ජනාධිපති සිරිසේන යුද අපරාධ චෝදනා වල දැමීමට තැත් කරයි

ප්‍රදීප් රාමනායක, 2019 මාර්තු 15

පසුගිය සතියේ බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය අංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ (එජ) මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනය හා ඒවාට වගවීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති යෝජනාවලින් ඉවත්වීමට උත්සාහය කරන බව ප්‍රකාශ කලේය.

“අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු දහයක් ගතවෙලා. නැවත මේ පරන දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලු දෙනාම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලනවා මේවා අමතක කරලා” ඔහු පැවසීය.

මේ දිනවල ජිනීවා හි පැවෙත්වෙන එජ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා තිදෙනෙකුගෙන් සමන්විත දූත කන්ඩායමක් එහි යවන බවත් ඔහු එහිදී සඳහන් කලේය. එම නව යෝජනාව වනු ඇත්තේ ලංකා ආන්ඩුවේ සම අනුග්‍රාහකත්වය යටතේ 2015 මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මත වූ යෝජනාවන්ගේ බැඳීම් වලින් ඉවත්වීමයි.

ලංකාවේ යුද අපරාධ පිලිබඳව මානව හිමිකම් කොමිසමෙන් අව්‍යාජව විභාග කිරීමක් සිදුවේයැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) විශ්වාස කරන්නේ නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ ලංකාවේ මෙම අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා යෝජනාව මුලින්ම ගෙන ආවේ වොෂින්ටනයේ මැදිහත්වීම මතය. ඒ යුද අපරාධ ගැන හෝ දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ කැක්කුමක් නිසා නොවේ; චීනයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සූදානමක යෙදෙන වොෂින්ටනය රාජපක්ෂ බීජිනය සමග ගෙනගිය සබඳතා බිඳ ලංකාව තම කක්ෂය යටතට ගැනීම සඳහා දරන ප්‍රයත්නයක කොටසක් ලෙසය.

ආක්‍රමන දියත් කරමින් සාපරාධී ක්‍රියාවල යෙදෙන ඇමරිකාවේ කුහක මැදිහත්වීම කෙලවර වුයේ තමන්ට පක්ෂව 2015 ජනාධිපතිවරනයට ඉදිරිපත්වූ සිරිසේන බලයට ගෙනඒමට සිදුකල තන්ත්‍ර මරුවකිනි. සිරිසේන බලයට ආපසු, වොෂින්ටනය යෝජනාවේ සැර බාලකර ලංකාව තුලම, විදේශ සුපරික්ෂාව යටතේ, අධිකරන ක්‍රියාවලියක් ගෙනයාමට යෝජනාවක් සම්මත කර දුන්නේය. සිරිසේන දැන් එහි වගකීම පාලක එක්සත් ජාතික පක්ෂය පිට පවරා ලීමට උත්සාහ දරයි.

මේ බ්‍රස්පතින්දා වන විට සිරිසේන මානව හිමිකම් කවුන්සිල රැස්වීමට තම නියෝජිතයන් යැවීම නතර කිරීමට තීන්දු කර ඇත. එහෙත් ඔහුගේ යෝජනාවේ හා ප්‍රචාරයේ දුෂ්ටකම ඉන් අඩු නොවේ.

තම යෝජනා හරහා, සිරිසේන “අමතක කරන මෙන් ඉල්ලා සිටින පරන දේවල්” මොනවාද?

ඒවා නම්, දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේදී දෙමල ජනයා මඩිමින් රාජ්‍ය හමුදාවන්, පැරා මිලිටරි කන්ඩායම් සහ පොලිසිය විසින් උතුරු සහ නැගෙනහිර පලාත්වල සිදුකල ඝාතනයන්, පැහැරගෙනයාම්, අතුරුදන් කරවීම් සහ වධබන්ධනයට ලක්කිරීම් ඇතුලු ආදී ම්ලේච්ඡ ක්‍රියාවන් ය.

යුද්ධයේ මුලු කාලය තුල දී රාජ්‍ය හමුදාවන් විසින් ලක්ෂයකට අධික දෙමල සිවිල් වැසියන් ඝාතනය කෙරුනු බවට ගනන් බලා ඇති අතර එජ වාර්තා වලට අනුව ඉන් 40,000 අවසන් මාස කිහිපය තුල සිදුවූ ඒවාය. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසු අවතැන් වූ 300,000 පමන ජනයා හමුදාව විසින් පාලිත අවතැන් කඳවුරු තුලට ගාල් කෙරුනු අතර තවත් දහස් ගනනක් පුනරුත්තාපනයට යයි පැහැර ගැනුනි.

සිරිසේනගේ ප්‍රකාශයන් යුද අපරාධ යටගැසීම සඳහා සමස්ත පාලක පන්තියම දරන්නාවූ නරුම උත්සහය ඉහලින්ම ප්‍රකාශයට පත්වීමකි. එම උත්සාහයට එරෙහි වන්නන්ට අනතුරු ඇඟවීමක්ද කරමින් උක්ත සාකච්ඡාවේදී ඔහු පැවසුවේ, යස්මින් සූකාගේ සගයන් විසින් පතුරුවා හරින චෝදනාවලින් මිලිටරිය නිදහස් කර ගැනීමට තමන් දරන උත්සාහයට විරුද්ධව රහසේ වැඩකරන්නන් එලිදරව් කරන බවයි.

සූකා යනු ලංකාවේ යුද අපරාධ ගැන සෙවීමට 2011 දී එජා මහලේකම් විසින් පත්කල ත්‍රි පුද්ගල කමිටුවේ සාමාජිකාවකි. ලංකාවේ හමුදාව විසින් යුද්ධයේ අවසන් සතිවල දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කිරීම පිලිබඳ චෝදනා එල්ල කෙරුනේ මෙම වාර්තාවෙනි. මෙලෙස එක් අතකින් මිලිටරිය ආරක්ෂා කරන අතරේ යුද අපරාධ හෝ අතුරුදන්වූවන් පිලිබඳ කවර හෝ විමර්ශනයක් කිරීම සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් මුලුමුනින් පැහැර හැර සිටියි.

යුද අපරාධ චෝදනාවන් ආපසු හැරවීමට දරන උත්සාහයත් ඊටම සමගාමීව හමුදාවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සිරිසේනගේ ගෝරනාඩුවත් පසුපස පවතින සැබෑ උත්සුකය වන්නේ මිලිටරිය මත වඩාත් වාරුවීමයි. පන්ති අරගලය වර්ධනය වෙද්දී ධනපති පාලක පන්තිය ඊට එරෙහිව පෙරට ගන්නේ පන්ති යුද්ධයයි. පන්ති යුද්ධයේදී ධනපති පාලකයන් ගේ ප්‍රධානතම මුගුර වන්නේ පොලිසිය සහ මිලිටරියයි.

සිරිසේනගේ ප්‍රකාශයන් හරහා ආන්ඩුව හැසිරවීම සඳහා බලයක් ගොඩනගාගැනීමට ඔහුට පවත්නා උවමනාව ද එලිමහනට පැමිනුනි. විදේශ ප්‍රතිපත්ති හැසිරවීමේ නිලබලය ඇත්තේ තමන්ට බව ඔහු කියා සිටියේය. දහනවවන ව්‍යවස්ථාවෙන් තම බලය සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමකැයි කලින් කියා සිටි සිරිසේන දැන් විධායක ජනාධිපති කමේ මුලු බලය අතට ගැනීමේ තැතක යෙදී සිටී.

2015 දී තන්ත්‍රමාරුවෙන් පසු පිහිටුවනු ලැබූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව තුල වර්ධනය වූ දේශපාලන අර්බුදය පුපුරා ගියේ පසුගිය ඔක්තෝබර් 26 සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් නෙරපා මහින්ද රාජපක්ෂ අගමැති පුටුවේ ඉන්දවීමෙනි. එක්සත් ජනපදය සහ එහි අධිරාජ්‍යවාදී සගයන් ඊට එරෙහිවිය.

රාජපක්ෂට වැඩිබලයක් පාර්ලිමේන්තුව තුල ලබාගැනීමට නොහැකිවූ තැන සිරිසේන එය විසුරුවා හැරියද ශ්‍රේෂ්ටාධිකරනය එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කලේය. මෙම තතු තුල යලිත් වරක් වික්‍රමසිංහ අගමැති කරවීමට සිරිසේනට බලකෙරුනි.

සිරිසේන හා වික්‍රමසිංහ අතර දේශපාලන ගැටුමට හේතුවූයේ භයානක ආර්ථික අර්බුදය සහ කප්පාදු පියවරට එරෙහිව කම්කරු පීඩිත ජනයාගේ අරගල පුපුරා ඒමයි. අපකීර්තියට පත්ව මහජන පදනම් දියවෙන තතුතුල රාජපක්ෂ සමග පෙලගැසීම කම්කරු පන්තිය තලා දැමීමේ ශක්තිමත් පොලිස් පාලනයකට මාරුවීමේ මග බව සිරිසේන ගනන් බලයි.

මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩීමේ නමින් මිලිටරිය හා පොලිසිය පාරට බැස්සවීම සිරිසේනගේ ප්‍රතිගාමී ව්‍යායාමයේ තවත් පැත්තකි.

මර්දනයේ උපකරන මුලුමුනින්ම තමන්ගේ අතට ගනිමින් මින් මාස හතරකට ඉහතදී ජනාධිපති පොලිස් දෙපාර්තමේන්තුවත් තමන් දරන ආරක්ෂක ඇමතිකම යටතට ගත්තේය. තමගේ තනි අධිකාරය එයිනුත් එහා වර්ධනය කිරීමට වුවත් තමන් සූදානම් බව පෙන්වා දෙමින් ඉහත සාකච්ඡාවේදීම ඔහු මෙසේ පැවසීය. “පොලිස් දෙපාර්තමේන්තුව මා යටතට ගැනීම ව්‍යවස්ථානුකූලයි. ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි අමාත්‍යංශ ගැන සීමාවක් පවතින නමුත් ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි ආයතන ගැන සීමාවක් නැහැ”යි කී ඔහු තම අමාත්‍යංශ යටතට ආයතන 500ක් වුව ගත හැකි බව කීවේය.

තමන් අතට බලය සංකේන්ද්‍රනය වීමට හරහට සිටින ප්‍රධාන බාධකයක් ලෙස සිරිසේන විසින් දැකගන්නා ව්‍යවස්ථාදායක සභාවට ඔහු විසින් ප්‍රහාර එල්ල කිරීම මෙම ආඥාදායක ගමනේ තවත් පැත්තකි. පෙබරවාරි 21 වනදා පාර්ලිමේන්තු සැසියකට සහභාගී වූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට බලය ඉක්මවා යන බව පවසමින් තමන් විසින් ඉහල උසාවි සඳහා යෝජනා කල විනිසුරු වරුන්ගේ නම් 14ක් තෙවතාවක්ම එම සභාවෙන් ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු විරෝධය පලකර සිටියේය. ව්‍යවස්ථාදායක සභාව දේශපාලනීකරනය වී ඇති බව ඔහු කිවේය.

උත්ප්‍රාසය නම් තමන්ගේ අභිමතය අනුව ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක නොවීම ගැන චෝදනා කරමින් ම දේශපාලනීකරනය වීම ගැන මෙම විවේචන එල්ල කිරීමයි.

සිරිසේනගේ ක්‍රියාවන්ගෙන් හා ප්‍රචාරයෙන් ප්‍රකාශයට පත්වන්නේ ධනපති පාලක පන්තියේ සෑම කොටසක්ම වඩා දක්ෂිනාංශික පාලන රූපයන් කරා මාරුවීමට දරන ප්‍රයත්නයයි. එය ධනවාදය බිඳවැටීමක් තුලින් ගමන් කරන තත්වය තුල ජාත්‍යන්තරව වර්ධනය වන ක්‍රියාවලියක කොටසකි. කම්කරු පන්තිය තරුනයන් හා ප්‍රගතිශීලි බුද්ධිමතුන් මෙම වර්ධනයන් ගැන අවධානය යොමු කරමින් නිසි විප්ලවවාදී දේශපාලන නිගමන උකහා ගත යුතුය.

Share this article: