දෙලක්ෂයක් පාසල් ගුරුවරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වර්ජනයේ යෙදෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 19

වැටුප් වැඩි නොකිරීමට හා දුෂ්කර සේවා කොන්දේසි වලට එරෙහිව පාසල් ගුරුවරු සහ විදුහල්පතිවරු මාර්තු 13 වෙනිදා ද්වීපව්‍යාප්ත එක් දින වර්ජනයක නිරත වූ හ. මාධ්‍ය හා ධනපති පාලක පන්තිය විසින් අවුලුවාලන වාර්ගික භේදකරනයන් නොතකා උතුරු-නැගෙනහිර පලාත්වල සහ වතුකරය ද ඇතුලුව 200, 000 ට අධික ගුරුවරු එය ට සහභාගී වූ හ.

වර්ජනය නිසා දිවයිනේ දස දහසක ට අධික පාසල් වල කටයුතු මුලුමනින් අකර්මන්‍ය වූ බවත් අධ්‍යාපන පැය මිලියන 43 න් මිලියන 25.8 ක් අහිමි වූ බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් ප්‍රකාශ කර ඇත. කොලඹ, ගාල්ල, මහනුවර, අනුරාධපුරය ඇතුලු නගර ගනනාවක වර්ජිත ගුරුවරුන්ගේ පිකට් උද්ඝෝෂන පැවත් වුනි.

මෙය 200,000 ක් ගුරුවරු සහභාගී වූ 2007 සැප්තැම්බර් 13 වර්ජනයෙන් පසු සිදු කෙරුන විශාලතම ගුරු වර්ජනයයි. එමෙන් ම එය දෙසතියක් තුල සිදු වූ ගුරුවරුන්ගේ දෙවන විරෝධතා උද්ඝෝෂනයයි. පෙබරවාරි 28 වෙනිදා ද දහසකට අධික ගුරුවරු බත්තර මුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක යෙදුනි. කැරලි මර්දන පොලීසිය යොදා ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ආන්ඩුව එය රුදුරු ලෙස මර්දනය කලේ ය.

බී.සී. පෙරේරා වැටුප් කොමිසමෙන් ඇති කල වැටුප් විෂමතා ඉවත් කිරීම, දල ජාතික නිෂ්පාදිතයෙන් 6 ක් අධ්‍යාපනයට වෙන් කිරීම, 2016 පසු පත්වීම් ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ඉවත් කිරීම, ගුරුවරුන්ට අනවශ්‍ය බර පැටවීම නතර කරන ලෙස ගුරුවරු ඉල්ලා සිටිති.

බලයේ පැවති ආන්ඩු විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව දසක ගනනාවක් තුල මෙම ප්‍රහාරයන් ක්‍රියාවට දමනු ලබයි. එයට එරෙහිව ගුරුවරුන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම ගුරු සංගම් විසින් මුලුමනින් ම පැහැර හැර ඇත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ආන්ඩු වලට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතාවලට කොටු කර ඔවුන්ගේ අරගලය අවමන්ගත කිරීම ය.

මාර්තු 13 දා වර්ජනය කැඳවුයේ, ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා ගුරු සංගමයයි. ගුරුවරුන් අරගලයට ඒම වැලැක්වීම සඳහා පිකට් කිරීම් වැනි විරෝධතා වල යෙදුනු මෙම සමිති වර්ජනයක් කැඳවන බව නිවේදනය කිරීමත් සමග ඊට ලැබුනු බලවත් ප්‍රතිචාරයෙන් පෙන්නුම් කරන්නේ තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ගුරුවරුන් අතර පවතින දැවෙන උවමනාව යි.

ලංකාවේ ගුරුවරුන්ගේ වර්ජනය අධ්‍යාපන කප්පාදුවට සහ එහි ප්‍රතිඵලයක් ලෙස වැටුප් හා සේවා කොන්දේසි පහල දැමීමට විරුද්ධ ව වර්ධනය වන ගුරුවරුන්ගේ ගෝලීය අරගලයක අත්‍යන්ත කොටසකි. ධනපති ආන්ඩු සමාජ අයිතීන් උදුරා ගැනීමේ කොටසක් ලෙස සෑම රටකම අධ්‍යාපනය බරපතල ප්‍රහාරයකට ලක්ව තිබේ.

පසුගිය මාස දෙක තුල ඇමරිකාව, බ්‍රසීලය, මෙසිකෝව, ජර්මනිය, නෙදර්ලන්තය, පෘතුගාලය, මොරොක්කෝ, සිම්බාබ්වේ සහ ඉන්දියාව ඇතුලු රටවල දසදහස් සංඛ්‍යාත ගුරුවරුන්ගේ සහභාගිත්වය සහිත අරගල මාලාවක් පුපුරා ගිය අතර මාර්තු 17 වෙනිදා යලිත් නෙදර්ලන්තයේ 100,000 අධික ප්‍රාථමික පාසල් ගුරුවරු වර්ජනය කලහ.

අධ්‍යාපන කප්පාදුව, ගුරු හිඟය, ප්‍රමානවත් පහසුකම් නැතිකමට හා රාජ්‍ය මර්දනයට විරුද්ධව ලංකාවේ විශ්ව විද්‍යාලවල හා පාසල්වල ද සිසුන් හා දෙමාපියන් අතර ද පලල් විරෝධතාවයක් වර්ධනය වෙමින් තිබේ. එය සමාජ අයිතීන් කප්පාදුවට එරෙහිව මෝදුවෙමින් පවතින සමාජ අරගලවල පෙර ඇඟවුමකි.

ගුරුවර වර්ජනයට පලල් සහභාගිත්වය හා සටන්කාමිත්වය නිසා ආන්ඩුව සහ ධනපති ජන මාධ්‍ය කුලප්පු වී ඇත. “වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවක්” යයි අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් ගුරු අරගලයට පහර ගැසීය.

වර්ජනයට පසුදින; එය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කල අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇති හෙයින් වර්ජනය “අසාධාරන” බවත් වැඩ වර්ජනය තුල ඇති “අවස්ථාවාදී අරමුනු රටේ ජනතාව සහ අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලූ දෙනා හොඳින් අවබෝධ කරගත යුතු” බවත් සඳහන් කර ඇත. එහෙත් එම “අවස්ථාවාදී උවමනාවන්” මොනවාදැයි අමාත්‍යාංශය කියා නැත.

එදින දිවයින පුවත්පත අමාත්‍යාංශය සමග පෙලගැසී කතුවැකියක් ලියා ඇත. ලෙඩුන් සහ මගීන් “ප්‍රාන ඇපයට” ගන්න වෛද්‍යවරුන්, පුද්ගලික බස් හිමියන් සහ රියදුරන් මෙන් ගුවරුන් ද පාසල් සිසුන් “ප්‍රාන ඇපයට” ගෙන තම ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කරන බව ට චෝදනා කර ඇත. ආන්ඩුවේ සහ ධනපති මාධ්‍යවල මෙම විසකුරු ප්‍රකාශයන් ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තියේ වැඩෙන අරගලවලට එරෙහිව ප්‍රකෝපකරනයන් උසිගැන්වීමේ දුෂ්ට තැතකි.

ආන්ඩුවේ මර්දන හස්තය ශක්තිමත් කරනු ලබන්නේ වෘත්තීය සමිති විසින් අරගල යටපත්කිරීමට කරන ක්‍රියා විසිනි. මාර්තු 13 වෙනිදා ගුරු වර්ජනය සහ උද්ඝෝෂනයේ දී ගුරු සංගම් ක්‍රියාත්මක වූයේ ගුරුවරුන් බෙදීමට හා ඔවුන්ගේ සාමූහික අරගලයක් වර්ධනයවීම වැලැක්වීමට ය.

ලංකා ගුරුසේවා සංගමය (ලංගුසේස) සමග පෙලගසුනු ගුරු සංගම් කිහිපයක් නුගේගොඩ සහ තවත් නගර කිහිපයක වෙනම උද්ඝෝෂන සංවිධානය කර තිබුනි. ලංගුසේස පාලනය කරනු ලබන්නේ ධනපති දේශපාලන සංස්ථාපිතයට බද්ධ වී ඇති ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) විසිනි. ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග පෙලගැසී සිටින ලංකා ගුරු සංගමය (ලංගුස) කොලඹ කොටුවේ දුම්රියපොල ඉදිරිපිට වෙනම උද්ඝෝෂන සංවිධානයක් කලේ ය. ලගුස පෙබරවාරි 28 විරෝධතාවට සහභාගිවූයේ නැත.

“ආන්ඩුව ගුරුවරුන්ගේ ශක්තිය තේරුම් ගතයුතු බවත් අප්‍රේල් වන විට විසඳුමක් නො ලැබුනොත් අඛන්ඩ වැඩ වර්ජනයක් කරන” බවත් ලගුසේස ලේකම් මහින්ද ජයසිංහ මාර්තු 13 උද්ඝෝෂනයෙන් පසු මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

අධ්‍යාපන බලධාරීන්ට යවන ලද ලිපිවලට පිලිතුරක් වත් නැතැයි කොටුවේ පැවති උද්ඝෝෂනයේ දී නහයෙන් හැඬු ලගුස ලේකම් ජෝශප් ස්ටාලින් “අද වර්ජනය සාර්ථකයි. දැන්වත් ඉල්ලීම් නොදුන්නොත් වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා” යයි පැවසීය. සමිති නායකයන් ගේ මෙම ප්‍රකාශ හුදෙක් ම ගුරුවරුන් අතර වැඩෙන කෝපය වාෂ්පකිරීමේ කයිවාරුවකි.

ඔවුන් ම කියන පරිදි 1997 සිට වසර 22 වැටුප් විෂමතාවයට හා අනෙකුත් ප්‍රශ්නවලට ගුරුවරු මුහුන දී සිටිති. එනම් එම මුලු කාල පරිච්චේදය තුල ම ඔවුන් කලේ ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීමේ පලක් නැති පුහු උද්ඝෝෂන වලට කොටු කර ගුරුවරුන්ගේ අරගලය දියකර දැමීම ය.

මෙම කන්ඩායම් දෙක ම 2015 මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට ද පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ජානාධිපති සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) දේශපාලන කුමන්ත්‍රනයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් කිරීමෙන් උද්ගත වූ දේශපාලන අර්බුදය තුල “ජනතා පරමාධිපත්‍යය” හා “ප්‍රජාතන්ත්‍රවාදය” රැකීමේ නමින් වික්‍රමසිංහ යලි අගමැතිකමේ පිහිටුවීමට ද දායක වූ හ.

වැටුප් වැඩි කිරීම සම්බන්ධ ඉල්ලීම දැවෙන අවශ්‍යතාවයකි. අද ගුරුවරුන් ට ඉහල වැටුපක් ලැබෙන බවට ආන්ඩුවේ ප්‍රචාරය බේගලයකි. සාමාන්‍ය ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 28,000 කි. සියලු දීමනා ඇතුලුව මුලු වැටුප රුපියල් 35,000 ක් හා වසර විස්සක පමන සේවා කාලයක් ඇති ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 45,000 ක් පමන වේ. ලබා ගෙන ඇති නයවලට වාරික අඩු වූ පසු බහුතරයක් ගුරුවරුන්ට අතට ලැබෙන වැටුප පවුලේ එදි‘නෙදා ජීවිතය ගැටගසා ගැනීමට වත් ප්‍රමානවත් නොවේ, ගුරුවරුන්ගේ මෙම පහල වැටුප් අනුප්‍රාප්තික සෑම ආන්ඩුවක් විසින්ම සිදු කරන ලද වැටුප් සහ සමස්ථ අධ්‍යාපන කප්පාදුවේ ප්‍රතිඵලයකි.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පසුගිය කාලපරිච්ඡේදය තුල ක්‍රියාවට නගා ඇත්තේ ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුව පමනක් නොවේ. ගුරුවරුන්ගේ වැටුප හැර අනෙකුත් සියලු වියදම් දෙමාපියන් මත පැටවීම සඳහා මුදල් අය කිරීම නීති ගත කොට තිබේ. ගම්බද පාසල්වල ගුරු හිඟය ඇතුලු අනෙකුත් භෞතික හා මානව සම්පත්වල තිබෙන දරුනු ඌනතාවය හේතුවෙන් බොහෝමයක් පාසල් වැසීයෑමේ තර්ජනයට මුහුන දී ඇත.

පසුගිය වර්ෂයට සාපේක්ෂව කිසිදු වැඩිවීමක් පෙන්නුම් නොකරන මේ වසරේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වියදම්වල එකතුව රුපියල් බිලියන 293 කි. අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 වෙන් කරන ලෙස ගුරුවරුන් කරන ඉල්ලීම ආන්ඩුව කුනු කූඩයට දමා ඇත. ආරක්ෂක වියදම රුපියල් බිලියන 393 ක් දක්වා වැඩි කර ඇත. එය පන්ති අරගල තලා දැමීම සඳහා ආන්ඩුව පැත්තෙන් කෙරෙන සුදානම්වීමකි.

ආන්ඩුවට බලපෑම් දැමීමෙන් තම ඉල්ලීම් දිනා ගැනීමට ගුරුවරුන්ට හෝ කම්කරු පන්තියේ කවර කොටසකට හෝ නොහැකි ය. එමෙන් ම අරගල කොතරම් පෘතුල සහ සටන්කාමී වූයේ වුව ද කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න එමගින් ජය ගත නොහැකිය. ගුරුවරු ඇතුලු කම්කරු පන්තියේ අයිතීන් දිනාගෙන තහවුරු කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සඳහා කරන සටනක් තුලින් පමනි. ශ්‍රී ලංකාවේ දී එය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි.

Share this article: