ගුරු සංගම් විරෝධතාවට පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 මාර්තු 02

බ්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුනේ ලංකා ගුරුසේවා සංගමය (ලගුසේස) විසින් සංවිධානය කර තිබූ ගුරුවරුන්ගේ විරෝධතාවයට ආන්ඩුව පොලිසියේ කැරලි මර්දන ඒකක යොදවා ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කලේය.

ඒකාබද්ධ ගුරු සංගමයේ විරෝධතාවය

දහස ඉක්මවූ පාගමනකින් විරෝධතාකරුවන් අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිනෙද්දී, පොලිස් භටයින් සහ අධි පීඩන ජලවිදින රථ එහි දොරටුව අසල සීරුවෙන් තබා තිබුනි. අමාත්‍යංශ ලේකම් සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව ප්‍රකාශ කරමින් විරෝධතාකරුවන් අමාත්‍යංශය තුලට ගමන් කිරීමට උත්සහ කරද්දී නොනවත්වා ඔවුන් දෙසට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කෙරුනු අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලගුසේස වැලිමඩ කලාප ලේකම් රෝහල් ගත කෙරින.

ගුරුවරුන්ගේ විරෝධතාවයට එල්ල කෙරුනු ප්‍රහාරය නැවත වතාවක් පෙන්නුම් කරන්නේ කම්කරුවන් සිය මූලිකම අයිතිවාසිකම් සඳහා ගෙනයන කවර අරගලයක් වුවත් රුදුරුම අන්දමින් තලාදැමීම සඳහා ආන්ඩුවේ සූදානමයි. අනෙකුත් බෙහෝ ක්ෂේත්‍රයන් හි මෙන්ම මෙම විරෝධතාවයේද ප්‍රධන සටන් පාඨය වූයේ අවම මට්ටමක පවතින ගුරුවරුන්ගේ වැටුප ඉහල නංවාගැනීමයි. ඊට අමතරව ගුරුවරුන්ට පැවරෙන රාජකාරි වැඩි කිරීම සහ 2016න් පසු පත්වීම් ලැබුවන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහි වීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් විරෝධතාවයට එක්කොට තිබුනි.

ඉතා අවම මට්ටමේ වැටුප් සහ ඉහල යන වැඩ ප්‍රමානය හේතුවෙන් වසර ගනනාවක් පුරාම ගුරුවරුන් අතර පැතිර පවතින්නේ පුලුල් අතෘප්තියකි. දීමනාවන් සහිතව රු 35,000 කට ආසන්න වන සාමාන්‍ය ගුරුවරයෙකුගේ වැටුප පවුලක නඩත්තුව සඳහා කිසිසේත් ප්‍රමානවත් නොවේ. බහුතරයක් ගුරුවරුන්ගේ වැටුපෙන් නයතුරුස් සඳහා අයවීම් කපාගත් පසුව අතට ලැබෙන මුදල සොච්චමකි. මේ තතු තුල ගුරුවරුන්ට අමතර පන්ති පැවත්වීම හෝ වෙනත් අමතර ආදායම් මාර්ගයකට යොමුවීමට බල කෙරී පවතියි.

මේ වන විට රජයේ පාසල් වල ඉගැන්වීම් කටයුතු වල නිරත ගුරුවරුන් ගනනින් 250,000කට ආසන්න ය. මෙම ගුරුවරුන්ගේ වැටුප් අද පවත්නා මට්ටමට පිරිහී ගොස් ඇත්තේ දීර්ඝ කාලයක් මුලුල්ලේ සෑම අනුප්‍රාප්තික ආන්ඩුවක් විසින්ම එකදිගට කරගෙන ගිය කප්පාදුවක ප්‍රතිඵලයක් ලෙසයි. අනෙකුත් දීපව්‍යාප්ත සේවාවන් හා සම තත්වයේ පැවති ගුරු සහ විදුහල්පති සේවාවන්හි වැටුප් 1997 සිට ක්‍රමානුකූලව කප්පාදු කිරීම ඇරඹුනු අතර අදවන විට ගුරුවරයෙකුගේ ආරම්භක වැටුප සහ එම දීපව්‍යාප්ත සේවාවන්ගේ වැටුප් අතර රු 15,000ක පමන වෙනසක් පවතියි. ජීවන වියදම දිනෙන් දින ඉහලයාමත් අනෙක් පසින් සිය වැටුප් කඩාවැටීමත් හේතුවෙන් ගුරුවරු මුහුන දී සිටින්නේ ඉතා දුෂ්කර ජීවන කොන්දේසි වලටයි.

පොලිස් ප්‍රහාරයෙන් තුවාල වූ ගුරුවරයා

ගුරු සංගම් ශේනිවාදී ප්‍රවේශයක් ගනිමින් මෙය ගුරුවරුන්ට පමනක් සුවිශේෂ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සහ දරන නමුත් අනෙකුත් බොහෝ ක්ෂේත්‍රයන් හි වැටුප් පහලයමින් හෝ එකතැන පල්වෙමින් පවතී. යම් කාලවකවානුවකදී වඩා වරප්‍රසාදිත තත්වයක් ඉසිලූ වෘත්තිකයින් පවා සිට වැටුප් හා දීමනා කප්පාදුවකට මුහුන දී සිටිති. පසුගිය 27 වනදා අධ්‍යාපන පරිපාලන, රාජ්‍ය ඉන්ජිනේරු ආදී රජයේ විධායක සේවයේ ක්ෂේත්‍ර 16ක සේවකයින් තමන්ට අහිමි කෙරුනු වැටුප් වැඩිවීම් හා දීමනා ඉල්ලීම් මුල්කරගෙන එක්දින වර්ජනයක සහ විරෝධතාවක නිරතවූහ.

සෑම ක්ෂේත්‍රයක කම්කරුවන් මුහුනදෙන වැටුප් හා සුබසාධන කප්පාදුවට පවතින්නේ එකම මූලයකි. ලෝක ධනපති ක්‍රමය මුහුන දී සිටින දැවැන්ත මූල්‍ය අර්බුදය මධ්‍යයේ ලොව පුරා පාලක පන්තීන්ගේ උත්සුකය වන්නේ කම්කරු පීඩිත මහජනතාවන් මත බර පටවමින් ඉන් ගොඩ ඒමයි. එම අර්බුදයේම කොටසක් ලෙස ලංකාවේ ආන්ඩුව, උග්‍රවන ගෙවුම් ශේෂ හිඟය සහ ඉහල යන නය කන්දරාවෙන් මිරිකී සිටියි. එම තත්වයට මුහුනදීමට නම් කම්කරුවන්ගේ වැටුප් හා සුබසාධන කපා දැමිය යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) ආන්ඩුවට අනදෙයි. ලංකාවේ ගුරුවරුන්ද ඇතුලත් සමස්ත ලෝකයේම කම්කරු පන්තියම මුහුන පා සිටින රැකියා කොන්දේසි පිරිහීයාමේ මූලය වන්නේ ධනපති ආන්ඩුවල මෙම ප්‍රහාරයයි.

ධනපති ක්‍රමයේ මෙම පද්ධතිගත අර්බුදය ප්‍රතික්ෂේප කරන වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන්ගේ අයිතිවාසිකම් නැතිභංහ වී යාම ඒ ඒ ආන්ඩුවේ මැති ඇමතීන්ගේ දුෂ්ටකමක් හෝ අදාල බලධාරීන්ගේ නොතැකීමක් ලෙස හුවාදක්වති. එම තර්කයට අනුව යමින් ඔවුන් කරන්නේ ආන්ඩුවලට හෝ එහි නිලධාරීන්ට හැකිතාක් බලපෑම් දැමීමෙන් සිය අයිතිවාසිකම් දිනාගත හැකිය කියමින් කම්කරුවන්ට ලනු දීමයි. ඊයේ විරෝධතාවයේදී ද ලගුසේස නායකයින් ප්‍රධාන අරමුන කරගත්තේ ”ප්‍රශ්න විසඳාගැනීමට” අමාත්‍යංශ ලේකම් සමඟ සාකච්ඡාවක් ඉල්ලාගැනීමයි. අමාත්‍යංශ ලේකම් සමඟ හෝ මොනයම් ඉහල නිලයක් සමග කෙරෙන සාකච්ඡාවකින් ධනපති ක්‍රමයේ ජාත්‍යන්තර අර්බුදයෙන් ගලා එන ප්‍රශ්න විසඳාගැනීමට නොහැකිය යන අවබෝධය කම්කරුවන් වෙත ලඟාවීම ඔවුහු වලකාගෙන සිටිති.

සාකච්ඡා නොමැතිව පැය තුනක කාලයක් පමන රස්තියාදුවීමෙන් පසු එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ බොරු ගෝරනඩුවක් කරමින් “අපි උඹලට [පාලකයින්ට] සති දෙකක් කල් දෙනවා අවුරුදු 22ක වැටුප් විෂමතාව ඇතුලු මේ ප්‍රශ්න විසඳන්න. එහෙම නැත්නම් ලබන [මාර්තු] 13 වනදා මීටත් වඩා දැවැන්ත විරෝධතාවකින් ඊට පිලිතුරු දෙනවා” යැයි පැවසීය.

ඔවුන් මෙවැනි දැවැන්ත විරෝධතා ගැන කියමින් කම්කරුවන් වසර ගනනාවක් පාවාදීම් තුලින් ඇදගෙන ගොස් තිබේ. වැටුප් විෂමතාවය පැවතුනා යැයි ඔවුන්ම පෙන්වාදෙන කාලය වසර 22ක් තරම් දීර්ඝ වීමෙන්ම පෙන්නුම් කෙරෙන්නේ එම කාලය තුල කම්කරුවන් නිවැරදි, අධිෂ්ඨානශීලි අරගලයකට ඇතුලුවීම වලකාගෙන සිට ඇති බවයි.

ගුරුවරුන් විසුරුවා හරින මොහොතේ නැවත නැවතත් ධනපති ආන්ඩුව කෙරෙහිම බලාපොරොත්තු තබාගත යුතුය යන මිත්‍යාව වපුරමින් ජයසිංහ ප්‍රකාශ කලේ “ලබන පස් වෙනිදා එනවා අයවැය මේ මහත්තුරු කිව්වා අය වැයට යෝජනා දීපල්ලා කියලා, ලංකා ගුරු සේවා සංගමය මේ හැම ප්‍රශ්නෙකටම අදාලව මුදල් ඇමතිට ජනාධිපතිට යෝජනා දුන්නා, වැටුප් කොමිසමට, මානව හිමිකම් කොමිසමට ලිව්වා, මානව හිමිකම් කොමිසමෙන් තීන්දුවක් දුන්නා මාස තිහක හිග වැටුප් ගෙවන්න”යනුවෙනි.

ධනපති ක්‍රමයට එරෙහි අරගලය වර්ධනය කිරීමේ මුල් පියවරක් වන්නේ සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන්ගේ ඒකාබද්ධතාවයයි. එවැනි ඒකාබද්ධතාවයක් වෘත්තීය සමිතිවල ග්‍රහනය පෙරලාගෙන ධනපති ක්‍රමයට අභියෝග කරමින් ඉදිරියට එනු ඇතැයි බියපත්වන සමිති නායකයෝ එය වලක්වාගෙන සිටිති. වතුකම්කරු වැටුප් අරගලය ඇතුලුව රටපුරා පැන නැගී ඇති අරගලවල නිරත කම්කරුවන් වෙත ඒකාබද්ධතාවය වෙනුවෙන් කෙරෙන එකදු ඉල්ලීමක් හෝ ලගුසේස විරෝධතාවයට අඩංගු වූයේ නැත.

අඩුම තරමින් එම ගුරුවරුන් අතරවත් එම එකමුතුව වර්ධනය වීම මෙම වෘත්තීය සමිති විසින් වලක්වාගෙන සිටන අන්දම වඩා නාටකාකාර ආකාරයෙන් පැහැදිලි වුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් නායකත්වය දෙන ඒකාබද්ධ ගුරුසේවා සංගමය (ඒගුසේස) ඊට පැය කිහිපයකට පසු ලගුසේස ඉල්ලීම මුල්කර ගනිමින්ම තවත් විරෝධතාවයක් පැවැත්වීම තුලිනි. ඒගුසේස විරෝධතාවය විදර්ශන කන්නන්ගර ආදී ව්‍යාජ වම්මුන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුනු අතර නායකත්වයේ සිටින්නේ පෙසපයෙන් මෙහෙයවෙන කලක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මන්ඩලයේ කැඳවුම්කරුව සිටි සංජීව බන්ඩාරයි.

පොලීසිය ලගුසේස විරෝධතාකරුවන්ට පහර දෙයි

පෙසප වෘත්තීය සමිතිය මෙලෙස ලගුසේසයෙන් වෙන්වී විරෝධතාවයක් කැඳවීම අතිශය ප්‍රෝඩාකාරීය. ජවිපෙ වෘත්තීය සමිති ධනපති ආන්ඩු සමග හවුලේ වසර ගනනාවක පාවාදීම් අත්විඳ ඇති කම්කරු පන්තිය අතර ඊට එරෙහිව වර්ධනය වන විරෝධයේ අනතුර දැකගන්නා පෙසප බොරු සටන්කාමීත්වයක් පෙන්වමින් කම්කරු පන්තිය යලිත් බලපෑම් දැමීමේ දේශපාලන උගුල තුලම සිරකර තබාගැනීමට උත්සාහයක යෙදී සිටියි.

පෙසප විසින් අටවාගෙන ඊනියා “1000 (රුපියල්) ව්‍යාපාරය,” වතු කම්කරු මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය හා ජාතික අරගල මධ්‍යස්ථානය ආදී සංවිධානයන්ද කලඑලි බැස ඇත්තේ එම විසකුරු ක්‍රියකලාපය සඳහාය.

මෙම විරෝධතාවයට පෙර ඒගුසේස බෙදාහැරි පත්‍රිකාවේ මේ අරමුන කෙලින්ම පැහැදිලි කෙරී තිබුනි. ”ඇතැම් වෘත්තීය සමිති ආන්ඩුවේ පොරොන්දුවලට රැවටිලා මේ අරගලය අතනොහරින්න, ඒ විතරක් නෙවෙයි ඇතැම් වෘත්තීය සමිතිවල පාවදීම් නොවෙන්න අපිට මේ අරගලය ජයග්‍රහනය කරන්න තිබුනත් දැන් ඒ ගැන පසුතැවිලි වෙන එක තේරුමක් නැහැ. ඒ වෙනුවට අපි ඒ සියලු අත්වැරදි නිවැරදි කරගෙන නැවත සටන්වැදිය යුතුයි.

ලංකා ගුරුසංගමයේ පාවාදීම් ගැන හඬ තලමින් ඉන් කැඩී ලගුසේස පිහිටුවූයේය. දැන් පෙසපින් තවත් එවැනිම අන්ඩක්.

මෙය වනාහී වෘත්තීය සමිති විසින් කම්කරු පන්තියට අත්කර දී ඇති සියලු පරාජයන් නරුම ලෙස සාධාරනීකරනය කිරීමක් පමනක් නොවන අතර එම පරාජයන් තුලින් වෘත්තීය සමිතිවල වැඩපිලිවලෙහි බංකොලොත් ස්වභාවය වටහාගත නොහැකිවන පරිදි කම්කරුවන්ගේ ඇස්වලට වැලිගැසීමකි.

”ඇතැම් වෘත්තීය සමිති” වල අත්වැරදි නිවැරදි කරගැනීම ගැන ඒගුසේසයේ පච මොහොතකින් එලිදරවු කරමින් ලගුසේස කල පරිදිම ඔවුනුත් පාලනාධිකාරිය සමග සාකච්ඡාවක් ඉල්ලා බෙරිහන්දුන් අතර අමාත්‍යංශ ලේකම් සමග සාකච්ඡාවේදී මෙම ගැටලු වැටුප් කොමිසමට ඉදිරිපත්කරන බවට ලැබුනු පොරොන්දුවෙන් පසු විරෝධතාකරුවන් විසිරුවා හැරියේ පොරොන්දු කඩකෙරුනොත් මීට වඩා ලොකු විරෝධතාවයකින් පිලිතුරු දෙන බවට ලගුසේස විසින් කල පූච්ඡානමම පුනරුච්ඡාරනය කරමිනි.

පෙසප වෘත්තීය සමිති අනිත් ඒවායින් වෙනස් බවට මවාපෑම් කරමින් එකම බංකොලොත් වැඩපිලිවෙල තොරොම්බල් කරමින් සිටිති. එහෙත් ලෝකය පුරා කම්කරුවන් අතර වර්ධනය වන අරගලයන් තුල වර්ධනය වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ මනෝභාවයකි.

මෙක්සිකෝවේ රථවාහන අමතර කොටස් කම්කරුවන්ගේ වර්ජනය, ඇමරිකාවේ මෝටරථ කම්කරුවන් සහ ගුරුවරුන්ගේ වැඩවර්ජන වලදී කම්කරුවෝ වෘත්තීය සමිතිවලට එරෙහිව අදහස් දක්වන්නටත්, සටන්පාඨ ප්‍රදර්ශනය කරන්නටත් පටන්ගෙන ඇත.

ලංකාවේ වතුකම්කරු අරගලය මැද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආධාරය ඇතිව වෘත්තීය සමිතිවලට එරෙහිව ඇබෝස්ලි වත්තේ කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගූ අතර ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් කම්කරුවන් සහ ඕක්ලන්ඩි හි ගුරුවරුද එවැනිම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇත. ලොව පුරා කම්කරුවන් තමන්ගේ අරගල වර්ධනය කිරීමේදී අනුගමනය කලයුත්තේ මෙම ආදර්ශයයි.

ඇබෝස්ලි වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව, සසප සමග සහයෝගයන් මාර්තු 17 දා හැටන් නගර ශාලාවේ පවත්වන කම්කරු සමුලුවට සහභාගිවන ලෙස ගුරුවරුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. එම සමුලුව වතු කම්කරුවන් මෙන්ම සමස්ත කම්කරු පන්තියටම සිය අරගලය වර්ධනය කිරීමේ මුලෝපාය සාකච්චා කරනු ඇත.

Share this article: