සසප රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ දෙමල සංස්කරනය එලිදක්වන රැස්වීම් දියත් කරයි

SEP meetings launch Tamil edition of The Russian Revolution and the Unfinished Twentieth Century

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 6

සමාජවාදී සමානතා පක්ෂය මෑතකදී ඩේවිඩ් නෝර්ත්ගේ රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ දෙමල සංස්කරනය දියත් කිරීම පිනිස සාර්ථක රැස්වීම් දෙකක් පැවැත්වීය. සසප එම පොතේ සිංහල සංස්කරනය 2016දී පල කලේය. ඬේවිඞ් නෝර්ත් ඇමරිකානු සසපයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්යන්තර කතෘ මන්ඩලයේ සභාපතිය.

රැස්වීම් පවත්වන ලද්දේ හැටන් නඟර ශාලාවේදී පෙබරවාරි 24දා හා යුද්ධයෙන් හානියට පත් යාපනයේ වීරසිංහම් ශාලාවේදී මාර්තු 1දාය.

හැටන් නඟර ශාලාවේ පැවති රැස්වීම

හැටන් රැස්වීමට ඇබොට්ස්ලී වතු කම්කරු කමිටු සාමාජිකයින් ගනනාවක් ද ඇතුලු මෑතක පැවති වතු කම්කරු වැටුප් අරගලයෙන් පසුව දඩයමට ලක්ව සිටින ඇන්ෆීල්ඞ් වත්තේ කම්කරුවන් ගනනාවක් ද සහභාගී විය. වෙනත් කම්කරුවන් ද තරුනයින් හා සිසුන් ද රැස්වීමට සහභාගී වූ අතර එහිදී ද ඊට පෙර පැවති උද්ඝෝෂන වලදී ද පොතේ පිටපත් 50ක් පමන අලෙවි කෙරින.

රැස්වීමේ මුලසුන ගත් සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට ඬේවිඞ් නෝර්ත් විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද ප්‍රතිපදානයන් පැහැදිලි කල අතර පොතේ දෙමල පරිවර්තනය සඳහා දායකවූ යුරෝපයේ දෙමල කථා කරන සසප සාමාජිකයින්ට ස්තුතිය පල කලේය.

එම්. දේවරාජා

“මෙරට වතු කම්කරුවන් සමාගම් වලට ද වෘත්තීය සමිති වලට හා ආන්ඩුවට එරෙහිව මෑතකදී ගෙනගිය අරගලය ඉන්දියාවේ මිලියන ගනනක් කම්කරුවන් සම්බන්ධවූ වැඩවර්ජනයට සම්පාතවූ” බව දේවරාජා පැවසීය. “ලෝකයේ සමාජවාදී පරිවර්තනයක් සඳහා වන ඓතිහාසික අරගලය පෙරට ගෙන යාමේදී මෙම කෘතිය, අවශ්‍ය දේශපාලන හා න්‍යායික මඟපෙන්වීමට ඉවහල් වන බව නිසැකය.”

රැස්වීමේ ප්‍රධාන කථිකයාවූ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, විශේෂයෙන්ම රුසියානු විප්ලවය ද ඇතුලු පසුගිය ජාත්‍යන්තර පන්ති අරගලයන්ගේ මූලෝපායික පාඩම් අධ්‍යයනය කිරීමේ වැදගත්කම පැහැදිලි කලේය. අද දවසේ ඉතා ආරම්භක ඉල්ලීම් දිනාගැනීමේ දී පවා සාර්ථක අරගලයක් ගෙනයාමට මේවා වැදගත්වන බව ඔහු පැවසීය.

දියුනු හා අර්ධ දියුනු රටවල ධනපති සමාගම් වලටත් ආන්ඩු වලටත් එරෙහිව තම මූලික අයිතීන් සඳහා ලොව පුරා මිලියන ගනන් කම්කරුවන් සම්බන්ධවූ සටන්කාමී අරගල ගැන ඔහු සිහිපත් කලේය. ඇමරිකාවේ මෝටර් රථ කම්කරුවන් ද ගුරුවරුන් ද ප්‍රන්සයේ “කහ බැනියම්” ව්‍යාපාරය මෙන්ම මිලියන ගනනක් කම්කරුවන් නියුතුවූ ඉන්දියාවේ වඩවර්ජන ගැන ද ඔහු කථා කලේය. වතු කම්කරු අරගලය “ජාත්‍යන්තර කම්කරු පන්ති ප්රරතිප්රනහාරයේම කොටසකි”

කථිකයා 1968-75 අතර කාලයේ පැනනැඟි විප්ලවවාදී අරගල ගැන සඳහන් කලේය. සිසුන් ද ගම්බද පීඩිත ජනතාව ද සම්බන්ඳවූ ප්‍රන්ස කම්කරුවන්ගේ මහා වැඩවර්ජනය, ජනාධිපති ඩිගෝල් තන්ත්‍රය බිඳවැටීමේ අද්දරටම ගෙන ආ ආකාරය ගැන පැහැදිලි කරමින් ඔහු, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය, ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ ෆැසිස්ට් අඥාදායක්ත්වයන් සුන් කර දැමූ ආකාරයත් බි්‍රතාන්‍යයේ ටෝරි ආන්ඩුව ඇද වැටීම ද වියට්නාමයේ හා කාම්බෝජයේ ඇමරිකානු මිලිටරි මැදිහත්වීම් පරාජය වූ ආකාරයත් සඳහන් කලේය.

එවක හා අද දින අතර පවතින සමානකම් මෙන්ම බලගතු දේශපාලන වෙනස්කම් ද ඩයස් විසින් පෙන්වා දුනි. “ප්‍රන්සය තුල 1968 මැයි-ජූනි මහා වැඩවර්ජන රැල්ල නැගෙද්දී, බ්‍රෙට්න් වුඞ්ස් රත්රන්-ඩොලර් අනුපාතිකයේ පලමු දෙදරීම් යන්තම් දක්නට ලැබුනා පමනි. අද දිනයේ අප දකිමින් සිටින්නේ සමස්ත ධනේශ්වර ආර්ථිකයේම දිගට ඇදෙන බිඳ වැටීම සමඟ ලොව පුරා ගැඹුරු වන දේශපාලන පිපිරීමකි.

“එදා මෙන්ම අදත් මිලියන සංඛ්‍යාත කම්කරුවන් මුහුනපා සිටින්නේ විප්ලවවාදී නායකත්වය හා ඉදිරිදර්ශනය පිලිබඳ ප්‍රශ්නයටය. කෙසේ වුව ද 1968-75 අවධියේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව දිගහැරෙමින් තිබුනු අරගලයක නිමග්න විය.

“අද දින ජාත්‍යන්තර කමිටුව සිය සාමාජිකයින් අතර මෙම සංශෝධනවාදී ප්‍රවාහය මුලිනුපුටා දමා ඇතු වා පමනක් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය දෛනික පදනමකින් පොර බදන්නාවූ අපගේ අන්තර්ජාල ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද ස්ථාපනය කිරීමට සමත්ව සිටිමු” යයි විජේ පැවසීය.

හැටන් රැස්වීම අමතන විජේ ඩයස්,

ඩේවිඩ් නෝර්ත්ගේ කෘතිය, කම්කරු පන්තිය හා ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂය අතර ආගාධයක් සෑදීමට උත්සාහ ගත් විප්ලවවාදී මාක්ස්වාදයේ සතුරන් විසින් ගොතන ලද මුසාකරනයන් පිලිබඳ ගැඹුරු හෙලිදරව්වකි. එබැවින් එය, අනාගත විප්ලවවාදී අරගලයන්ගේ “අවියක් ද” වන්නේය.

1917 රුසියානු විප්ලවයේ ජයග්‍රහනයට මූලික වූයේ, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ශෙවික් පක්ෂය විසින් ඉටුකරන ලද භූමිකාවයි.

ලෙනින් විසින් 1903දී ලියන ලද කලයුත්තේ කුමක් ද යන පොත, වෘත්තීය සමිතිවල දෘෂ්ඨිමය පදනම බවට පත්ව තිබූ ආර්ථිකවාදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලේ යයි ඩයස් පැවසීය. එසේම, වෘත්තීය සමිති විඥානය වනාහි “ධනේශ්වර විඥානය” බව ද ඒවා නිෂ්පාදන බලවේගයන්හි පෞද්ගලික අයිතියට හා ධනේශ්වර රාජ්‍යයට අභියෝග නොකරන බව ද එය පෙන්වා දුනි.

“කම්කරු ව්‍යාපාරය තුල ධනේශ්වරයේ හස්තය ලෙස කටයුතු කරන සමිති වලින් බිඳී කම්කරුවන්, විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ වාහකය ලෙස ක්‍රියාකාරී කමිටු වැනි ස්වාධීන පන්ති සංවිධාන පිහිටුවා ගත යුතු යයි අප පවසන විට, “අපි ලෙනින් සමඟ උරෙනුර ගැටී නැඟී සිටින්නෙමු.,”

කථිකයා “අධිරාජ්‍යවාදී යුගයේ ප්‍රතිසංස්කරන හා විප්ලවය” ද “වෘත්තීය සමිති සමාජවාදයට හතුරු මන් ද” යන කෘති වලින් ඡේද දෙකක් උපුටා දැක්වීය. එලෙස ඔහු වෘත්තීය සමිති වල ඓතිහාසික මූලාරම්භයන් හා වර්ධනය ද එවා ඉටුකරන භූමිකාව ද පැහැදිලි කලේය.

සමිති විසින් වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය පාවාදුන් ක්‍රියාවලිය ද ඩයස් විමසා බැලීය. මෙම අත්දැකීම් පෙන්වා දෙන්නේ, ප්‍රාරම්භක වැටුප් ඉල්ලීම්, රැකියා සුරක්ෂිතකම හෝ සමාජ අයිතීන් වෘත්තීය සමිති හරහා කම්කරුවන්ට දිනාගත නොහැකි බවයි. වතු වලින් පාඩු ලැබෙන බවත්, වැටුප් වැඩිකල හැක්කේ රුපියල් 200න් පමනක් බවත් ආන්ඩුව හා වතු සමාගම් විසින් පවසනු ලබන බොරු, සමිති විසින් පිලිගන්නා ලදී. සැබෑව නම් දිනක වැටුප වැඩිකර ඇත්තේ, රුපියල් 20ක් වැනි සොච්චමකින් ය යන්නයි.

“යථාර්තය නම්, වතු සමාගම් අයිති බහුජාතික සමාගම්, ලෝක වෙලඳපොලේ අවපාත තත්වයක පවා දැවැන්ත ලාභ ලබන බවයි.” මෙම සමාගම් විසින් ලබාගන්නා දැවැන්ත ලාභ ඔහුගේ විමසුමට ලක් විය.

මේ සියල්ල සමිති විසින් ආරක්ෂා කරනු ලබයි. “මේ නිසාය සසප කියන්නේ, කම්කරුවන් සමිති වලින් බිඳී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ක්‍රියාකාරී කමිටු පිහිටුවාගත යුතු බව. වතුකරය තුල පමනක් නොව ශ්‍රී ලංකාව පුරා සිටින කම්කරු පන්තියේ සියලු කොටස් අතර මෙම ප්‍රශ්නය නඟනු ලැබේ.”

රැස්වීමෙන් අනතුරුව ඇබොට්ස්ලී ක්‍රියාකාරී කමිටුවේ සභාපති පී. සුන්දරලිංගම් පැවසුවේ, කම්කරුවන් රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස අධ්‍යයනය කර ඉන් විස්තාරනය කෙරෙන පාඩම් දේශපාලනිකව උකහාගත යුතු බවයි. “මම රැස්වීමෙන් අලුත් දෑ රාශියක් ඉගෙන ගත්තා. සසප නායක විජේ ඩයස්, කම්කරුවන් අයහපත් කොන්දේසි වලට මුහුනපා සිටියදී, කලමනාකාරිත්වය ලාභ උපයන්නේ කෙසේ ද යන්න පැහැදිලි කලා. ඔහු කිවූ පරිදිම ධනපතියන් කම්කරුවන්ට වහලුන් ලෙස පවා ජීවත් වීමට වැටුපක් නොගෙවයි.”

ඇන්ෆීල්ඞ් වත්තේ දඩයමට ලක්ව සිටින එස්. සුබ්‍රමනියම් පැවසුවේ, “මෙවන් රැස්වීමකට මම සහභාගී වන පලමු අවස්ථාව මෙයයි. මම බොහෝ වෘත්තීය සමිති රැස්වීම් වලට සහභාගිවී ඇත්තෙමි. එහෙත් මෙය සම්පූර්නයෙන්ම වෙනස් අත්දැකීමකි. කම්කරුවන් බොහෝ දෑ ඉතිහාසයෙන් උගත යුතුය. අපි මෙම පොත අනෙකුත් කම්කරුවන් උගන්වා ගැනීමට යොදාගත යුතුය.”

පානි විජේසිරිවර්ධන යාපනයේ රැස්වීම අමතයි

යාපනයේ රැස්වීමේ මුලසුන දැරුවේ තිරුඥාන සම්බන්දර් ය. ප්‍රධාන කථාව පැවැත්වූයේ සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවරධනය.

“පලමුවන ලෝක යුද්ධයෙන් ඇරඹි යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ යුගය තවමත් හමාරවී නැත. ලෝක යුද්ධයට තුඩුදුන් ජාත්‍යන්තර ප්‍රතිවිරෝධයන් අද දවසේ වඩාත් තියුනුය. මනුෂ්‍ය වර්ගයා මුහුනදෙන අර්බුදයට විසඳුම ජාත්‍යන්තර සමාජවාදයයි. මේ කර්තව්‍ය ය සඳහා පලමු පියවර තබනු ලැබුවේ 1917 රුසියානු විප්ලවයෙනි. එම කාර්යය තවමත් ඉතිරිව ඇති අතර විප්ලවවාදී නායකත්වයක් යටතේ කම්කරු පන්තියට පමනක් එය සාක්ෂාත් කරගත හැකි” යයි පානි පැවසීය.

ඇමරිකාව ප්‍රමුඛ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්තු, 2008 මූල්‍ය අර්බුදයේ පටන් වේගයෙන් දිගහැරෙමින් ඇති ගෝලීය ධනවාදයේ බිඳවැටීම හමුවේ, ව්‍යසනකාරී 3වන ලෝක යුද්ධයක් දෙසට තල්ලු වෙමින් සිටිති. න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධයක තර්ජනය උග්‍ර අතට හැරෙමින් තිබේ යයි විජේසිරිවර්ධන පැවසීය.

“ඇමරිකාව චීනයට එරෙහි මූලෝපායික සහකරු ලෙස ඉන්දියාව සන්නද්ධ කරන අතර බීජිනය, පකිස්ථානය සමඟ බැඳීම් තර කරමින් සිටී. ඉන්දියාව හා පකිස්ථානය අතර පවත්නා ඓතිහාසික සතුරුකම් දැන්, ඇමරිකාව හා චීනය අතර වර්ධනය වන භූදේශපාලනික ගැටුම් සමඟ එකට වෙලෙමින්, ප්‍රධාන බලවතුන් අතර ලෝක පරිමානයේ ගිනි ජාලාවක් පිලිබඳ සැබෑ තර්ජනය මතු කරන” බව ඔහු පැවසීය.

ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියානු උප මහාද්වීපයේ කවර තැනක හෝ එකිනෙකා සමඟ තරඟ වැදී සිටින ජාතික ධනපතියන් කිසිවෙකුටත් මහජනතාව මුහුනපා සිටින කිසිදු ප්‍රජාතන්ත්‍රීය හා සමාජ ප්‍රශ්නයක් විසඳීම තබා යුද්ධය මඟහැරගැනීම පවා කල නොහැකිය. මෙම ප්‍රශ්න විසඳිය හැක්කේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය තුල විස්තාරනය කර තිබෙන විප්ලවවාදී සමාජවාදය හා ජාත්‍යන්තර ඉදිරිදර්ශනයේ පදනම මත, කම්කරු පන්තියට පමනි.

රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස තුල ඬේවිඞ් නොර්ත්, ට්‍රොට්ස්කිගේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කර තිබීම අවධාරනය කල විජේසිරිවර්ධන රැස්වීමට පැමින සිටි සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියේ, පොත මිලට ගෙන එය බැරෑරුම් ලෙස අධ්‍යයනය කරන ලෙස හා එහි විශ්ලේෂන මත ක්‍රියාත්මක වන ලෙසත්ය.

Share this article: