ට්‍රම්ප්, බොල්සොනාරෝ හා ෆැසිස්ට්වාදයේ අනතුර

Trump, Bolsonaro and the danger of fascism

2019 මාර්තු 20

බ්‍රසීල ජනාධිපතිගේ දින තුනක වොෂින්ටන් සංචාරය ලෝකයේ ඉතාමත් දක්ෂිනාංශික නායකයින් දෙදෙනෙකු: එනම් හිටපු මිලිටරි නිලධාරියෙකු මෙන් ම 1964 සිට 1985 දක්වා බ්‍රසීලය පාලනය කල ලේවැකි මිලිටරි ඒකාධිපතිත්වය ගෞරවයෙන් අගය කරන්නෙකු ද වන ජායීර් බොල්සොනාරෝ, හා පසු ගිය සතියේ නවසීලන්තයේ පල්ලි දෙකක දී මුස්ලිම් පුද්ගලයන් 50දෙනෙකු ඝාතනය කලා වූ තුවක්කුකරුවා ද ඇතුලුව, ලෝකය පුරා ඒකාධිපතියන් හා ෆැසිස්ට්වාදීන්ගේ ආකර්ෂනයේ ධ්‍රවය වී ඇත්තා වූ ද ඩොනල්ඞ් ට්‍රම්ප් එකට එක්කලේ ය.

සෙනසුරාදා සන්ධ්‍යාවේ ධවල මන්දිරයේ පැවති ඔවුන්ගේ මාධ්‍ය සමුලුව අතරතුර, ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ දී, කියුබානු හා වෙනිසියුලානු දක්ෂිනාංශික පිටුවහලුන්ගේ ශ්‍රාවක පිරිසකට දේශනා කල “සමාජවාදයේ ගොම්මන් වේලාව අපගේ අර්ධගෝලයට පැමින ඇත” යි යන තම ප්‍රකාශය පුනරුච්චාරනය කලේ ය. ඔහු තම සමූහ රාජ්‍ය තත්වය පිලිබඳ වාර්ෂික නිල දේශනයේ කල ආකාරයට, අවධාරනය කලේ එක්සත් ජනපදය තුල ම සමාජවාදයේ තර්ජනයට අවසානයක් තැබීමට ද මෙය අදාල බව යි.

ට්‍රම්ප් හා බොල්සොනාරෝ යන දෙදෙනා ම පැහදිලි කර ඇත්තේ සමාජවාදය සහමුලින් උදුරා දැමීම (ෆැසිස්ට්වාදී ව්‍යාපාරවල දේශපාලනික අරටුව) තම ආන්ඩුවල කේන්ද්‍රීය අභිමතාර්ථය වන බව යි. තම ඒකාබද්ධ මාධ්‍ය සමුලුවේ දී, ඔවුන් සමාජවාදයට එරෙහිව බැන වැදුනේ බ්‍රෙන්ටන් ටෙරන්ට් විසින් ගෙන යන ලද නවසීලන්ත සංහාරයෙන් යන්තම් දින කීපයකට පසු ය. ට්‍රම්ප් “නවීකෘත සුදු අනන්‍යතාවේ සංකේතය” ලෙස ප්‍රශංසා කරමින් හා සෑම “මාක්ස්වාදියෙකුගේ ම” ගෙල මත තම සපත්තුව තිබීමේ ඔහුගේ ආශාව ප්‍රකාශ කරමින් ටැරන්ට් ප්‍රකාශනයක් විසිරුවා හැරියේ ය.

ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හා බොල්සොනාරෝ ඔවුනොවුන් වැලඳ ගැනීම අන්ත දක්ෂිනාංශික පක්ෂ ඉහලට එසවීම හා ලෝකය පුරා ධනේශ්වර ආන්ඩු හා සංස්ථාපිත ධනේශ්වර පක්ෂ විසින් ෆැසිස්ට්වාදී බලවේග පෝෂනය කිරිම පිලිබඳ සංකේතයකි. එය අවධාරනය කරන්නේ යුරෝපය, අසියාව, ලතින් ඇමරිකාව හා එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදයේ වර්ධනය පහලින් එන ප්‍රබල මහජන රැල්ලක ප්‍රතිඵලයක් නො ව, නමුත් ඊට වෙනස් ව, සත්‍ය වශයෙන් සංගත කතිපයාධිකාරිය විසින් ඉහල සිට පහලට පාලනය කෙරෙන ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී” ආන්ඩුවල අනුග්‍රහය හා අනුබලයේ ප්‍රතිඵලයක් බව යි.

අන්ත දක්ෂිනාංශික දේශපාලනයේ ගෝලීය ප්‍රවර්ධනය මූර්තිමත් කරන ලද්දේ දක්ෂිනාංශික දෘෂ්ටිවාදියෙකු වන ස්ටීව් බෙනන් විසිනි. හිටපු ගෝල්ඞ්මන් සැක්ස් උප සභාපති මෙන් ම නාවික නිලධාරියෙකු වන ඔහු සඳුදා රාත්‍රියේ ජායිර් බොල්සොනාරෝ සමග රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරාධිත අමුත්තා විය. බ්‍රසීල පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු හා බැනන් විසින් පිහිටුවන ලද දේශපාලන සුසන්ධානයක ලතින් ඇමරිකානු නියෝජිතියෙකු ද වන බොල්සොනාරෝගේ පුත්‍ර එඩුවාර්ඩෝ සමග බැනන්ට කිට්ටු සම්බන්ධකම් ඇත. ව්‍යාපාරය නමින් ප්‍රසිද්ධ මෙම සුසන්ධානයේ අරමුන ලෝකය පුරා අන්ත දක්ෂිනාංශයේ දේශපලාන පක්ෂ ප්‍රවර්ධනය කිරීම යි. “බොල්සොනාරෝගේ දක්ෂිනාංශික කන්ඩායමේ ඇතමෙක් තෙමේ ම බැනන් ව්‍යාපාරයේ ගෝලයන් මෙන් ම බ්‍රසීලය හා ලතින් ඇමරිකාව සඳහා බැනන්ගේ නියොජිතයින් ලෙස ද දකිති” යි ට්‍රම්ප් පාලනාධිකාරියේ හිටපු එක් නිලධාරියෙක් මැක්ලැට්චි ප්‍රවෘත්ති සේවයට පැවසී ය.

මාධ්‍ය සමුලුවේ දී, ජායිර් බොල්සොනාරෝ හා ට්‍රම්ප් යන දෙදෙනා ම, ට්‍රම්ප් එය ප්‍රකාශ කල ආකාරයට, “දෙවියන් වහන්සේ, පවුල හා ජාතියේ” ෆැසිස්ට්වාදී යාඥාවකට තම සහාය පොරොන්දු වූහ. බොල්සනාරෝ මෙසේ ප්‍රකාශ කලේ ය, “බ්‍රසීලය හා එක්සත් ජනපදය ලිබරල් කටයුතු බෙදා ගැනීමේ අපගේ උත්සාහයේ දී උරෙන් උර පැහැර සිටින අතර සාම්ප්‍රදායික හා පවුල් ජීවන රටාවන්ට ගරු කරමු, දේශපාලනිකව නිවැරදි ආකල්පවල ලිංග භේදයේ දෘෂ්ටිවාදයට හා ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහි ව, අපගේ නිර්මාතෘ, දෙවියන් වහන්සේට ගෞරව කරමු.”

ජනාධිපතිවරුන් දෙදෙනා ම වෙනිසියුලාවට එරෙහි ව මිලිටරි බලය යෙදීමට තර්ජනය කලේ, ජනාධිපති නිකොලස් මදූරෝ සමාජවාදී ඒකාධිපතියෙකු ලෙස යක්ෂාවේශ ගන්වමිනි. (මදූරෝ නායකත්වය දෙන්නේ ධනේශ්වර තන්ත්‍රයකට වන අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනුවට එහි විදේශ ප්‍රතිපත්තිය නැඹූරු වන්නේ චීනය හා රුසියාව දෙසට ය)

ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහි “සියලු විකල්ප න්‍යායපත්‍රයේ” ඇත යි යන මන්තරය පුනරුච්චාරනය කලේ ය. වෙනිසියුලාවට එරෙහි මිලිටරි මෙහෙයුම් සඳහා කඳවුරක් ලෙස බ්‍රසීල භූමිය පාවිච්චි කිරීමට තමා අවසරය දෙන්නේ දැ යි බොල්සොනාරෝගෙන් අසන ලදී. එය බ්‍රසීලය හා වෙනිසියුලාව යන දෙරටේ ම ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමක අපේක්ෂාවක් ලෙස ඉවත දමනු වෙනුවට, ඔහු උත්තර දීමට අකමැති වූයේ, මෙහෙයුම් රහස්‍යතාව හා අනපේක්ෂිත ස්වභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සඳන් කරමිනි.

ට්‍රම්ප් හා බොල්සොනාරෝ අත්සන් කල ද්විපාක්ෂිත ගිවිසුම්වලින් එකක් එක්සත් ජනපද චන්ද්‍රිකා සඳහා බ්‍රසීලයේ අල්කන්තාරා ගුවන් අවකාශය දියත් කිරීමේ කඳවුරක් ලෙස පාවිච්චි කිරීමට එක්සත් ජනපදයට අවසර දෙනු ඇත. බ්‍රසීලය ද එක්සත් ජනපද සංචාරකයන්ට වීසා අවශ්‍යතාවන් අවසන් කිරීම නිවේදනය කලේ ය. එම ක්‍රියා දෙකම පෙන්ටගන මෙහෙයුම්, විශේෂයෙන් ම ඩ්‍රෝන-මිසයිල් යුද්ධ හා විශේෂ මෙහෙයුම් හමුදා රැඳවීමට බ්‍රසීලය ඈඳා ගැනීමට මාවත් සපය යි.

ධවල මන්දිරයට ඒමට පෙර, බොල්සොනාරෝ වර්ජීනියා ප්‍රාන්තයේ, ලැන්ග්ලේ හි මධ්‍යම ඔත්තුසේවා ඒජන්සියේ මූලස්ථානයට නිවේදනය නො කෙරුනු සංචාරයක් කලේ ය. එය සීඅයිඒ සංවිධානය විසින් අටවන ලද කුමන්ත්‍රනයකින් පිහිටවුනු මිලිටරි ඒකාධිපතිත්වයක් විසින් වසර 21ක් පාලනයකින් තොර ව වධහිංසාවලට හා ඝාතනයන්ට යටත් කෙරුනු රටක ජනාධිපතිගේ අසාමාන්‍ය ක්‍රියාවකි.

විසි වසරකට පෙර, බොල්සොනාරෝ මාධ්‍යකරුවෙකුට පැවසුවේ බ්‍රසීල කොංග්‍රසය වසා දැමිය යුතු අතර “පුද්ගලයන් 30,000ක් ඝාතනය කරමින්, මිලිටරි ආන්ඩුව නො කල කාර්ය” සම්පූර්න කරන සිවිල් යුද්ධයක් මගින් පමනක් රට වෙනස් කල හැකි බව යි.

ලෝක ආර්ථික අර්බුදයේ තීව්‍රවීම, පශ්චාද් යුද ජාත්‍යන්තර පර්යායේ විසිරී යාම හා වෙලඳ යුද්ධයේ වර්ධනය, හා විශේෂයෙන් ම ලෝක පරිමානව කම්කරු පන්තියේ යලි පිබිදීමට ප්‍රතිචාර වශයෙන් ධනේශ්වර පාලක පන්තිය නැවත වතාවක් හැරෙමින් සිටින්නේ ඒකාධිපතිත්වය හා ෆැසිස්ට්වාදයට යි. විශාල කම්කරු පන්තික විරුද්ධත්වයක් හා ධනේශ්වර විරෝධී හා සමාජවාදී මනෝගතීන්ගේ වර්ධනය විසින් බිය පත් කෙරෙන ඔවුහු, වර්ගවාදය, යුදෙව් විරෝධය හා “ලේ හා භූමියේ” දෙශපාලනය ඇතුලු 20වැනි සියවසේ සියලු දෘෂ්ටිමය හා දේශපාලනික කැලිකසල යලි භාවිතයට ගනිමින් සිටිති. ඔවුන් ක්‍රියාකාරී ලෙස ෆැසිස්ට්වාදීන් හා වර්ගවාදීන් බඳවා ගනිමින් හා ඔවුන් ආන්ඩුවේ මිලිටරි/පොලිස් ඒජන්සිවලට ඒකාබද්ධ කරමින් සිටින්නේ, කැරලි ගසමින් සිටින කම්කරු පන්තියට එරෙහි ව ලිහා හැරීමට යි.

මෙම වර්ධනයන් පෙන්වා දෙන්නේ විකල්පයන් වනු ඇත්තේ සමාජවාදය හෝ ප්‍රතිසංස්කරනවාදය නො ව, සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය (එනම් ෆැසිස්ට්වාදයට හා ලෝක යුද්ධයට ඇද වැටීම) යන්න යි.

අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් ව්‍යාපාරවල වර්ධනය හා අන්ත දක්ෂිනාංශික පක්ෂ හා දේශපාලකයන් ආන්ඩුවලට පත් කිරීම (මේ වන විටත් ජර්මනිය, ඉතාලිය, හන්ගේරියාව, පෝලන්තය, ඔස්ටි්‍රයාව, බ්‍රසීලය හා අනෙකුත් රටවල) මගින් නියෝජනය කෙරෙන කම්කරු පන්තියට එරෙහි අනතුර අවතක්සේරු කිරීම දේශපාලනිකව සාපරාධී වනු ඇත. මෙම අනතුර පරාජය කිරීමට විශේෂයෙන් ම ඉතිහාසයේ පාඩම් ඉගෙන ගත යුතු ය.

20වැනි සියවසේ සමස්ත ඉතිහාසය පෙන්වා දෙන්නේ පාලක පන්තියට හෝ ධනේශ්වරයේ උපකල්පිත “ප්‍රගතිශීලී” කන්ඩායම්වලට කම්කරු පන්තිය යටපත් කරන “මහජන පෙරමුන” ආකාරයේ දේශපාලනයට ආයාචනා කරමින් ෆැසිස්ට්වාදය හා යුද්ධය වැලක්විය නො හැකි බව යි. ෆැසිස්ට්වාදය නතර කිරීමේත් අධිරාජ්‍යවාදී යුද්ධය වැලැක්වීමේත් එකම මාවත වන්නේ ධනවාදය පෙරලා දැමීමට ජාත්‍යන්තර පරිමානව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම යි.

පැට්‍රික් මාටින්

Share this article: