ඉරිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ සම්මේලනයට සහයෝගය වැඩෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 16

මාර්තු17දා හැටන් නගර ශාලාවේ පැවැත්වෙන වතු කම්කරුවන්ගේ සම්මේලනය පිලිබඳ ව කම්කරුවන් සමග සාකච්ඡා කරමින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ උද්ඝෝෂකයෝ මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ තවත් වතු කිහිපයක් ආවරනය කලහ.

“වතු කම්කරු අරගලයේ පාඩම් සහ ඉහල වැටුප් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම සඳහා ඉදිරි මාවත” සාකච්ඡා කිරීමට මෙම සම්මේලනය සසප සහයෝගය සහිත ව ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවා ඇත.

එක දිගට කල විරෝධතාවලින් පසු 100,000කට අධික වතු කම්කරුවෝ මූලික දෛනික වැටුප සියයට 100 කින් වැඩි කරන ලෙස ඉල්ලා දෙසැම්බර් මාසයේ අඛන්ඩ වැඩ වර්ජනයකට පිලිපන් හ. වැටුප් ප්‍රශ්නය විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් ව්‍යාජ පොරොන්දුවක් හුවා දක්වමින් අනෙකුත් වෘත්තීය සමිතිවල ද සහයෝගය සහිත ව ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විසින් එම කාර්මික ක්‍රියාව නවතා දැමී ය.

කම්කරුවන්ගේ ධෛර්යය සම්පන්න අරගලය දියකර හල සීඩබ්ලිව්සීය හා ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) වැටුප් අරගලය පාවා දෙමින් දෛනික වැටුප සියයට 40 කින් ඉහල දැමීමට එකඟ වෙමින් සාමූහික ගිවිසුමක් අත්සන් කලහ. සමාගම් විසින් කලින් කම්කරුවන් දිනා ගත් දීමනා කප්පාදු කිරීම හේතුවෙන් යථාර්ථයේ දී වැටුප වැඩි වන්නේ රුපියල් 20කින් පමනි.

මාර්තු 12 දා, එක් අවුරුද්දකට සීමා කල රුපියල් 50 ක දීමනාවක් ආන්ඩුව විසින් නිවේදනය කලේ, පාවාදීම අරබයා කම්කරුවන් අතර වර්ධනය වන කෝපය අපසරනය කිරීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදෙමිනි. රජයට අයත් තේ මන්ඩලයේ ආදායමින් මෙම දීමනාව ගෙවනු ඇත්තේ කිසිදු වැඩිදුර වැටුප් වැඩි කිරීමකට සමාගම් දරදඬු ලෙස විරුද්ධ වීම හේතුවෙනි.

ඒ වෙනුවට වතු සමාගම් ඉදිරියට දමමින් සිටින්නේ “වැටුප් මාදිලිය” අහෝසි කරමින් කම්කරු ඵලදායිතාව ඉහල දැමීම සඳහා “කොන්ත්‍රාත් වැවිලි ක්‍රමය” වහා ම ක්‍රියාත්මක කිරීමට යි. මෙම ක්‍රමය මගින් කම්කරුවන් අඳ ගොවියන් බවට පත් කෙරෙනු ඇත. නැතහොත් අද්‍යයතන බන්ධනගත ශ්‍රම ක්‍රමයකට බැඳ තැබෙනු ඇත. ඒ යටතේ කම්කරුවෙකුට ඉඩම් කොටසක් හා තේ පඳුරු කිහිපයක් ලබා දෙයි. නෙලූ තේ දලු සමාගම වෙත යැවූ විට වියදම හා ලාභය අඩු කරගැනීමෙන් පසු ආදායමින් කොටසක් ඔහුට ලබා දේ.

මෙම ක්‍රමය අරඹා ඇති වතුවල කම්කරුවන් දැනටමත් විරෝධය පල කර ඇත. මෑත සාමූහික ගිවිසුමේ දී වෘත්තීය සමිති මෙම ක්‍රමය ක්‍රියාවට දැමීම සඳහා සමාගම්වලට උදවු කිරීමට එකඟ වී තිබේ. එමගින් වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වය ගැඹුරු කෙරෙනු ඇත.

පසුගිය සතියේ සසප හා සසජාතශි උද්ඝෝෂකයෝ නුවරඑලිය හා මහනුවර දිස්ත්‍රික්කවල හැටන්, වටවල, මස්කෙලිය හා හන්තාන වතු වෙත ගිය හ. දුරස්ථ බදුල්ල දිස්ත්‍රික්කයේ බන්ඩාරවෙල අයිස්ලැබී වත්තේ කම්කරුවන්ට ද ඔවුහු කතා කල හ. කොලඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය, වරාය හා විශ්ව විද්‍යාල කම්කරුවන් හා විශ්ව විද්‍යාල සිසුන් අතර ද උද්ඝෝෂන පැවැත්වුනි.

දෙසැම්බර් වැඩ වර්ජනය පාවාදීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ සසප දේශපාලන මග පෙන්වීම යටතේ ඇබොට්ස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව බිහි කෙරුනි. වෘත්තීය සමිතිවල යකඩ සැට්ටය බිඳීමට තමන්ගේ වැඩපොලවල එවැනි කමිටු තැනීමට කම්කරුවන් අතර තිබෙන උනන්දුව උද්ඝෝෂනයේ දී කම්කරුවෝ පෙන්නුම් කල හ.

පිලිවෙත් සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස එවැනි පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම මත ද උද්ඝෝෂනය කේන්ද්‍රගත විය.

පී. රාජා

හැටන් අසල දික්ඔය වත්තේ ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) කාරක සභිකයෙකු වන පී. රාජා කෝපයෙන් යුතු ව මෙසේ කීවේ ය: “සමාගම්, ආන්ඩුව හා වෘත්තීය සමිති ඒකාබද්ධ ව කලේ කුමක් ද යන්න ගැන සෑම කම්කරුවෙකුට ම දැන් පැහැදිලි යි.

“එවැනි වෘත්තීය සමිතිවලට කම්කරුවන් යලි යලිත් ඇහුම්කන් දිය යුත්තේ ඇයි?” යි ඔහු විමසී ය. උද්ඝෝෂකයන් සමග එකඟ වෙමින් ඔහු කීවේ: “කම්කරුවන් ඔවුන්ගේ ම ශක්තිය ගැන විශ්වාසය තැබිය යුතු යි. වෘත්තීය සමිති අපේ අරගලයට අනෙක් කම්කරුවන්ගේ සහයෝගය ඉල්ලා කැඳවුම් කලේ නැහැ. කම්කරුවන්ට ඒකාබද්ධ වීමට ඉඩ නො දෙන ඔවුන් නිතර ම කම්කරුවන් බෙදීමට උත්සාහ කරනවා.”

ග්ලෙනුගී වත්තේ දී කම්කරුවන් හා තරුනයන් කන්ඩායමක් සමග සාකච්ඡාව

මස්කෙලියේ ග්ලෙනුගී වත්තේ දී කම්කරුවන් හා තරුනයන් කන්ඩායමක් සමග රැස්වීමක් පැවැත්වීමට සසප උද්ඝෝෂකයෝ සමත් වූ හ. කම්කරුවෙක් වන එස්. නගුලේෂ්වරන් හොඳ රැකියාවක් සොයා කොලඹට සංක්‍රමනය වුවත් අවසානයේ ඔහුට සිදු වූයේ ඉන්ධන පිරවුම්හලක රැකියාව කිරීමට ය. ඔහු තමන් හා වතු කම්කරුවන් මුහුන දෙන වැඩ කොන්දේසිවල සමානත්වය විස්තර කලේ ය.

“උදේ 5.30ට වැඩ අරඹන මම වැඩ අවසන් කරන්නේ රාත්‍රී 10ට. උදේ කෑමට පැය භාගයකුත් දවල් කෑමට පැයකුත් දෙනවා. මම දවසකට පැය 17ක් වැඩ කරනවා. සාමාන්‍යයෙන් මම නින්දට යන්නෙ රෑ 12ට. නිදාගන්නෙ පැය දෙක තුනක් විතරයි. දවසකට මට රුපියල් 1,400ක් හම්බ වෙනවා. මේ විදිහට කම්කරුවන්ට එක දිගට වැඩ කරන්න බැහැ. අපට නව සමාජ ක්‍රමයක් අවශ්‍ය යි.” අනෙක් කම්කරුවන් ද සාකච්ඡාවට ක්‍රියාශීලී ව සහභාගි වූ අතර ඔවුහු වෘත්තීය සමිති බලගතු ලෙස හෙලා දුටුවහ.

කේ. සෙල්ලයියා

ස්ටෑම්ෆෝඞ්හිල් වත්තේ විශ්‍රාමික මුරකරුවෙකු වන 70 හැවිරිදි කේ. සෙල්ලයියා ඔහුගේ රැකියාව 1961 දී 17වන වියේ දී ඇරැඹී ය. 2001 දී කලමනාකරුවෙක් බැන වැදුනු පසු ඔහු රැකියාවෙන් ඉල්ලා අස් විය. විකල්පයක් නොමැති වූ නිසා අනියම් කම්කරුවෙකු ලෙස ඔහු යලි රුපියල් 8,000ක මාසික වැටුපකට සේවයට බැඳුනි. ඔහුගේ වැඩ වරින් වර අත්හිටුවනු ලැබ ඇත.

ජාතික කම්කරු සමිතිය අතීතයේ දී කම්කරුවන්ගේ ඉල්ලීම් සඳහා කේවල් කල බව ඔහු මතකයට නැගී ය. “ඒත් දැන් ඔවුන් අපි ව අත්හැර දාල” යි ඔහු කීවේ ය.

වත්තේ ජීවන කොන්දේසි විස්තර කරමින් ඔහු කීවේ: “මම ඉපදිල හැදුනෙ මේ ගෙදර. අඩි 10-10 කාමර දෙකක් තියෙන මේ ලයින් නිවාසයෙ අපි තාමත් ජීවත් වෙනව. වතු ආන්ඩුවට ගත්තට පස්සෙ ජනතා වතු සංවර්ධන මන්ඩලය ඉස්සරහින් කාමරයක් ලොකු කලා. මෙතැන හතර දෙනෙක් ඉන්නව. මේ ගෙයි ඉඩ කඩ මදියි. හැම පවුලක් ම මේ වගේ තමයි ජීවත් වෙන්නෙ. එහායින් තියෙන ඔට්ටේරිය වත්තෙන් ලඟ දි අපිට වතුර හම්බ වුනා. ඊට කලින් වතුර සොයාගෙන අපි දුෂ්කරතා අත්වින්ද.

“හැම දෙනාට ම සමාන ව ජීවත් වෙන්න පුලුවන් සමාජයක් අපිට ඕන. අනෙක් කම්කරුවන් සමග මම කම්කරු සමුලුවට සහභාගි වෙනව” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.

ටී. තමිල්වානන්

හැටන් අසල පන්මුරේ වත්තේ ටී. තමිල්වානන් අදහස් දක්වමින්: “කම්කරුවන්ගේ දුගී ජීවන කොන්දේසිවලට සියලු දේශපාලනඥයන් වගකියන්න ඕන. කලමනාකරුවන්ගෙයි වෘත්තීය සමිති නායකයන්ගෙයි ගෙවල් සුඛෝපභෝගී බංගලාවල්, ඒත් දීර්ඝ කාලයක් වැඩ කරන කම්කරුවො අතිශය නරක කොන්දේසි යටතෙයි ජීවත් වෙන්නෙ.”

බොහෝ තරුනයන්ට වතුවල පවතින පරිපීඩිත කොන්දේසි හේතුවෙන් රැකියා සඳහා කොලඹ වැනි ප්‍රදේශවලට යාමට බලකෙරී ඇති බව ඔහු කීවේ ය. රුපියල් 35,000 ක මාසික වැටුපකට ඒ හා සමාන පරිපීඩිත කොන්දේසි යටතේ දිනකට පැය 12ක් කොලඹ පුද්ගලික සමාගමක වැඩ කිරීමට ඔහුට සිදු ව ඇත.

ඇබොට්ස්ලී වත්තේ තරුන මවක් වතු කම්කරුවන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි විස්තර කලා ය: “අපි ඉරිදට අතිකාල වැඩ කරනවා. අතිකාල කරල අපිට අමතර ආදායමක් අවශ්‍ය නම් කිලෝ 40ක ඉලක්කයක් දෙන්න ඕන. විශේෂයෙන් ම වියලි කාලෙට ඒ වගේ දලු ප්‍රමානයක් නෙලන එක පහසු ඉලක්කයක් නෙවෙයි. සාමාන්‍ය දෛනික ඉලක්කය සම්පූර්න කරන්නත් මම අද උදේ 5.30ට ගිහින් දවල් 12 වෙනකල් එක දිගට වැඩ කලා.”

ඇයට දෙහැවිරිදි බිලිඳියක් සිටිය ද සති අන්තයටවත් ඇය සමග ගතකිරීම සඳහා නිවසේ නැවතිය නො හැක. ඇයගේ ස්වාමි පුරුෂයා කොලඹ ගොඩනැගිලි වැඩපොලක අත්උදවුකරුවෙක් ලෙස වැඩ කල ද ඔහුට ද සෑම සති අන්තයක ම නිවසට පැමිනිය නො හැක.

එම වත්තේ ම තරුන කම්කරුවෙක් මෙසේ විස්තර කලේ ය: “මම තව දුරටත් වෘත්තීය සමිති විශ්වාස කරන්නෙ නැහැ.” වෘත්තීය සමිති සිටින්නේ තමන්ගේ පාර්ශවයේ නො වන බව මෑත අරගලවල දී තමන් අවබෝධ කරගත් බව ඔහු වැඩිදුරටත් කීවේ ය.

“අපේ වැටුප් තීරනය කරන්න සමාගම්වලටයි වෘත්තීය සමිතිවලටයි කිසිම අයිතියක් නැහැ. වැටුප් තීරනය කරන්න ඕන අපේ අවශ්‍යතාවන් අනුව” යි ඔහු පැවසී ය. ඇබොට්ස්ලී ක්‍රියාකාරී කමිටුව කලින් සංවිධානය කල රැස්වීම්වලට තමන් සහභාගි වූ බව පැවසූ ඔහු එලඹෙන කම්කරු සමුලුව පිලිබඳ ව සුභවාදී ව සිතන බව කියමින් මෙසේ ද පැවසී ය: “අනෙක් ක්ෂේත්‍රවල කම්කරුවනුත් සමුලුවෙදි අපිත් එක්ක එකතු වෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.”

උදේ 10 ට හැටන් නගර ශාලාවේදී පැවැත්වෙන මෙම වැදගත් සමුලුවට සහභාගි වන ලෙස කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: