මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා පිටුපස ධනපති දේශපාලන පක්ෂ

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 මැයි 15

පසුගිය ඉරිදා පටන් දින තුනක් ප්‍රදේශ කිහිපයක පැවති මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා සඳහා මැරයන් උසිගැන්වූයේ ආන්ඩුවට හා විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ බවට තොරතුරු අනාවරනය වෙමින් පවතී. එමෙන්ම, එම අපරාධවලට පොලිසිය හා ආරක්ෂක කන්ඩායම්වල අනුබලය හෝ අනුමැතිය පැවති බවට තොරතුරු ද එලිදරවු වෙමින් තිබේ.

ආන්ඩුවට සම්බන්ධ පක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ඇතුලු විරුද්ධ පක්ෂ හා ධනේශ්වර මාධ්‍ය ද විසින් අවුලුවාලන මුස්ලිම්-විරෝධී උමතුවෙන් සිංහල වර්ගවාදී මැර නඩ දිරිමත් කෙරුනි.

මුස්ලිම් පවුල්වලට ආරක්ෂාව පතා පලා යාමට හා සැඟවීමට බලකෙරමින්, මැයි 13 දා යකඩ හා ලී දඬුවලින් සන්නද්ධවූ මැර කල්ලි කුරුනෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, හෙට්ටිපොල, අවුකන, කොට්ටම්පිටිය, දුම්මලසූරිය, රස්නායකපුර, කොබෙයිගනේ හා නිකවැරටිය යන නගරවල මුස්ලිම් ප්‍රජාවට අයත් ව්‍යාපාරික ස්ථාන හා නිවාසවලට පහර දුන්හ. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයේ හා අවට ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට පහර දෙමින් නිවාස, කඩසාප්පු හා කම්හල් ගිනිතබමින් මැරයෝ නිදැල්ලේ ක්‍රියාත්මක වූහ.

“අපි රාත්‍රිය ගත කලේ සැඟවිලා. උදේ මට මගේ පවුල ආරක්ෂාව පතා රැගෙන එන්න සිද්ද වුනා” යයි කුලියාපිටියේ වැසියෙක් ඬේලි එෆ්ටී පුවත්පතේ වාර්තාකරුවන්ට පැවසීය.

මැයි 13 දා පුත්තලම් දිස්ත්‍රික්කයෙහි නාත්තන්ඩිය ප්‍රදේශයේ කොට්රාපිටිය, තුම්මෝදර හා තුත්තිරිපිටියේ මුස්ලිම් ගම්වාසීන්ට හා දේවස්ථාන තුනකට ද ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරය ගැන ලෝක සමාජවාදී වැඩ අඩවියට (ලෝසවෙඅ) විස්තර කල තරුනයෙකු සඳහන් කලේ පල්ලිවලට මැරයන් පහරදුන් අවස්ථාවේ 500 ක් පමන මුස්ලිම් ජනයා පලා යද් දී කුඹුරකට ඔවුන් කොටුකර පහර දී ඔවුන්ගේ නිවාසවලට ද ගිනි තබන ලද බවයි.

ලී බඩු සාප්පුවක් හිමි 45 හැවිරිදි මුස්ලිම් පුද්ගලයෙකුට තියුනු ආයුධයකින් පහර දීම නිසා එදින ම රෝහලේ දී මිය ගියේ ය. ඝාතනය වූ පුද්ගලයාගේ ඥාතියෙකු පැවසුවේ මැරයන් රන් භාන්ඩ හා අනෙකුත් වටිනා දේවල් කොල්ල කෑ බව යි.

කඩු හා පොලුමුගුරුවලින් සන්නද්ධ මැරයන් මෝටර් සයිකල්වල නැගී අනෙකුත් ප්‍රදේශවලින් පැමිනි බව 65 හැවිරිදි සිංහල ගම්වැසියෙක් ලෝසවෙඅට කීවේ ය. “මගේ මුලු ජීවිතේට මම මෙහෙම දෙයක් දැකලා නැහැ” යි ඔහු කම්පා විය.

ප්‍රහාර හොඳින් සැලසුම් කරන ලද ඒවාය. පිටස්තර ප්‍රදේශවලින් බස් දෙකක් පුරවා මැරයන් ගෙන එන ලදී. මැයි 14 දා ද හින්දු පත්‍රයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඞ්, “මැරයන් බස්වලින් පැමිනීම පෙන්නුම් කලේ මෙම ප්‍රහාර සැලසුම් කල ඒවා බව යි. එය බොහෝ සෙයින් මීට පෙර මුස්ලිම්-විරෝධී ප්‍රහාරවලට සමාන” බවද ඔහු කීවේ ය.

ප්‍රහාරයට ලක්වූ තවත් පල්ලි තුනක් පිහිටා ඇත්තේ, කුලියාපිටියේ කින්නියම මුස්ලිම් ගම්මානයේ ය. මැරයෝ වාහන ද නවතා මුස්ලිම් මගීන්ට පහර දුන් හ. මැර ක්‍රියා සිදු වූයේ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිය දී ය. ආරක්ෂක හමුදා හා පොලීසිය නුදුටු සේ සිටිය දී තැනින් තැනට යන මැරයන් නිදහසේ ප්‍රහාර එල්ල කරන අයුරු කලම්බු ටෙලිග්‍රාෆ්හි පලකල වීඩියෝ පටයක සටහන් වී ඇත. තවත් වීඩියෝ පටයක් පෙන්වන්නේ, හෙට්ටිපොල පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටා ඇති මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දෙන මැරයන් ඒවාට ගිනි තබන ආකාරයයි.

මැයි 13 දා කුරුනෑගල, පුත්තලම හා ගම්පහ යන දිස්ත්‍රික්ක තුනට ප්‍රචන්ඩත්වය පැතිර යද්දී, එදින පස්වරු 9 සිට පසු දින පෙරවරු 4 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ පොලීසිය, මැයි 14දා පස්වරු 4 සිට 6 දක්වා පැය දෙකකට වයඹ පලාතේ ඇඳිරි නීතිය ඉවත් කොට නැවත දැනුම් දෙන තුරු එය යලි පැනවී ය. පොලීසිය හා ආරක්ෂක බලධාරීන් ප්‍රචන්ඩ ක්‍රියාවලට එරෙහි ව දැඩි පියවර ගන්නා බවට කල අනතුරු අඟවීම් පිටුපසින් සිදුව ඇත්තේ ඒවාට පිටුබලය දීමයි.

වීඩියෝවක මැරයන් පහරදෙන තුරු බලා සිටින හමුදා සාමාජිකයෙකුට සමාන නිල ඇඳුමකින් සැරසුනු පුද්ගලයා ගැන තොරතුරු ඇත්නම් සපයන ලෙස මිලිටරි ප්‍රකාශක සුමිත් අතපත්තු පවසා ඇත. මෙය මුහුන බේරා ගැනීමේ තැතකි. තිස් අවුරුදු දෙමල විරෝධී යුද්ධය කාලයේ පටන් හමුදා හා පොලිසිය තුල සිංහල වර්ගවාදීන් සමග සම්බන්ධ කොටස් පෝෂනය කෙරුනි.

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ හා පිවිතුරු හෙල උරුමය (පීඑච්යූ), දූෂන විරෝධී පෙරමුන හා මහසොහොන් බලකාය වැනි සිංහල-බෞද්ධ වර්ගවාදී පක්ෂ හා සංවිධානවල නායකයන් මෙම මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය පිටුපස සිටින බවට සමහර සාක්ෂි තිබේ.

පසුගිය වසර තුන තුල දිවයිනේ මුස්ලිම්වරුන්ට එරෙහි හිරිහැර හා ප්‍රචන්ඩත්වය තීව්‍ර කර ඇත. බෞද්ධ භික්ෂූන් නායකත්වය දෙන බොදු බල සේනා, රාවනා බලකාය හා සිංහලේ, 2014 ජුනි මාසයේ අලුත්ගම ප්‍රදේශයේ හා 2018 මාර්තු මාසයේ දිගන ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ට පහර දී දේපොලවලට හානිකර කිහිප දෙනෙකු මරා දමන ලදී.

එක් රූපවාහිනී පටයක් පෙන්වූයේ, ප්‍රදේශයේ මන්ත්‍රී හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, බිංගිරිය ප්‍රදේශයේ මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවල නිරත වූ මැරයන් කිහිප දෙනෙකු පොලීසියෙන් නිදහස් කරගැනීමට මැදිහත් වන ආකාරය යි. සිද්ධිය ප්‍රචාරයවීම නිසා තැතිගත් ඔහු පුවත්පත් සාකච්චාවක් කැඳවා තමන් කෝලාහල නතර කිරීමට මැදිහත්වූ බවට අභුත ප්‍රකාශයක් කලේය.

රාජපක්ෂගේ පොජපෙ හි කොටස්කාර සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදි පිවිතුරු හෙල උරුමය (පීඑච්යු) නායකයෙකු වන මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ ප්‍රහාරය මෙහෙය වූ බවට චෝදනා එල්ල වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් කලම්බුටෙලිග්‍රාෆ් හි පලකොට ඇති වීඩියෝ පටයක විස්තර පාඨය ලෙස යොදා ඇත්තේ “මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය, පිවිතුරු හෙල උරුමය (පීඑච්යු) මධුමාධව” යන්නයි. පුවත්පත් සාකච්චාවක් පවත්වා ඔහු සඳහන් කලේ තමන් මිනුවන්ගොඩ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එහි සිටියේ අහම්බෙන් බවයි.

මැයි 14 දා දුෂන විරෝධී පෙරමුන නමින් පෙනී සිටින කුප්‍රකට වර්ගවාදියෙකු වන නාමල් කුමාර හා මහසොහොන් බලකායේ (එම්බී) හි නායක අමිත් වීරසිංහ ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිනි. මැයි 11 දා එම්බී ය විසින් මහනුවර දිගන ප්‍රදේශයේ සංවිධානය කර තිබුනු විරෝධතාවක් උසාවිය විසින් තහනම් කලේ ය. පසුගිය 2018 මාර්තුවේ මුස්ලිම්වරුන් මත එල්ල කල ප්‍රහාර සම්බන්ධයෙන් එම්බී ය වගකිව යුතු ය.

මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩකම් පිලිබඳව රටතුල හා ජාත්‍යන්තරව ප්‍රචාරය වෙද්දී ඒවාට සම්බන්ධවූවන් යයි සැකපිට දැනට 70ක් පමන අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර අවස්ථාවල සිදුවූයේ එලෙස අත්අඩංගුවට ගත් කන්ඩායම් නිදහස් කිරීමයි.

චීනයේ සිටින සිරිසේන ජනතාවට “සන්සුන්” වන්න කියා ඇතිවා පමනි. “හදිසි නීතිය යටතේ මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක හමුදාවන්ට මම සියලු බලතල ලබා දී තිබෙනවා” යි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ය.

ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ක්ෂනික ඉක්බිත්තේ, මහජනයා පිරික්සීමට, අත්අඩංගුවට ගැනීමට, රඳවා ගැනීමට හා සිරගත කිරීමට හැකි වන පරිදි පොලීසියට හා ආරක්ෂක හමුදාවන්ට බලතල ලබා දෙමින් ජනාධිපති සිරිසේන විසකුරු හදිසි නීති රෙගුලාසි පැනවී ය. ඔහු මුස්ලිම් කාන්තාවන්ගේ සම්ප්‍රදායික ඇඳුම වන බුර්කාව හා නිකාබය තහනම් කලේ ය. හිස පමනක් ආවරනය කරන හිජාබය ද රජයේ ආයතනවල සිංහල බලධාරීන් විසින් තහනම් කර ඇත. මුස්ලිම් පාසල් දැරියන්ට ඔවුන්ගේ නිල ඇඳුමට උඩින් අඳින සලුව හා කලිසම නො අඳින ලෙස කියා තිබේ.

පසුගිය සතියේ, වර්ගවාදී උසිගැන්වීමක් මත පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මන්ඩලයේ සිංහල කන්ඩායමක් මුස්ලිම් සේවිකාවන් අඳින බුර්කාවට හා නිකාබයට විරෝධය පල කර වැඩ නතර කලහ.

එවැනිම උසිගැන්වීමක් මත පසුගිය මැයි 7දා පුවක්පිටිය දෙමල මහා විද්‍යාලයේ ගුරුවරියන් 11 දෙනෙකු හිජාබ් පටිය පැලඳ සිටීම හේතුවෙන් පාසල් සංවර්ධන සමිතියේ හා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෝ පාසලට ඇතුලු වීම වලක්වා ඔවුන්ට සාරි ඇඳගෙන එන ලෙස බලකලහ.

තර්ජනයට ලක්වූ එක් ගුරුවරියක් වන ෆාතිමා ෂෆීනා මාධ්‍ය වෙත කීවේ: “හිජාබ් කියන්නෙ මගේ සම්ප්‍රදායික ඉස්ලාම් ඇඳුම. ඒ වෙනුවට සාරියක් අඳින්න කියල මට කියන්න ඒගොල්ලන්ට බැහැ.” වර්ගවාදී ප්‍රකෝපකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස එම ගුරුවරියන් වෙනත් පාසලකට මාරුකර ඇත.

ධනපති පක්ෂ හා ආරක්ෂක අංශවල කොටස්මත් සම්බන්ධවී ඉතා දැනුවත්ව සංවිධානය කරන මුස්ලිම් විරෝධී ප්‍රචාරය හා ප්‍රචන්ඩත්වය කම්කරුවන් හා තරුනයන් පිලිකුලෙන් ප්‍රතික්ෂේප කල යුතුය. අර්බුදයේ කරවටක් එරී සිටින පාලක පන්තියේ ඉලක්කය කම්කරු පන්තිය වාර්ගිකව බෙදා දුර්වලකර ධනපති පන්ති පාලනය රැක ගැනීමට පොලිස් රාජ්‍ය පාලනයකට මාරුවීමයි. කම්කරු පන්තියේ අරගල ජාත්‍යන්තරව ම දිගහැරෙන තත්ත්වය තුල සෑමරටකම පාලක පන්තීන් ෆැසිස්ට්වාදය හා අඥාදායකත්වය පෙරට ගනිමින් සිටියි.

Share this article: