වෙනිසියුලානු කුමන්ත්‍රනය සම්බන්ධයෙන් ඇමරිකාව, රුසියාව හා චීනය අතර ආතතීන් උත්සන්න වේ

Tensions rise between US, Russia and China over Venezuelan coup

බිල් වෑන් ඕකන් විසිනි, 2019 මාර්තු 28

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 27දා ධවල මන්ඳිරයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ, “රුසියාව වෙනිසියුලාවෙන් පිටවිය යුතු” බවයි. මෙම ප්‍රකාශය වොෂින්ටනය විසින් ක්‍රියාවට නඟන්නේ කෙසේදැයි විමසන ලදුව ඔහු ප්‍රතිචාර දැක්වූයේ, “අපි බලමු. සියලු විකල්ප මේසය මත තිබේ” යනුවෙනි.

ට්‍රම්ප් මේ අවසන් නිවේදනය නිකුත් කරනු ලැබුවේ, ඇමරිකාවේ පිටුබලය ඇතිව, පසුගිය ජනවාරියේදී තමා වෙනිසියුලාවේ “බාරකාර ජනාධිපති” යයි කියා සිටි, දක්ෂිනාංශික විපක්ෂයේ නායක ජුආන් ගයිඩෝගේ බිරිඳ වන ෆැබියානා රොසාලේ සමඟ ඡායාරූප වලට පෙනී සිටි අවස්ථාවේය. ගයිඩෝ, දැනට සිටින ජනාධිපති නිකොලස් මදුරෝගේ ආන්ඩුව පෙරලා දමන ලෙස මිලිටරියෙන් ඉල්ලා සිටී.

ට්‍රම්ප් ආන්ඩුවේ නිලධාරීන් රොසාලේ හඳුන්වා දුන්නේ වෙනිසියුලාවේ ප්‍රමුඛ පුරවැසි කාන්තාව ලෙසය. ඇය ජාත්‍යන්තර සංචාරයකට සහභාගී වන්නේ, ඇමරිකාව විසින් අවුලුවනු ලබන තන්ත්‍ර මාරු මෙහෙයුමට සහාය ගොනුකිරීම පිනිස ය. මෙය, වෙනිසියුලානු-කොලොම්බියානු දේශසීමා හරහා, ට්‍රක් රථ කිහිපයක් යොදාගනිමින්, කිවූ පරිදි මානව ආධාර ප්‍රමානයක් ගෙනයාමට දැරූ නරුම උත්සාහය ව්‍යසනයකින් කෙලවර වීමෙන් පසුව කැපී පෙනෙන අයුරින් දැඩිවී ඇත.

ගයිඩෝ හා ඔහුගේ ඇමරිකානු සහචරයින් කියා සිටියේ එම ප්‍රකෝපකරනය, මදුරෝට විරුද්ධව වෙනිසියුලානු මිලිටරියේ කැරැල්ලක් පැනනංවනු ඇති බවය. දක්ෂිනාංශික විපාක්ෂකයින් සුලු පිරිසක් හා කල්ලි සාමාජිකයින් “මානව ආධාර” වංචාවට සහභාගී වූ අතර මිලිටරියට ඔවුන් ලෙහෙසියෙන් මැඬපැවැත්විය හැකි විය.

අලුත්ම ඇමරිකානු ප්‍රකෝපකරනය මාධ්‍යගතවී තිබෙන්නේ, දල වශයෙන් හමුදා නිලධාරීන් 100ක් පමන රැගත් රුසියානු ගුවන් යානා දෙකක් සති අන්තයේ වෙනිසියුලාවට පැමිනීමත් සමඟ ය. ඇන්ටනොව් ඒඑන්-124 දරන බඩු ප්‍රවාහන ජෙට් යානාවක් ද ඉලියුෂින් 11-62 දරන මගීන් ගෙනයන ගුවන් යානාවක් ද සෙනසුරාදා කැරකාස් නඟරයෙන් පිටත මකුටියා ගුවන් තොටුපලට ගොඩබැස්සේය.

මේ සතිය තුල සාපේක්ෂව, රුසියානු මිලිටරි නිලධාරීන් අතලොස්සකගේ පැමිනීම, ට්‍රම්ප් ආන්ඩුවේ ඉහල පෙලේ නිලධාරීන්ගේ හෙලාදැකීම් වලට ලක්වේ. ඔවුන් හඬ නඟන්නේ, වෙනිසියුලානු ආන්ඩුව පෙරලා දමන ලෙසයි.

ධවල මන්ඳිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ප්‍රකාශ කලේ, ඇමරිකාව බටහිර අර්ධගෝලය තුල “සතුරු විදේශ මිලිටරි බලවතුන්ගේ ඇඟිලි ගැසීම් නොරුස්නා” බවයි.

මේ මස මුලදී බෝල්ටන්, වෙනිසියුලාව සම්බන්ධ ඇමරිකානු පිලිවෙතෙහි පදනම වන්නේ මොන්රෝ ධර්මතාව බව පැවසීය. 19 වන සියවසේ මෙම ප්‍රකාශිත ඇමරිකානු පිලිවෙත මූලිකවම යොමුව තිබුනේ, යුරෝපා අධිරාජ්‍යයන් විසින් ලතින් ඇමරිකාව තුල අලුතෙන් නිදහස ලැබූ සමූහාන්ඩු නව විජිතකරනයට ලක්කිරීමේ කුමන හෝ උත්සාහයකට විරුද්ධවය. 20 වන සියවසේදී බලයට පත් සෑම ඇමරිකානු ආන්ඩුවක්ම මෙය යොදාගත්තේ, අර්ධගෝලය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි බලය යොදාගැනීම සඳහා වන වරපත්‍රයක් ලෙසිනි. එහි ප්‍රතිපල වශයෙන් දකුනු හා මධ්‍යම ඇමරිකාවේ වැඩි හරියක ෆැසිස්ට් මිලිටරි ආඥදායකත්වයන් ඇටවීමත්, සෘජු මිලිටරි මැදිහත්වීම් 50 තරම් ප්‍රමානයකුත් සිදුව තිබේ.

මේ අතර, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකුට අනුව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මාර්තු 25 පැවති දුරකථන සංවාදයකදී සිය රුසියානු අනුචර සර්ගි ලැව්රෝව්ට පවසා ඇත්තේ, රුසියාව වෙනිසියුලාව තුල ආතතිය වැඩි දියුනු කරන තෙක් වොෂින්ටනය පැත්තකට වී බලා නොසිටින” බවයි. රුසියානු හමුදා පිරිසගේ පැමිනීම ගැන රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ එය, වෙනිසියුලාව තුල “ඉවබව නැති උනුසුමක්” ඇති කරන බවය. එසේම “වෙනිසියුලාවේ නීති විරෝධී මදුරෝ තන්ත්‍රයට සහාය පිනිස රුසියානු මිලිටරි භටයින් යෙදවීම දිගටම සිදුවුවහොත් එයින් එරට ජනතාවගේ දුක් කම්කටොලු වැඩිවනු ඇති” බව ද එය වැඩිදුරටත් පැවසීය.

මොන තරම් කුහකත්වයක් ද? වොෂින්ටනය, රටේ උග්‍රවන ආර්ථිකයේ බර වෙනිසියුලාවේ වැඩකරන ජනතාව මත පැටවෙන්නාවූ හා අර්බුදය උග්‍ර කරන්නාවූ සම්බාධක වලට දිගින් දිගටම එරට යටත් කර ඇත. ට්‍රම්ප් ආන්ඩුවේ නිලධරයෙක් වාර්තාකරුවන් ඉදිරියේ පසුගිය 22දා කයිවාරු ගැසුවේ, “සම්බාධකවල බලපෑම දිගට පවතිමින් වඩාත් උත්සන්න කෙරෙන බවටය. එය ස්ටාර් වෝස් චිත්‍රපටයේ ඩාත් වේඩර් යමෙකුගේ ගෙල මිරිකනවා වැනි යමකි. එම තන්ත්‍රයට අප ආර්ථික වශයෙන් කරමින් සිටින්නේ එවැන්නකි.”

රුසියානු විදේශ අමාත්‍යාංශය ලැව්රොව් උපුටා දක්වමින් පොම්පියෝට ප්‍රතිචාර වශයෙන් ඔහු, “වෙනිසියුලාවේ කුමන්ත්‍රනයක් සංවිධානය කරමින් ද එරට නීත්‍යානුකූල ආන්ඩුවට තර්ජනය කරමින් ද වොෂින්ටනය දරන වෑයම, එක්සත් ජාතීන්ගේ නීතිය උල්ලංඝනය කිරීමක් හා ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු වලට විවෘතව මැදිහත් වීමක් ද වන” බව පැවසීය.

රුසියානු විදේශ අමාත්‍යාංංශය, රුසියානු හමුදා පැමිනියේ මොස්කෝව හා කැරකාස් අතර 2001දී අත්සන් තබන ලද “මිලිටරි හා තාක්ෂනික සහයෝගිතාව පිලිබඳ ගිවිසුමක්” අනුව බව පවසයි.

“වසර 200ට පෙර යටත් විජිත අවධියේ ඇමරිකාව, ලතින් ඇමරිකාව සලකන ලද්දේ තම සුවිශේෂී අවශ්‍ය තා සපුරාලන, තම “පිලිකන්න” ලෙසය. ඔවුන් නියෝග කලේ වචනයක් හෝ නොදොඩා ඔවුන් තම අනට කීකරු විය යුතු බවයි. එසේම අනෙකුත් රටවල් කලාපයෙන් බැහැර කල යුතු බවය.” රුසියානු විදෙස් අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා 26දා පැවසුවාය. “තම බෝම්බ හෙලන යානාවල තටු මතින් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එනතෙක් ජනතාව බලා සිටින බවක් එක්සත් ජනපදය සිතන්නේ ද? මෙයට ඉරාකීයන්, ලිබියානුන් හා සර්බියානුන්ට පිලිතුරු සැපයිය හැකිය.”

මේ අතර රොයිටර් වෙත අදහස් දැක්වූ ඇමරිකානු නිලධරයෙක්, 26දා පැමිනි රුසියානු මිලිටරි භටයින් අතර සයිබර් ආරක්ෂාවට සම්බන්ධ විශේෂඥයින් කන්ඩායමක් සිටිය හැකි බවට කනස්සල්ල පල කලේය.

මෙම කනස්සල්ල, සඳුදා සිට පටන්ගත් නව විදුලිය විසන්ධි වීම් මාලාවක් සමඟ සම්බන්ධවේ. එය කැරකාස් අගනුවර වැඩි හරියකටත් තවත් ප්‍රාන්ත 16ත් බලපා ඇත. මදුරෝ ආන්ඩුව, විසන්ධි වීම කඩාකප්පල් ක්‍රිායාවක් බවටත් විදුලි පද්ධතියේ පරිගනක ගතකර තිබෙන යටිතල ව්‍යූහයට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් බවටත් චෝදනා නැඟීය.

මාර්තු 26දා චෙන්ඩුහිදී ආරම්භ වීමට නියමිතව තිබුනු, අන්තර් ආසියානු සංවර්ධන බැංකුවේ 60 වන සංවත්සරය ඇමරිකාව විසින් අවලංඟු කරනු ලැබීමත් සමඟ වොෂින්ටනය හා චීනය අතර ආතති සහගත තත්වය දැඩි වී තිබේ. වෙනිසියුලාවේ නියෝජිතයා ලෙස සිය රූකඩයා වන ගයිඩෝ විසින් නම්කරන ලද පුද්ගලයා බැංකුව විසින් පිලිගත යුතුව ඇතැයි ට්‍රම්ප් ආන්ඩුව නියෝග කර ඇත. චීනය රිකාඩෝ හවුස්මාන් නම් වොෂිංටනයේ පුද්ගලයාට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කලේය. ඔහු හාවඞ් විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රඥයෙකු හා වෙනිසියුලානු ජනාධිපති කාලෝස් ඇන්ඞ්රෙඇස් පෙරේස්ගේ ආන්ඩුවෙහි හිටපු ඇමතියෙකු ද විය. එම ආන්ඩුව කැරකාසෝ නමින් හැඳින්වූ 1989 ජනතා නැඟිටීමට සම්බන්ධ කම්කරුවන් හා සිසුන් 3,000ක් ඝාතනය කිරීමට වගකිව යුතුය. “කැමැත්තෙන් සිටින්නවුන්ගේ හවුල” සමඟ එක්ව හවුස්මාන් වෙනිසියුලාව ආක්‍රමනය කරන මෙන් ඇමරිකාවෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.

චීන විදෙස් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් 26දා බීජිනයේ පියවර ආරක්ෂා කලේය. ඔහු මෙසේ පැවසීය. “ගයිඩෝ නීත්‍යානුකූලව තෝරා පත්කරගත් ජනාධිපති වරයෙක් නොවේ, ඔහුට නීත්‍යානුකූල පිලිගැනීමක් නැත. බැංකුවේ වෙනිසියුලානු නියෝජිතයා වෙනස් කිරීම එරට ප්‍රශ්නය විසඳීමට සහාය නොදක්වයි.

වෙනිසියුලාව තුල රුසියානුවන් රැඳී සිටීම පිලිබඳ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් චීන ප්‍රකාශකයා පැවසුවේ: “සියල්ලටත් පලමුවෙන් ලතින් ඇමරිකානු රටවල් ද ඇතුලු බටහිර අර්ධ ගෝලයේ රටවල් සියල්ල නිදහස් ස්වෛරී රාජ්‍යයන්ය. ඒවාට සිය විදෙස් පිලිවෙත තීන්දු කිරීමේ අයිතිය ඇත. එසේම තමන් විසින් තෝරාගනු ලබන රටවල් සමඟ අන්‍යොන්‍ය වාසිදායක සහයෝගිතාවන්ට එලඹීමේ අයිතිය ද ඇත.”

ඇමරිකානු අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය ගැන සෘජු විවේචනයක් එල්ල කරමින් ඔහු මෙසේ ද පැවසීය. “ලතින් ඇමරිකානු කටයුතු නිශ්චිත රටක සුවිශේෂී කර්තව්‍යයක් නොවේ. ලතින් ඇමරිකාව නිශ්චිත රටක පිලිකන්න ද නොවේ.”

එක් අතකින් වොෂින්ටනය ද අනෙක් පසින් මොස්කෝව හා බීජිනය ද වශයෙන් සිදුවන උනුසුම් විවාදය, වෙනිසියුලාවේ තන්ත්‍රය මාරු මෙහෙයුම පිටුපස ඇති ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික ආසක්තයන් හෙලි කර තිබේ. රුසියාව හා චීනය යන දෙරටම, ලෝකයේ ඇති විශාලතම තෙල් නිධි තමන් සතු බවට කයිවාරු ගසන වෙනිසියුලාව සමඟ විස්තීර්න ආර්ථික හා දේශපාලන බැඳීම් ඇතිකරගෙන තිබේ.

තෙල් නිර්යාතයන්ගෙන් හිලව් කිරීමේ එකඟතාව සහිත ඩොලර් බිලියන 50කට වැඩි නය ගිවිසුම් යටතේ පසුගිය දශකය තුල චීනය වෙනිසියුලාවේ ආයෝජනය කර ඇත. රටේ තෙල් නිධිවලින් සැලකිය යුතු ප්‍රමානයක් පරිහරනය කිරීම ද ඇතුලුව රුසියාව, ඩොලර් බිලියන 25ට ආසන්න මුදලක් එහි ආයෝජනය කර තිබේ.

වොෂින්ටනය එය දකින්නේ, 2017 අවසානයේ ගෙන ආ ට්‍රම්ප් ආන්ඩුවේ ජාතික ආරක්ෂක මූලෝපාය හා පෙන්ටගනයේ මූලෝපායික ලියවිල්ල ගෙනහැර දක්වා තිබෙන, “සංශෝධනවාදී” රාජ්‍යයන් සමඟ “මහ බලවතුන්ගේ ගැටුම්” පිලිබඳ ප්‍රිස්මය තුලිනි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය, වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සම්පත්වල පාලනය ඇමරිකානු බලශක්ති ඒකාධිකාරයන් සඳහා උදුරා ගැනීමටත් ඒවා විශේෂයෙන්ම චීනය හා රුසියාව යන සිය එදිරිවාදීන්ට ලබා නොදීමටත් අධිෂ්ඨානශීලීව සිටී. ඒ දක්වා ඔවුහු, වෙනිසියුලානු ජනතාව කුසගින්නේ තැබීමටත් ලතින් ඇමරිකාව තුන්වන ලෝක යුද්ධයේ පොර පිටියක් බවට හැරවීමටත් සූදානම් වෙති.

Share this article: