ජනතා කම්කරු සංගමයේ නායකයා “විප්ලවවාදී වෘත්තීය සමිති” තැනීමේ මිථ්‍යාවක් යෝජනා කරයි

නවීන් දේවගේ විසිනි, 2019 මාර්තු 28

ජනවාරි 28 වැනි දා, වතු සමාගම් සමඟ රහසේ අස්සන් කරන ලද ඊලඟ වසර දෙක සඳහා වන සාමුහික ගිවිසුම මගින්, රුපියල් දහසක දෛනික මූලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් ගෙන ගිය දීර්ඝ අරගලය වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබිනි. එම ගිවිසුමෙන් වැටුප් වැඩි වීමක් යනුවෙන් ඇස් බැන්දුමක් කර වැඩ වේගවත් කිරීමේ සැලසුමකට කම්කරුවන් යට කිරීමට වෘත්තීය සමිති තම පූර්න සහය වතු සමාගම්වලට පල කර ඇත.

ආන්ඩුවේ අනුමැතිය ඇති ව වතු සමිති සහ සමාගම් එලඹ ගත් ගිවිසුම කෙරෙහි වතු කම්කරුවන් අතර විරෝධය පැසවමින් පවතී. කම්කරුවන් පසු ගිය ඔක්තෝබර් මාසයේ පටන් ගෙනගිය අඛන්ඩ විරෝධතා ද දෙසැම්බර් මාසයේ දින නවයක් පැවැත් වූ වර්ජනය ද මුලුමනින්ම පාහේ සමිතිවලට එරහි කැරැල්ලක් ලෙස වර්ධනය විය. පාවා දීමේ ගිවිසුම අස්සන් කල පසු ව කම්කරුවෝ ඊට එරෙහි ව වතුකරය පුරා වර්ජන හා විරෝධතා පැවැත් වූ හ.

වතු සටන ආරම්භයේ පටන් ම සමිතිවල ක‍්‍රියාකලාපය පෙන්වා දුන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට තම අයිතීන් සඳහා සටන් කිරීමට සමිතිවලින් බිඳී තමන් ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගන්නැයි ඉල්ලමින් තියුනු දේශපාලන අරගලයක යෙදුනේ ය. සමාගම්වලට සහ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ඉල්ලීම් දිනාගැනීමට නොහැකි බව කී සසප, සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලේ ය.

මෙම මැදිහත් වීමට සාධනීය ප‍්‍රතිචාරයක් දක්වමින් ඇබොට්ස්ලි වත්තේ කම්කරුවන් පිරිසක් සසප මග පෙන්වීම අනුව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත් හ. එම ක‍්‍රියාව කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීන ව දේශපාලන බලයක් ලෙස මතු වීමට දරන අර්ථභාරී ප‍්‍රයත්නයක් පෙන්නුම් කරයි.

ඇබොට්ස්ලී කම්කරුවන් ගත් පියවර සමස්තයක් ලෙස, කම්කරු පන්තිය තුල වෘත්තීය සමිතිවල පාවා දීම් කෙරෙහි පලල් ව වැඩෙන විරුද්ධත්වයේ ප‍්‍රකාශනයකි. කම්කරුවන් සමිතිවලින් බිඳීමට දරන මෙම ප‍්‍රයත්නය ගැන ආන්ඩුව, සමාගම් හා සමිති නිලධරය මෙන් ම ව්‍යාජ වාම කල්ලි ද තැති ගැනී සිටිති.

සමිති නිලධරය හා මෙම වාම කල්ලි කම්කරුවන් අවමං ගත කිරීමටත් වෘත්තීය සමිති තුල ම ඔවුන් හිර කර තැබීමටත් නොයෙක් උපා ඇටවීම නව ඉහලකට නංවා ඇත. මෙහි එක් ප්‍රකාශනයක් වුයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවස්ථාවාදී ව “දහසේ ව්‍යාපාරය” නමින් උද්ඝෝෂනයක් ද අරඹමින් ගෙන ගිය ක‍්‍රියා කලාපයයි. කම්කරුවන් ගේ ඉල්ලීම “දිනීමට” සමිතිවලට ආයාචනා කිරීමත් අලුතින් සමිති අටවා ගැනීමත් එම පක්ෂය යෝජනා කලේය.

ජනතා කම්කරු සංගමයේ (ජකස) ලේකම් නීතිඥ ඊ. තම්බයියා ධනේශ්වර මාධ්‍යයන්ගේ ද සහයෝගය ඇතිව එබඳු ම විසකුරු ව්‍යායාමයකට අවතීර්න ව සිටින්නෙකි. මාඕවාදය ද එහි ම දේශපාලන දිගුවක් ලෙස අනන්‍යතා දේශපාලනය ද විකුනන ඔහු මාක්ස්වාදියෙකු ලෙස දෙමල ධනේශ්වර මාධ්‍ය විසින් පින්තාරු කෙරේ. ජකස පිහිටුවා ගැනීමට මත්තෙන් ඔහු මාඕවාදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (දැන් නව මාක්ස්-ලෙනින්වාදී පක්ෂය) ලේකම් ව සිටියේ ය.

මාඕවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (මෙම පක්ෂයේ පුලුටක් වත් දැන් නැත) ලේකම් ව සිට මිය ගිය, එන්. ශන්මුගදාසන්ගේ ජන්ම දිනය සැමරීමට හැටන් නගරයේ රැස්වීමක් පැවැත් වූ තම්බයියා, පාවාදීමට එරෙහි ව “වතු කම්කරුවන් ස්වාධීන ව සටනට බැහැපු තත්ත්වයක්” ඇති වී තිබෙන බවත්, “මේ තත්ත්වය තුල වතුකරය තුල වෘත්තීය සමිතියක් අවශ්‍ය ද නැද්ද යන සාකච්ඡාවක් ඇති වී” තිබෙන බවත් පිලිගත්තේ ය.

1980 දශකයේ ද වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි සාකච්ඡාවක් ඇති වූ බව කී ජකස ලේකම්, ඇන්ජී ඕ කාරයෝ ඊට මූලිකත්වය ගෙන “අධිරාජ්‍යවාදය වෙනුවෙන් පෙනී ඉඳිමින් සමිති වැනසීමට” තැත් කල බව කිවේ ය. “අද තත්ත්වය තුල දී ධනපති වෘත්තීය සමිතිවල නොහැකියාව මුල් කර ගෙන නැවතත් වෘත්තීය සමිති අවශ්‍ය නැතැයි යන අදහස මතු වෙමින් පවතිනවා” යැයි තම්බයියා සඳහන් කලේ ය.

තම්බයියා“අධිරාජ්‍යවාදය වෙනුවෙන් පෙනී සිටින එන්ජි ඕකාරයන්” කවුදැයි නම් කලේ නැත. එහෙත් වෘත්තිය සමිතිවලින් බිඳී ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගන ලෙස ඉල්ලමින්, සසප ගෙන යන අරගලය පලල් සහයෝගයක් දිනා ගනිතැයි යන්න ගැන ඔහු මෙන් ම අනෙක් වාම වෙස්ගත්තහු ද බිය පත් ව සිටිති.

ව්‍යාජ වමට වෘත්තීය සමිති පරමයක්

ඔහුගේ තර්කය නම් එදත් මෙදත් කම්කරුවන් වෘත්තීය සමිති පරම අවශ්‍යතාවක් ලෙස පිලිගත යුතු බව ය. “දරුවකුට දෙ මවු පියන් ආරක්ෂාව සපයන්නා සේ කම්කරුවන්ට මග පෙන්වීමට ආරක්ෂාවට වෘත්තීය සමිති අවශ්‍යයි...මෙසේ පන්නර ගන්වා ගන්නා කම්කරුවන් තමයි අනාගතයේ දී සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට යොදවා ගත හැක්කේ.” කොටින් ම, ඔහුට අනුව, වෘත්තීය සමිතිවලින් පිටස්තර ලෝකයක් කම්කරුවන්ට, වෙසෙසින් ම වතු කම්කරුවන්ට නැත; “සමාජ වෙනස්කම්” සඳහා කම්කරුවන් පුහුනු කෙරෙන්නේ ද සමිති හරහා ය.

ඉඳහිට මාක්ස්වාදියෙකු ලෙස පෙනී සිටීමට තැත් කරන තම්බයියා ගේ මේ ප‍්‍රකාශ හා මාක්ස්වාදය අතර නම් කිසිදු සම්බන්ධයක් නැත. සමිති වෙනුවෙන් පන දෙන මේ වර්ගයේ දේශපාලනයට කියනු ලබන්නේ වෘත්තීය සමිති අර්චනකාමය හෙවත් අධි-වන්දනයයි.

මාක්ස්වාදී ව්‍යාපාරය වෘත්තීය සමිති තුල සිය අරගලය ගෙන ගියේ කම්කරුවන් සංවිධානය වී සිටින තැනක් ලෙස ඔවුන් මත සිය ආනුභාවය පතුරුවා ගැනීමට මගක් ලෙසිනි. එසේ වුව ද, එම සංවිධානවල අධිකාරයට කම්කරුවන් යට කිරීමට හා එහි අධිකාරයට යටත්වීමට විප්ලවවාදී පක්ෂය සාකල්‍යයෙන් ම විරුද්ධ ය.

තම්බයියාට වෘත්තීය සමිති “දෙමව්පියන් වැනි” වුවත් කම්කරුවන් අත්දකින්නේ එහි අනෙක් පැත්තයි. හාම්පුතුන්, ආන්ඩුව හා රාජ්‍යය සමග එක පෙලට සිටගෙන කාර්මික පොලිසියක් ලෙස ක‍්‍රියා කරමින්, කම්කරුවන් අතීතයේ දිනාගත් යමක් ඇත්නම් එය ද උදුරා ගැනීමට සහයෝගය දෙන, සමාගම්වල ලාභ රැක දීමට හා මර්දනය උසි ගැන්වීමට කැප වූ සංවිධාන ලෙස ය.

සමිතිවල පාවා දීම කපා ගැනීමට ඔහු යෝජනා කරන්නේ “විප්ලවවාදී සමිති” හැදීමයි. ශන්මුගදාසන් “ලංකාවේ වතුකරයේ සහ අනිකුත් ප‍්‍රදේශවල විප්ලවවාදී වෘත්තීය සමිති ඇති කල යුතු ය යන අදහස ඉදිරිපත් කොට; ලංකා කම්කරු කොන්ග‍්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසයට හා කම්කරුවන්ගේ ජාතික සංගමයට එරෙහි ව “රතුකොඩි සංගමය” සෑදුවේය. රතු කොඩි සංවිධානයේ මැදිහත් වීමත් සමග කම්කරුවන් තමන්ව මර්දනය කරන පාලකයන්ව කපා කොටන තත්ත්වයට ඉදිරිපත් වූ බවත්, එම සංවිධානයට වතු හිමිකරුවන් බය වූ බවත් තම්බයියා උජාරුවෙන් කිවේ ය.

ඉන් පාඩම් උගෙන රතු කොඩි සමිති හෙවත් විප්ලවවාදී සමිති තැනිය යුතු යයි ඔහු කම්කරුවන්ට මාරක ලනුවක් දුන්නේ ය. මාඕවාදියෝ මෙම වියරු ක‍්‍රියාවලට කම්කරුවන් පෙලඹ වීම 1960 ගනන්වල හා ඉන් පසුවත් ඉන්දියාවේ ද සිදු කලහ. එහි එක් රූපයක් වුයේ ගෙරා ඕ ක‍්‍රියා- එනම් පාලකයන් වටලා තර්ජනය කිරීම්-සංවිධානය කිරීමයි. මෙම ක‍්‍රියා මොන තරම් රුදුරු වෙසක් ගත්ත ද ඉන් බලාපොරෝත්තු වුයේ පාලකයන් බිය ගන්වා, එනම් ප‍්‍රචන්ඩ බලපෑමක් දමා, ධනපති ක‍්‍රමය තුලම “ඉල්ලීම් දිනා ගැනීමේ” දේශපාලනයක් තුල කම්කරුවන් කොටු කිරීමකි.

තම්බයියා මෙය හඳුන්වන්නේ “විප්ලවවාදී” සමිතිවල ක‍්‍රියා කලාපය ලෙසයි. ඔහු ධනපති සමිති හා විප්ලවවාදී සමිති ලෙස බෙදීමකට ද යයි. මොන නමින් හඳුන්වා ගත්තත් වෘත්තීය සමිතිවල කාර්ය එක ම ය.

වෘත්තීය සමිතිවල සැබෑ කාර්ය

ශ‍්‍රම ශක්තිය වෙලඳ භාන්ඩයක් බවට පරිවර්තනය කෙරී ඇති ධනපති සමාජය තුල කම්කරුවන් සංවිධානය වී සිටින සමිතිවල භූමිකාව ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ සඳහන් කරයි:

“වෘත්තීය සමිති, ඉතා පැහැදිලි සමාජ ආර්ථික භූමිකාවක් මගින් කම්කරු පන්තිය නියෝජනය කරයි. එනම්, වෙලඳ භාන්ඩයක් වන ශ‍්‍රම ශක්තියේ විකුනුම් කරුවෙකු ලෙස ය. ධනවාදී නිෂ්පාදන සබඳතා සහ දේපොල රූපාකාරයන් මත පැනනැගෙන වෘත්තීය සමිතිවල සාරභූත අභිප‍්‍රාය වනුයේ, පවත්නා වෙලඳ පොල කොන්දේසි යටතේ මෙම වෙලඳ භාන්ඩය සඳහා හොඳ ම මිල සුරක්ෂිත කර දීමයි.” (වෘත්තීය සමිති සමාජවාදයට සතුරු ඇයි? විවාදාපන්න ප‍්‍රශ්න දෙකක්, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස, (කම්කරු මාවත ප්‍රකාශයකි); 180 පිටුව).

මෙය ප‍්‍රායෝගික ව ගන්නා ස්වරූපය පැහැදිලි කරමින් නෝර්ත් මෙසේ සඳහන් කරයි:

“ශ‍්‍රම ශක්තියේ මිල නියම කිරීම සහ කම්කරුවන් ගේ අතිරික්ත වටිනාකම් මිරිකා ගත හැකි පොදු කොන්දේසි නිර්නය කිරීමේ දී, හාම්පුතුන් සමග ඇති කර ගත් ගිවිසුම් ආරක්ෂා කිරීමේ දිශාවට සිය ප‍්‍රයත්නයන් යොමු කරමින් ගිවිසුම් ගත කොන්දේසිවල නියමයන්ට අනුකුල වන ආකාරයට සිය සාමාජිකයන් ගේ ශ‍්‍රම ශක්තිය සැපයීමට වෘත්තීය සමිතිවලට බල කෙරේ” (එම).

ධනවාදය කඩා වැටීමේ වත්මන් කාල පරිච්ඡේදය තුල වෘත්තිය සමිතිවල මෙම ක‍්‍රියා කලාපය වඩ වඩාත් නග්න ලෙස සෑම රටක ම ප‍්‍රකාශයට පත් ව ඇත. “විප්ලවවාදී සමිති” නමින් පෙනී සිටිනුයේ වෘත්තීය සමිති සිය පාවාදීම් තුලින් අපකීර්තියට පත්වන තත්වය තුල වාම වෙස්මුහුනක් දමනු ලැබ කම්කරුවන් කොටු කිරීමට ඇටවෙන උගුල්‍ ය. 1960 ගනන්වල රතු කොඩි සංගමය වතුවල ක‍්‍රියාත්මක වූයේ, හිස් වහසි බස් දොඩවන නායකයන් මුදුනේ තබා ගෙන ය. වැඩිකල් යන්නට මත්තෙන් එම සමිතිය අනෙක්වාට වඩා වෙනස් නැති බව පෙනී ගිය විට කම්කරුවෝ ඉන් ඉවත් වූ හ. දැන් එහි ඇටසැකිල්ලක් අනෙකුත් සමිති පිටුපස ගාටමින් සිටියි.

වතු සමිති පිරිහීම ගැන තම්බයියා අපූරු තර්කයක් ගොඩ නගා ඇත: “කලිං වතුකරයට හිටියෙ නියෝජිත මන්ත්‍රීවරයෙක්. 1977න් පසු වෘත්තීය සමිති අත හැර හැමෝ ම දේශපාලනයට ගිය නිසා වෘත්තීය සමිති වැඩ අතපසු වුනා.”

තම්බයියා ගේ මේ ඊනියා විශ්ලේශනය චීනය හා සෝවියට් සංගමය ගැන ඔහු ප‍්‍රකාශ කරන දෙයින් ද මනා ව පැහැදිලි වේ. ඔහුට අනුව, සෝවියට් සංගමය 1960 ගනන්වල අධිරාජ්‍යවාදී රටක් විය. 1949 චීන විප්ලවයෙන් පසු මාඕ සේතුං විප්ලවවාදී ව සිටියත්, 1977 පසු එරට ද අධිරාජ්‍යවාදී රටක් බවට පත් විය. මේවා ඉතිහාස විරෝධී “විශ්ලේෂනයන්‍” ය.

1917 සමාජවාදී විප්ලවයෙන් බලය ගත් රුසියාව සෝවියට් සංගමය දක්වා 1920 ගනන් මුල වර්ධනය වුව ද, 1924 බලයට පත් ස්ටැලින් ප‍්‍රමුඛ නිලධරයේ පාලනය යටතේ “තනි රටේ සමාජවාදය” යන ප‍්‍රතිගාමී වැඩපිලිවෙල ඉදිරිපත් කර, ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියා මාර්ගය අත් හැරීම නිසා පරිහානි ගත විය. 1949 චීන විප්ලවය ජය ගත් නමුදු, මාඕ නායකත්වය දුන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය පාදක ව සිටි තනි රටේ සමාජවාදය පිලිබඳ ජාතිකවාදී වැඩපිලිවෙල නිසා එය හුදෙකලා වී පරිහානි ගත විය. 1980 ගනන් වල ගැඹුරු වූ නිෂ්පාදනයේ ගෝලීයකරනයේ බරින් මැඩී මෙම දෙරටේ ම ජාතිකවාදී වැඩපිලිවෙල කඩා වැටුනි.

1979 පටන් ඇරඹි ක්‍රි‍යාවලියක් තුල චීනයේ ධනවාදය පුනස්ථාපනය කිරීම වේගවත් විය. ධනවාදී ප‍්‍රවනතාවන් වර්ධනයට දිරි දුන් ස්ටැලින්වාදී නිලධරය 1991 සෝවියට් සංගමය විසුරුවා හැර ධනපති පුනස්ථාපන ඇරඹුහ. මේ රටවල් දෙක අධිරාජ්‍යවාදී රටවල් බවට පත්ව නැත. ඒවා අධිරාජ්‍යවාදී රටවලට මැදිවී සිටින ධනපති රටවල් බවට පරිවර්තය වී ඇත.

වෘත්තීය සමිති කම්කරුවන් ගේ කොන්දේසි සඳහා කේවල් කිරීමේ සංස්ථාවල සිට කම්කරුවන් ගේ අයිතීන් උදුරා දෙමින් ලාභ අවශ්‍යතා රැක දෙන විවෘත ඒජන්සි බවට පරිවර්තනය වීමට තුඩු දුන්නේ ද සෝවියට් සංගමය හා චීනය ධනවාදය පුනස්ථාපන කෙරෙන රටවල් බවට පත් කිරීමට තුඩුදුන් ධනවාදයේ ගෝලීයකරන සන්තතියම යි.

ක‍්‍රියාකාරී කමිටුවල අවශ්‍යතාව

නිෂ්පාදනයේ ගෝලීයකරනය තුල ලාභ සුරා ගැනීම සඳහා ප‍්‍රාග්ධනය රටින්‍ රටට ගලා යාමේ සන්තතියක් සිදු වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම ප‍්‍රාග්ධනයේ රැකවලෙකු ලෙස සමාජ අයිතීන් කප්පාදුවට අන කරයි. මෙම ප‍්‍රහාර ක‍්‍රියාවට දමන මහා සංගත හා ආන්ඩුවලට වෘත්තීය සමිති එක් ව සිටිති. මොන ම මහා බලපෑම් දැමීමකින් වත් සංගතවල සහ ඒවායේ ඒජන්ත ආන්ඩුවල ප‍්‍රහාරය වෙනස් කරගත නො හැකි ය.

ජාත්‍යන්තර ව ම කම්කරු පන්තියේ අරගලය වර්ධනය වී ඇත්තේ මේ කොන්දේසි තුලයි. කම්කරු පන්තිය ඉදිරියේ ඇත්තේ ජාත්‍යන්තර එකමුතුව ගොඩනගා ගනිමින් ධනවාදය පෙරලා දමා සමාජවාදය තහවුරු කිරීමට සටන් කිරීමේ විකල්පයයි.

සෑම රටක් තුල ම කම්කරු පන්තියට මෙම අරගලය ගෙන යාමේ දී වෘත්තීය සමිති විලංගුවෙන් බිඳී, තම ස්වාධීන ශක්තිය මුදා හැරීම සඳහා, තම ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීම තීරනාත්මක අවශ්‍යතාවක් ලෙස මතු වී ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී සමානතා පක්ෂ කම්කරුවන් ගේ ක‍්‍රියාකාරී කමිටු ගොඩනැගීමට මූලිකත්වය ගෙන ඇත්තේ මේ නිසා ය. කම්කරුවන් සමිති නිලධරය වැද්ද නොගෙන සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයෙන් මෙම කමිටු පත් කර ගැනීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තීන්දු ගැනීම සිදු කල යුතු ය.

ඇබෝට්ස්ලී වත්තේ කම්කරුවන් ක‍්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීම සහ එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් කම්කරුවන් වැඩපොල කම්කරු සාමාජික කමිටු (රෑන්ක් ඇන්ඩ් ෆයිල් කොමිටි) ගොඩ නැගීම පසු ගිය මාසවල සිදු වූයේ සසප මැදිහත් වීමෙනි. සසප මාර්තු 17 වැනි දා හැටන් නගරයේ පැවැත්වූ වතු කම්කරු සම්මේලනය සහ රථවාහන කම්කරුවන් පෙබරවාරි 9 වැනි දා ඩෙට්‍රොයිට් නගරයේ පැවැත් වූ පෙලපාලිය ජාත්‍යන්තර ව ම කම්කරු පන්තිය තුල මෙම අරගලය කිරීමේ ශක්‍යතාව තහවුරු කර ඇත.

වත්මන් යුගයේ විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියට සමාජවාදය සඳහා අරගලය දියත් කල හැකි වන්නේ, ධනපති පන්තියේ සියලු කන්ඩායම්වලින් බිඳී, එමෙන් ම සමිතිවලින් වෙන් ව සිය පන්ති ස්වාධීනත්වය තහවුරු කරගෙන දේශපාලන බලයක් ලෙස බලමුලු ගැන්වීමෙනි.

ජකස ඇතුලු සමිති නිලධරය හා ව්‍යාජ-වම අටවන උගුල් ප‍්‍රතික්ෂේප කර මෙම අරගලය අතට ගන්නා ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: