කලයුතු යයි දැන් ව්‍යාජව එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් සඳහන් කරන්නේ ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත නය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීනය දිසාවට නැඹුරුවීම වැලක්වීමට ය.

අධිරාජ්‍යවාදී බලයන්ට හෝ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ට බලපෑම් දැමීම සහ පෙත්සම් ඉදිරිපත් කිරීම තුලින් දෙමල ජනයාට තම ප්‍රශ්න වලට විසඳුම් සොයා ගත නොහැකිය.

ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ ශ්‍රී ලංකාවේ සිංහල දෙමල හා මුස්ලිම් කම්කරුවන් සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර පන්ති එකමුතුව තහවුරු කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සිංහල බෞද්ධ අධිපතිවාදී ධනේශ්වර හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව සහ සියලු මර්දන නීති කටු ගා දමා ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

Share this article: