ඉන්දු-පාකිස්ථාන් යුද අර්බුදය ගැන ලංකාවේ ආන්ඩුවේ උත්සුකය පිටුපස ඇත්තේ කුමක්ද?

වසන්ත රූපසිංහ විසිනි, 2019 මාර්තු 4

පෙබරවාරි 14 දා, ඉන්දියාවේ කාෂ්මීරයේ පුල්වාමාහිදී මධ්‍යම අතිරේක (පැරාමිලිටරි) පොලිස් බලකා (සීආර්පීඑෆ්) සෙබලුන් හතලිහක් පමන ඝාතනය කරමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දියාව හා පකිස්ථානය යුද්ධයක් අද්දරට ඇදී ගිය අතර ඇතිවිය හැකි බිහිසුනු තත්වය සම්බන්ධයෙන් විවිධ රටවල් ප්‍රකාශ නිකුත් කලේ ය. කෙටි ඡේද හතරක ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව ද පෙබරවාරි 27දා මෙම ලැයිස්තුවට ඇතුලත් විය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ ආන්ඩුව පුල්වාමා බෝම්බ ප්‍රහාරයේ වගකීම ක්ෂනිකවම පාකිස්ථානය මත පටවමින් පාකිස්ථානය තුලට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් පාකිස්ථානය එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සමග දෙරට ගුවන් අතර ගුවන් හමුදා ගැටුමක් පැන නැගීමත් බිහිසුනු යුද්ධයක අනතුර මතු කලේය.

එම යුද්ධයේදී රටවල් දෙකම එකිනෙකාගේ යුද ගුවන් යානා එක බැගින් බිම හෙලනු ලැබ කඩා වැටුනු ඉන්දීය ගුවන් යානයේ නියමුවා පාකිස්ථානය මිලිටරියේ අත්අඩංගුවට පත්විනි. මාර්තු 1දා “සාමය සඳහා දොර විවෘත කිරීමේ” නාමයෙන් පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමත් සමග පුලුල් යුද්ධයක අනතුර තාවකාලිකව පහව ගිය බවක් පෙනී ගිය ද පකිස්ථානයට එරෙහි ඉන්දීය පාලක පන්තියේ යුද ඝෝෂාව අඛන්ඩව පවත්වාගෙන යාම යුද්ධයක් කරා ලුහුටා යාමේ අනතුර ගිනියම්ව පවතී.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිකුත් කල කෙටි ප්‍රකාශය, පකිස්ථානයට එරෙහි ඉන්දියාවේ මිලිටරි ප්‍රහාර අනුමත කරමින්, “ත්‍රස්තවාදයේ සියලු රූප හා විද්‍යාමානවීම්වලට එරෙහිව කෙරෙන්නාවූ සංග්‍රාමයට සිය තිර සහය ලබා දෙන” බවට පොරොන්දු විය. පාකිස්ථානය “ත්‍රස්තවාදීන්ට අනුබල දෙතැයි” යන ප්‍රකාශය ඉන්දියාව සෑම විටම යොදාගනිමින් සිටින්නේ, කලාපය තුල තමන්ගේ ආනුභාවය ඉහල දමා ගැනීම සඳහා ඉස්ලාමාබාදය මට්ටුකරගැනීමට පරිහරනය කල හැකි පහසු මෙවලමක් ලෙස ය.

“දකුනු ආසියා කලාපයේ සාමයට හා ස්ථාවරබවටත්, සංවාදය හා විශ්වාසය ගොඩනැංවීම මගින් ද්විපාර්ශවික ගැටලු විසඳීම ඇතුලු නොසන්සුන්කාරීබව සමනය කරන සියලු ප්‍රයත්නවලටත් ශ්‍රී ලංකාව සිය දැඩි සහයෝගය පල කරන” බව දන්වා සිටි එම ප්‍රකාශය, “සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවරබව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස” ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ඉල්ලා සිටියේ ය.

කරුනු දෙකක් නිසා මෙම ප්‍රකාශය ගැන අවම වසයෙන් කිවයුත්තේ දේශපාලනිකව විකාරසහගත බවය.

පලමු කොටම. දකුනු ආසියාතික කලාපයේ “සාමය හා ස්ථාවරභාවය සහතික කරන ආකාරයෙන් කටයුතු කරන ලෙස” ලංකාවේ ධනපති ආන්ඩුව ඉල්ලා සිටින්නේ කලාපයේ ජන්ම වෛරී ප්‍රතිමල්ලව රටවල් දෙකකිනි. දශක ගනනාවක් තිස්සේ, දකුනු ආසියාතික කලාපයේ සාමය හා ස්ථාවරභාවයට වල කැපීමෙහිලා ඉන්දියාවේ හා පාකිස්ථානයේ පාලක පන්තීහු මූලිකවම වගකිවයුතුවා මෙන්ම “ස්ථාවරත්වයක්” ඇති කිරීමට මෙම රටවල් දෙක ඓන්ද්‍රීයවම හා ඓතිහාසිකවම අසමත් ය.

හින්දු අධිපතිවාදී ඉන්දියාව හා මුස්ලිම් පකිස්ථානය යන රටවල් දෙක නිර්මානය කරනු ලැබුවේ, 1947දී ධනපති හින්දු හා මුස්ලිම් ධනපති දේශපාලන නායකත්වයේ පූර්න අනුමැතිය සහිතව බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් දකුනු ආසියාව ලේවැකි ලෙස දෙකඩ කල දේශපාලන කුමන්ත්‍රනයකිනි. එහි අරමුනවූයේ, දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිතිව අධිරාජ්‍යවාදයට සහ ඉනික්බිතිව බිහිකරන ලද බංකොලොත් ප්‍රතිගාමී ධනපති රාජ්‍ය පද්ධතියට එරෙහිව නැගෙමින් පැවැති විප්ලවවාදී මහජන අරගලය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදා මැඩලීමයි. එතැන් සිට ගතවූ දශක සටහන්ව ඇත්තේ සමාජ අතෘප්තිය වාර්ගික ගිනි ඇවිලවීම් හරහා මර්දනය කරමින් හින්දු හා මුස්ලිම් ධනපති පාලක ප්‍රභූවේ පන්ති අවශ්‍යතා රැක ගැනීමට ක්‍රියා කිරීමයි.

ඉන්දියාව හා පකිස්ථානය අතර මෑතම යුද ගැටුම්වලට හේතුවූ බෝම්බ ප්‍රහාරය සිදුවූ කාෂ්මීර අර්බුදය උපත ලැබුවේ මෙම බෙදීමේ ලේවැකි ප්‍රතිපලයක් ලෙසිනි. එතැන් සිට දශක ගනනාවක් තිස්සේ කාශ්මීර ජනයාට අනේක වධ වේදනාවන් උරුම කර දෙමින් මෙම ගැටුම උත්සන්න වෙමින් පවතින අතර භූ දේශපාලනික අධිකාරිය ඔසවා ගැනීමේ අරමුනින්, ඉන්දියාව හා පාකිස්ථානය 1947, 1965, 1971 සහ 1999 වසරවලදී ප්‍රධාන යුද්ධ හතරක නිරතවී තිබේ.

වත්මන් අර්බුදයේදී පැහැදිලිව පෙන්නුම් කරන ආකාරයට, චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානමේ මූලික සහකරුවෙක් ලෙස ඉන්දියාව වෙත වොෂිංටනයේ අඛන්ඩ සහාය ලැබීම මෙම ගැටුමේ භයංකාරත්වය පිමි ගනනින් ඉහල නංවා ඇත. ඉන්දියාව පකිස්ථානය තුලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම කෙරෙහි ට්‍රම්ප් පාලනය කොල එලි දැල්වූ අතර රටවල් දෙකටම “ගැටුම් සමනය කිරීමට කටයුතු කරන” ලෙස ප්‍රෝඩාකාරී ලෙස උපදෙස් දුනි. මෙම උපදෙස් විශේෂයෙන්ම එල්ලවූයේ පකිස්ථානය වෙත ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් මෙලෙස කටයුතු කරන්නේ, න්‍යෂ්ටික අවි සිය ගනනක් දරා සිටින රටවල් දෙකේ තකතීරු යුද්ධයකින් මිලියන ගනනක් ජනයා තත්පර කීපයකින් අතුගෑවී යාහැකි බව යහමින් දැනුවත්ව සිටින අතරතුර ය.

දෙවන හා ඉතා වැදගත් කරුන වන්නේ, දශක ගනනාවක් තිස්සේ මහජනයාට එරෙහිව ක්‍රියාවට දැමූ විසකුරු කප්පාදු ක්‍රියාවන් හා ඒ හා බැඳුනු ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන්ට එරෙහිව දැන් ඉස්මත්තට එන මිලියන සංඛ්‍යාත මහජනයාගේ පන්ති සටන් ගැන දැඩි ලෙස කැලඹිල්ලට පත්ව සිටින ඉන්දියාවේ මෙන්ම පකිස්ථානයේද ධනපති පාලක ප්‍රභූව හිතාමතාම වත්මන් යුද ඝෝෂාව අවුලුවන බවයි.

අගමැති මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂය පකිස්ථාන් විරෝධී හින්දු ස්වෝත්තමවාදය අවුස්සා මහජනයා අතර වැඩෙන සමාජ විරෝධය අවමංගත කොට යුද්ධය පිටුපස ගාල් කර ගැනීමට ක්‍රියාත්මකව සිටින අතර ඉන්දියානු විරෝධය ඇවිස්සවීම හරහා එම කටයුත්ත ඉටු කර ගැනීමට කප්පාදු වැඩපිලිවෙල නිසා අපකීර්තියට පත්ව සිටින අගමැති ඉම්රාන් ඛාන් තැත් කරයි.

වත්මන් අර්බුදකාරී තත්වයට පිලිතුරු සැපයීමට හැකියාවක් මෙම බංකොලොත් ධනපති පාලකයන්ට ඇත්තේ නැත. අභ්‍යන්තර ප්‍රතිඝතිතා මගින් ද ජාත්‍යන්තර භූ දේශපාලනික අවශ්‍යතා මගින් ද සංකීර්න කරන ලදුව කලාපයේ මිලියන සංඛ්‍යාත මහජනයාගේ ජීවිත හා දේපල ව්‍යසනයට හෙලනු ඇති යුද ගිනිමැලයක් කරා මෙම ධනපති පාලකයෝ දෙනෙත් වසාගෙන ඇදෙමින් සිටිති.

දෙමල බෙදුම්වාදී විමුක්ති කොටි සංවිධානයට එරෙහිව කොලඹ ආන්ඩු ත්‍රස්තවාදය මැඩීමේ නමින් දශක තුනක් තිස්සේ ගෙන ගිය යුද්ධයට එක්සත් ජනපදය ඇතුලු ප්‍රමුඛ බටහිර බලවතුන් මෙන්ම ඉන්දියාව සහය දුන්නේ ද, “කලාපයේ ස්ථාවරභාවය” රැකීමේ නාමයෙනි. ඉන්දියන් සාගරයේ මූලෝපායත්මකව පිහිටි දිවයින, එක්සත් ජනපදයේ චීන එරෙහි යුද සූදානමේ කේන්ද්‍රයක් කරගැනීම වැඩපිලිවෙල යටතේ එහි දේශපාලන “ස්ථාවරත්වය” පවත්වා ගැනීම ඉන්දියාවට හා වොෂිංටනයට වැදගත් සාධයක්වීම මෙයට හේතුව යි.

ලංකාවේ යුද්ධයේ අවසන් මාසවල චීනය නය හා යුද අවි සැපයීමෙන් මුලිකත්වය ගැනීම ඇමෙරිකාවේත් ඉන්දියාවේත් කනස්සල්ලට හේතු විය. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව චීනය සමග දේශපාලනික හා ආර්ථික සබඳතා තරකර ගැනීමට විරුද්ධවූ වොෂින්ටනය තිරය පිටුපස සිට මෙහෙයවූ පාලන තන්ත්‍රමාරුවකින් රාජපක්ෂ බලයෙන් හෙලා ඇමෙරිකන් ගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ආවේය.

සිරිසේන බලයට පත්වී ගෙවුනු වසර හතර තුල එක්සත් ජනපදයේ යුද සැලසුම් සමග ලංකාව ඒකාග්‍ර කිරීම වේගවත් විය. එක්සත් ජනපද මිලිටරි අවශ්‍යතා සපුරන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ලංකාව ඉස්මතු වෙමින් පවතින අතර 2007 වසරේදී රාජපක්ෂ පාලනය යටතේ වොෂිංටනය සමග අත්සන් කල ප්‍රවේශය සහ ප්‍රතිසේවා ගිවිසුම 2017දී අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් දින නියමයක් නැතිව අලුත් කිරීම මෙහි සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක.

ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම ලංකාව ද 1948 දී බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් “නිදහස්” කරනු ලැබුවේ, ජනවාර්ගික, ආගමික හා අනෙකුත් කෘතීම බෙදීම් මගින් කම්කරු පන්තියේ පන්ති එකමුතුව බිඳ දැමීමට හැකිවන අයුරිනි. සුලුතර දෙමල ජනයාට එරෙහි දශක තුනක ලේ වැකි වර්ගවාදී යුද්ධය එහි ප්‍රතිඵලයකි.

අධිරාජ්‍යවාදයට දහසක් හුයපටින් බැඳී සිටින ධනපති පාලක පන්තීන්, සාමයක් ඇති කිරීමට තබා ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ ප්‍රශ්න විසඳීමට ඓන්ද්‍රීයවම අසමත් ය. එය යථාවසයෙන් සිදුකල හැකි වන්නේ කම්කරුවන් ජාතික දේශසීමා කපාගෙන එකමුතුවී කෝටි සංඛ්‍යාත දුගීන්ගේ නායකත්වය ලෙස පෙලගැසී ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක වැඩපිලිවෙල යටතේ දකුනු ආසියාතික එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවීමෙනි.

කියවන්න:

ඉන්දියාව හා පාකිස්තානය අලුත් යුද තර්ජන එල්ල කරගනියි

න්‍යෂ්ටික ව සන්නද්ධ ඉන්දියාව හා පකිස්තානය මහා යුද්ධයක් අද්දර

ඉන්දියාව පකිස්ථානයට බෝම්බ හෙලයි, ඉස්ලමාබාදය මිලිටරි ප්‍රහාර එල්ල කරන බවට දිව්රයි

Share this article: